මේ පුවත ගොටාගේ සුපුරි තීන්දුවක් ලෙස වනනමින් බයි ප්‍රජාව සාකච්ඡාවට ගෙන ඇති බවද සමාජ ජාලාවල පෙන්නෙට තිබේ. ඊට හේතුව නම් එකක් රජයේ ආයතන ප්‍රධානින් යනු කිසි වැදගම්මකට නැති නිකමුන් පිරිසක් බවට ගොඩ නැගී ඇති මතයයි.අනෙක ඒවා දේශපාලන පත්වීම් ලෙස ලැබෙන තනතුරු වීමය. සමහර විට එම තනතුරු වෙනුවෙන් වන අධ්‍යාපනික හො වෘත්තීමය ක්ෂෙත්‍රයේ සුදුසුකම් ඔවුන්ට නැත. (කුසලතාව අදාල වෙන්නේ නැත) වංචාව දූෂණය අක්‍රමිකතාවන් මේ තනතුරු ලාබීන් විසින් නිරන්තරයෙන් සිදු කරන වුන් බවට පොදු සමාජ මනෝභාවයක් ඇත. ඒ නිසා මේ අය කළු චරිත ලෙස හැඟවුමට ලක්වේ. අනෙක් දේ නම් ඉරිසියාවය. එය සාමාන්‍යයෙන් වැඩිපුර කතා බහට ලක් නොවන්නක් නමුත් ඉරිසියාව කියන කාරනය ඉතා බරපතලව සමාජය තුල මුල් බැහැගෙන ඇති කරුණකි.
පඩි කප්පාදුව සුපිරි වැඩක්
තවත් අමාරුවෙන් ගලප්පා ගන්නා දෙයක් වන්නේ මේ අයට ගෙවන පඩි නඩි වරප්‍රසාද කප්පාදු කළ විට රජයේ නාස්තිය දූෂණය අවම වී රාජ්‍යයට කිසියම් මුදලක් එකතු වෙනු ඇති බව කල්පනා කිරීමය. මේ ආදී හේතු නිසා මේ පඩි කප්පාදුව සුපිරි වැඩක් ලෙස වර නැගෙමින් තිබේ.
නමුත් මෙවායේ ඇත්ත කතාව මෙයිට වෙනස්ය. මේ ජනාධිපති නියෝගය අනුව සහාපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ පඩි හෝ දීමනා කප්පාදුව නිසා ශ්‍රි ලංකා රජයට වෙන අමුතු වගතුවක් නැත. මේ නිකම් මාධ්‍ය සංදර්ශනයකට වඩා දෙයක් නොවේ.
මෙයින් මුදල් ඉතුරු වෙනවා යැයි කියන්නේ කොහොමද ..ඒ ඉතුරු වෙන ගාන කීයක් විතර ඇතිද? රටේ ආර්ථිකය අනුව ඒ මුදල ඒ කෙරෙහි කෙතරම් බලපෑමක් කෙරුණු ඇතිද? මේවා ගැන කිසිවකුත් කතා කරන්නෙ නැත. එ්වා සම්බන්ධයෙන් එතරම් තොරතුරුද සොයා ගත නොහැකි නිසා කරබාගෙන සිටිනවා මිසක් මේව ගැන බොහෝ දෙනෙකු කතා කරන්නේ නැත.
මාධ්‍ය සංදර්ශන බොරුව
එහෙත් සොයා ගත හැකි තොරතුරු ප්‍රමාණයෙන්ද මේ මාධ්‍ය සංදර්ශන වල බොරුව ගැන වැටහීමක් ලැබිය හැකිය.
