8 වැනිදා සෞඛ්‍ය අමාත්‍යවරයා සහ වෘත්තීය සමිති අතර සාකච්ඡා පැවැතිය ද එය සාර්ථක නොවීය. එහිදී ලබා දිය හැකි ඉල්ලීම් මෙන්ම විසැඳුම් දීමට කාලයක් ගතවන ඉල්ලීම් ද ඇති බව අමාත්‍යවරයා පෙන්වා දී තිබිණි. එසේම මේ ඉල්ලීම් දෙස බලන විට පෙනෙන්නේ ඇතැම් ඒවා ප්‍රායෝගිකව ඉටු කළ හැකි ඒවා නොවන බවය. මෙම වැඩවර්ජනය මෙහෙයවන නායකයන් දෙස බලන විට එය වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලයක් ද එසේත් නැතිනම් ඔවුනොවුන්ගේ පටු දේශපාලන අරමුණු හා පෞද්ගලික න්‍යායපත්‍ර මුදුන් පමුණුවා ගැනීමේ වුවමනාවෙන් දියත් කළ වර්ජනයක් ද යන්න වටහා ගැනීම අසීරු නැත. මේ පිරිස මෙලෙස හැසිරෙන පළමු අවස්ථාව ද මෙය නොවේ. මේ වෘත්තීය සමිති නායකයන් කිහිප දෙනාගේ අතීත හා දේශපාලන භාවිතාව විමසන විට මේ වැඩවර්ජනයේ සැබෑ වුවමනාව පැහැදිලිය.
මේ ඉල්ලීම් අතර ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීමට ක්‍රියා කිරීම නිසා තමන්ට විෂමතාවක් ඇති වී ඇතැයි පවසමින් එය ඉවත් කිරීම, විශේෂ රාජකාරි දීමනාව රුපියල් 10,000/-ක් ලෙස ඉහළ දැමීම ද තිබේ. ගුරු වැටුප් විෂමතාව ඉවත් කිරීම නිසා තමන්ට විෂමතාවක් ඇතිවී ඇතැයි කියන මේ ඇතැම් වෘත්තීය සමිති නායකයෝ ඒ දිනවල ගුරු-විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කළ බව අපට මතකය. එසේ නම් දැන් ඔවුන් මේ කියන්නේ කුමක් ද? අනෙක් අතට ගුරුභවතුන් හෝ අනෙකුත් රජයේ සේවකයන් සමඟ මේ කියන සෞඛ්‍ය සේවාවල පඩිපත සසඳා බලන විට ඔය කියන තරම් පීඩනයක් මේ අයට තිබේදැයි පෙනෙනු ඇත. වැටුපට අමතරව අතිකාල ආදී දීමනා සමඟ ගණනය කරන විට ඔවුන්ගේ තත්ත්වය ඔවුන් කියන තරම් අයහපත් නැත. තවද වසංගත තත්ත්වය යටතේ සෞඛ්‍ය අංශවල කාර්යභාරය සැලකිල්ලට ගනිමින් රජය සෞඛ්‍ය සේවකයන් සඳහා විශේෂ දීමනාවක් පවා ලබා දීමට පියවර ගත්තේ වෙනත් වෘත්තීන්ගෙන් මැසිවිලි නැඟෙද්දී බව ද අමතක නොකළ යුතුය.
වෘත්තීය සමිති ව්‍යාපාරය අසීමිත ලෙස දේශපාලන පක්ෂ හා වුවමනාකම් සමඟ ගැටගැසී පවතී. එවැනි පසුබිමක වෘත්තීය අරමුණු මෙන්ම වෘත්තිකභාවය ද යටපත් වී පක්ෂ අරමුණු ඉහළට පැමිණ ඇති අයුරු දැකිය හැකිය. වෘත්තීය සමිති පිහිටුවීම, වෘත්තීය සමිතියක සාමාජිකත්වය දැරීම, වෘත්තීය අයිති දිනා ගැනීම වෙනුවෙන් සාධාරණ අරගල කිරීම වැනි දෑ ප්‍රජාතන්ත්‍රවාදී අයිති ලෙස පිළි ගැනේ. එසේ වුවද එදා සොච්චම් වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටි 80‘ වර්ජකයන්ට එවක පැවැති ආණ්ඩුව සැලකූ අයුරු ඉතිහාසයේ නොමැකේ. ඇතැම් වෘත්තීය අරගලවලදී ඉල්ලීම්වලට ප්‍රතිචාර ලැබුණේ බයිසිකල් චේන්වලිනි. අද එවැනි තත්ත්වයක් තිබේ ද? රජය වසංගතය පරාජය කිරීම සඳහා මහ සටනක යෙදී සිටියදී ඇතැම් වෘත්තීන් නියෝජනය කරන අය සිටියේ වීදියේ රජයට එරෙහි සටන්වලය. ආණ්ඩුව අපහසුවට පත්කිරීම, ආණ්ඩු විරෝධය මුල්කර ගනිමින් දියත් වූ මෙවැනි විරෝධතා වෛරය, ක්‍රෝධය මතින් ක්‍රියාත්මක වූ ඒවාය. ප්‍රායෝගිකව ඒවා නිසා අපහසුවටත්, පීඩාවටත් පත්වූයේ ද, පත්ව සිටින්නේ ද සාමාන්‍ය ජනතාවය.
