ගෝඨා යන්නේ හමුදා පාලනයකට ද ? Featured

Saturday, 02 January 2021 12:44

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කිරීමටත් පෙර සිටම ගෝඨා ආවොත් හමුදා පලනයක්, මිලිටරි පාලනයක්, හිට්ලර් පන්නයේ පාලනයක් ඇතිවෙනු ඇතැයි කියන මතය බරපතල ලෙස සමාජ ගත් වී තිබිණි.

එවකට රාජපක්ෂ විරෝධීන් එම මතය සමාජ ගත කිරීම වෙනුවෙන් වැඩිමනත් වෙහෙසිණි. එසේම මිලිටරි පන්නයේ පාලනයක් නැතිනම් සෘජුව තීන්දු ගත හැකි බලවත් විධායකයකුගේ පලනයක් ඇවසි බවට සමාජ මතයක්ද රාජපක්ෂ පාර්ශ්වයේ අය තුල මෙන්ම මැදිහත් සමාජ තීරු වලද මතය බවට ගොඩනැගෙමින් තිබිණි. මන්ද යහපාලන යුගයේදී එවක ජනාධිපති අගමැති කඳවුරු දෙකකට බෙදී දේශපාලන ගැ‍ටුමකට මැදිව සිටීමෙන් රට අරාජක තත්වයකට පත්ව තිබීම මෙයට හේතු විය. ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණයට විපක්ෂය විසින් ගෙන ගිය ගෝඨා මිලිටරි පාලකයෙක්, දරුණු ඒකාධිපතියකු වනු ඇතැයි කියමින් ගෙන ගිය ප්‍රචාරයද උදව්වක් වූවාට සැක නැත. මන්ද රටේ බහුතරය ඉල්ලා සිටියේ කොන්ද පණ ඇති සෘජු තීරණ ගන්න, තමන් කරන වැඩේට අවංක නායකයකු නිසාය.

කොහොම නමුත් ගෝඨාභය පාලනය බිහි වීමෙන් වසරකුත් ගිය තැන තමන් බලාපොරොත්තු වූ ඒකාධිපතියා ගෝඨාභය තුලින් පෙන්නුම් කිරීම නොවීම නිසා ඔහුට ඡන්ද පාවිච්චි කළ යම් සුළු කොටසක් කළකිරී සිටින බවද පෙනෙන්නට තිබේ. ගෝඨා ෆේල් යනුවෙන් විපක්ෂය ගෙන ගිය ප්‍රචාරක මෙහෙයුමේද අවිඥානක පදනම වූයේ ගෝඨාභය තුලින් එම ඒකාධිපතියා දක්නට නොලැබීමය. රාජපක්ෂවාදීන්ගේ කළකිරීම් සහගත විවේච්නයන් මෙන්ම ජනාධිපතිවරයාගේ ඇතැම් සෘජු තීරණවලට දක්වන උද්යෝගිමත් ප්‍රතිචාරයන් ද අනුව 'ජනාධිපති ගෝඨාභය' යනුවෙන් බලාපොරොත්තු වූයේ කවරෙක්ද යන්න ගැන පැහැදිලි අදහසක් ගත හැක.

මේ අතර පසුගියදා කොවිඩ් 19 තත්වය පාලනය කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය දිස්ත්‍රික්ක 25 වෙනුවෙන් ඉහළ හමුදා නිලධාරීන් 25 දෙනෙකු පත් කිරීමට පියවර ගන්න ලදී. මේ තීන්දුවට හේතු භූත වූ පිළිගත හැකි සාධාරණ තත්වයන් තිබුණද මේ වන විට විපක්ෂ ක්‍රියාකාරිකයන් මෙය අර්ථකතනය කර ගන්නේ හෝ ඒ ගැන ප්‍රචාරය කරන්නේ රට මිලිටරිකරණයකට නැතිනම් හමුදා පාලනයකට යටත්කර ගැනීමක් ලෙසය. එසේම පසුගිය වකවානුවේදී විශ්‍රාමික හමුදා ප්‍රධානින් ගනනාවක්ම රාජ්‍ය ආයතනයන් හි ප්‍රධාන තනතුරුවලට පත්කිරීමට කටයුතු කර තිබීමත් නිසා මේ මිලිටරිකරණ චෝදනාවටද යම් පදනමක් තිබේ.