රජයේ ආමාත්‍යංශ දෙපාර්තමේන්තු වැනි ආයතන හැර රජයට සම්බන්ධ සංස්ථා මණ්ඩල සහ රජයට අයත් වෙනත් ව්‍යවසායක ආයතන 527 ක් තිබෙන බව පසුගිය වසරේදී කළ ගනනය කිරීමකදී හෙළි විය. මේ හැම ආයතනයකම සභාපතිවරයෙක් අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටී. නමුත් සභාපතිවරයකුගේ මාසික වැටුප රු ලක්ෂය ඉක්මවා තිබෙන ආයතන ඇත්තේ සුළු ගනනකි. නව නියෝගයෙන් පඩිය ලක්ෂය දක්වා කප්පදු කරන්නැයි කියන්නේ මුලික පඩියද නැතිනම් සියලු දීමනා සහිත පඩිය දැයි අදාල චක්‍ර ලේඛය නොදුටු නිසා පැහැදිලි නැත. අධ්ක්ෂ මණ්ඩල සාමාජික දිමනාවන්ද සුලු ගනනකි. ආයතනයේ මුල්‍ය ප්‍රවාහයේ හැටියට සභාපතිවරු සහ අධ්‍යක්ෂ වරුන්ගේ වැටුප් දීමනා සකස් වීම බොහෝ විටම සිදුවන අතර ලක්ෂ ගනනින් මිලියන් ගනනින් වැටුප් ලැබෙන්නේ එහෙමත් ආයතනයකය. ආයතන අභිවෘද්ධිය නොතකා තමුන්ගේ අභිවෘර්ධිය තකන ඇතැම් අධ්‍යක්ෂ මණ්ඩල ආයතනයට හෙණ ගැහුවත් තමන්ගේ වැටුප් වරප්‍රසාද ආදිය වැඩිකර ගත් අවස්ථාවද තිබේ. ඒ ගනයට මේ ආයතන සියල්ලෙම ප්‍රධානින් වැටෙන්නෙ නැත.
තුට්‍ටු දෙකෙ පඩිය
ඒක කොහොම වුණත් සංස්ථා මණ්ඩල වල සභාපතිත්වයට පත් වන ඊට සුදුසු පුද්ගලයන් යනු රු ලක්ෂයක තුට්‍ටු දෙකෙ පඩියකට වැඩ කළ යුතු පිරිසක් නොවන බව නම් කිව යුතුය. තමන්ගේ රටට සිදුවිය යුතු යුතුකමක් වගකීමක් ලෙස සිතා මේ තනතුරු බාර ගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙන සහ තමන්ගේ පැවැත්මට වෙනත් ආදායම් තිබෙන අවංක මිනිසුන්ටනම් එය ගැටලුවක් නොවුවත් බහුතරයේ තත්වය එය නොවේ. ආයතනයක් වෙනුවෙන් පූර්ණකාලීනව මැදිහත් වෙන අයකුට තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සරිලන ආදායමක් නොලැබී ගිය හොත් ඊළඟ සිදු වන්නේ ආයතනයෙන් හොරකම් කිරීමය. එසේම ආයතනයේ දියුණුව ඔවුන්ගේ අරමුණෙන් බැහැර වෙයි. රු ලක්ෂයකට ආයතන සභාපති කමක් අරගෙන ඒ වෙනුවෙන් පූර්ණකාලීනව රාජකාරියෙහි යෙදෙන්නට කැමැති වීම මේ යුගයේ හැටියට මහා පරිත්‍යාගයකි. එහෙත් එහෙම මිනිස්සු දැන් නැත. අර්ධකාලීනව මේ තනරුරු වල යෙදෙමින් වෙනත් ආදායම් මාර්ග වල යෙදීමට සිදු වීම අනිවාර්ය වුවමනාවකි. එහෙම අර්ධකාලීනව රාජකාරි සිදු කරමින් රාජ්‍ය ආයතනයක් ගොඩ දානවා කියන්නේ විශ්ව කර්ම වැඩකි. පූර්ණ කාලීන සභාපතිවරයකු ඉල්ලා කෙරුණු සේවක උද්ඝෝෂණ රැසක් පසුගිය කාලයේ කෙරුණා අමතක වන්නට තවම එතරම් කාලයක් ගෙව්නේ ද නැත.
රාජ්‍ය ආයතන 527
ඒකත් පසෙක තබා මේ පඩි කප්පාදුවෙන් මුදල් ඉතුරු කර ආයතන ගොඩ දැමිය හැකිද කියා විමසීම වටී..
කලින් කී ලෙස රටේ රාජ්‍ය ආයතන 527 ක් හෝ ඒ ආසන්න ගනනක් තිබේ( ඇතැම් ආයතනද රජයේද නැත්නම් පෞද්ගලික අංශයේද කියා නිශ්චය නොවුනු නමුත් රජයේ මුදලින් නඩත්තු වෙන ආයතනද තිබේ උදාහරණයක් ලෙස මඟ නැගුම ආයතනය හැඳින් විය හැක). රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති අවුල කෙතරම්ද කියනවා නම් මේ ආයතන 527 න් ඒවායේ ලාබ පාඩු මොනවාදැයි ගනනය කිරීමක් කළ හැකි තරමේ ගිණුම් වාර්තා ඇත්තේ ආය්තන 55 කට ආසන්න ප්‍රමාණයක පමණක් බවද පසුගිය වසරේදී හෙළිව තිබිණි.
