21 ට ගෝඨාත් කැමැති නම් පොහොට්‍ටුව, සජබ, ජවිපෙ විරුද්ධ වෙන්නෙ ඇයි.? Featured

Wednesday, 01 June 2022 14:39

21 වන ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් තවමත් පාර්ලිමේන්තු පක්ෂ හා පක්ෂ තුළමත් මත ගැ‍ටුම් ඇතිව තිබේ.ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් හෝ වේවා රටේ නව නීති පැනවීමක්දී මත ගැටුම් ඇතිවීම සාමාන්‍ය සංසිද්ධියක් මෙන්ම එය විය යුතුම දෙයකි. ඒ වඩා නිවැරදි ලෙස නීතියක් සම්මත කර ගැනිම විය යුතු නිසය.

නමුත් මේ මත ගැටුම් තම තමන්ගේ පාර්ශ්වික වුවමණා එපාකම් මත පිහිටා සිදු කරන්නට යෑමෙන් මේ රටේ පුරවැසියාට වන යහපතක් නැත. මෙරට නීතියක් යනු මේ රටේ සමස්ත පුරවැසියා යටත් විය යුතු දෙයකි. එය පුරවැසිය කෙරෙහි සමානව සාධාරණව විය යුතු දෙයකි.

පක්ෂ වල හෝ පුද්ගලයන්, පුද්ගල කණ්ඩායම් ජනවර්ග ආගම් ආදී ලෙස පාර්ශ්වික වුවමණාවන් මත අනෙකෙකුට අසාධාරණයක් අයුක්තියක් වන ලෙස නීති පැනවීම නොවිය යුතුය.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාව හරහා යෝජනා කරන ලද නව නීති සම්බන්ධයෙන් දැනට මතුව තිබෙන විවාදයන් වැඩි මනත් ප්‍රමාණයක් පාර්ශ්වික වාසි අවාසි මත පදනම් තිබෙන බව පැහැදිලිය.

පොදුජන ජන පෙරමුණේ බැසිල් රාජපක්ෂට අනුගත කණ්ඩායම මෙයට එරෙහි වන්නේ ද්විත්ව පුරවැසි භාවය හිමි පුද්ගලයන්ට පාර්ලිමේන්තු නියෝජනය අහිමි කිරීමට මත පදනම්වය. එය පැහැදිලිය. එම නීතිය මඟින් බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු නියෝජනය අහෝසිවීම ඔවුන්ට දරා ගත නොහැක.

කොහොම නමුත් ද්විත්ව පුරවැසියකු රටක නීති හදන තැන නියෝජනය කිරීම නොවිය යුතු දෙයකි. එම පුද්ගලයා තවත් රටක නීතියට යටත්ව සිටින විට ඒ අනුව කටයුතු කරන්න සිදුවීම මත මේ රටේ නීති සැකසීමේදී ඔහුගේ මැදිහත් වීම අනෙක් රටේ නීතියට යටත්ව සිදුවේ.

19 වන ව්‍යවස්ථ සංශෝධනය මඟින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු නියෝජනය අහිමි කළේ රටේ ආරක්ෂාව, පැවැත්ම, ස්වාධීනත්වය ආදිය තහවුරු කිරීම වෙනුවෙනි.

මෙය බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගෙන කළ සංශෝධනයක් පමණක් බවට කිසිවකුට තර්ක කළ හැකි වූවත් එම තර්කය පිළිගත හැකි නොවේ. මන්ද මේ රටේ සිටින එකම ද්විත්ව පුරවැසියා බැසිල් නොවන නිසාය. ඉදිරියේදීත් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු නියෝජනය අහිමි කිරීම විය යුතු වීම අනිවාර්යයකි.

