අලි සබ්‍රි කියන කතාව හරි.. ඒත් ආණ්ඩුවට ප්‍රතිපත්තියක් නෑ. Featured

Sunday, 20 December 2020 20:51

කොරෝනා අසාදනය මත ජීවිතක්ෂයට පත්වන ඉස්ලාම් ආගමිකයන්ගේ දේහයන් භූමිදානයට ඉඩ නොදෙන්නේ වර්ගවාදී පදනමෙන් මිසක් විද්‍යාත්මක පදනමකින් නොවේය යන්න අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා යූ ටියුබ් නාලිකාවකට කර තිබෙන පැහැදිලි කිරීම අනුව හෙළිවන සත්‍යයි. (අලි සබ්‍රී මහතා කළ ප්‍රකාශය පහත දැක්වේ.)

වෛරස් අසාදිත මළ සිරුරු අදාහනය කිරීමට ශ්‍රි ලංකා රජය තීන්දු කළේ කවර පදනමකින්ද යන්න ගැන අදටත් පැහැදිලි පිළිතුරක් දී නොමැත.

වත්මන් පාලනයේ ප්‍රසිද්ධ සටන් පාඨයක් වී තිබෙන 'එක රටකට එක නීතියක්' යන්නය. ඒ මත පිහිටා හෝ ආණ්ඩුව පැහැදිලිව එක නීතියක් ප්‍රකාශයට පත් කළ යුතුය. එහෙත් එහෙම කියන්නේ නැත. එහෙම නීතිය තවම වෙන කොහෙවත් හෝ ක්‍රියාත්මක වන බවක්ද දැනගැනීමට නැත. එකම කරුණ අරඹයා ඒ ඒ පුද්ගලයන් අනුව නීතීය වෙනස් වෙන අයුරුද දකින්නට ලැබේ. සාමාන්‍ය පුරවැසියාගේ මඟුලට මළ ගෙදරට කොවිඩ් නීති බලපවත්වන නමුත් ඇති හැකි බලවන්තයන්ට එය බලපවත්වන්නේ නැත. එහෙම ඇත්තක් ප්‍රදර්ශනය වන විට. ඉස්ලාමීයයන්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් මේ වන විට ක්‍රියාත්මක අමුතු නීතිය නිසා අලි සබ්‍රි විසින්ම පැහැදිලිව පෙන්වා දෙන අයුරින්ම ඉස්ලාමිය ජන කොටස් තමන්ට වෙනස් කොට සලකනවාය කියන ආකල්පය දැරීමට නිතැතින්ම යොමු වීම බලාපොරොත්තු විය යුතුය. එය අන්තවාදයක් කරා යෑමේ පහසු හැකියාවක්ද තිබේ. මෙය මේ රටේ පහුගිය වසර පහදහය තුළ ජීවත් වුවා නම් තේරුම් ගැනීම අපහසු නැත.

එහෙත් ආණ්ඩු පාක්ෂික කොටස් පවා මේ මොහොතේදී අලි සබ්‍රීට තඩි බාමින් සිටින්නේ ඔහු අන්තවාදය පෝෂණය කරන්නකු බව හුවා දක්වමිනි. එක්කො මේ මනුස්සයා කියන්නේ මොකක්ද කියන කාරණය මේ බයියන්ට තේරෙන්නෙ නැත. එක්කෝ ඒ හරියකට අහලා කියලා නැත. පාඨකයා නොමඟ යන ලෙස පළ කර තිබූ පුවත් පත් සිරස්තලයක වචන කිහිපයක මේ අය එල්ලී සිටී. එහෙනම් නැත්නම් ආත්මගත කරගෙන තිබෙන හුදු මුස්ලිම් විරෝධය මත අලි සබ්‍රීව ප්‍රතික්ෂේප කරයි. එක්කො සිංහල බෞද්ධ වර්ගවාදයේ අන්තයට වී මේ අය සිටී. මේ අතර අලි සබ්‍රීගේ ප්‍රකාශය අල්ලාගෙන සිටින ආණ්ඩුවට එරෙහි පාර්ශ්වයන්ගේ උසුලු විසුළු කිරීම බයියන්ට දිරවා ගත නොහැකි වීමද දකින්නට ලැබෙයි. ආණ්ඩුව මුලදීම ගත් තීන්දුව නිසා උද්දාමයට පත් වී සිටින බයියන්ට අලි සබ්‍රී කියන ඇත්ත දැන් රෙද්දක් ඇඳගෙන පිළිගන්න නොහැකිවද සිටී.