පාඩු නැති ආයතන 2 යි
මේ ආයතන 55 හි සමස්තය ගත් විට 2006- 2017 කාලය තුල රුපියල් බිලියන 964 ක් උපයීමට මෙන්ම රුපියල් බිලියන 795 ක අලාබයක් ද වාර්තා කර තිබිණි.. මින් ලාබ ලබන ආයතන ප්‍රමාණය ඉතා සුලුය. ඒ අතරෙනුත් කිසිදු පාඩුවක් වාර්තා නොකළ ආයතනය ලෙස සැලකෙන්නෙ ලොතරැයි මණ්ඩල 2 පමණය. බැංකු හා රක්ෂණ සෞඛ්‍ය ගෑස් ක්ෂේත්‍රයේ පාඩු වීම් සිදු වූවත් ලාබයන් වාර්තා කිරීමට සමත්ව තිබේ..අනෙකුත් සෑම ක්ෂෙත්‍රයක්ම රාජ්‍ය ආයතන වැඩි පාඩුවක් වාර්තා කර තිබේ. ඒ අතර ඛනිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ශ්‍රීලංකන් ඒයාර් ලයින් සහ ලංගම ඉහළින් තිබෙන ආයතන වේ.
දැන් මේ වසර 10 කදී රාජ්‍ය ආයතන 55ක් පමණක් සැලකීමේදි රටේ ජනතාව මත පැටවූ රු බිලියන 800 කට ආසන්න පාඩුව නොසලකා හැරියත් මේ ආයතන සමූහය ගොඩ නැගීම සඳහා සභාතිවරුන්ගේ හෝ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ වැටුප් වරප්‍රසාද කප්පදු කිරීමෙන් කළ හැකිද?
එහෙම නැත්නම් ඒක මූලික පියවර ඒ අනුව අනෙක් අංශ වලත් වියදම් කපා හරිනවා වගේ කතාවක් උත්තරය ලෙස අප බාර ගත යුතුද?
වැඩ කරන විරුවකු නමින් බැලුම් බෝලයක්
නැත. ප්‍රශ්නය තිබෙනේ මෙතැන නොවේ. සභාපතිලාගේ වැටුප් කප්පාදුව කියන්නෙ ඇත්ත ප්‍රශ්නය යට ගසා ( එය වත්මන් පාලකයාට විසඳිය හැකි ද නොවේ ) වැඩ කරන විරුවකු නමින් බැලුම් බෝලයක් පුම්බා රට රැවටීමේ කෙටි කාලීන දේශපාලන ව්‍යපෘතියක කොටසක් පමණය.
මේ රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීම හෝ දියුණු කිරීම හෝ මොන මළ ඉලව්වක් හෝ කිරීමට මුලින් කළ යුතු වන්නේ මේ ආයතන මොනවාද ඒවායේ ඇති කාර්යභාරයෙහි වටිනාකමක් තිබෙනවාද නැතිනම් සුදු අලිද, එම ආයතන වල හැකියාවන් දුර්වලතා ., ලාබ පාඩු ආදිය ගැන විමසීමය. සමස්ත ආයතන ප්‍රමාණයෙන් නිවැරදි යැයි කිව හැකි ගිණුම්වාර්තා ඇත්තේ 55 ක පමණක් බව කලින් සඳහන් කළෙමු ඒ අතරිනුත් ආසන්න වසර දෙක තුන තුල වාර්ෂික ගිණුම්වාර්තා ඉදිරිපත් කර ඇත්තේ ආයතන 10ක් 12ක් පමණි. මේ මූලික කාරණය ගැනවත් මෙලෝ මළදානයක් නොකර සභාපතිවරුන්ගේ පඩි කැපුවාම මේ ආයතන දියුණුවෙන් දියුණුවට පත් වන්නේ ඇයි සිතන මරි මෝඩ බයියන්ට අනුව ගෝටා ස පට්ට සුපිරි වැඩ කරන විරුවෙකි.
විහිළුවක්
අඩු තරමින් මේ ආයතන වල විධායක ශ්‍රේණි වල පඩි නඩි ගැන සේවක පඩි නඩි ගැන විමසීමක් විය යුතුව තිබේ. එම නිලධාරීන් හා සේවකයන් ප්‍රමාණය ගැන විමසුමක් විය යුතුව තිබේ. උදාහරණයකට ලංගම සැලකුව හොත් වරෙක එහි ස්ථිර සේවකයන් ප්‍රමාණය 36,000 කට ආසන්න විය. එහෙත් අනුමත සේවක සංඛ්‍යාව 24,500 ක් පමණ වේ..අතිරික්ත සේවකයන් 12,000 කට පඩි නඩි ගෙවමින් මේ ආයතනයට ලාබයක් වාර්ථා කළ හැකිද.?
