එවකට කරන ලද පර්යේෂණවල ප්‍රතිපළ පාදක කරගනිමින් අභයගුණවර්ධන මහතා මෙම බව අද 'දිවයින'ට ලියා ඇති සටහන පහත දැක්වේ.
ශ‍්‍රී ලංකාව, ලොව වසවිස නැති පළමු රට බවට පත් කිරීම
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිය සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව රසායනික ගොවිතැනේ සිට කෘෂි රසායනවලින් තොර ගොවිතැන දක්වා ශ‍්‍රී ලංකාව රැගෙන යෑමට කැබිනට් පත‍්‍රිකාවක් සම්මත කර, එම අරමුණ ඉටු කර ගැනීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත. තවද වහාම ක‍්‍රියාත්මක වන පරිදි කෘෂි රසායන ශ‍්‍රී ලංකාවට ගෙන්වීම තහනම් කිරීමට ද කටයුතු කර ඇත. අනතුරුව ශ‍්‍රී ලංකාද්වීපය, ලොව වසවිස නැති පළමු රට බවට පත් කිරීම තමාගේ ඉලක්කය බව ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප‍්‍රකාශයට පත් කළේය.
මෙම පියවරේ හොඳ නරක ගැන දැන් සංවාදයක් ඇති වී තිබේ. විවිධ අය මෙම ක‍්‍රියාමාර්ගයට පක්ෂව හා විපක්ෂව විවිධ කරුණු ඉදිරිපත් කරමින් සිටිති. රසායනික කෘෂිකර්මය මගින් ලබාගන්නා අස්වැන්න පාරම්පරික කාබනික ගොවිතැන මඟින් කිසිසේත්ම ලබා ගැනීමට නොහැකි බව මෙම යෝජනාවට විරුද්ධ අය දැඩිව කියා සිටිති: මහන්සිය වැඩියි; වියදම වැඩියි; අස්වැන්න අඩුයි. රජයේ මෙම තීරණයට පක්ෂව අදහස් දක්වන අය පාරම්පරික කාබනික ගොවිතැන වර්ණනා කරමින් සිටිති. එහෙත් සාම්ප‍්‍රදායික කාබනික ගොවිතැනට, රසායනික කෘෂිකර්මය පෑ ප‍්‍රාතිහර්යයන් කළ නොහැකි බව නොරහසකි. ඒ නිසා සාම්ප‍්‍රදායික කාබනික ගොවිතැන හා රසායනික ගොවිතැන සංසන්දනය කරමින් කාලය කා දැමීම තේරුමක් නැති වැඩකි.
රසායනික කෘෂිකර්මාන්තයේ හොඳ ප‍්‍රතිඵල රැක ගනිමින් එහි විනාශකාරී අනිටු විපාක
වළක්වාගැනීමට ඇති විසඳුම සාම්ප‍්‍රදායික කාබනික ගොවිතැන නොව නවීන ජෛවවිද්‍යාත්මක ගොවිතැනයි. නවීන ජෛවවිද්‍යාත්මක ගොවිතැන, යුරෝපයේ ස්කැන්ඩිනේවියානු රටවල පමණක් නොව ජපානය, කොරියාව, චීනය ආදී ආසියාතික රටවල ද වේගයෙන් දියුණු වෙමින් පවතී. ශ‍්‍රී ලංකාවේ ද එය මහා පරිමාණයෙන් සාර්ථක ලෙස අත් හදා බලා ඇත. ඒ ‘වසවිස නැති රටක්’ වැඩසටහන හරහාය. මෑත ඉතිහාසයේ ශ‍්‍රී ලංකාවේ කෘෂි රසායනවලින් තොර ගොවිතැන පිළිබඳව දියත් වූ දැවැන්තම මෙහෙයුම වූයේ මෙම ‘වසවිස නැති රටක්’ වැඩසටහනයි. හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුව දියත් වූ මෙම වැඩසටහන මෙහෙයවූයේ ජනාධිපති කාර්යාලයයි. ඉදිරියේ දී දියත් වන ඕනෑම වැඩසටහනක් එම ‘වසවිස නැති රටක්’ වැඩසටහනින් උගත් පාඩම් මත පදනම්ව සම්පාදනය විය යුතු බව සක්සුදක් සේ පැහැදිලිය.
