රාජපක්ෂලා නොයන්නේ විපක්ෂයෙන් ලැබෙන රහසිගත සහයෝගය නිසාද? Featured

Friday, 06 May 2022 11:23

රට වැසියෝ මේ මොහොත ගත කරන්නේ රාජපක්ෂලා කෙරෙහි දැඩි කෝපයකිනි. අද (මැයි 06) මේ මොහොතේ රට පුරා ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයෙහි අති සාර්ථකත්වය ඒ බව පැහැදිලිව පෙන්වා දෙයි. විශේෂත්වය වන්නේ මේ හර්තාල් ව්‍යාපාරය දේශපාලන පක්ෂයකින් හෝ පක්ෂ එකතුවකින් හෝ කළ කැඳවීමක් නොවීමය. වැඩකරන ජනතාවගේ එකමුතුවට අද රටේ සමස්ථ ජනතාව ද එකතුවෙමින් දේශපාලන පක්ෂ පරයා ජනතාවගේ දේශපාලන බලය යනු කුමක්දැයි ඓතිහාසික පාඩම උගන්වමින් තිබේ.

69 ලක්ෂෙන් ඉතිරිය

ඒ රාජපක්ෂලා කෙරෙහි වන කෝපය, රාජපක්ෂලා කෙරෙහි කෙදිනකවත් පක්ෂපාත නොවූවන් වෙතින් පමණක් නොව මේ මොහොතේත් රාජපක්ෂලාව රැකගැනීම වෙනුවෙන්, තවදුරටත් පෙනී සිටින්න සිදුව ඇති වුන් වෙතින් ද ( රැකියාවට හෝ කුලියට) පෙන්වන්නේ රාජපක්ෂලා කෙරෙහි දැඩි කෝපයකිනි. රාජපක්ෂ විරෝධීන්ගේ විරෝධය තේරුම් ගැනීම අසීරු නැත. ඔවුනොවුන්ගේ වහල් දේශපාලනික පාර්ශ්වික භාවයන් ද එයට හේතු විය හැකිය.

එහෙත් මේ රාජපක්ෂ ප්‍රේමීන්ගේ විරෝධය එන්නේ අත්හැරිය නොහැකි අනුරාගය මුසු වේදනාවක් ලෙසිනි. එහෙත් කැඳ නිසා අහක දැමිය නොහැකි නමුත් උණු නිසා බොන්නත් බැරි කියනවාට වඩා බරපතල තත්වයක් ඔවුන් පසුවේ. ගෙදර ගියොත් අඹු නසී මඟ හිටියොත් තෝ නසී වගේ මාරාන්තික අරගලයක් සමඟ මේ රාජපක්ෂ ප්‍රේමීන් සිටිනවා කිව්වොත් හරිය. තොපි මොනාද අපිට මේ කළේ ? යනුවෙන් කියා ගන්න බැරිව දැඩි මානසික ආතතියක පසුවන මේ ඉතිරි රාජපක්ෂ ප්‍රේමීන් දැන් කටයුතු කරන්නේ බියකින්, ලැජ්ජාවකින් සහ වියරුවකිනි. ඔවුනොවුන් අතරද මේ වන විට වන ගැටුම්කාරිත්වය ඊට සාක්ෂි සපයයි. රාපක්ෂලා වෙනුවෙන් මරාගෙන මැරෙනවා විනා වෙන විකල්ප නැති තැනට ඔවුන් වැටෙමින් තිබේ.

රාජපක්ෂලාට බය නැද්ද?

කොහොම නමුත් මේ වන විට රාජපක්ෂලාට එල්ලව තිබෙන දැඩි විරෝධයන් හමුවේත් ඒවා ගනන් නොගෙන සිටිනවා වගේ පෙන්වමින් කටයුතු කිරීමට තවමත් රාජපක්ෂලා සමත්කම් පෙන්වා ඇත. ප්‍රශ්නයට විසඳුම් තමන් සතුව නැතත් ප්‍රශ්නය විසඳන්න මොන මොනවා හෝ කරමින් සිටින බව පෙන්වමින් තිබේ.

