බොහොමයක් පදනමක් ඇති සාධනීය විවේචනයන්ය. මන්ද මේ සියලු රූපවාහිනී මාධ්‍ය හරහා දෘෂ්‍යමය හැකියාවන් යොදා ගනිමින් පැයකට අධික කාලයක් මුළුල්ලේ තමන්ගෙ රටේ ජනතාව අමතනු ලැබුවේ රටේ විධායක ජනාධිපතිවරයා නිසාය. ඒ ගැන තිබෙන උනන්දුව කිසිසේත්ම ලඝුකොට සැලකිය යුතු නොවේ.
සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා විසින්ම සමස්ත රට වැසියා ආමන්ත්‍රණය කරන්නේ විශේෂ තත්වයන් යටතේය. රට හමුවේ වන අභියෝග, ඛේදවාචක, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්කම් ආදි වශයෙන් රාජ්‍ය පාලකයා නැතිනම් රජය ලෙස ගන්න තීන්දු තීරණ රට වැසියාට සැලකියයුතු ලෙස බලපෑමකට ලක්වීම පදනම් කරගෙන රාජ්‍ය නායකයාට රටවැසියා ආමන්ත්‍රණය කිරීමට සිදුවේ. යම් අවිනිශ්චිත තත්වයන් යටතේ එය රටවැසියාද බලාපොරොත්තු වන්නකි.
මේ අනුව ඊයෙ දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිය රට වැසියා ආමන්ත්‍රණය කිරීමට සිදු වූයේ ඇයිද කියන වැදගත්ම කාරණාව ගැන මුලින්ම අවධානය යොමු කළ යුතුව තිබේ.
අද අපේ රට තවදුරටත් ඉදිරියට ගමන් කිරීම සම්බන්ධයෙන් ඉතිහාසයේ බරපතලම අභියෝගාත්මක තැනක තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත. ඊට බලපෑ හේතු ගනනාවකි. එය වත්මන් ජනාධිපතිවරයා ආණ්ඩුව හෝ රජයේ ක්‍රියාකාරිත්වය නිසා සිදු වූවක් නොවේ. සීමාවක් ලකුණු කළොත් 1948 නිදහසෙන් පසුව රාජ්‍ය පාලනය විසින් සිදු කරනු ලැබූ දේවල් හි ප්‍රතිපල ලෙස අද දවසේ අපට මුහුණ දීමට සිදුව තිබෙන අභියෝගය මූලිකය. එමෙන්ම එය විශාලත්වයෙන් වැඩිය. එම කාලය තුළ බලය හොබවනු ලැබු සහ නොලැබූ සියලු දේශපාලන පක්ෂ කණ්ඩායම් මීට අඩු වැඩි වශයෙන් දායක වී ඇත. ඒ ඇත්ත අප මුලින්ම පිළිගත යුතුය.
එම තත්වයන් නිවැරදි කිරීමට ගන්නා ඇතැම් උත්සාහයන් පවා අප අප විසින්ම පටු දේශපාලනික සහ පෞද්ගලික හේතු මත විනාශ කරගෙනද ඇත. මේ අප ජාතියක් ලෙසින් මුහුණ දෙන බරපතල ඛේදනීය තත්වයකි. ඒ අනුව මෙරටේ ජනතාවද අද මේ රට පවතින තත්වය ගැන අනියමින් හෝ වගකිව යුතුය.
වත්මන් පාලන යුගය ගැන කතාවට ආවොත් ජනාධිපති ගෝඨාභය බලයට පත්ව තවම වසර දෙකක් වූයේ නැත. ඊට සමගාමීව ආණ්ඩු බලයද එම පාර්ශ්වයට ලැබුණු අතර වසරක පමණ කාලයක සිට තුනෙන් දෙකකට ආසන්න පාර්ලිමේන්තු බලයද ආණ්ඩු පාර්ශ්වය සතුව තිබේ.
මේ කාලය තුල රට මුහුණ දෙනු ලබන අභියෝග ජය ගැනීමට මේ පාලක පාර්ශ්වය ගත් පියවරයන්ගේ සාර්ථකත්වය ගැන අප කතා කළ යුතුවන්නේ ඊට පෙර තිබුණු තත්වයන් නොසලකා හැර නොවේ. අනිවාර්යෙන්ම වත්මන් පාලකයාට පටන් ගන්න වෙන්නේම පෙර නැවතුන තැනින ඉදිරියටය. අතීතය, වර්තමානයට වෙනස් කළ නොහැකළ අතර වර්තමානයට කළහැකිවන්නේ අනාගතය සඳහා වන ගොඩනැංවීම්ය.