කොහොම නමුත් දැන් ප්‍රශ්නය ඔඩු දුවමින් තිබෙන්නේ යළිත් සිංහල බෞද්ධ හා මුස්ලිම් අතර වර්ගික ගැටලුවක් යළි අවුළුවන තැනකටය. එය හොඳ දෙයක් නොවේ. ජාතින් අතර අවබෝධය සමඟිය සහජීවනය මේ රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍යය. යළි කුලල් කා ගන්නා, කලකෝලහල, යුධ වැදීම් මේ රටට අවශ්‍ය නැත. ඒ වැලැක්වීමට අන්තවාදී සුළු කණ්ඩායම් රට අවුළුවන්නට මේ අවස්ථාවන් පාවිච්චි කරන්න ගන්නා උත්සාහයන් වැලැක්විය යුතුය. නමුත් ඒ සිදු කළ යුත්තේ මෝඩ බයියන් යෝජනා කරන ලෙස තුවක්කු කටෙන් නොව. අන්තවාදීන්ට තමන්ගේ ක්‍රියාවන් සාධාරණීයකරනයට අවශ්‍ය හේතු නැති කිරීම මඟිනි. මේ රටේ සාතිශය බහුතරය කවර ජාතියක් ආගමක් නියෝජනය කළද අන්තවාදීන් නොවේ. එකිනෙකාට ගරු කරමින් අවබෝධයෙන් සමගියෙන් සමාදානයෙන් ජීවත් වෙන පිරිසකි. ඒ බුද්ධිමත් මිනිසුන්ගේ සහය සාමකාමී රටක් වෙනුවෙන් නිරන්තරයෙන් තිබේ. ඒ අවස්ථාව හැකියාව පාවිච්චිකර මේ ගැටළු විසඳිමට ආණ්ඩුව සමත් විය යුතුය. ඒ නිසා මේ ආදාහනයද භුමිදානයද යන්න ගැන එක් යුක්තිසහගත පැහැදිලි තීන්දුවක් වහාම ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත් කළ යුතුව තිබේ.

අලි සබ්‍රී මහතා කළ ප්‍රකාශය පහත දැක්වේ.

"කොවිඩ් 19 වසංගතයත් එක්ක ඒ සම්බන්ධයෙන් අපි පිළිපදින කරුණු රාශියක් තියෙනවානෙ. කොහොමද ප්‍රතිකාර කරන්නෙ, පීසීආර්ද ඇන්ටිජන්ද කරන්නෙ, ලබාදෙන ඖෂධ මොනවද ... මේවාගෙ නිර්ණායක හදන්නෙ ප්‍රධාන වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය. මුල ඉඳලා අවසන් වෙනකල් ඒ අයගේ මාර්ගෝපදේශ තියෙනවා. ඒවා තමයි බොහෝවිට පිළිපදින්නෙ. ඒ අනුව තමයි අනිත් සියලු දේවල් කරන්නෙ. ඒ මාර්ගෝපදේශ අනුවම තමයි ලෝකෙ අනිත් රටවල් වගේම හැමෝම බලාපොරොත්තු වෙනවා මේකෙන් මරණයට පත්වෙන අයගේ මෘතදේහ ආදාහනය කරනවා කියන එක විතරක් නොදී අවශ්‍ය අයට භූමදානය සඳහාත් ඉඩදිය යුතුයි කියන එක තමයි මෙතන මුල ඉඳලාම ගිය තර්කය.

ඒක අසාධාරණ තර්කයක් නෙවෙයි. අසාධාරණ ඉල්ලීමකුත් නෙවෙයි. මං දන්නෑ ඇයි මේක මේ මෙච්චර මතභේදයකට තුඩුදීලා තියෙන්නෙ කියලා. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා නම්, රතුකුරුස සමාජයේ ෆොරන්සික් යුනිට් එකක් තියෙනවා අයිසීආර්සී කියලා ඒගොල්ලො ඒක කියනවා නම්, ඇමරිකාවේ වසංගත මර්දන මධ්‍යස්ථානය කියනවා නම්, යුරෝපා සංගමය කියනවා නම්. සමස්තයක් වශයෙන් ලෝකෙ චීනය ඇරෙන්න හැම රටකම ඉඩ දෙනවා නම් ලංකාවේ ඉඩ නොදෙනකොට හරි ප්‍රශ්නයක් මේක.