වසවිස නැති රටක් වැඩසටහන සම්පාදනය කළේ රටේ සිටි කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්, කාබනික ගොවිතැනේ වසර ගණනාවක් තිස්සේ යෙදී සිටි ගොවීන්, ජෛවවිද්‍යාත්මක පොහොර හා පලිබෝධ පාලක නිෂ්පාදකයන්, රසායනික ගොවිතැනේ යෙදී සිටින ගොවීන්, හා කෘෂිකර්ම ක්ෂේත‍්‍රයට සම්බන්ධ රජයේ නිලධාරීන් සමඟ මාස හයක් පමණ තිස්සේ සිදු කළ සාකච්ඡා හා සංවාදවලින් ගොනු කරගත් තොරතුරු විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවය. එහිදී ජනාධිපති කාර්යාලය විසින් නවීන ජෛවවිද්‍යාත්මක ගොවිතැන මත පදනම්ව වසවිස නැති ශ‍්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් සකස් කළ අතර මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාගේ ඉල්ලීම අනුව එම වැඩසටහන වසර තුනකින් සම්පූර්ණ කළ හැකි වන පරිදි කඩිනම් වැඩසටහනක් සේ යළි සකස් කර ‘වසවිස නැති රටක් - තුන් අවුරුදු, දස වැදෑරුම්, ජාතික සැලැස්ම’, 2016 මාර්තු මස දී එළිදක්වනු ලැබීය. මෙම වැඩසටහන වසර දෙකක් පුරා සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමෙන් පසු ලැබූ අත්දැකීම් සම්පිණ්ඩනය කර ‘වසවිස නැති රටක් වෙනුවෙන් එක් වෙමු.’ යන ප‍්‍රකාශනය ද 2018 මැයි මස එළිදක්වනු ලැබීය.
අජීවී පස, සජීවී කරන නවීන ගොවිතැන
නවීන ජෛවවිද්‍යාත්මක ගොවිතැනේ දී සිදු කරනු ලබන්නේ අප වගාකරනු ලබන බෝගයෙන් උපරිම අස්වැන්නක් ලබාගැනීමට හැකිවන පරිදි ඉංග‍්‍රීසියෙන් ‘රයිසොස්ෆියර්’ යනුවෙන් හඳුන්වන පාංශු ක්ෂුද්‍රජීවීගෝලය (ගොවිබිමේ මතුපිට ඇති සජීවී පස් තට්ටුව* වැඩිදියුණු කර ගැනීමයි. මෙහි දී බෝගයට හිතකර වන්නා වූ ඇසට පෙනෙන, හා නොපෙනෙන සියලූ ජීවීන් හට උපරිම ලෙස බෝවීමට සුදුසු පරිසරයක් පාංශු ක්ෂුද්‍රජීවීගෝලයෙහි නිර්මාණය කෙරේ. රසායනික ක‍්‍රමයේ දී කෘෂි රසායන සපයන සමාගම් විසින් දශක පහක් පුරා සහාසික ලෙස මරා දැමූ රයිසොස්ෆියරයට එනම් අපේ සරු පසට යළි පණ දීම නවීන ජෛවවිද්‍යාත්මක ගොවිතැනේ ඒකායන පරමාර්ථයයි.