බොහෝ දුරට රජයේ රෝහලකට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන්නේ සාමාන්‍ය ජනතාවය. ඔවුහු අඩු ආදායම්ලාභී හෝ පහළ මධ්‍යම පංතියට අයත් වෙති. සායන සඳහා මාසිකව පැමිණෙන පිරිසක් ද සිටිති. එදිනෙදා හදිසි ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණෙන රෝගීන් ද ඇතුළුව මේ සෑම රෝගියෙක් පාහේ මේ දිනවල දියත්ව ඇති වැඩවර්ජනය හේතුවෙන් අන්ත අසරණ භාවයට පත්ව සිටින අයුරු දැකිය හැකිය. වෛද්‍යවරුන් සිය කාර්යභාරය ඉටුකරමින් රෝගීන් පරීක්ෂා කිරීම, ඖෂධ නියම කිරීම ආදිය ඉටුකළ ද අනෙකුත් සත්කාරක සේවා අඩපණය. බෙහෙත් තුණ්ඩුවට රෝහලේ ෆාමසියෙන් බෙහෙත් නිකුත් නොකෙරේ. ඒවා වසා දමා ඇත. වෛද්‍ය පරීක්ෂණ කර ගැනීමට ද නොහැකි වී තිබේ. යහමින් මිල මුදල් ඇති අයට එහි බලපෑමක් නැතත් රජයේ රෝහලෙන් ප්‍රතිකාර ගන්නා ජනතාවට එය විශාල පීඩාවකි. හිරිහැරයකි. බරකි.
ජනතාව පත්වී සිටින අසීරුතාව වටහා ගනිමින් ඔසුසල් මඟින් ඖෂධ නිකුත් කිරීමට ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පියවර ගැනිණි. එය අගය කළ යුතු පියවරකි. එලෙස ඖෂධ ගැනීමට පැමිණෙන රෝගීන් මේ දිනවල ඔසුසල් ඉදිරිපිට පෝලිම් සැදී සිටින අයුරු දැකිය හැකිය. ඔවුන් රෝගීන් බව අප අමතක නොකළ යුතුය. පසුගිය දිනවල ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම් ආදිය දැක ජනතාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙළූ දේශපාලන පක්ෂ, කල්ලි, කණ්ඩායම් මෙන්ම මේ ඇතැම් වෘත්තීය සමිති නායකයෝ ද මේ පෝලිම් නුදුටුවා සේ සිටිති. මේ පෝලිම් සැදී ඇත්තේ තමන්ගේ ක්‍රියාකලාපය නිසා බව හොඳින්ම දන්නා මේ උදවිය ඒ පෝලිම් දෙස බලා අනේ අපොයි කියන්නේ නැත. කඳුළු වගුරන්නේ නැත. නීරෝගී මිනිසුන් රෝගී හා වැඩි වශයෙන් වයෝවෘද්ධ ප්‍රජාව මෙලෙස පෝලිම්වල දුක් විඳින්නේ අතිශය අසාධාරණ වැඩවර්ජනයක් හේතුවෙන්ය යන කාරණය පහසුවෙන් බැහැර නොකළ යුතුය.
උද්ගතව ඇති තත්ත්වය හමුවේ ජනතාවාදී රජයකට නිහඬව සිටීමට නොහැකිය. වර්ජනය හේතුවෙන් ජනතාව පත්ව ඇති අපහසුව පිළිබඳ අධිකරණය හමුවේ කරුණු දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉකුත් 10 වැනිදා වර්ජනය අත්හිටුවීම සඳහා රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට වාරණ නියෝගයක් නිකුත් කෙරිණි. ඒ ලබන 24 වැනිදා තෙක් ක්‍රියාත්මක වන පරිදිය. එය නිකුත් වූ පසුව හෙද නිලධාරීන්ගේ සංගමය තාවකාලිකව වර්ජනයෙන් ඉවත් විය. සෙසු වෘත්තීය සමිති තවමත් එය ඉදිරියට ගෙනයමින් සිටී. සෞඛ්‍ය වැඩවර්ජනය මෙලෙස දිග්ගැස්සෙමින් ඇත්තේ සෞඛ්‍ය, විදුලිය ආදී සේවා අත්‍යවශ්‍ය සේවා බව ප්‍රකාශයට පත් කරමින් රජය ගැසට් පත්‍රයක් නිකුත් කර තිබියදීය. හදිසි රෙගුලාසි යටපත් කර ඇති එම නියෝග උල්ලංඝනය කිරීම යනු සිරදඬුවම් ලැබීම, රැකියාව අහිමිවීම, දේපළ රාජසන්තක කිරීම ආදී දඬුවම්වලට ලක්විය හැකි වරදකි.