ලෝකයේ සුලබ ඇත්දැකීම වන්නේ මිලිටරිකරණය තුල රටවල් විනාශය කරා යෑම ගැනය. ඒ නිසා මිලිටරිකරණය සම්බන්ධයෙන් ඇත්තේ බරපතල විවේචනයක් මෙන්ම බියකි. එහෙත් රටක් මිලිටරිකරණයට තල්ලුවීම කෙරෙහි බලපවත්වන සාධක ගැන විමසීමකින් තොරව මේ මිලිටරිකරණය ගැන චෝදනා එල්ල කිරීම සාධාරණ නොවේ. ලෝක ඉතිහාසය පුරා බොහෝ විටම සිදු වූයේ රාජ්‍යයක් දේශපාලනික වශයෙන් අරාජකවීම, ආර්ථිකයන් කඩා වැටීම, සමාජීය අර්බුද උත්සනන් වීම්, සංස්කෘතික පිරිහීම් ආදී ගැටළු විසදීමකින් තොරව පැවැතීම නිසා දේශපාලන බලය අත්පත් කරගැනීම සඳහා විවර වන පහසු අවස්ථාව මිලිටරිය හෝ ඒ පන්නයේ දේශපාලන නායකත්වයන් විසින් ප්‍රයෝජනයට ගැනීමය. එවැනි අවස්ථාවල කළකිරීමට පීඩාවට පත් වී සිටින ජනතාවගෙන් වුව විරෝධයන් පැන නොනගී.

වත්මන් ගෝඨාභය පාලනය තුල මිලිටරි ලක්ෂණ පහල වීම් සිදුවෙමින් පවතින්නේ ඇයිද යන ගැන නොවිමසා ඒ ගැන විවේචනය කිරීම හුදු දේශපාලන පාක්ෂික විරෝධයන් පමණි. ඇතැම් විට ඒ අමු තක්කඩිකමක් ලෙසද හැඳින් විය හැක.

ජනාධිපති ගෝඨාභයට රාජ්‍ය ආයතන ප්‍රධාන තනතුරුවලට, කොවිඩ් 19 පාලනයට මෙන්ම වෙනත් රාජ්‍ය ක්‍රියාකාරකම් වෙනුවෙන් මිලිටරි පුහුණුව ලැබූ නිලධාරීන් යෙදවීමට සිදු වූයේ රටේ පැවැති දුර්වල, අකාර්යක්ෂම, දුෂණය වංචාව ඉවහහා ගිය, රාජ්‍ය යාන්ත්‍රණයේ අනුහසින් බව කිසිදු දෙගිඩියාවකින් තොරව පැවසිය හැකිය. රටකට අරමුණක් ඉලක්කයක් සහිතව සංවර්ධනය කරා යන ගමනක් ඇවසි නම්, ජන ජීවිතය සුඛිත මුදිත කිරීම වෙනුවෙන් වැඩපිලිවෙලක් ක්‍රියාවට නැගීමට ඇවසි නම්, වංචාවෙන් දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවා යාන්ත්‍රණයක් ඇවැසි නම්, ඊට ගැලපෙන රාජ්‍ය යාන්ත්‍රණයක් තිබිය යුතුය. ඒ අවශ්‍යතාවය සැපිරීමට පවතින රාජ්‍ය යන්ත්‍රණය අසමත් වේ නම් ඊට විකල්පයක් අවශ්‍ය බව ගැන විවාදයක් නැත. එක්කෝ පවතින යාන්ත්‍රණය කඩිනම් ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතුය.. එය පහසු දෙයක් නොවේ. දශක ගනනාවක් තිස්සේ අ‍ටුවම් බැහැපු නිලධාරීන් මෙන්ම දුෂිත නිලධාරීන් ඊට කැමැතිවන්නේ නැත. රාජ්‍ය ආයතන වෘත්තිය සමිති සමඟ ගනුදෙනු බේරාගැනීම ඊට ත්වඩා අසීරු කරුණකි. මීට හොඳ උදාහරණයක් පසුගියදා මොටර් රථ වාහන දෙපාර්තමේන්තුව දූෂණයෙන් තොර කාර්යක්ෂම ආයතනයක් කිරීම සඳහා ජනාධිපතිවරයා ගත් තීන්දු තීරණ වලට පවා අභියෝගයක් එල්ල වෙමින් තිබීමෙන් පැහැදිලි වෙයි. ඔවුන් ජනාධිපතිවරයාගේ තීන්දු නොසලකා හැරීම කළ බව මුල් අවස්ථාවේදීම පෙනෙන්ට තිබිණි. එහි එක් නිලධාරිනියක් හැර අන් සියලු දෙනාටම එරෙහිව එලල්වී තිබෙන දූෂණ අක්‍රමිකතා චෝදනා මත වෙනත් ආයතන වෙත මාරු කිරීමට ගත් තීන්දුවට එරෙහිවත් ඔවුන් නීතිමය ක්‍රියාමාර්ගවලට යෑමට සූදානමින් පසුවෙයි. මේ අය අභියෝග කරන්නේ ජනාධිපතිවරයා ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් ගත් තීන්දුවටය. මෙවැනි තත්වයන් හමුවේ රටට ජනතාවට වගකියන පාලකයකුට ගත හැකි තීන්දුව විය හැක්කේ කුමක්ද?