මෙහි ඇති අනතුරට හොඳම උදාහරණය ලෙසත් බැසිල් රාජපක්ෂව ගත හැක. 20 වන ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙම ද්විත්ව පුරවැසි තහංචිය ඉවත් කර බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට ඒමට ඉඩ හැර ඔහුට රටේ මුදල් ඇමැති වගකීම පවරා නිල නොවන ජනාධිපතිවරයා ලෙස අධික බලයක් පවරා රාජ්‍ය පාලනය හැසිරවීමේ බලය දීමෙන් වූ ප්‍රති විපාක අපි මේ මොහොතේත් අත් විදිමින් සිටිමු. රාජපක්ෂලා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ සියළු දෙනාත් මේ අර්බුදයේ ගොදුරු බවට පත්ව තිබේ.

බැසිල් රාජපක්ෂ කටයුතු කළේ මේ රට ගැන හිතා නොවන බව පැහැදිලි කාරණයකි. එසේම ඔහුගේ ද්විත්ව පුරවැසි බාවය නිසා ඔහු කුමන වරදක් කර, කුමන අලාබයක් රටට සිදු කර පාලාගියත් නැතත් ඔහුට එරෙහිව මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට යෑමේදී වුව ඔහුගේ ද්විත්ව පුරවැසි බාවය ඔහුගේ වාසියටම, ගැලවීමට හේතු කර ගත හැක. මේ රටට මොන හෙණයක් ගැහුවත් ඔහුට ඒ ගැන වගවීමක් නැත. ඔහුට යන්න රටක් තිබේ. නමුත් ඔහු කළ කී දේ නිසා දුක්විඳින මෙරට පුරවැසියන් සියළු දෙනාට ඒවාට වන්දි ගෙවන්න සිදුවෙනු ඇත.

මේ නිසා ද්විත්ව පූරවැසියන්ට පාර්ලිමේන්තුව තහනම් කලාපයක් කිරීම විය යුතු බවට ඕනෑ තරම් හේතු සාධක තිබියදී ඊට එරෙහි වන්නේ නම් ඒ මේ රටේ ද්‍රෝහීන් මිසක් වෙන කිසිවකුත් නොවේ.

මේ අතර 21 සංශෝධනය පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ගෙන ආ යෝජනාවක් ලෙස, මේ බැසිල් ප්‍රශ්නය මුල කරගෙන සමගි ජන බලවේගයද ඊට එරෙහිව යම් යම් ප්‍රකාශ නිකුත් කරමින් තිබේ.

ඔවුන්ට අනුවත් 21 ගේන්නේ බැසිල්ව එළවීම පමණක් අරමුණු කරගෙනය. මේ විදිහට ඉතා ප‍ටු තැන් වල සිට කල්පනා කරන්නෙ නම් සජබේ සජිත්ලාගේ දේශපාලනයයි බැසිල්ගේ පොහොට්ටු දේශපාලනයයි අතර වෙනසක් නැත. ඔවුන් රාජ්‍ය ද්‍රොහීන්ය, ජනතා ද්‍රෝහීන්ය, කියා සිතුවාට වැරදි නැත.

ඒ සමඟ සමගි ජන බල වේගය මතුකරන තවත් කාරණා අතර ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම ප්‍රමාණවත් නැත. ඒ නිසා 21ට එරෙහිය. 19 මඟින් ගෙන ආ සංශෝධනයේදීත් ජනාධිපතිවරයාගේ බලතල මුලුමනින්ම කප්පාදු කළේ නැත.එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ධුරකාලයෙන් පසුව ඉවත්වන බලතල ප්‍රමාණයක්ද එහි තිබිණි. ඒ අනුව නව ජනාධිපතිවරයා, සිරිසේනට තරම් හෝ බලතල නැති නාමික ජනාධිපතිවරයකු වීමට නියමිතව තිබිණි.