ඉතිං ඒ හින්දා යම් සමාජයකට හිතෙනවා නම් මේ අපිව ටාගට් කරගෙන තමයි මේක කරන්නෙ කියලා ඒක හරි නෑ. මේක විද්‍යාත්මකව තහවුරු කරගන්නත් බැරිවෙලා තියෙනවා. මොකද කියනවා නම් දැන් හැමදාම ඇවිල්ලා අපට ටීවී එකේ මොනවද කියන්නෙ, වෛරස් එකට ගමන් කරන්න බෑ ඔබ වෛරස් එක ගාවට ගියොත් විතරයි බෝවෙන්නෙ කියලානෙ. ඒ කියන්නෙ අත හෝදාගෙන මුඛ ආවරණ පැළඳගෙන සමාජ දුරස්ථභාවය තියාගත්තා නම් වෛරස් එක ගැන බය වෙන්න ඕනෙ නෑ. එහෙම නම් මිනිස්සු අහන ප්‍රශ්නය වෙන්නේ මනුස්සයෙක් මැරුණට පස්සෙ විෂබීජහරණය කරලා, පොලිතීන් බෑග් දෙකකට දාලා, වහලා, පෙට්ටියක දාලා, අඩි පහක් යට වැළළුවාට පස්සෙ කොහොමද මේකෙන් බෝවෙන්නෙ කියන එකයි.

මේක හරි සංවේදී දෙයක්. මං හිතන්නෙ නෑ මේක අපි ජාතිවාදී පැත්තකින් බලන්න ඕනෙ කියලා. ඇයි මේකට අවස්ථාව නොදෙන්නෙ කියන එක පිළිබඳ බරපතළ ගැටළුවක් තියෙනවා"

"නිදහස් මනසකින් බලන්නෙ නැත්නම් අන් අයගේ ආගම් ඇදහිලි හුඟක් අයට මිත්‍යාවක්. තමන්ට තමා ඒකෙ වටිනාකම තියෙන්නෙ. එතන තමයි සහකම්පනය අවශ්‍ය වෙන්නෙ. බුද්ධාගමේත් ඒකනෙ කියන්නෙ. කරුණාව මෛත්‍රීය දයාව උපේක්ෂාව. අනිත් මනුස්සයාගෙ පැත්තෙනුත් මේක බලන්න පුළුවන් වෙන්න ඕනෙ. මුස්ලිම් සමාජය තුළ ආදාහනය කරනවා කියන්නෙ ඒ දේහයට කළහැකි අන්තිම අවමන් සහගත දෙයක් හැටියට තමයි සලකන්නෙ. ඒ හින්දා ඒක අත්‍යවශ්‍යම නැත්නම් ඒක දරාගන්න බැරි දෙයක්. ඔබත් අහනවා ඇති ඇයි මෙච්චර මේ වැළලෙන්න යන්නෙ කියලා, නමුත් එහෙම තමයි ඒ විශ්වාසය තියෙන්නෙ.

ඒබ්‍රහමික ආගම්වල, ඒ කියන්නෙ මුස්ලිම්, කතෝලික, යුදෙව් සමාජ තුළ යම් විශ්වාසයක් තියෙනවා කවදාහරි මළවුන්ගෙන් නැගිටිනවායි කියන එක. ඒ හින්දා ඒ දේහයක් වෙනුවෙන් ජීවත් වෙන අයට කරන්න යුතුකම් හතරක් තියෙනවා. දේහය ස්නානය කරවන්න ඕනෙ, සුදු රෙද්දකින් ආවරණය කරන්න ඕනෙ, ඒ වෙනුවෙන් වඳින්නට ඕනෙ, භූමදානය කරන්නට ඕනෙ. මුස්ලිම් සමාජය මේ පළවෙනි තුනම අතෑරලා දාන්න කැමතියි. දේහයක් අල්ලාගෙන හෝදන්න බෑ, අපි අල්ලාගෙන අතහගන්න බෑ, එතනට ගිහිල්ලා 40 - 50 එක්ක වඳින්න බෑ, ඒවා විද්‍යාත්මකයි. අපි ඒවාට අනුගත වෙනවා. අවසානයේ ඒ ක්‍රමවේදයම අනුගමනය කරලා ගිහින් පුච්චනවා වෙනුවට වළදැමීමෙන් වෙන හානිය මොකක්ද කියන ප්‍රශ්නය විද්‍යාත්මකව මතුවෙනවා. ඒක විද්‍යාත්මක නම් ඇයි ලෝක සෞඛ්‍ය සංවිධානය ඒකට ඉඩදෙන්නෙ ? ඒ හින්දා මේ තීරණය අරගෙන තියෙන්නෙ විද්‍යාත්මකව නෙවෙයි කියන එක තමයි හැමෝගෙම මතය.