ජනාධිපතිවරයාට වගවිය හැකි, පවරණ රාජකාරිය කවර දුෂ්කර තත්වයක් යටතේ හෝ ඉ‍ටු කිරීමට බැඳී සිටින, ඒ වෙනුවෙන්ම පුහුණුව ලැබූ විනයක් ඇති දක්ෂ නිලධාරීන්ගෙන් සැදුම්ලත් ආරක්ෂක අංශ නිලධාරීන් යොදා ගැනීමට ඔහුට සිදුව තිබේ. හමුදා සෙබලකු, නිලධාරියකු ලෙසත්, ආරක්ෂක ලේකම්වරයා ලෙසත් ඔහු ලත් අත්දැකීම්, දැනුම පුහුණුව නිසා ජනාධිපතිවරයා රාජ්‍ය සේවය වෙනුවෙන් හමුදා නිලධාරීන් යොදා ගන්නේ දැඩි විශ්වාසයකින් බවත් පැහැදිලිය. මෙය මිලිටරිකරණයක් යැයි විපක්ෂය නගන චෝදනාව කිසිසේත්ම නිවැරදි නැත. හෙට අනිද්දා රාජ්‍ය සේවා වෘත්තිය සමිතිත් අල්ලාගෙන මේ අය උද්ඝෝෂණයට පාරට බසිනුද ඇත.

එහෙත් හමුදා නිලධාරීන්ට රජයේ තීරණාත්මක රාජකාරී පැවරීම වරදක් නම් ඒ වරද ඇත්තේ ජනධිපති තුල නොවේ. මේ දූෂිත, අකාර්යක්ෂම, රාජ්‍ය සේවකයන් තුලය. රට මිලිටරිකරණයකට තල්ලුවීම වලක්වා ගැනීමෙහි ඇත්ත වුවමනාවක් ඔවුන්ට තිබේ නම් ඔවුන් කළ යුත්තේ තමන්ට පැවැරුණු රාජකාරිය නියමාකරයෙන් ඉ‍ටු කිරීමය. එසේ නොකර රාජකාරිය හරියකාරව ඉටු කිරීම වෙනුවෙන් ගන්නා ක්‍රියමාර්ගවලට එරෙහි වීම රටට, ජනතාවට ද්‍රෝහීවීමක් පමණි. රට හමුදා පාලනයක් වෙත තල්ලුවීම වලක්වා ගැනීමේ වුවමනාවක් විපක්ෂයටත් වේනම් ඔවුන් කළ යුත්තේ රාජ්‍යයේ කටයුතුවලට බාධාකාරීව තිබෙන පිළිල ඉවත්කරවීම වෙනුවෙන් රජය ගන්නා පියවරයන්ට සහය වීම මිසක් මේ පිළිල වෙනුවෙන් පෙනී සිටීම නොවේ. මේ වන විටත් රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් ආණ්ඩුව යම් යම් පියවරයන් රැසක් ක්‍රියාවට නැඟීමට සුදානමින් පසුවේ. විපක්ෂය මේවාට දක්වන ප්‍රතිචාරය අනුව මේ අය ඇත්තටම රටේ හිතෛශීන්ද රටේ ද්‍රෝහින්ද කියා යළිත් විමසා බැලීමට ජනතාවට අවස්ථාවක් උදාවෙනු ඇත.

- the novemberist

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us