සජිත් ප්‍රේමදාස මෙන්ම ජවිපෙ අනුර කුමාර දිසානායකද ජනාධිපතිවරණයට ඉදිරිපත් වුයේ මේ නාමික ජනාධිපතිධූරය වෙනුවෙනි. ගෝඨාභය ඉදිරිපත් වූයෙත් ඒ වෙනුවෙන් වූවද ඔහුගේ මැතිවරණ පොරොන්දුව අනුව මහ මැතිවරණයෙන් බහුතර බලයක් අත්පත් කරගෙන 19 අහෝසි කරන බවට ප්‍රතිඥාවක් දී තිබිණි. එහෙත් සජිත් හෝ අනුර එසේ කළේ නැත. අද 21 ට ගෝඨා පක්ෂ වන අතර සජිත් අනුර විරුද්ධය.

19 අනුව විය යුතුව තිබුණේ පාර්ලිමේන්තුවට බලය ලැබීමත් ආණ්ඩුවේ ප්‍රධානියා අගමැතිවරයා බවට පත් වීමය. 21 න් යෝජනා කරන්නේ ද එම තත්වයමය. එසේම පැවැති අඩුපාඩු සකස් කර ගත යුතු වීමේ අපේක්ෂාව සහිතවය. රාජ්‍ය නයකයා ලෙස ජනාධිපතිවරයා සතුව යම් බලතල ප්‍රමාණයක් තැබිය යුතුය. ඒ ගැන පාර්ලිමේන්තුවට සාකච්ඡා කොට සියලු දෙනාට එකඟ විය හැකි තීරණය ගත හැකිය. ඒ තත්වය එසේ තිබියදී 21 ට පක්ෂ වීම විය යුතු මිසක් අරක නෑනේ මේක නෑනේ කියමින් 21 ට එරෙහිවීම විකාරයකි. එමෙන්ම දුෂ්ඨ කමකි.

ජනතා විමුක්ති පෙරමුණේ අනුරකුමාරට ඇති ප්‍රශ්නය මේ වන විට තාවකාලිකව අගමැතිධුරය උසුලන රනිල් වික්‍රමසිංහට 21 ව්‍යවස්ථාව හරහා බලතල සහිත අගමැතිධුරය ලැබීමේ විරෝධයයි. රනිල් මේක බාරගත්තේ කඩිනමින් විසැඳිය යුතු බරපතල ගැටළු කිහිපයක් විසඳා දී ඉවත් වෙන්න මිසක් සදාකාලිකව මේ පුටුවේ වාඩි වෙන්න නොවේ. රනිල්ට එහෙම ආසාවක් තිබුණත් පාර්ලිමේන්තුවේ එක් අසුනක් තියාගෙන එහෙම සිහින දැකිය නොහැක. එමෙන්ම අනුරම කියන විදිහට ජාතික ලැයිස්තුවෙන් ආපු රනිල්ට අගමැතිකම් කරන්න ජනවරමක් නැත. මේ තර්කය අනුව ලැයිස්තු මන්ත්‍රීන්ට ඇමැතිකම දැරීමද සිදු නොවිය යුතුය. ඒ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු ඡන්ද අයිතියද අහිමි කළ යුතුය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී වරමක් තිබෙන්නේ කවර හේතුවකටද කියා දන්නවා නම් ‌මෙහෙම ලපයි සිපයි කතා කියන්න වුවමණාවක් නැත. මෙතැන තිබෙන්නේ වෙන ගැටළුවකි. පෞද්ගලික ඉරිසියාව කුහකකම හැර වෙන යමක් මෙතැන නැත. මේ නිසා රනිල් අගමැති වීමට විරුද්ධය.

ඒත් අනුර මෙහිදී අනියමින් යෝජනා කරන්නේ තමන්ට අගමැතිධුරය ලැබිය යුතු බව මිස වෙනකක් නොවේ. එහෙම වෙනවා නම් 21 ට පක්ෂය,නැතිනම් විරුද්ධය. අනුර අගමැතිකම තමන්ට අවශ්‍ය බව කියන්නේ ඊට ජනවරමක් තියාගෙනද නොවේ. ලැයිස්තු මන්ත්‍රීධුරයක් සමඟ මන්ත්‍රීධුර 3කට ආණ්ඩු පිහිටුවන්න ජනවරමක් ලැබී නැත.