ඒ කොහොම වෙතත් රට අද පවතින තත්වය අනුව හෙට දවස මීට වඩා අනතුරුදායක වීම වැලැක්විය නොහැක. මේ තත්වය රාජපක්ෂලා නොදන්නවා නොවේ. ඒත් තව දුරටත් මේක අල්ලාගෙන සිටින්නේ ඒ අනතුරු, කලමනාකරණය කරගැනීමට තමන් සතුව තිබෙන කුමක් හෝ බුද්ධිමය හැකියාවක්, ඉන්ද්‍රජාලික මොකක් හරි දෙයක් නිසා නොවෙයි. රාජපක්ෂලාට හැකිවන්නේ මේ රටම බිල්ලට දී හෝ තමන්ගේ පාලනය පවත්වාගෙන යෑමේ වැඩ සටහනකට ඇතුල් වීම තුළින් පමණය.

රාජපක්ෂලාගේ හයිය

එහෙත් රට මේ වන විටත් වැටී තිබෙන තත්වයන් හමුවේ, ජනතාව වීදි බසිමින් රාජපක්ෂලා තොපි පලයව් කියමින්, මහා අරගලයක් දියත් කර ඇති විටදීත්, රට අර්බුදයෙන් අර්බුදයට පත්වෙමින්, තිබියදීත් මේක අල්ලාගෙන සිටීමට රාජපක්ෂලාට තිබෙන හයිය කුමක්ද? රට වැසියා කැරලි ගසා තමන්ව කුදලාගෙන ගොස් මුහුදට දමයි දෝ කියන බිය ඔවුන්ට නැතිද? නැත. එහෙම බිය වන්නට තරම් කරුණු කාරණා මෙතෙක් බිහිව නැත.

එසේ වීමට මුලික කාරණය මේ මහජනතාව වෙතින් ස්වයං සිද්ධව ගොඩනැඟුනු අරගලකාරිත්වයට පුද්ගල නායකයන්, සංවිධාන සිටියා හෝ නැතා, එයට දේශපාලන නායකත්වයක් නොමැති වීමේ වාසිය තවදුරටත් රාජපක්ෂලා ලබා ගනිමින් තිබීමය.

නොහඳුනන සතුරා

අරගලය මෙතෙක් විනාශ නොවීම කෙරෙහි බලපා ඇත්තේත් එයට පුද්ගල නායකත්වයන් නොවීමේ ගුණය නිසාය. තමන්ගේ සතුරා කවුද යන්න තම පාර්ශ්වයට හඳුනාගැනීමට නොහැකිවීම නිසා මර්දනයක් කැඳවීමේ අසීරුකම පාලකයාට තිබේ. නමුත් දේශපාලන නායකත්වයක් නොමැති වීම තුළ මෙම ආරගලය රාජපක්ෂලාගේ හෝ මේ වත්මන් දේශපාලන අධිකාරියෙහි හෝ පැවැත්මට බරපතල හානි සිදු වන්නේ නැත.

'ගෝඨාගෝගම' ප්‍රශ්නයක් නොවී 'මයිනාගෝගම' හෝ 'හොරුගෝගම' දේශපාලන අධිකාරියට ප්‍රශ්නයක් වන්නේ ඊට පැහැදිලිවම පුද්ගල නායකත්වයක් සහ දේශපාලන නායකත්වයන් ඇති නිසාය. එතැන සටන් පාඨයන් වෙනස්ය, අරගල මාදිලිය වෙනස්ය. ඒ පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂයේ මැදිහත් වීම මතය. ඒ නිසා එයට එරෙහිව මර්දනීය ක්‍රියා මාර්ග වලට රාජපක්ෂලා උත්සහ ගනියි. එසේ නමුත් තමන්ට තමන් අනුයන දේශපාලන මතිමතාන්තර අනුව එකඟ විය නොහැකි 'ගොඨා ගෝ හොම්' සටන් පාඨය සමස්ත අරගලය සංඛේතවත් කරනමුත් එවැනි අදේශපාලනික සටන් පාඨයක් පවා තමන්ගේ කරගෙන මේ මහජන ආරගලයේ ශක්තිය, ජවය, ජීව ගුණය තමන් බවට පත්කර ගැනීමට පෙර‍ටුගාමීන්ට හැකි වීම නිසා එම මැදිහත් වීම මර්දනය කරන්න දේශපාලන අධිකාරියට හිතන තරම් පහසු නොවන තැනක තිබේ.