කෘෂි රසායන සමාගම් පරදවා ජය ලැබූ ක්ෂුද්‍රජීවීන්
රසායනික ක‍්‍රමයට පොහොර හදන්නේ දැවැන්ත කෘෂි රසායන සමාගම්ය. ජෛවවිද්‍යාත්මක ක‍්‍රමයට පොහොර හදන්නේ ඇසට නොපෙනෙන ඒ වෙනුවෙන් සුවිශේෂී හැකියාවක් ඇති ක්ෂුද්‍රජීවීන්ය. කෘෂි රසායන සමාගම් යූරියා පොහොර හදන්නේ වායුගෝලයේ ඇති 78% ක් පමණ වූ නයිට‍්‍රජන් වායුවෙනි. නවීන ජෛවවිද්‍යාත්මක ගොවිතැනේ දී ද ක්ෂුදුජීවීන්, ගසට අවශ්‍ය කරන නයිට‍්‍රජන් ලබා දෙන්නේ වායුගෝලයේ ඇති නයිට‍්‍රජන් වායුව භාවිතයෙනි. ඒ නිසා කිසිදු ලෙසකින් නයිට‍්‍රජන් හිඟයක් ඇතිවන්නේ නැත. කෘෂි රසායන සමාගම් පොස්පරස් හා පොටෑසියම් පොහොර සපයන්නේ පොස්පරස් හා පොටෑසියම් නිධිවල ඇති පස්වලිනි. පොස්පරස් හා පොටෑසියම් සපයන ක්ෂුදුජීවීන් ද ඒ සඳහා අමුද්‍රව්‍ය සොයාගන්නේ එම මූලද්‍රව්‍ය බහුලව ඇති පස්වලිනි. ඒ නිසා N-P-K සඳහා ජෛවවිද්‍යාත්මක පොහොර හිඟයක් ඇති වීමට ඉඩක් නැත. ඇත්ත වශයෙන්ම හිඟය ඇත්තේ පොහොරවල නොව ක්ෂුද්‍ර ජීවීන්ගේය. පසුගිය වසර 50-60 තිස්සේ කෘෂි රසායන සමාගම් විසින් පස සරු කරන මේ සුවිශේෂී හැකියාවන් ඇති ක්ෂුද්‍රජීවී විශේෂයන් සියල්ල විනාශ කර දැමිණි. ජෛව පොහොර සමාගම් දැන් සිදු කරන්නේ එම සුවීශේෂී හැකියාවන් ඇති ක්ෂුද්‍රජීවී විශේෂයන් වෙන් වෙන්ව රැගෙන රසායනාගාර තුළ මහා පරිමාණයෙන් බෝකර ගොවිබිම්වලට සැපයීමයි. එමෙන්ම එම ජීවීන්ට වාසය කිරීම සුදුසු පරිසරයක් නිර්මාණය කර දීමයි. යම් හෙයකින් පොස්පරස් හා පොටෑසියම් ගොවිබිමේ හිඟ නම් ඒවා නිපදවීම සඳහා ක්ෂුද්‍රජීවීන්ගේ ආහාරය සඳහා ශ‍්‍රී ලංකාව සතු ස්වාභාවික සම්පත් වන රොක් පොස්පේට් හා ෆෙල්ස්පා ද යොදාගත හැකිය.
ජෛව විද්‍යාත්මක ගොවිතැනේ දී ගොවිබිම, පරිසර පද්ධතියක් ලෙස වැඩි දියුණු කෙරේ; බහුබෝග වගාවේ යෙදේ; නවීන ජෛවවිද්‍යාත්මක ඝන හා දියර පොහොර ගොවිබිමට යොදයි; වල් පැළ වැඞීමට ඇති ඉඩකඩ අහුරයි; පසේ පොහොර විනාශ වී යා නොදී රැුකගනී; පලිබෝධ පාලනය සඳහා ජෛවවිද්‍යාත්මක ප‍්‍රයෝග භාවිතා කෙරේ; ශාක ශක්තිමත් ලෙස වැඞීමට සැලැස්වීමෙන් කෘමි හා දිලීර උවදුරු අවම කරයි; ජලය, සූක්ෂම ලෙස කළමනාකරණය කරමින් බෝගයේ අස්වනු වැඩි කරයි; අඛණ්ඩව වසර පුරාම වගා කළ හැකි තත්ත්වයක් නිර්මාණය කරයි; පලිබෝධ පාලනය සඳහා දැල්, වසුනු, උගුල් වැනි නවීන යාන්ත‍්‍රික ක‍්‍රම භාවිතා කෙරේ. ජෛවවිද්‍යාත්මක ගොවිතැනේ අපූර්වත්වය නම් දශක ගණනාවක් තිස්සේ රසායනික ගොවිතැන් ක‍්‍රම නිසා විනාශ වූ ගොවිබිම්වල පවා ඊළඟ කන්නයේදීම රසායනික ගොවිතැනට සමාන හෝ වැඩි අස්වැන්නක් ලබාගැනීමට හැකි ලෙස සංවර්ධනය කිරීමට ඇති හැකියාවයි.
