යහපාලනයට අවංකව වැඩ කළ උන් දන් ගෙඩියට...යහපාලන ඩීල් කාරයෝ අතුරුදන්. Featured

Monday, 25 November 2019 21:29

රාජපක්ෂ පවුල් ආණ්ඩුව පෙරළා දමා ප්‍රජාතන්ත්‍රවාදය සුරකින පාලනයක් ගොඩ නඟා ගැනීමට අවංකව මහන්සි වූ ඒ කෙරෙහි මේ මොහොත දක්වාම අපේක්ෂා සහගතව සිටින පිරිස, බරපතල ජීවිත අනතුරකට මේ මොහොතේ පත්ව සිටියත් ඒ සම්බන්ධයෙන් පැවැති දේශපාලන අධිකාරියත් හෝ සිවිල් සංවිධානත් වගේ වගක් නැතිව සිටී.

 

ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගැනීමත් සමඟ ජීවිතය සම්බන්ධයෙන් මුලින්ම අනතුරු හැඟවීම ලැබී තිබුණේ පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වාටය. ඒ අනුව ඔහු වහා ක්‍රියාත්මක වී රටින් පලා යන්නට කටයුතු කළේය. ඔහුට එරෙහිව තර්ජනයක් ආවේ අද ඊයේ සිට නොව සිය රාජකාරිය කරමින් සිටින සමයේ සිටමය. රාජපක්ෂ වරුන් සම්බන්ධ වූ අපරාධ ගනනාවක් ගැන විමර්ශන කටයු‍තු සිදු කිරීම ඔහුට එරෙහිව සතුරන් නිර්මාණය කර ගැනිමක් විය. යහපලනය විනාශ කිරීමට කැස කැවූ ප්‍රධානම පුද්ගලයා වන හිටපු ජනාධිපති සිරිසේන ඔහුට එරෙහිව නිල බලයම පාවිච්චි කළේය. රාජපක්ෂ වරුන්ගේ හෙංචයියන් හරහා මර්ණීය තර්ජනයන් සිදු කළේය.

නිශාන්ත සිල්වාගේ ප්‍රධානියා වූ ශානි අබේසේකරත් දැන් පසු වන්නෙ ජීවිතය ගැන බරපතල අනතුරකය. ඔහුව අත් අඩංගුවට ගැනීම සඳහා මේ වන විට සියලු කුමන්ත්‍රණ සූදානම්ය. රාජපක්ෂලාට මිනිහෙක් අත් අඩංගුවට ගැනීමට හෝ මරා දමන්නට නඩු විභාග කිරීමට අවශ්‍ය නැත. ඔවුන්ට එරෙහි නම් එය තීන්දුව ගැනිමට ප්‍රමාණවත්ය. ඒ තීරණ ඔවුන්ගෙ හිතු මතේට ගන්නා ඒවාය. මේ තත්වයන් හමුවේ මේ නිලධාරීන් දෙදෙනාම සිටින්නේ බරපතල අනතුරුදායක තැනකය.

එසේම රහස් පොලිසියේ ප්‍රධානියා වන රවී සෙනෙවිරත්නත් අනෙක් නිලධාරීන් 704 ත් දැන් සිටින්නේ කොයි මොහොතක හෝ අත් අඩංගුවට පත් වීමේ හැකියාව තිබෙන බව දැන ගෙනය.

මේ නිලධාරීන් කිසිවකුත් දේශපාලන කොන්ත්‍රාත් කළ වුන් නොවේ.. ජනාධිපති සිරිසේන හැර පසුගිය ආණ්ඩුවේ දේශපාලකයන් කිසිවකුත් ඔවුන්ගේ වැඩ වලට ඇඟිලි ගැසුවේ නැත. අපරාධ විමර්ශන කඩිනම් කිරීමට පහසුකම් සැලසීම ඒ වෙනුවෙන් බලකිරීම සිදුකළේය. එහෙත් ඒ නීතියට අනුකූලවය. පොලිසියට පැවරී තිබෙන බලතල අනුව අධිකරණයට දැනුම්දීම, නීතිපතිවරයාට දැනුම් දීම හරහා ඔවුන්ගේ රාජකාරිය හරියටම ඉටු කළේය. අද ඔවුන් රාජපක්ෂවරුන්ගේ ගිලටීනය ඉදිරියේ හිට ගන්නේ අවංකව, කාර්ය ශූරව හරියට රාජකාරිය කිරීමේ වරදටය.