දේශපාලනයේ පරණ ෆයිල්

පෙර‍ටුගාමීන් ඉතා සුක්ෂම ලෙස තමන්ගේ දේශපාලන ව්‍යපෘතිය තුළට මේ අරගලය බද්ධ කරගෙන තිබේ. එමෙන්ම එය මෙහෙයවන තැනට පත්ව තිබේ.
මේ අනුව ගොඨාගෝගමට අයිතිවාසිකම් කියමින් සිටි විවිධාකාර ගම්මුලාදෑනීලා රොත්තම පසු බස්සවමින් එය තවදුරටත් නිර්පාර්ශ්වික ස්වයං සිද්ධ අරගලයක් ලෙසින් පවත්වාගෙන යෑමට පෙර‍ටුගාමින් කරන දේශපාලන කැප කිරීම විශේෂයෙන් මතු කළ යුතු කාරණයක් වන්නේ..මේ වන විට රට තුළ වඩා දියුණු විප්ලවකාරී දේශපාලන භාවිතයක් පෙන්නුම් කරන එකම දේශපාලන පක්ෂය පෙර‍ටුගාමීන් පමණක් බව අනිවාර්යෙන්ම සඳහන් කළ යුතු නිසාය. බොහෝ විටම අරගලයේ ජයග්‍රහණය තීන්දුකරනු ඇත්තේ ඔවුන්ය. එය පාර්ලිමේනතුවෙන්වත්, ෆයිල් මිටි ගනන් උස්සන් එන මාධ්‍ය සංදර්ශන වලින්වත් වන්නේ නැති බව අද ජනතාවත් තේරුම් ගෙන තිබේ. අද ජන අරගලය මෙතරම් සාර්ථකව දියත් වන්නේ මේ අවබෝධය නිසාය.

කපටි ආරක්ෂකයෝ

අපේ මාතෘකාවට යළි පිවිසිය යුතුය. රාජපක්ෂලාගේ පැවැත්මට විපක්ෂය නොනිල සහයෝගයක් ලබා දෙනවා කියනකොටම ඒ නිසා අවුල් වෙන පිරිස් සිටී. මේ විපක්ෂය කියන්නෙ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් එහි විපක්ෂයට අයත් සෑම සියළු කණ්ඩායම්ය. එනම් සජබ, ජාජබ, එජාප, ටීඑන්ඒ, වගේම දැන් විපක්ෂයේ කියා ගන්නා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහ පොහොට්‍ටුවෙන් ස්වාධීන වූ බව කියන කණ්ඩායමුත්ය. මේ අය සියලු දෙනාම රාජපක්ෂලාගේ පැවැත්මට සහයෝගය දෙනවාද? ඔව්, අඩු වැඩි වශයෙන්. තමතමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර වලට අනුකූලව එය පැහැදිලිව සිදුවෙමින් තිබේ. එතකොට ජාජබෙත් (ජවිපෙ) එහෙමද? ඔව්. ජාජබෙත් මේ මොහොතේ කරමින් සිටින්නේ මේ රාජපක්ෂ රෙජීමය බිඳ වැටීමට ඇති ඉඩ අහුරාලමින් සිය පාර්ශ්වික දේශපාලනික වුවමණාව දිනවීමට කටයුතු කිරීමය..