රනිල් වික්‍රමසිංහ මෙවර අගමැතිධුරය බාර ගත්තේ රට හමුවේ වෙනත් විකල්පයක් ‌නොමැති තත්වය හමුවේය. ජනාධිපතිවරයා සිදු කළ ආරාධනය මේ කිසිවකුත් මුලදී පිළිගත්තේ නැත. මේ මොහොතේ ප්‍රායෝගිකව ඉටු කළ නොහැකි කොන්දේසි දමමින් ඔවුන් ඒ මඟ හැරියේය. එයට පැහැදිලිම් හේතුව රට මුහුණ දෙන අර්බුද හමුවේ කිසිදු විසඳුමක් මොවුන් සතුව නොවීමය. ඒ තබා රට මුහුණ දී තිබෙන අර්බුදයේ දිගක් පළලක් ගැනවත් නිවැරදි අවබෝධයක් මේ මොහොතේත් නැති බව පැහැදිලි වන්නේ ජවිපෙ නායකයන්ගේ රට ගොඩ ගැනීමේ යෝජනා අසන විටය.

රට මෙහෙයවීමේ වගකීම භාර ගෙන පවතින තත්වයට වඩා අසීරු තැනකට රට වැටෙන බව ඔවුන් දන්නා නිසා මේ බාර ගැනීමෙන් වැලකී සිටින බව පැහැදිලිය. සජබයටත් ජවිපෙ ජාජබයටත් අත්‍යවශ්‍ය වූයේ මහ මැතිවරණයක් හරහා තමුන්ගේ ගොඩ වැඩි කර ගැනීමේ අභිප්‍රාය ජය ගැනීම පමණකි.

පොදුජන පෙරමුන සහ එහි නායකයන් පුරවැසියාගේ වෛරයට පිළිකුළට පාත්‍ර වෙමින් තිබෙන තත්වයන් තුළ සහ එජාප ශ්‍රීලනීප දේශපාලනයද පජාත වී ඇති තත්වයන් තුළ ඔවුන් ගනන් හැදුවේ මහ මැතිවරණයකින් තමන්ගේ ගොඩ වැඩිකර ගන්නා විදිහ ගැනය. තව දුරටත් සිටින්නේ ඒ මතය තුළය. හුදු ආණ්ඩු විරෝධයක් නඩත්තුකරගෙන යන්නේ ඒ් වෙනුවෙනි.

රට මුහුණ දෙන අර්බුද හමුවේ මොවුන්ගේ යොජනාවත් අර කුඹුරේ තිබූ ගල ඉවත් කරන්න අන්දරේ අවසානෙට කරපු යෝජනාවත් එක හා සමානය. ගල ඉවත් කරන්නම් මට මාස තුනකට හොඳට කනන් බොන්න ‌දෙදෙ කියා,ඒ බුක්ති විඳ අන්දරේ ඇවිත් කිව්වෙ හරි දැන් කට්ටිය එකතු වෙලා ගල උස්සල මගේ කරෙන් තියන්න මන් ගිහින් දාන්නම් කියන එකය.

දැන් සජිත්ලා අනුරලා කියන්නෙත් එහෙමය. ජනාධිපති අයින් වෙලා, සර්වපාක්ෂික ආණ්ඩුවකුත් හදලා දීලා තමන්ට පාර්ලිමේන්තුවේ සම්පූර්ණ සහය දෙනවා නම් අගමැති තනතුර බාර ගන්නම් කියාය.මේවා බරපතල විහිළුය.දැන් රනිල් වික්‍රමසිංහ තනියෙම ගිහින් ගල උස්සා තමන්‌ගේ කර මත තබාගෙන ඇත.