අපේ රටට හරියටම ගැලපෙන ගොවිතැන
ජෛවවිද්‍යාත්මක ගොවිතැන සඳහා වඩාත් සුදුසු වන්නේ ජෛව විවිධත්වය වැඩි, වසර පුරාම හිරු එළිය වැටෙන, නිවර්තන කලාපීය රටවලට ය. ශ‍්‍රී ලංකාව ද නිවර්තන කලාපීය රටකි. එමෙන්ම වාර්ෂිකව මෝසම් සුළං දෙකකින් ද ආශිර්වාදය ලබන රටකි. එසේ වුවද අවාසනාවකට මෙන් පසුගිය දශක කිහිපය පුරාම ජෛවවිද්‍යාත්මක ගොවිතැන පිළිබඳව ප‍්‍රමාණවත් තරම් පර්යේෂණයන් ශ‍්‍රී ලංකාවේ සිදුවී නැත. එසේ හෙයින් රටේ කෘෂිකර්ම විශේෂඥයින් බොහොමයකට හා ව්‍යාප්ත සේවා නිලධාරීන් අති බහුතරයකට ජෛවවිද්‍යාත්මක ගොවිතැන පිළිබඳව ප‍්‍රමාණවත් දැනුමක් නොමැත. එබැවින් ඔවුහු කෘෂිරසායන විකුණන බහුජාතික සමාගම්වල ගැත්තන් බවට පත්ව, මේ වනවිට යල් පැනගොස් ඇති රසායනික කෘෂිකර්මය තවමත් ප‍්‍රවර්ධනය කරන ඒජන්තවරුන් බවට පත්ව සිටිති. ජනාධිපතිතුමාගේ ස්ථිරසාර තීරණය විවේචනය කරන අය සියලූම දෙනාට නවීන ජෛවවිද්‍යාත්මක කෘෂිකර්මය ගැන හා ඉන් පෑ හැකි ප‍්‍රාතිහාර්යයන් ගැන නිසි අවබෝධයක් නොමැති බව හෙළිදරව් වේ. ඔවුන් කථා කරන්නට, කථා කරන්නට ඔවුනගේ නොදැනුවත්කම වඩාත් හොඳින් පෙනෙන්නට පටන්ගනී. කණ කොක් සුද පෙනෙන්නේ ඉගිලෙන විටය.
මහ දෙවොලට රිංගූ ට්‍රෝජන් අශ්වයා...
වසවිස නැති රටක් වැඩසටහන දියත් වූ සමයේ සිටි කෘෂිකර්ම අමාත්‍යවරයා වූ දුමින්ද දිසානායක මහතාගේ උපදෙස් පරිදි 2017-18 මහ කන්නයේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ජනාධිපති කාර්යාලය එක්ව ‘ජෛව විද්‍යාත්මක වී ගොවිතැන’ හා ‘රසායනික ගොවිතැන’ අතර සංසන්දනාත්මක අධ්‍යනයක් සිදු කරනු ලැබීය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුව ඇති වී පර්යේෂණ මධ්‍යස්ථාන හතරේ, පර්යේෂණ ඒකක 5 ක් ස්ථාපිත කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනික නිර්දේශය වූ ‘යාය-2’ ත් ජනාධිපති කාර්යාලයයේ ‘ජෛවවිද්‍යාත්මක’ නිර්දේශයත් අතර සංසන්දනාත්මක පර්යේෂණයක් සිදුකෙරිණි. ඒ අනුව කෘෂිකර්මයේ මහදෙවොල වූ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ, බෝම්බුවල, සමන්තුරේ හා පරන්තන් යන සහල් පර්යේෂණ මධ්‍යස්ථාන 4 තුළම මෙම ‘රසායනික ගොවිතැන’ හා ‘ජෛවවිද්‍යාත්මක ගොවිතැන’ අතර සංසන්දනාත්මක පර්යේෂණය සිදු කිරීමේ දුර්ලභ අවස්ථාව උදාවිය. මේ සඳහා දේශීය පාරම්පරික බීජ නොව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් රසායනික ගොවිතැන සඳහා නිර්දේශ කර තිබූ වැඩිදියුණු කළ වී ප‍්‍රභේදම මෙම සංසන්දනාත්මක පර්යේෂණය සඳහා ද යොදා ගනු ලැබීය.
ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ රසායනික ගොවිතැනේ නිරත වූ දිස්ත‍්‍රික් 9 ක ගොවීන් 200ක ගේ කුඹුරුවල ද පර්යේෂණ ඒකක 200 ක ස්ථාපිත කර මෙම පාලිත පරික්ෂණ ආරම්භ කරන ලදී. ඉන් ඒකක 151 ක පර්යේෂණය සාර්ථකව අවසන් කරනු ලැබීය. එහිදී ද ජනාධිපති කාර්යාලයයේ ‘ජෛව විද්‍යාත්මක නිර්දේශය’ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ‘යාය-2 රසායනික නිර්දේශය’ එකම කුඹුරේ පිහිටි වර්ග මීටර් 100 ක් බැගින් වූ ලියැදි දෙකක වගා කෙරිණි.
රසායනික කෘෂිකර්මයේ රෙදි ගැලවේ...!
වසවිස නැතිව පළමු කන්නයෙන්ම වැඩි අස්වැන්නක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මධ්‍යස්ථානවල පැවති ආදර්ශන 5 න් 3 කම වසවිස නැති ජෛවවිද්‍යාත්මක නියැදියේ අස්වැන්න, යාය-2 රසායනික නියැදියේ අස්වැන්නට වඩා වැඩි විය. එක් ආදර්ශනයක නියැදි දෙකේම අස්වනු සමාන විය. එක ආදර්ශනයක පමණක් ජෛවවිද්‍යාත්මක ගොවිතැනේ අස්වැන්න, රසායනික ගොවිතැන් නියැදියට වඩා අඩු විය. එනම් පළමු කන්නයේ ම රසායනික ගොවිතැනට වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට ජෛවවිද්‍යාත්මක ගොවිතැනට හැකි බව තහවුරු විය. දිස්ත‍්‍රික්ක 9ක කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් තෝරාගත් ගොවීන් 151 දෙනෙක් සමඟ සම්පූර්ණ කළ පර්යේෂණයේ ප‍්‍රතිඵල අනුව ගොවීන් 76 කගේ එනම් 50% කගේ ජෛවවිද්‍යාත්මක ගොවිතැනේ අස්වැන්න රසායනික ගොවිතැනේ අස්වැන්නට වඩා වැඩි විය. තවත් ගොවීන් තිදෙනෙකුගේ ජෛවවිද්‍යාත්මක ගොවිතැනේ අස්වැන්න, රසායනික ගොවිතැනේ අස්වැන්න හා සමාන විය. අනෙක් ආදර්ශන 72 හි රසායනික ගොවිතැනේ අස්වැන්න, ජෛවවිද්‍යාත්මක ගොවිතැනට වඩා වැඩිවිය. එනම් පර්යේෂණ මධ්‍යස්ථානවලදී මෙන්ම ගොවි ජනතාව සමඟ කරන ලද අත්හදාබැලීම්වලදී ද ජෛවවිද්‍යාත්මක ගොවිතැන පළමු කන්නයේ දීම ඉතා සාර්ථක ප‍්‍රතිඵල ලබාදෙන බව සනාථ කර ඇත.