බොහෝ රාජ්‍ය ආයතන වල මෙලෙස විශාල සේවක අතිරික්තයක් වෙයි. ඇතැම් ඉහළ නිල්ධාරීන්ගේ වැටුප් දීමනා අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා මගින් සාධාරණ නොවන පරිමාණයෙන් ඉහළ නංවා ගැනීම්ද සිදුව තිබේ. මේවා මුලින් සොයා බැලිය යුතු කරුණුය. ආයතන අකාර්යක්ෂමතා දුෂණ වංචා වෙනම සොයා බැලිය යුතුය. එලිදරව් වී ඇති කරුණු වලට නිසි පිලියම් යෙදිය යුතුය. ඊට නොභියව ක්‍රමවේදයන් සැකසිය යුතුය.. ' මං තව සති දෙකකින් එනවා සිස්ටම් එක හදල තියන්න කියලා කොමසාරිස්ට කියන්න' යැයි සේවකයන්ට තග දමා ආවාට මේවා හැදෙන්නෙ නැත. සභාපතිලාගේ පඩි කැපුවා කියා මේවා හැදෙන්නේ නැත.
ඒත් බලයට පත්ව මේ ගෙවුණු මාස දෙක තුලම සිදු කර ඇත්තේ විහිළු වලට අමතරව රට රවටන මාධ්‍ය සංදර්ශන කිහිපයක් පමණක් බව අතිශයින්ම පැහැදිලි කාරණාවකි.
රටේ අර්ථික අර්බුධයට වර්තමාන පාලකයන් සතුව කිසිදු විසඳුමක් නැත. පසුගිය පාලනය විසින් ආර්ථිකය කඩා වැට්‍ටුවා යැයි කියමින් බොරු බේගල් ඇද දමනවා විනා ඉන් දශමයක්වත් ඉදිරියට යෑමේ වැඩ පිලිවෙලක් නැත. ජනාධිපති ගොටාබය හෝ අගමැති මහින්ද හෝ මේ මුහුණ දෙමින් සිටින අර්බුධය ගැන හාංකවිසියක දෙයක් දන්නෙ නැත. ඒ ගැන බොරුවක් හෝ කියන්න තරම් ආර්ථිය ගැන අවබෝධයක් හෝ ඔවුන්ට නැත. ආර්ථික ඔස්තාර්ලා ලෙස පෙනී සිටින ඇතැම් මැති ඇමැතිවරුන්ද දැන් ඒ ගන කතා කරන්නෙ නැත. මන්ද ගැටලුවට උත්තරය කුමක්දැයි ඒ කිසිවකුත් නොදන්න බැවිනි.
ජයසුන්දරගේ ඔලුව
ගෝටාබයගේ මැතිවරණ ප්‍රකාශනයේ ආර්ථිකය ගැන ප්‍රතිපත්තීන් සැකසූවේ ද වත්මනෙහි රටේ ආර්ථිකය මෙහෙයවීමද සිදු කරමින් සිටින්නේ ගෝටබයගේ ලේකම් පී බී ජයසුන්දර විසිනි. මේ වසරේදී ගෙවිය යුතු ඩොලර් බිලියන 6.5 ක වන ණය කන්දරාව ගෙවන්න කොහොමද කියා යම් අදහසක් හො මේ ආණ්ඩුවේ කිසිවකුගේ ඔලුවේ තිබේ නම් ඒ ජයසුන්දරගේ ඔලුවේ පමණය. ඒ ණය ගෙවීමයි සංස්ථා සභාපතිවරුන්ගේ පඩි කැපීමයි අතර සම්බන්ධයක් තිබේ දැයි දන්නෙත් ඔහුමය.
ඉතින් අපිට මේ මාධ්‍ය සංදර්ශන දෙස බලා සිටින හැර වෙන කරන්න දෙයක් නැත. රටේ විපක්ෂ දේශපාලන පක්ෂ කියා දෙයක්ද නැති කොට ජනතාවය කියන අය චිත්‍රයක් ඇඳගෙන හඬ පට ආතල් අරගෙන ඉන්නකොට රටේ මොක වුණත් රට්ටුන්ට එතරම් ගැටලුවක් නැත. බයියන් කියන්නා සේ ඔවුන්ට ඉතිරිව රටක් තිබේ. එය බොර්ඩ් ලෑල්ලකට සීමා වුණත් ඒ ඇතිය. මොකද ගෝඨා ජනාධිපති නිසාය.