එහෙත් සජබය ජවිපෙ මෙන්ම පොහොට්‍ටුවද දැන් කරමින් සිටින්නේ රනිල්ගෙ කකුලෙන් ඇදීමය, බාධා කිරීමය. ශ්‍රීලනීපයත් දෙමළ ජාතික සන්ධානයටත් රනිල් සමඟ පුද්ගල ප්‍රශ්නයක් තිබීම මත රනිල්ට බාධාකරන තැනක සිටී.  රනිල් මේක උස්සන් ගියොත් තමන් පජාත වෙන බව මේ අය වටහාගෙන තිබේ. අනුර අගමැති කොළොත් පහුවෙනිදා සිට රටට ඩොලර් එනවා රට ගොඩේ ගොඩ කියලා ටිල්වින් සිල්වා කියන්නේ මේ රනිල්ගේ වැඩේ ඉවසා දරා ගන්න බැරිම තැනය.

මේ ග්‍රාම්‍ය ඉරිසියාව,කුහකකම යනු ජවිපෙ ජාතකේ සිට වෙනස් කළ නොහැකි ගති ගුණයකි. ඔවුන්ගෙ දේශපාලනය පදනම් වන්නෙම මේ ඉරිසියාව, කුහකකම මත පදනම් වූ අවස්ථාවාදයක්ය ලෙසය.කතාවට කියනවා සේ, මිනිහෙක් දියුණු වෙනවා බලන් ඉන්න එක ඇහැට ක‍ටුවකින් අනිනවා වගේ යැයි වීම ජවිපේ දේශපාලනය තුළ සහජ ලක්ෂණයකි. පසුගිය මැයි 09 වනදා රට ගිණි ලෑවේ මේ ග්‍රාම්‍ය ආකල්ප තවමත් ජවිපෙ තුළ අ‍ටුවම් බැස ඇති නිසාය.

පසුගිය යහපාලන යුගයේදී වඩා දියූණු දේශපාලනයක්, වඩා දියුණු ආර්ථික ක්‍රමයක්, සමාජ සහ සංස්කෘතික වෙනසක් වෙනුවෙන් ගත් පියවරයන් ගනනාවකට ජවිපෙ එරෙහි වූ බව අමතක නොකළ යුතුය. ජවිපෙ සමඟ එදා පොහොට්‍ටු කණ්ඩායමද සජිත්ලාද සිටි බවත් අමතක නොකළ යුතුය.

මේ ග්‍රාම්‍ය හැසිරීම නිසා පැවැති යහපාලනයට හානි නොවෙන්න යළි රාජපක්ෂලා බලයට ඒමට හැකියාවක් තිබුණෙ නැත. එදා ශක්තිමත්ව එකට එක මිටට රාජපක්ෂලාගේ පරාජය වෙනුවෙන් තරග කළ යුතු වූවද බෙදී වෙන්වී ගෝඨාභයගේ ජයග්‍රහණයට පරිසරය හැදුවේත් මේ සජිත්ලා අනුරලාය. ඒ නිසා අද රට මූහුණ දෙන මේ මහා අර්බුදයට එදා මේ අය ගත් මුග්ධ තීන්දු තීරණ මත මේ අයත් මේකට වගකිව යුතුවේ.

අදත් මේ අය කවර තර්ක දෙසා බෑවත් 21 ට විරුද්ධ වන්නේ තමන්ගෙ ගොඩ පරිස්සම් කරගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් මිස කිසිසේත්ම අද පුරවැසියා මුහුුණපා සිටින ව්‍යවසනකාරිත්වයෙන් පුරවැසියා මුදා ගැනීම ගැන වගක් නොමැතිව බව පැහැදිලිය.

කොහොම නමුත් යම් හෙයකින් හෙට දිනයේදී තමන්ගේ මේ ග්‍රාම්‍ය මුග්ධ කල්ලිවාදී අවස්ථාවාදි මජර දේශපාලන ස්ථාවරයන් අත් හැර එක අරමුණක් ඉලක්කයක් වෙනුවෙන් සියලු දෙනා එකතු වන්නෙ නම් ..රටට තවමත් ගොඩ යෑමේ අවස්ථාවක් තිබෙන බවට යම් බලාපොරොත්තුවක් තබා ගත හැක.

 

- සුජය

Last modified on Wednesday, 01 June 2022 15:08

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us