මේ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ වැඩ සටහන ' සෞභාග්‍යයේ දැක්ම ' ලෙස නම් කර තිබේ. ඔහු සහ ආණ්ඩුව වැඩ කිරීමෙහි පදනම එයය. එම වැඩ පිළිවෙල 69 ලක්ෂයක පමණ බහුතර ජනතාවක් දෙවරකදී අනුමත කර පිළිගන්න ලද්දකි.
අප දැන් ජනාධිපතිවරයා හෝ ආණ්ඩුව විවේචනට ලක්කළ යුතු වන්නේ එම වැඩපිළිවෙල ප්‍රකාරව එම කටයුතු සිදුවෙනවාද ඒවායේ සාර්ථතත්වයන් තිබෙනවාද කියන පදනමෙහි සිට මිස වෙනත් පක්ෂයකය කණ්ඩායමක හෝ එක් එක් පෞද්ගලික මතවල සිට නොවේ. මන්ද ඒ මත සියල්ල පරාජය වී ඇති නිසාය. බහුතර ජනතාවක් ඒ මත ප්‍රතික්ෂේප කර ඇති නිසාය.
සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් කිරීම වෙනුවෙන් රාජ්‍යය ගෙන තිබෙන පියවරයන් ඊට මුහුණ දෙන්න වූ බාධක, අභියෝගයන්, අනපේක්ෂිතව පැමිණුන ගැටළු ආදී සියල්ල එකමත තබා එහි සාර්ථකත්වයන් අගයමින් අප සාකච්ඡා කළ යුතුය. ඊයේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ඔහුගේ පාර්ශ්වයෙන් ඒ ගැන තිබෙන ප්‍රගති සමාලෝචනයයයි. මේ මොහොතේ එය රට හමුවේ තැබීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කරනු ලැබුවේ දිගින් දිගටම රජය විවේචනයට ලක් වෙමින් අසාධාරණ පදනම් විරහිත චෝදනා රැල්ලක්ම මතුවෙමින් පවතින තත්වයක් මතය. මේ නිසා රට වැසියා නොමඟ යෑමක් සිදුවෙමින් තිබෙන බවත් පෙනෙන්නට තිබුණකි.
මේ නිසා කිසිවකුත් අගතියකට පත් නොවෙන්න සාධනීය සාකච්ඡාවකට සංවාදයකට අත්‍යාව්‍යශම පදනම ජනාධිපතිවරයා විසින් දැන් දමා දී තිබේ. තැනින් තැන පාළු අම්බලම්වල වළං බිඳිනවා වගේ විවේචන ඉදිරිපත් කර කර ඉන්නවාට වඩා ජනාධිපතිවරයා විසින් මේ දමා දුන් පදනම මත සිට මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යෑම වඩා සුදුසුම දේ වෙයි. එය රටට වගකියන සියළු පාර්ශ්වල යුතුකම වේ.
ජනාධිපතිවරයා විසින් දීර්ගව කරුණු පැහැදිලි කිරීමක් සිදු කළද ඒ කෙටියෙන් සාරංශ ගත කළහොත් ඔහු තදින්ම කියා තිබෙන්නේ කවර තත්වයක් මත වූව ඔහු විසින් ඉදිරිපත්කර තිබෙන සෞභාග්‍යයේ දැක්ම සාර්ථකත්වය කරා ගෙන යන බවය.එහිදී රජය විසින් ක්‍රියාත්මක කරන්න පියවරයන් ගැන ඔහු සඳහන් කරයි.
එහෙත් මේ සියල්ල කරන්න සිදුවූයේ කොරෝනා වසංගතය නිසා රට ලෝකය දැවැන්ත අවුලකට පත්කරමින් තිබියදීය. මේ වසංගත තත්වය නිසා විශේෂයෙන්ම රටේ ආර්ථිකයට එල්ලකර තිබෙන බලපෑම මේ රට කිසිදා මුහුණ නොදුන් තරමේ අභියෝගයකි. විශේෂයෙන්ම විදේශ සංචිත අර්බුධය ප්‍රබලය. රටේ ණයබර විසින් දැන් ලබාදෙන පීඩනය දරා ගැනීමට අසීරුය. මේ නිසා රට ආර්ථික වශයෙන් බංකොළොත් වීම වලක්වාගැනීම වෙනුවෙන් ආර්ථිකය හැසිරවීමේ දී අසීරු අමාරු තීරණ ගන්නට සිදුව තිබෙන බව පැහැදිලි කරුණකි.