දැන් මහජන අරගලයේ මූලික සටන් පාඨය ජය ගැනීම, එනම් ගෝඨාභය ඇතුළු රාජපක්ෂලා තනතුරු අත් හැර දැමුවහොත් විය හැක්කේ කුමක්ද? ඉතිරිව සිටින පොහොට්‍ටු කණ්ඩායම කොහොමටත් සීසීකඩ වෙනු ඇත. ගොන් බාන බැඳ තැබූ කණුව කැඩී ගියා සේ වනු ඇත. එය අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. දැනටමත් ඒ ලකුණු පෙන්වමින් තිබේ. ඒ අනුව සිදුවනුයේ පාර්ලිමේන්තුවේ අනෙක් පක්ෂවලට එකතු වී අන්තර්වාර හෝ වෙන මොකක් හරි හරුපයකින් හෝ නමක් දමා ආණ්ඩු පාලනයක් බිහිකර ගැනීමය. මේ මොහොතේ හදිසි මැතිවරණයකට යෑම කළ නොහැක. එහෙම හැකියාවක් රටට නැත. දැනටමත් මේ නිල විපක්ෂ කොටස් ප්‍රකාශ කරන්නේ රාජපක්ෂලා ඉන්නා තුරු අන්තර්වාර පාලනයකට නොයන බවය. එහෙම නම් රාජපක්ෂලා නැති තත්වයක් තුළ අන්තර් පාලනයකට ඔවුන් යායුතුම වේ. එය මඟ හැරිය නොහැක.

අන්තර් පාලන කැරට් අලය

එහෙම අන්තර් පාලනයකට නිල විපක්ෂය යයිද? නැත. මේ මොහොතේ කිසිසේත්ම එහෙම හෝ පාලනයක් බිහිකර ගැනිමට මේ විපක්ෂය කල්පනා කරන්නෙ නැත. එයට බරපතලම හේතුව වන්නේ මේ මොහොතේ පවතින අර්බුදකාරිත්වය දිනෙන් දින, සතියෙන් සතිය, මාසයෙන් මාසය, අර්බුද පැටව් ගස්මින් මහා විශාල ඛේදවාචකයක් දක්වා යෑමට නියමිත නිසාය. විපක්ෂය සතුවත් අමුතු විසැඳුම් නැත. එම තත්වයන් හමුවේ අනාගතයේ සිදුවන අනතුරුවලට වගඋත්තර බඳින්න වෙන්නේ මේ අන්තර්වාර පාලනයට සම්බන්ධ වන සියලු දෙනාටය. මේ පවතින තත්වයන්ට වඩා තත්වයන් බරපතල වන විට මිනිස්සුම රාජපක්ෂලා හිටියා නම් මෙහෙම වෙන්නෙ නැති බව කියනු ඇත. එවිට විනාශ වන්නේ රාජපක්ෂලා නොව දැන් මේ සිටින විපක්ෂයයි. මේ නිසා අන්තර් වාර පාලනය ජනතාව හසුරුවන කැරට් අලය ලෙස ආණ්ඩු සහ විපක්ෂ කණ්ඩායම් පාවිච්චි කරමින් තිබේ.

ගොඩ එන දවස

මේ වන විට ආර්ථික අර්බුදය යම් කිසි මට්ටමිකින් හෝ කලමණාකරණය කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව වැනි ආයතන සහ වෙනත් මිතුරු රාජ්‍යයන් සමඟ සකච්ඡා කරමින්, සහයෝගය ගැනීමේ අපේක්ෂා සහිතව සිටියද, එම සහයෝගය ලැබුණත් සිදුවෙමින් පවතින කඩාවැටීම වලක්වා ගැනීමට ස්ථිරසාර ප්‍රතිකර්මයක් වන්නෙ නැත. එහෙත් කඩා වැටීමේ වේගය යම් තරමකට අඩු කරගැනීම නම් සිදු විය හැකිය. මේ කඩා වැටීම නතරකරගෙන යළි ගොඩ ඒමට තව සෑහෙන කාලයක් ගත වෙනු ඇත. වසර ගනනාවක්.., පහක්, දහයක්, විස්සක් වෙයිදැයි කිව නොහැකිය. එය සිහිනයක් පමණක් ද විය හැකියි.

