මේ රටේ විවිධ දේශපාලන මත දරමින් රාජ්‍ය බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් දිගු කාලයක් මුළුල්ලේ වූ සිදුවීම් සමුදාය ගැන කල්පනා කර බැලූ විට පවතින සමාජක්‍රමය තිව්‍රව ප්‍රශ්න කරන සහ එය වෙනස් කිරීමට බලපෑමක් කරන අවස්ථා ඇත්තේ සුලු ප්‍රමාණයකි. 71 කැරැල්ල , 88 -89 කැරැල්ල සහ උතුරේ දෙමළ කැරැල්ල එහි බරපතලම අවස්ථාවන්ය. ඉන් පසු එළැබුණු බරපතලම අවස්ථාව ලෙස රංජන්ගේ හඬ පට හෙළිදරව්ව ලෙස සැලකිය හැකිය.
මධ්‍යම පාංතික අඳෝනා
විශේෂයෙන්ම මධ්‍යම පාංතික සිතන්නන්ට මේ ඒක් අවස්ථාවක්වත් සදාචරාත්මක නැත. ප්‍රසිද්ධ (දේශපාලන) සහ පෞද්ගලික ජීවිත කියා දෙකක් පුරවැසියකුට තිබෙනවාය ඒ නිසා මේ දෙක පටලවා නොගත යුතු බව මේ අය අදහති. ප්‍රසිද්ධ ජීවිතයේදී රටේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතියන්ට යටත්ව නීති ගරුකව විනය ගරුකව කලින් තීරණය කරගෙන තිබෙන සදාචාර සම්පන්න භාවිතයන් අනුව හැසිරිය යුතුය. පවතින දෙයෙහි යමක් වෙනස් කිරීමත් ඒ අනුව සිදු විය යුතුය. රංජන්ගේ හඬ පට හෙළිදරව්ව නිසා මේ ආරක්ෂාකර ගෙන පැමිණි භාවිතාවට කෙලවී තිබේ. මේ දිනවල සමාජ මාධ්‍යයන්හී මේ කෙලවීම නිසා නැගෙන අඳෝනා බහුල වශයෙන් දකින්නට ලැබේ. වඩාත් විහිලු සහගත දේ නම් ක්‍රම විරෝධී දේශපාලනය, විමුක්ති දේශපාලනය වෙනුවෙන් යැයි කාලයක් තිස්සේ හඬ නැගූවන්ද මේ ආඳෝනාවේ කොටස් කරුවන් වී තිබීමය.
පවතින ක්‍රමය ජරා ජීර්ණ යැයි හෙළිදරව් කිරීමට හෝ වෙනස් කිරීමට අවශ්‍ය නම් ඒ ක්‍රමයට අනුගතව සදාචාර සම්පන්න විය නොහැක. මූලිකවම එය බිඳ දැමිම විය යුතුය. පුරවැසියන් පුරුදු වූ හුරු වූ සමාජ ක්‍රමය කෙතරම් ජරා ජීර්ණ වූවත් එය බිඳ දැමීම පහසු නැත. තමන් වැටී සිටින්නෙ ජරා ජීර්ණ වූ ගොහොරුවක බව කෙතරම් කීවත් එය පිළිගැනීමට මිනිස්සු සූදානම් නැත. එය පිළි ගත්තත් වෙන මොකක් කරන්නද මේක ඇතුලෙම ගේම ගහගෙන ඉන්නවා කියන මිනිසුන් බහුලය.. ඒ වෙනස් කරන්න හිතන මිනිස්සු ඒ ගොහොරුවේම ගොදුරු බවට පත් වී වැළලී යාමද සිදු වීම නිසා මේ වෙනස් කළ හැකි යැයි සිතන්නන් අතිශය දුලබය. ඒ සියලු බාධක අභිබවා මතු වෙන්නන් ඊටත් දුලබය. ඒ ආවත් අනෙක් කාරණය නම් වෙනස් කිරීම සඳහා වන මාර්ගයක් උපක්‍රමයක් හඳුනා ගැනීමට නොහැකි වීමය. මේ නිසා සමාජය වෙනස් කිරීමට පෙරමුණ ගන්නා මිනිස්සු විනාශ විය. නැතිනම් ඒ අත් හැර දැමීම සිදු විය.
අහිංසක රිදවීම්
ඒ කොහොම නමුත් කියන්නට ගියේ සමාජ ක්‍රමයක් වෙනස් කිරීම කියන්නේ සදාචාර සම්පන්න කාරණයක් නොවන බවයි. මන්ද එහිදී මූලිකවම වෙනස් වන්නේ ඒ පැවැති සදාචාරයයි. එය දේශපාලන ආර්ථික සමාජීය සංස්කෘතික ඕනෑම දෙයක් විය හැකිය. එහිදී කෙනෙකුගේ පෞද්ගලිකත්වය හෙළි කිරීම්ට සිදුවෙනවා නම් ඒ කළ යුතුය. එය මඟ හැර යෑම සමාජය වෙනස් කිරීම කියන අරමුණ ඉටු කරන්නෙ නැත. මෙය නරුම ආස්ථානයක් බව මධ්‍යම පාන්තික මත දරන්නන්ගේ මතය වූවත් ඊට කරන්න දෙයක් නැත. මන්ද දේශපාලනය කියන්නෙ කිසි සේත්ම අහිංසක දෙයක් නොවන නිසාය. එය රාජය බලය අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් වන භාවිතයක් නිසා එක් පාර්ශ්වයක් පරාජය කිරීම විය යුතුව තිබේ. ඒ පාර්ශවයට තුවාල සිදු වී රිදීම වැලක්විය නොහැක. අවිහිංසාවාදයේ පියා ලෙස විරුදාවලි ලැබූ මහත්මා ගාන්ධිගේ දේශපාලන ක්‍රියාකාරිත්වයන් අවිහිංසාවාදී ලෙස වර නැගුනත් ඒ කිසිවක් අහිංසක වුයේ නැත, සිවිල් නීති කඩ කිරීම, සත්‍යග්‍රහ ආදියෙන් සුදු අධිරාජ්‍යවාදියාට ගොඩක් තුවාල සිදුවී රිදුම් දෙන්නට වූ 'අහිංසක' ක්‍රියාවන්ය. අනෙක් පාර්ශ්වයකට එරෙහිව ආයුධ අතට ගැනීම හෝ නොගැනීම මත දේශපාලන ක්‍රියාකාරිත්වයක් කිසිසේත්ම අහිංසක වන්නෙ නැත.
පුරවැසියාට වූ අවමානය
රංජන් දුරකතන සංවාද පටිගත කර තබා ගැනීමද අහිංසක වැඩකි. ඒවා හෙළිදරව් වන තෙක් කාටවත් තුවාල වූයේ නැත. දැන් ඒ හඬ පට නිසා තුවාල සිදුව ඇත්තේ පුද්ගලයන් කිහිප දෙනෙකුට පමණක් යැයි කල්පනා කොළොත් ඒ අතිශය පටු සිතුවිල්ලකි. සැබෑ ලෙසම සමස්ත සමාජ ක්‍රමයටම මේ හඬ පට නිසා ලොකු තුවාලයක් සිදුව තිබේ. හැඟිම් දැනීම් ඇති සමස්ත පුරවැසියාටම වේදනාවක් ගෙන එන්නක්ව තිබේ. තමන් මෙතුවක් කල් විශ්වාස කළ රැක්ක ක්‍රමයේ ඇති දහ ජරාව හෙළිවන විට තමන් ගැනම කළ කිරීමක් වේදනාවක් සිහි බුද්ධියක් තිබෙන ඕනෑම පුරවැසියෙකුට ඇති විය හැකිය. මේ ගෙවෙමින් තිබෙන මොහොත එවැන්නකි.
රංජන්ට තඩි බෑම
දැන් තව දුරටත් රංජන්ට තඩි බානවාද අඩුම තරමින් තමන්ට වූ අවමානයෙන් ගැලවීමට පවතින ක්‍රමය වෙනස් කිරීමට දායක වෙනවාද කියන ගැටලුව සමාජ දේශපාලන ආර්ථික සහ සංස්කෘතිමය වශයෙන් සංවේදී තාවයක් තිබෙන පුරවැසියාට තිබිය යුතුය. ඒ ගැටලුව ගැන සාකච්ඡාවක් ක්‍රියාකාරිත්වයක් ඇවැසි ද යන තීරණය කිරීමත් පුරවැසියා සතු වූවත් සමාජය වෙනස් කළ යුතුය ඒ වෙනස් කළ හැකිය කියන මිනිසුන්ට මේ අවස්ථාව මඟ හැරිය නොහැක. කලින් කී ලෙසම මේ අහම්බයක් මෙන් මතු වූයේ සමාජ ක්‍රමය තිව්‍ර ලෙස ප්‍රශ්න කරන සහ එය වෙනස් කිරීමට බලපෑමක් කළ හැකි මොහොතකි.
තමන්ගේ කොටහා බේරා ගැනීම
එහෙත් අවාසනාවකට මේ සිදුවීම රන්ජන්ගේ ගොබ්බ කමක්, ජඩ කමක් ලෙස විග්‍රහ කර ගනිමින් තම තමන්ගේ හානිය අවම කර ගැනීම වෙනුවෙන් මහන්සි වෙන දේශපාලන ක්‍රියාධරයන් පමණක් එහෙ මෙහෙ දුවනවා පමණක් පෙනෙන්නට තිබේ.
සියල්ලට වඩා තමන්ගේ කොටහා බේරා ගැනීමේ තක්කඩිකම, මේ සමාජය තුල ප්‍රබලම බාවිතය ලෙස දැන් කාලාන්තරයක් තිස්සේ නඩත්තු වූවකි. ප්‍රජාතන්ත්‍රවාදීයි, ලිබරල් වාදීයි, සමාජවාදීයි, විප්ලවාදීයී...සිංහලය, දෙමළය, මුස්ලිම්ය, බෞද්ධය, කතෝලිකය, ඉස්ලාම්ය, හින්දුය, ශ්‍රී ලාංකිකය.... ආදී අනේක ආකාරයෙන් සිය ගනනක් මඟින් සිදු කරන්නෙ මේ තකක්ඩිකම වසා ගැනීමේ උපක්‍රමික මාර්ගය බවට පුරවැසියනුත් දේශපාලන හෝ වෙනයම් ජනමත දරන නායකයගේත් භාවිතාව බවට පත්ව තිබීම බව විවාදයකට ගත යුත්තක් නොවේ. ඇත්ත එයය. මේ නිසා රංජන්ගේ හෙළිදරව්ව ද පටු වුවමනා එපාකම් වෙනුවෙන් පාචිච්චි වී වැළලී යනු ඇත.
සැබැදි ලිපි :