දැන් කොරෝනා තත්වය හමුවේ එය මර්දනය කරමින් වත්මන් රජය කටයුතු කළ සහ කරමින් සිටින ආකාරය වැරදිද නැද්ද, අඩුපාඩු මොනවාද, කළයුත්තේ කුමක්ද යන්න ආදිය අපිට කතා කළහැක. රජය විවේචනයට ලක්කරන විපක්ෂ කණ්ඩායම් විසින් දැන් නිශ්චිතව ජනාධිපතිවරයාට පිළිතුර දිය යුතුය. අරක නෑ මේක නෑ කියන නහයෙන් හැඬීම් වෙනුවට ඕක වැරදි මේක තමයි හරි, කියන එක ඔවුන් කරුණු සාධක සහිතව පෙන්වා දිය යුතුය. රජයේ උත්තරය කුමක්ද කියා ඇසීම නොව රජයේ උත්තරය වැරදී නම් තමන් සතු උත්තරය හෙළි කළ යුතුය. අපි බලයට ආවාම කොරන හැටි පෙන්නනම් කියන තක්කඩි විසුළු සහගත කතා අද වලංගු නැත.
එහෙත් අද විපක්ෂයට මේ කිසිවක් සඳහා උත්තර නැති බව මේ කාලය තුළදී නම් පෙන්වා නැත. අඩුම තරමින් රට මුහුණ දෙමින් තිබෙන ගැටළු අර්බුධ ගැන හෝ අවබෝධයක් ඔවුන් සතුව තිබෙන බවක් හෝ පෙන්වා නැත. එතැනින් වෙනස් පරිණතභාවයක් පෙන්වමින් සිටින්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පමණක් බව ඔහු ඊයේ පෙරේදා පාර්ලිමේන්තුව හමුවේ කළ කෙටි දේශණයේ දී ඔප්පු කළේය. ඔහුගේ විසදුම් බාර ගැනීම හෝ නොගැනීම ගැන රජයට කල්පනා කළහැකිය. එසේම රාජ්‍ය පාලනයේදී විපක්ෂයේ භූමිකාව විය යුත්තේ කුමක්ද කියන එක ගැන විපක්ෂයට අව්‍යශ්‍යනම් රනිල්ගෙන් ඉගෙන ගතහැක.
කොහොම නමුත් රට වැසියා දැන් මේ නිල විපක්ෂයේ උත්තර අපේක්ෂා කළ යුතුය. රජය ඉවක් බවක් නැතිව විවේචනය කරන වෙනත් පුද්ගලයන් පුද්ගල කණ්ඩායම් කළයුත්ත ගැන මනස්ගාත නොකියවා පදනමක් ඇතිව කරුණු සාධක මත සමස්තය ගලප්පා උත්තර දියයුතුය. රට වැසියා ඔවුන්ට ඒ සඳහා බලකර ඒ අසා දැනගත යුතුය. ජනාධිපතිවරයා ඊයේ පෙනී සිටියේ මේ රට වැසියා වෙනුවෙනි. ආමන්ත්‍රණය කළේ මේ රට වැසියාවය. ඔහු එහිදී රට වැසියා වෙනුවෙන් විපක්ෂ කොටස්වලට ලබාදුන් අභියෝගයය වූයේ හැකිනම් රට වැසියාට උත්තර දෙනු කියන එකය.
ඒ පසෙකින් තබා රූපවාහිණි තාක්ෂණය ගැන, වීඩියෝ සංස්කරණය ගැන ,සංනිවේදන ක්‍රම ගැන, මාධ්‍ය ප්‍රචාරණය ගැන ආදී අධ්‍යාපනික සාකච්ඡා ඉදිරියට ගැනීම රටේ ගැටළුව විසඳන්න තබා එය හඳුනාගන්නවත් ප්‍රමාණවත් නැති බවත් කිව යුතුය.
- the novemberist