ඒ කොහොම නමුත් මේ මොහොතේ පවතින දේශපාලන අධිකාරියෙහි හදිසි වෙනසක් සිදුවීම මඟින් ඒ ලැබිය හැකි අවස්ථා වුවද තාවකාලිකව හෝ අහිමි විය හැකිය. දේශපාලන ව්‍යකූලත්වයන් වර්ධනය වීම සමඟ ලැබිය හැකි සහයෝගයන් තවදුරටත් ප්‍රමාද විමද විම හැකිය. එසේ නොවෙනවා කියන සුබවාදී සිහින දකින්න හැකි තත්වයක් නැත. කොහොම නමුත් මේ අවධානම දරාගෙන මේක බාර ගනන් විපක්ෂය සූදානම් වන්නේ නැත.

මහමැතිවරණක් ඕන...

මේ වන විට විපක්ෂය හොර ගල් අහුල අහුලා ඉන්නේ මේ ගරා වැටෙන රාජපක්ෂ රෙජීමය ලවාම මේ අර්බුද කාරිත්වයන් යම් තරමකට හෝ සන්සිදුවාගෙන ඉදිරි මහ මැතිවරණයක් හරහා තමන්ගේ ගොඩ වැඩි කරගැනීම ගැන කල්පනා කරමිනි. ඔවුන්ගේ ඉලක්කය ඉදිරි මහා මැතිවරණයයි. ඒ හරහා ආණ්ඩු බලයක් පිහි‍ටුවා ගැනීම කෙසේ වෙතත් තමන්ගේ ගොඩ වැඩි කරගැනීම ඔවුන්ට මේ මොහොතේ වඩා වැදගත් දේශපාලනික කාරණව වී තිබේ. ඔවුන් වැඩ තෝරන්නේ ඒ අනුවය. ඒ අතර ආණ්ඩු පක්ෂ කණ්ඩායමද මේ වන විටත් බෙදීම් කිහිපයක්ම නිර්මාණ කර ගනිමින් සිටින්නේ ඉදිරි මහ මැතිවරණයක්දී තමන්ට සිදු විය හැකි හානිය අවම කරගැනීම වෙනුවෙනි. මෙය පැහැදිලිවම ව්‍යාජ රංගනයකි.

කොහොම නමුත් විපක්ෂයට තමන්ගේ ඉලක්කය ජය ගත හැකි මොහොත එළඹෙන තෙක් රාජපක්ෂවරුන්ගේ පැවැත්ම සහතික කර තැබීම අනිවාර්යයයෙන්ම විය යුතුය. මහජන අරගලය කෙතරම් තිව්රව බලපෑම් සහගතව සිදු වූවත් ඒ හරහා රාජපක්ෂවරු හදිසියේ ඉවත් වීමට තිබෙන ඉඩ අහුරාලීම කළ යුතුව තිබේ. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂගේ තනතුර රැකිය යුතුය.

විපක්ෂ සන්ධානය කෝ ?

මේ කිසිදු පක්ෂයක් මහජන අරගලයට ඓන්ද්‍රීවව සම්බන්ධ නොවීමට වගබලාගෙන තිබෙන බව මුල සිටම පැහැදිලි කරුණකි. එසේම මෙම මොහොතේ මහජන අරගලයේ සටන් පාඨය දිනවන්නට වඩාත්ම ඇවැසි කාරණය වන විපක්ෂයේ දේශපාලනික එකතුවකට හෝ යෑම ඔවුන් සිදු නොකරයි. අනාගතයේදී මැතිවරණ සංධානයකට එළඹුණොත් මිසක මේ මොහොතේ රාජපක්ෂවරු එළවීම වෙනුවෙන් මේ කිසිවකුත් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර අකුලා දමා පොදු මහජන වුවමණාව වෙනුවෙන් සන්ධාන ගත නොවෙයි. මේ නිසා රාජපක්ෂලාගේ පැවැත්මට තිබෙන ලොකුම අස්වැසිල්ල මේ විපක්ෂයේ දේශපාලන ස්ථාවරත්වයයි.