වසවිස නැති ගොවිතැන - වියදම අඩුයි. ශ‍්‍රමය අඩුයි. යෙදවුම් අඩුයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ මධ්‍යස්ථාන හතරෙහි පැවති ආදර්ශන 5 න් 4 ක දී ම වස විස නැති ජෛවවිද්‍යාත්මක ගොවිතැනෙන් එක වී කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා වැය වන වියදම, රසායනික ක‍්‍රමයට වී කිලෝවක් නිෂ්්පාදනය කිරීම සඳහා වැය වන වියදමට වඩා අඩු විය. එමෙන්ම පර්යේෂණ ආදර්ශන හතරක දී ජෛවවිද්‍යාත්මක ගොවිතැන සඳහා අවශ්‍ය වූයේ, රසායනික ගොවිතැනට වඩා අඩු ශ‍්‍රමයකි. එක් ආදර්ශනයක දී පමණක් රසායනික හා ජෛවවිද්‍යාත්මක ගොවිතැන් දෙවර්ගයටම සමාන ශ‍්‍රම දින ගණනක් අවශ්‍ය විය. ඒ අනුව ජෛවවිද්‍යාත්මක ගොවිතැන සඳහා ගොවියාට අතිරේක ශ‍්‍රමයක් අවශ්‍ය නොවන බව ද මෙම පර්යේෂණයේ දී තවදුරටත් තහවුරු වී තිබේ.
වසවිස නැති වී ගොවීන් 5000 ක්...!
වසවිස නැති රටක් වැඩසටහන යටතේ ලියාපදිංචි වූ වී ගොවීන් සඳහා රජය, පැලවත්ත සීනි කර්මාන්ත ශාලා භූමියේ දී 2017-18 මහ කන්නය සඳහා ජෛවවිද්‍යාත්මක ඝන පොහොර කිලෝ මිලියන 10 ක් ද ජෛවවිද්‍යාත්මක දියර පොහොර ලීටර් ලක්ෂ 1 ක් ද නිෂ්පාදනය කර ගොවීන් හට ලබා දුන්නේය. 2017-18 මහ කන්නයේ දී ත‍්‍රිකුණාමල දිස්ත‍්‍රික්කයේ පමණක් වසවිස නැති රටක් වැඩසටහනේ නියමුවෙකු වූ ප‍්‍රියන්ත පතිරණ මහතා ගේ නායකත්වයෙන් වී ගොවීන් අක්කර 3150 ක් පමණ ජෛවවිද්‍යාත්මක ක‍්‍රමයට වගා කළ අතර ඉන් 30% කම අස්වැන්න රසායනික ක‍්‍රමයට වඩා වැඩි විය. තවත් 30% ක අස්වැන්න රසායනික ක‍්‍රමය හා සම මට්ටමක පැවතිණි. ජෛවවිද්‍යාත්මක ක‍්‍රමය යටතේ වගා කළ ගොවීන්ගෙන් සිය අස්වැන්න, රසායනික ක‍්‍රමයට වඩා සැලකිය යුතු ලෙස අඩු වූයේ 10% ක ගේ පමණි.
2017-18 මහ කන්නයේ දී ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ හා මහවැලි බී කලාපයේ වී ගොවීන් 5000 ක් විසින් වසවිස නැතිව වැඩිදියුණු කළ බීජ එනම් කීරි සම්බා, සම්බා සහ නාඩු භාවිතයෙන් වී කිලෝ මිලියන 10 ක් නිපදවූ අතර ඉන් සහල් කිලෝ මිලියන 6 ක් පමණ සකසා සුපිරි වෙළෙඳ සල් වල ‘වසවිස නැති රටක්’ ලේබලයෙන් අලෙවි කෙරිණි. ඊට අමතරව කාබනික ක‍්‍රමයට දේශීය පාරම්පරික බීජ වගා කළ ගොවීන්ගේ අස්වනු ද සිවිල් ආරක්ෂක බලකායේ මැදිහත් වීමෙන් සාර්ථකව රටපුරා අලෙවි කෙරිණි. ‘වසවිස නැති රටක්’ ලේබලයෙන් අදටත් සිවිල් ආරක්ෂක බලකාය විසින් එවැනි සහල් අලෙවිය සිදුකරන බව දැනගන්නට ඇත.
-අශෝක අභයගුණවර්ධන
හිටපු සභාපති, වසවිස නැති රටක් ජාතික වැඩසටහන
උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය