පසුගිය යහපාලන සමයේදී නීතිය ක්‍රියාත්මක කරන ආයතන ප්‍රධානින් දේශපාලන වුවමනා මත කටයුතු කර ඇති බවත් එකල් හී රාජපක්ෂවරුන්ට එල්ලවූ චෝද්නා සියල්ල අසත්‍ය බවත් ඒවා දේශපාලන පළිගැනීම් බවටත් කන් කෙදිරි ගෑම්ද ඇසෙමින් තිබේ. එ්වා තහවුරු කිරීමට මේ හඬ පට අවශ්‍ය ලෙස සංස්කරණය කරමින් තමන්ගේ පටු දේශපාලන වුවමනාව වෙනුවෙන් යොදා ගැනිමද සිදුවෙමින් තිබේ.
හඬපට වලින් රාජපක්ෂලාගේ විලි වසාගැනීම
කොහොම නමුත් මේ හඬ පට නිසා රාජපක්ෂ වරු සහ ඒ සමයෙහි වූ තවත් අපරාධකරුවන් මේ චෝදනාවලින් ගැලවෙන්නෙ නැත. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන් හී ඇති අඩු පාඩු සහ එ්වාට පත් වෙන ප්‍රධානින්ගේ සිට සුළු සේවකයා දක්වා වන පුද්ගල පෞර්ශයන්ගේ ඇති අඩු පාඩුද නිසා අපරාධ චෝදනාවන්ගෙන් අපරාධකරුවන් ගැලවීම මෙන්ම අහිංසකයන් අපරාධ කරුවන් වීමද ඉතිහාසය පුර අසිදුව ඇති දෙයකි. ඒවා නිවැරදි කර ගැනීම අවශ්‍ය විටෙක නොසිදු වීම, ප්‍රමාද වීම නිසා සමස්ත රට වැසියාටම අගතියක් වී තිබෙන බවත් කිව යුතුය. මන්ද නීතියේ ආධිපත්‍යයට සියලු පුරවැසියන් යටත් බැවින් එහි අඩු පාඩු විසින් පීඩාවට පත් කරන්නේ අවසානයේදී පුරවැසියාය.
කොහොම නමුත් නීතියත් එය රකින ආයතනත්, යුක්තිය පසිඳලන ආයතනත් ස්වාධීනව කටයුතු කළ හැකි ශක්තිමත් ආයතන බවට පත් කිරීම සම්බන්ධයෙන් දේශපාලකයන් එතරම් උනන්දු වන්නෙ නැත.පසුගිය යහපාලන සමයේදී ඒ වෙනුවෙන් සමාජයේ හැඬක් නැගුණු බැවින් ඒ සම්බන්ධයෙන් පියවර රැසක් අරගනු ලැබීය. විශේෂයෙන්ම දේශපාලන අඟිලි ගැසීම් වලින් තොරව විමර්ශනයන් කිරීමත් අධිකරණ කටයුතු සිදු වීමත් විය යුතු බවට විශාල ඉල්ලීමක් සමාජය තුලින් විය.
යහපාලන අංගවිකලවීම
යහපාලන කණ්ඩායම බලය ලබා ගත්තේද එම ප්‍රතිසංස්කරණයන් සිදු කරන බවට පොරොන්දුවක් දීමෙනි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ ස්වාධීන කොමිසන් සභා ශක්තිමත් කිරීම ඒ අනුව සිදු විය. එහෙත් වැඩේ කෙරුණේ භාගෙටය.. බලාපොරොත්තු වූ පරිදි එ්වා ක්‍රියාත්මක කරවන්න ඊට සුදුසු පුද්ගලයන් පත් වූයේද නැත. දේශපාලන අඟිලි ගැසීම් වලින් ජරා ජීර්ණ වූ ඔද්දල් වූ ආයතන පද්ධතියක් නඩත්තු කරපු රටේ මේ වෙනස්කම් සිදු කිරීම ලෙහෙසි පහසු දෙයක්ද නොවීය. දේශපාලකයා තමන්ට ඇඟිලි ගැසීමට තිබෙන සීමාව මුලුමනින්ම අහෝසි කිරීමට කැමැති නැත. ඊට ඉඩක් තබාගෙන කළ හැකි වෙනස් කම් සිදු කළේය. නිලධාරීන්ට දේශපාලනයෙන් තොරව මෙම ආයතන ස්වාධීනව රටේ නීති රෙගුලාසි අනුව පත්වාගෙන යෑම සිදු කළ හැකි බවට අවබෝධය තිබුණේ නැත.. ආණ්ඩුවේ දේශපාලන වුවමනාවට ගැතිව කටයුතු කිරීම විය යුතු බව ඒ වැඩි දෙනෙකු තීරණය කළේ දේශපාලකයා ප්‍රතික්ශේප කිරීම තුලින් තමන්ට අවාසියක් අනතුරක් සිදුවෙනු ඇතැයි බිය සැක නිසාය. කොන්ද පණ ඇතිව නියමාකාරයෙන් කටයුතු කිරීම තුල තමන්ගේ ආරක්ෂාවට ප්‍රශ්නකාරී විය හැකි බවත් ඒ ආරක්ෂාව වෙනුවෙන් රටේ අනෙකුත් ආයතන හෝ නිති පද්ධති හෝ කොටින්ම ජනතාවත් මැදිහත් නොවෙන බව මේ නිලධාරීන් සබුද්ධිකව වටහා ගත්තකි. මේ නිසා කවර ප්‍රතිසංස්කරණයන් සිදු වූවද ඒවා ක්‍රියාත්මක වීමේදී අංගවිකල විය.
යහපාලන ආණ්ඩුව ඉවත් වීමෙන් පසුව මේ ස්වාධීන කොමිසන් සභා වලට සිදු වූ විපරීතය මීට හොඳ උදාහරණයකි. විශේෂයෙන්ම පොලිස් කොමිසම මුලුමනින්ම වත්මන් පාලකයාගේ නියෝග වලට යටත් විය. ඉතා නිර්ලජ්ජිත ලෙස පොලිස් කොමිසම කටයුතු කළේය.. කොමිසමට ලැබී තිබෙන බලතල අනුව ජනාධිපතිවරයාට යටත් වීම සිදු විය යුත්තක් නොවේ. නීතිය හරියට තිබුණාට පුද්ගලයන්ගේ නිවට නියාලු කම ඒ ස්වාධීනත්වය විනාශ කරනු ලැබීය.
19 ඇණයක් වීම
19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා විධාකයක ජනාධිපතිවරයාට හිතුවක්කාරව කටයුතු කිරීමේ හැකියාවන් රැසක් අහිමි කරනු ලැබීය. විශේෂයෙන්ම මේ සංශෝධනයට පෙර යුගවල ජනාධිපති බලතල උපයෝගී කරගෙන කරන ඇඟිලි ගැසීම නිසා වංචා දුෂණ අපරාධ රැසක් සිදුව තිබිණි. අධිකරණ ක්ෂෙත්‍රයට සිදු කරනු ලැබූ බලපෑම සුලු පටු නැත. සාහසික මීනිමරුවන් කිසිවගවිභාගයක් නැතිව නිදහස් කිරීම් සිදුවිය. ජනාධිපතිවරයට අවශ්‍ය තීන්දුව අධිකරණයෙන් ලැබිය යුතු විය. කොන්දක් කටක් කෙලින් තියාගෙන වැඩ කළ විනිසුරුවරයෙන් දෙන්නෙක් හැර අන් සියලු දෙනා පවතින ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන්ට සහ යාළු මිත්‍රකම් වලට යටත්ව තීන්දු ලබා දීම සිදු විය. ඊට ලොකුම හේතුවක් වූයේ මේ විනිසුරු වරුන් පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතුව තිබිමය. විරුද්ධ වාදීන් ඝාතනය කිරීමේ සංස්කෘතියක් පාලකයා වෙතින් පෙන්නුම් කිරීම නිසා පාලකයාට පක්ෂපාත වීම සිදු විය යුතු බව විනිසුරුවරුන්ද දැන ගෙන සිටි කාරණාවකි. මේ නිසා විනිසුරුවරුන්ට දොස් කීමෙහි පළක් ද නැත. ඔවුන්ට ඔවුන්ගේ ක්ෂේත්‍රයට සිදුව තිබෙන කෙනහිලිකම් කැපිලි කෙටිලි මෙන්ම වරදාන වරප්‍රසාද ආදියද පාලකයාගේ කැමැත්ත මතම සිදු විය. සුදුස්සාට සුදුසු තැන් ලැබුණේ නැත. හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකයව කැකිල්ලෙ තීන්දුවකින් ඉවත් කර මොහාන් පීරිස් වැනි ජඩයෙකු අගවිනිසුරු ධුරයට පත් කිරීම මේ සඳහා ඇති හොඳ උදාහරණයකි.
රංජන්ගේ බලපෑම
පසුගියදා හෙළි වූ රන්ජන්ගේ හඬ පට වලින්ද අධිකරණයට දේශපාලනය නිස සිදුව තිබෙන බලපෑමේ තරම් හොඳින් පෙන්වා දී තිබේ. මෙහිදී විනිසකරුවන් දේශපාලකයන් ඉදිරියේ බැගෑපත් වන්නේ තමන්ට වූ අසාධාරණයට සාධාරණයක් කරන මෙන්ය. ආණ්ඩුවේ වුවමනාව කුමක්ද එයට අනුව තීන්දුව ලබාදිය හැකි බවය... පොලිස් විමර්ශන නිළධාරීන්ටද තමන්ගේ විමර්ශනය නිසි ලෙස කරගෙන යෑමට දේශපාලනය නිසා සිදුව තිබෙන බාධාවන්ද මේ හඬ පට වලින් අනාවරණය විය. ඊට තවත් දේශපාලකයෙකුගෙන් ආධාර ඉල්ලා සිටීමටද සිදුව තිබිණි.
හඬපට වල ඇත්ත
මේ හඬ පට නිසා හෙළිදරව් වී ඇත්තේ වෙන මොකවත් නොවේ. මේ පවතින මජර දේශපාලන ක්‍රමය ගැන ඇත්ත කතාවය. මේවා රහස් නොවේ. කිසිවකුත් මීට පෙර කතා බහ නොකළ දේවලුත් නොවේ. යහපාලන සමයේදී උත්තරයක් හෙව්වේ මේ තත්වයන් වෙනස් කිරීමටය. නමුත් එය නිසියාකාරව සිදු නොවීම ඒ වෙන්ස් කම් වල වරදක් ලෙස සැලකිය නොහැක.. අපට ඒ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය හුරු පුරුදු නොමැති කම විශේෂිතම තත්වයයි. දැන් විය යුතුව තිබෙන්නේ මේ ආයතන අහෝසි කර දැමීම නොව ඒ තව දුරටත් ශක්තිමත් කර පවත්වගෙන යෑමය, එහෙත් ඒ සඳහා ශක්තිමත් විය යුතු අනෙක් ආයතන පද්ධතියක් ද තිබේ. කලින් සඳහන් කළාක් මෙන් මේ ආයතන නියෝජනය කරන පුද්ගලයන්ගේ පෞර්ෂ වර්ධනය සහ ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම විය යුතුය. විශේෂයෙම මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය රැක ගැනිම ගැන මහ ජනයාගේ ආකල්ප ශක්තිමත්ව ගොඩ නැංවීම මූලිකව කළ යුතුව තිබේ.
ජනමාධ්‍යයේ ලැජ්ජා නැතිකම
රන්ජන්ගේ හඬ පට නිසා කුල්මත් වී සිටින පිරිසත් මධ්‍ය ආයතනත් විය යුතු දේ ගැන මඟ හරිමින් දේශපාලන සහ පෞද්ගලික වුවමනා එපාකම් මත මේ සිදුවීම යොදා ගනිමින් විපරීත ජන මත නිශ්පාදනය කරමින් සිටීම මේ යුගයේ ලැජ්ජා සහගතම සිදු වීමකි. මහජනතාවට තමන් වැටී තිබෙන අසරණ තත්වය ගැන වැටහීමක් නැත. අරූ හොරා, ඌත් හොරා, මූත් හොරා කියමින් විනෝද වෙනවා හැර ජනතාව වෙනත් කිසිත් තෙරුම් නොගනී..මේ මෝඩ මහජනතාවගේ ආකල්පයන් නිසා ලොකුම වාසිය අත් පත් කර ගන්නෙත් දේශපාලකයමය. මේ නිසා මේ මජර ක්‍රමයන් වෙනස් කිරීම්ට සටකපට දේශපාලකයා කැමැති වන්නෙ නැත.
ගෝටා මොකවත් කරයි ද?
ගොටාබය රාජපක්ෂ බලයට පැමිණීම නිසා ඔහු රටට යමක් කරනු ඇතැයි කියන විශ්වාසය ඔහු බලයට පත් කිරීමට දායකවූවන්ගේ විශ්වාසය විය. මේ ' යමක්' යනු කුමක්ද යන ගැන කිසිවෙකුටත් හරි හමන් අවබොධයක් නොවුවත් මොනව හරි දෙයක් කිරීමෙහි බලාපොරොත්තුව මේ පිරිසට තිබිණි. නීති ගරුක විනය ගරුක ප්‍රතිරූපයක් මවනු ලැබ දේවල් හරියට නිසි ලෙස වේගවත්ව ලස්සනය කරනු ඇතැයි කියන මිත්‍යාව මේ පාක්ෂිකයන් අතර තවමත් තිබේ. ගොටාබයට විරුද්ධව කටයුතු කළ අය තුල පවා ගොටා මොකක් හරි කරයි කියන සිහින් විශ්වාසයක් තිබිණි.