එතකොට ඉදිරි කාලය තුළ රට තව තවත් අර්බුදයට යමින් බරපතල ඛේදවාචක ඇතිකරන බව රාජපක්ෂලා නොදැනද ඉන්නෙ ? නැත. එය ඔවුන් හොඳාකරව දැනගෙන ඉන්නවාට සැක නැත. එසේනම් මේ මොහොතේ දේශපාලනයෙන් ඉවත් වීම මඟින් ඔවුන්ගේ අනාගත දේශපාලන පැවැත්ම (නාමල්ගේ හෝ) සුරක්ෂිත කරනු ඇති බව ඔවුන් දන්නවා ද? ඔව්. ඔවුන් මේ සියල්ල විපක්ෂයටත් වඩා හොඳින් අවබෝධ කරගෙන තිබේ. එසේනම් ඔවුන් මෙය තවම අල්ලාගෙන සිටීමට වලි කන්නේ ඇයි?

රාජපක්ෂලා ෆේල්ම නැත

ඉහතිනුත් සඳහන් කළ ලෙස ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් මේ රටම හෝ බිල්ලට දීමේ සූදානම ඔවුන් සතු නිසාය. ඔවුන්ගේ සුරක්ෂාව පිණිස රට වැසියාට අසීමිත කැපකිරීම් කරන්නට සිදුවෙනු ඇත. එහෙත් මහජනතාව දිගින් දිගටම අරගල කරනු ඇත. ඒ අතරම පවතින තත්වයන්ට හුරු වීමද වෙනු ඇත. එක එක දේශපාලන නූල් සුත්තර, විජ්ජා, සංදර්ශන පෙන්වමින් තත්වයන් සාමාන්‍යකරණය කිරීමට ඔවුන් උත්සහ ගනු ඇත. මේ වන විටත් එවැනි ඇතැම් පියවරයන්හී සාර්ථකත්වයන් යම් තරමකට තිබේ. ඔවුන්ට අවශ්‍ය ඒ සඳහා කාලය ගැනීමය. විපක්ෂයෙන් දේශපාලනික බාධාවක් නොවෙන තැන , මහජන අරගලය අදේශපාලනික විගඩමක් වෙන තැන, රාජපක්ෂලාට ඒ අවශ්‍ය කාලය සහ අවකාශයන් තවදුරටත් තමන්ගේ පැවැත්ම රැකගැනීමට සහය වෙනු ඇත.

ඒ අනුව මේ මොහොතේ හදිස්සියේ තනතුරු අත්හැර දේශපාලනයත්, පෞද්ගලික ජීවිතත්, අනාගතයත් අනතුරේ දමා ගන්නවාට වඩා හෙට දවසේදී තාවකාලික පසුබැස්සමකින් හෝ රාජපක්ෂලාට දේශපාලන භුමිය අහෝසි නොවෙන තැනක තබා ගැනීමට ඔවුන්ට හැකි වෙනු ඇත. එනම් රාජපක්ෂලාගේත්, පාර්ලිමේන්තු විපක්ෂයේත් පටු පාර්ශ්වික දේශපාලන සුත්තර නිසා තවදුරටත් රටේ ක්‍රියාත්මක වනු ඇත්තේ මජර ජරාජීර්ණ දේශපාලන ක්‍රමයමය පමණි.

ඒ වැලැක්විය හැකි වන්නේ මහජන අරගලයට නිවැරැදී දේශපාලන නායකත්වයක් සහ දේශපාලන වැඩපිළිවෙලක් ලැබේ නම් පමණි. එය අරගලය විසින්ම බිහිකරගැනීම සිදුවෙනු ඇතැයි සුබවාදී බලාපොරොත්තුව ඉතිරිව තිබේ. මන්ද මේ දක්වා අරගලය ඒ දෙසට ගමන්කරමින් තිබෙන නිසාය.

-සුජය

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us