මුල්‍ය අපරාධ විමර්ශන එකකයේ ප්‍රධානියා වී රවී වෛද්‍යලංකාර හොර තක්කඩියෙක් බව එවකටද හෙළිව තිබූ අතර ඔහු රාජපක්ෂවරුන්ට එරෙහිව තිබූ මුල්‍ය අපරාධ විමර්ශන අවුල් කර දමා රාජපක්ෂවරුන්ට ගැලවීමේ මාර්ග හදා දුන්නේ අත යටි ලැබුණු මිලියන ගනන් සන්තෝසම් නිසා බව එවකටද ප්‍රසිද්ධ රහසක්ව පැවතුන කතාවකි. අවසානයේදී රාජපක්ෂවරුන් වෙනුවෙන්ම සේවය කොට ඔහු රට පැන්නේය. හෙට අනිද්දාට නැවත් වීරයකු මෙන ශ්‍රිලංකාවටද ඔහු පැමිණෙනුද ඇත. සමහර විට අනාගත පොලිස්පති වරයා වීමේ වාසනාවද ඔහු සතු නැතුවා යැයි කිව නොහැක.

කෙසේ නමුත් අවංකව රාජකාරි කළ නිලධාරීන් අද මුහුණ පා තිබෙන අර්බුදය හමුවේ එජාපයේ හෝ ජවිපෙ මේ වන තුරුත් කෙළ පොදක් හලා නැත. මේ නිලධාරීන් විමර්ශනය කළ සෑම පැමිණිල්ලක්ම පාහේ ජවිපෙ විසින් සිදු කළ පැමිණිලිය. රාජපක්ෂ්වරුන් අත් අඩංගුවට ගන්නා ලෙස බල කරමින් එළියේ කෑ ගැහුවේද මොවුන්ය. එජාපයේ රාජිත සේනාරත්නලා චම්පික රණවකලා මංගල සමරවීරලා මෙනම එජාප නායක රනිල් වික්‍රමසිංහද ජනාධිපති අපේක්ෂක වූ සජිත් ප්‍රේමදාසද නිහඬය.

රාජපක්ෂවරුන්ට යළි බලය අත්පත්වන ලෙස තමන්ගේ දේශපාලන වගකීම අත් හැර දමු මේ දේශපාලකයන් යහපාලනය වෙනුවෙන් අවංකව පෙනී සිටි නිලධාරීන් වෙනුවෙන් පෙනි සිටීම මඟහැර තිබීම මොවුන්ගේ තක්කඩි දේශපාලනය ගැන තවත් ප්‍රකාශනයක් ලෙස සැලකිය හැකිය.

මේ දේශපාලකයන් මෙසේ කටයුතු කරන විට පාක්ෂිකයා හෝ වෙනක් කිසිවකුත් හෝ මේ දේශපාලකයන් විශ්වාස කරමින් තව දුරටත් කටයුතු කරනු ඇතැයි සිතිය නොහැක. එසේම ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කෑ මොර දුන් සිවිල් සමාජ කාරයන්ද මීක් නැත.. එක්කො බයට සැඟ වී හෝ රටින් පලා ගොස්ය. නැත්නම් රාජපක්ෂලා සමඟ සුහද ගනුදෙනුවකට යෑමේ අභිලාශයෙන් පසු වෙනවාද විය හැකිය.

රාජපක්ෂලාගේ දේශපාලනය කුමක්ද යන්න අමුතු කතන්දරයක් නොවේ. රාජපක්ෂලාට නැවත ඉඩ දීම වුවහොත් යළි සියල්ල විනාශ වන බව මොවුන් නොදැන සිටියාද නොවේ. එජාපය සිටියේ සිහින ලෝකයකය. පක්ෂයේ බලඅරගලය සියල්ලට වඩා වැදගත් විය. හොරා කෑමට පොටක් හොයමින් කාලය ගතකළ වුන්ද සිටියේය. ජනතාව ඊට උත්තර දී තිබේ. යළි කිසිදා එජාපයට ගොඩ ඒමක් නැත.

ජවිපෙ ජනාධිපතිවරණයේදී කටයුතු කළේම රාජපක්ෂවරුන්ගේ ජයග්‍රහණය අපේක්ෂාවෙනි.

ජවිපෙ වැනි සංවිධාන අප දැරු මතයට ප්‍රතිවිරුද්ධ මතයක් දරමින් ගෝටා ඉස්සරවගේ නෑ, පරණ සෙල්ලම් ආයි බෑ .. කියමින් ඔහුව සුද්ධ කිරීමේ වැඩපිළිවෙලක සිටිය බවද අමතක කළ යුතු නොවේ. ඔවුන්ගේ දේශපාලන උපාය මාර්ගයම වූයේ ගෝටබයගේ ජයග්‍රහණයෙන් පසුව වන ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීම දඩමීමා කරගෙන ජනතා විරෝධතා මතු කර ජනයා උසි ගන්වා මිනියක් දෙකක් මරාගෙන තමන්ට පාර්ලිමේන්තුවේ තව මන්ත්‍රීධූර දෙක තුනක් හෝ ලබා ගැනීමේ නරුම අවස්ථාවාදයකය. සියයට 3 ක අඩු ප්‍රතිශතයක් දක්වා ජනතාව විසින් ඔවුන්ව ප්‍රතික්ෂේප කිරීම නිසා ජවිපේ මුලික උපාය මාර්ගය පරාජය විය. එහෙත් ඔවුන්ට වෙනයම් මාර්ගයක් නැත.. හෙට අනිද්දා වන විට ඔවුන් ගෝටාගේ ඒකාධිපති වියරුව පරාජය කරමුය ආදී කතන්දර කියමින් පාරට බහිනු ඇත.

එහෙත් අප අවධාරණය කර කියන්නේ මේ අවස්ථාවදීන්ගේ තක්කඩි වුවමනාවන් වෙනුවෙන් රැවැටී ජීවිතය නැති කර නොගන්නා ලෙසය. ජවිපෙ හැමදාම කළේ වැල යන අතට මැස්ස ගසා පැවැත්ම සරි කර ගැනීමට උත්සහ කිරීමය.. බලය වෙනුවෙන් කළ තක්කඩිකම් වල ඉතිහාසයක් විනා වෙනත් කිසිවක් ජවිපෙ ඉතිහාසය තුල නැත. ලක්ෂ ගනනක තරුණ පරම්පරා 2ක් ජවිපේ නායකයන්ගේ බල වුවමනාව වෙනුවෙන් නිකරුණේ ජීවිතය නැති කර ගත්තහ. නැවතත් ඊට ඉඩක් ලබා නොදීම මේ රටේ පුරවැසියාගේ වගකීමකි.

දේශපාලන පක්ෂයක් දේශපාලන තීන්දු ගැනීමේදී බලය අත්පත් කර ගැනීම ගැන පමණක් නොව එමඟින් පුරවැසියාට අත්පත් කර ගත හැකි ප්‍රතිලාබය ගැනද කල්පනා කළ යුතුය. එසේම බලය වෙනුවෙන් ඒ මිනිස් ජීවිතයක් හෝ විනාශ නොකිරීමට වග බලා ගත යුතුය. තමන්ගේ පක්ෂ සාමාජිකයාගේ හෝ සෙසු පුරවැසියගේ ජීවිත ගැන තුට්‍ටුවකට මායිම් නොකර දේශපාලන ව්‍යාපාරයක් වේ නම් ඊට එරෙහි වීමේ අයිතිය පුරවැසියාට තිබේ. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මේ මොහොත වන විට ප්‍රතික්ෂේප කිරීමකට ලක්ව තිබෙන එල් ටී ටී ඊ පන්නයේ ත්‍රාඩ නරුම ව්‍යාපාරයකි.


සෙසු දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් දූෂණ වංචා චෝදනා සහ තවත් චෝදනා කොතෙකුත් තිබිය හැකිය. උනුත් එකයි මුනුත් එකයි කියමින් සාධාරණ සටන් පාඨද ගෙන ආ හැකිය. එහෙත් වංචා දුෂණ අක්‍රමිකතා අනම් මනන් මොක්වත් නෑ උගත් බුද්ධිමත් කියමින් ජවිපෙ කරන තක්කඩි දේශපාලනයද ඉන් වෙනස් වන්නෙ නැත. ජවිපෙට මේ රටේ දේශපාලනය කිරීමට අයිතියක් තිබෙන්නේ ඒ අර්ථයෙන් පමණය.


එජාපය කියන්නේ පණ අදිමින් තිබෙන පිළිකා රොගියෙකි. ඒ ගැන කතා කිරීමෙහි තේරුමක් නැත.

කොහොම නමුත් තක්කඩි දේශපාලනය විසින් රටට අවංකව ආදරය කරන් පුරවැසියාව බලා ගත්තේ නැත. අවංකව වැඩ කරන රාජ්‍ය නිලධාරියාව බලා ගත්තේද නැත. නිරන්තරයෙන්ම තකක්ඩි දේශපාලන වුවමනාවන් හමුවේ මේ අය බිල්ලට ගැනීම නම් සිදුවිය. අද මේ මොහොතේ සිදු වෙමින් තිබෙන්නේත් එයමය.

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us