දැන් මේකෙන් ලෝකට දෙන පණිවිඩය මොකක්ද ? ලෝක ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික වෛරස්වේදියා තමයි අපි හැමෝම දන්න මහාචාර්ය මලික් පීරිස් මහතා, හොංකොං විශ්වවිද්‍යාලයේ. සාර්ස් වෛරසය අඳුනාගත්තෙ එතුමා. එතුමා පැහැදිලිවම කියනවා සාමාන්‍යයෙන් වෛරසයක් මළකඳකින් බෝවෙන්නෙ නෑ. ජීවි සෛලයක් උඩ තමයි ඒක වර්ධනය වෙන්නෙ. අනික දවස් 7 - 10 යනකොට වෛරසය තියෙනෙ කෙනෙක්ගෙනුත් ඒක පැතිරෙන්න තියෙන ඉඩ නැතිවෙලා යනවා. ඉතිං එතුමා කියනවා විෂබීජහරණය කරලා පොලිබෑග් දෙකක දාලා අඩි හයක් වළදැම්මාම ඒකෙන් වෛරසය බෝවෙන්න කිසිම විද්‍යාත්මක පදනමක් නෑ කියන එක. මං දැක්කා පබා පළිහවඩන මහත්මියත් කියලා තිබුණා මේක වෛරස්වේදීන්ගෙන් අහන්න එපැයි, මේ භූ විද්‍යාඥයින් දන්නෙ නෑ වෛරසය පැතිරෙනවද නැද්ද කියන එක කියලා.

ඉතිං මේ ලෝක සෞඛ්‍ය සංවිධානය, ඇමරිකාවෙ සීඩීසී එක, යුරෝපා සංගමය මේ ඔක්කොම දන්නවාට වඩා වැඩිදෙයක් අපේ රට දැනගන්නෙ කොහොමද කියන එක මං දන්නෑ. අනික ඉතාමත්ම වැදගත් මේක අපේ රට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් තියෙන කීර්තියටත් ලොකු ප්‍රශ්නයක්. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මේක පිළිබඳව කතා කළා, රටවල් 51කින් යුක්ත මුස්ලිම් රාජ්‍යන්ගේ සංගමය ලිඛිතව රජයට දැනුම් දීලා තියෙනවා, එක්සත් ජාතීන්ගේ සංවිධානය ලිඛිතව රජයට දැනුම්දීලා තියෙනවා, මැදපෙරදිග රටවල තානාපතිවරුන් 12 දෙනෙක් දැනුම් දීලා තියෙනවා. ඇයි මේ රටට මෙච්චර අපකීර්තියක් කරගන්නේ ? ලංකාවට තිබුණෙ ඒවගේ නමක් නෙවෙයිනෙ.

මට තියෙන ඊට වඩා ලොකු ප්‍රශ්නය, මේකෙන් මුස්ලිම් සමාජයේ යම් යම් තරුණයින් යම් යම් කොටස් එක්තරා අන්තයකට තල්ලු කරලා දායිද කියන එක. හරි භයානකයි. මුස්ලිම් ජනතාවගේ පැත්තෙන් ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නියෝජිතයින්ට මේවගේ සරල දෙයක්වත් විසඳාගන්න බැහැයි කියලා අවිශ්වාසයක් ගොඩනැඟුණොත් තරුණයෝ ළඟ, ඔවුන් සම්පූර්ණයෙන්ම නිහඬ වෙන්නෙ නෑ. මං ප්‍රාර්ථනා කරනවා එහෙම නොවේවායි කියලා. ඔවුන් අනවශ්‍ය විදියට ගිහිල්ලා අන්තවාදී දෘෂ්ටියකට එකතු වුණොත් හරි කෝලාහලයක් තමයි වෙන්නෙ"

(අලි සබ්‍රී මහතා කළ ප්‍රකාශය lankanewsweb.netවෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)

Last modified on Sunday, 20 December 2020 20:52

Leave a comment

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us