මෙහිදී රජය ගත් පියවර ජනතාව එකහෙළා අනුමත කරන බව පෙනෙන්න තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ලෙස රජය මෙම වෘත්තීය සංගම් ත්‍රස්තවාදයට මුහුණ දී ඇත්තේ නීතියට අනුවය. ගෙන ඇති පියවර ද නීතිමය පියවරය. අත්‍යවශ්‍ය සේවා නියෝග ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව නිකුත් වූ ඒවාය. වර්ජනය නිසා පීඩාවට පත් ජනතාව දැඩිව ඉල්ලා සිටියේ මේ අසාධාරණ ක්‍රියාමාර්ගය පාලනය කිරීම සඳහා පියවර ගන්නා ලෙසය. එක් අතකට වෘත්තීය අයිතීන් දිනා ගැනීමට මුවා වෙමින් පක්ෂ දේශපාලන න්‍යායපත්‍ර දිගහැරීම හා පෞද්ගලික අභිමතාර්ථ සාධනය කර ගැනීම සඳහා කටයුතු කිරීම සදාචාරාත්මක ද නැත. අනෙක් අතට එවැනි ක්‍රියාමාර්ගවලට නීතිමය රැකවරණයක් ලැබීමට හැකියාවක් ඇත්තේ ද නැත. වෘත්තීය අරගලයක යෙදෙන්නේ වෘත්තිකයන් නම් එහි යම් වෘත්තීයමය බවක් ද තිබිය යුතුය. කවර හෝ වෘත්තියකට එම වෘත්තීයමය භාවය ලැබෙන්නේ ටයි එකක් පැලඳීමෙන් නොවන බව විද්වත් වෘත්තිකයන් ලෙස පෙනී සිටින මේ වෘත්තීය සමිති නායකයන් තේරුම් ගත යුතු වේ. වෘත්තීය සමිති ව්‍යාපාරය ගැන හැදෑරීමට බොහෝ කරුණු කාරණා ඇති බව ද මේ කාඩ්බෝඩ් වීරයන් තේරුම් ගත යුතුය.
මෑත කාලීන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග විසින් විශේෂයෙන් පෙන්නුම් කරමින් ඇත්තේ දියුණු හා වෘත්තීයමය භාවයක් සහිත වෘත්තීය සමිති ව්‍යාපාරයක් මෙහි ගොඩනැඟී නැති බවය. මේ තරම් පහත් අන්දමින් පටු දේශපාලන අභිලාෂ මුදුන් පමුණුවා ගැනීම සඳහා වෘත්තීයමය අයිති වශයෙන් ලැබී ඇති ප්‍රජාතාන්ත්‍රීය නිදහස භාවිත කරමින් තිබීම අතිශය පහත් තත්ත්වයට ඇදවැටීමකි. එවැන්නක ඉදිරියෙන් හෝ පසුපසින් සිටින කවර දේශපාලන බලවේගයක්, පක්ෂයක් වුවද මේ ප්‍රදර්ශනය කරමින් සිටින්නේ සිය දේශපාලන බංකොලොත්භාවය මිස අනෙකක් නොවේ.
වෘත්තීය සමිති මාෆියාවක් ගොඩනැඟී ඇති අයුරු පසුගිය කාලය තිස්සේ දියත් වූ වැඩවර්ජන හා විරෝධතා මඟින් දිස්වේ. මෙවැනි වෘත්තීය සමිති නායකයන් තමන්ට නැති බලයක් ආරෝපණය කර ගනිමින් හැසිරෙමින් ඇත්තේ තමන් වීරයන් යැයි සිතාගෙන බව පෙනෙන්න තිබේ. සත්‍ය වශයෙන්ම ඔවුන් සිය වීරත්වය ප්‍රදර්ශනය කළ යුතු වන්නේ සිය වෘත්තීන් හෝ ආයතන නඟාසිටුවීමට කළ හැකි සියල්ල කිරීමෙනි. එවැනි භාවිතාවක් මේ වර්ගයේ වෘත්තීය සමිතිවලට නැති බව පැහැදිලිය. තම සේවා හා ආයතන වළපල්ලට රැගෙන යාම ඔවුන් තමන් විසින්ම බාරගෙන ඇති අයුරු දක්නට ලැබේ. කවර වෘත්තීය අයිතිවාසිකමක් වුවද ජනතා ආශීර්වාදයෙන් හෝ සහායෙන් තොරව දිනාගත නොහැකි බව සරල සත්‍යයකි.
ඕනෑම අයකුට තම දේශපාලන මත දැරීමට නිදහස තිබේ. එහෙත් එය වෘත්තීයමය ක්‍රියාමාර්ගවලදී භාවිත කළ යුතු ද යන්න සිතා බැලිය යුතු කාරණයකි. කෙසේවෙතත් වෘත්තීය සමිති රටක ඉදිරි ගමනට පිළිලයක් නොවිය යුතුව ඇත.
-පංචාලි