එහෙත් මේ ගෙවුනු මාස 2ක් තුල ඒ විශ්වාසයන් කඩ වීම මිසක් බලාපොරොත්තු අලුත් කිරීමක් හෝ වූයේ නැත. ගෝටාගේ සරළ කම්, පාරේ චිත්‍ර ඇඳීම වැනි විගඩම් බහුබූත හැර රටේ අභිවෘර්ධිය වෙනුවෙන් කියා ගත් ආර්ථික හෝ දේශපාලන තීන්දු තීරණ කිසිවක් නැත.
ගෝටා රංජන් පසුකර යෑම
ඒ සියල්ල එසේ සිදුවෙද්දි රටට අතිශ්‍ය අනතුරුදායක තීන්දුවක් ගෙන තිබෙන බව නම් මින් සතියකට පමණ පෙරිතුව පෙන්නුම් කළේය. ඒ විජේදාස රාජපක්ෂ මඟින් ගෙන ආ 21 සහ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙකය. එමඟින් යොජනා කරන්නේ මොනවාද යන්න ගැන මීට පෙර ලිපියකින්.(ඒකාධිපති සිහිනයක සිටින ගෝටාගේ ගමන මහින්දටත් එරෙහිවයි) සවිස්තරව දැක්වූවෙමු. එහෙත් යලි ඒ ගැන කතා කරන්න වෙන්නේ රංජන්ගේ හඬ පට තුලින් මේ පවතින මජර ක්‍රමවේදය ගැන වන අලුත් හෙළිදරව්ව නිසාය.. මේ හෙළිදරව් කිරීම ගැන එලල් වන පොදු විවේචනයව තිබෙන්නේ අධිකරණයට දේශපාලන අඟිලි ගැසීම සිදුවන බවය.. එසේ නම් විය යුත්තේ මේ අඟිලි ගැසීම්වලට බාධා පමුණුවන නව නීති සම්පාදනය සහ ඒ රැකෙන ලෙස වටපිටාව සකස් කිරීමය. එහෙත් ගොටාබය දැන් යෝජනා කරනේ කුමක්ද? යහපාලනය විසින් මේ දේශපාලන ඇඟිලි ගැසීම් මොට කිරීම වෙනුවෙන් හඳුන්වා දුන් නීති රීති යළි හකුලා දැමීමටය. 21 සහ 22 සංශෝධන දෙකෙන්ම සෘජුවම ජනාධිපතිවරයාට අධිකරණයට ඇඟිලි ගැසීමට තිබෙන බාධාවන් ඉවත් කරයි. ''මහ එකා හිටගෙන කරන කොට ගෝලයෝ දුව දුව කරනවා '' පැරණි කියමන මෙතනදී මතක් කර ගැනීම හොඳය.
රන්ජන්ට හෝ එවක ජනාධිපති අගමැති ඇතුලු ඇමැතිවරුන්ට යහපාලන යුගයේදී අධිකරණයට ඇඟිලි ගැසුවා කියා චෝදනා එල්ල වන්නේ ඒ අවස්ථාවන් බරපතල ලෙස අහුරා ඇති විටකය. එසේ නම් ඒ බාධාවන් ද ඉවත් කළ විට ඇතිවෙන තත්වයන් කෙසේ වෙවිදැයි අමුතුවෙන් කිව යුතු නැත.
ගොටාබය ජනාධිපති වීමෙන් පසුව බෙල්ලන්විල විහාරස්ථානයට ගොස් සිදු කරනු ලැබූ ප්‍රකාශය යලි මතකයට ගන්නෙ නම් ඒකාධිපතියකුව කටයුතු කිරීමෙහි ඔහුගේ ඇති ලැදියාව මනාව පෙන්නුම් කර තිබිණි. (ඒ කතා බහ ගැන සටහනක් පහතින් ඇත) ඒ අනුව ඔහුට කටයුතු කිරීමේ ඉඩක් සලසා දෙන්නෙ නම් ඔහු හමුවේ රංජන් රාමනායක යනු තවමත් දණගාන තොත්ත බබෙකු වනවා ඇත.
රන්ජන් කළේ වරදක් නම් ඊට වඩා සිය දහස්ගුණයකින් වරදවල් කිරීමේ හැකියාව ගෝටාබයට ලබා දීම කෙතරම් වැරදී සහගත තීන්දුවක් විය හැකිද.
විනය ගරුක රටක් නීති ගරුක රටක් යන්න ගොටාබයගේ අවංක අපේක්ෂාව නම් විය යුතු වන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදීව ස්වාධීනව පැවැතිය යුතු ආයතන තමගේ අණසකට නතු කර ගැනීම නොවේ. මේ ආයතන නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමට අවශ්‍ය අනුග්‍රහය සහ එහි පැවැත්මට සරිලන සෙසු වටපිටාව සකස් කර දීමය.
එහෙත් ගෝටාබය කියන්නේ එහෙම කෙනෙකු නොවේ. තමන් නොම්මර එකේ දේශපාලන තකක්ඩියෙක් බව ඔප්පු කිරීමට සූදානමින් සිටින බල වියරුවකින් පෙලෙන රෝගියෙක් බව තව වැඩි දිනක් යන්නට පෙර ඔහු විසින්ම ඔප්පු කර පෙන්වනු ඇත.
බෙල්ලන්විල රජමහා විහාරයට පැමිණ බෙල්ලන්විල ධම්මරතන හිමි බැහැදුටු අවස්ථාවේදී ගෝටාගෙන් එළියට පැන්න ඒකාධිපති ආසාව
------------------------------ --------------------------------.
“මේකෙ වැඩේ තියෙන්නෙ පහුගිය කාලෙ අර 19 වෙනි සංශෝධනයයි, නිදහස් … මොනවද … ඉන්ඩිපෙන්ඩන්ට් කොමිටි … වලින් කිසිම වැඩක් කරන්න බෑ. පොලිසියෙ කෙනෙක් අනවශ්‍ය තැනක ඉන්න කෙනෙක් මාරු කරවලා හොඳ මිනිහෙක් දාගන්නත් කොමිෂන් ගිහිල්ලා එහෙම වෙනවා නම් පොලිස්පතිතුමාගෙ වැඩක් තියෙනවද ?”
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සම්බන්ධයෙන් ද අදහස් දැක්වූයේ මෙසේය.
“අර දැන් අපේ ඉන්ක්වාරීස් කරපු මිනිහා අද දැන් අන්න පැනලා ගිහිල්ලා. නිශාන්ත සිල්වා. ජිනීවා ගිහිල්ලා පැනලා ! අද දැන් කිව්වා. දැන් මේ එන්ජීඕ කට්ටියට ඕනෙ විදියටනෙ ඔක්කොම හදලා තියෙන්නෙ. ශානි අබේසේකර එයාට හිතාගෙන ඒකට හරියන්න ඉන්ක්වාරි කරනවා, ඒවා ගැන එන්ජීඕ එක අහන්නෙ නෑ ප්‍රශ්න. ඒක හරි … ?
ඒගොල්ලො අපිවයි, යුද්ධ කරපු අයවයි, නිලධාරීන්වයි, නාවික හමුදාපතිතුමා හිරේ දාන්නයි, බුද්ධි අංශ අයව හිරේ දාන්නයි, මාව හිරේ දාන්නයි … එච්චර විතරක් නෙවෙයි, බුද්ධි අංශවල අයට ගිහිල්ලා බල කරනවා. එෆිඩෙවිට් එක්ක දුන්නා, මේගොල්ලො කොහොමද මගේ නම කියන්න කියලා බල කරපු නිලධාරීන්. ඒ එක්කෙනෙක්වත් කිව්වෙ නෑ හැබැයි එෆිඩෙවිට් දුන්නා, ඒකට කිසිම උත්තරයක් නෑ. එතකොට එන්ජීඕ එක එව්වා ප්‍රශ්න කරන්නෙ නෑ.
ජනතාව ඡන්දෙන් පත් කරලා තියෙනවානෙ. පත් කළේ වැඩ කරන්නනෙ. එන්ජීඕ කියන හැටියට වැඩ කරන්න පුළුවන්ද ? ජනතාව මේවා බලාගෙන ඉඳලානෙ ඡන්දෙ දුන්නෙ නේ ? ඒවා ඒ විදියට කරන්න ඕනෙ නම් ඉතිං ජනතාව වෙන මිනිහෙක්ව පත්කර ගන්නවානෙ ? පාර්ශ්ව දෙකම ජනතාවට මේ කරුණු කිව්වනෙ ? ජනතාව පිළිගත්තෙ මේ ක්‍රමේ. එතකොට ඒක අපි කරන්න ඕනෙ. එහෙම නැත්නම් හාමුදුරුවනේ අපි ජනතාව කියන එක නෙවෙයිනෙ එතකොට කරන්නෙ. ඉතිං මම පැකිළෙන්නෙ නෑ, ඒ ජනතාව මට බාරදුන්නු වැඩේ මම කරනවා”