එහෙත් රනිල්ගේ දේශපාලනය පංතිමය වුවමනාවක් වීම නිසා සතුරු ප්‍රහාරයන් ද ඊට සාපේක්ෂව සීමා සහිත විය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඔහුගේ වන කැපවීම තුල ධනේෂ්වර වුවමනාවන් සහිත පංතියේ සතුරන් ඔහුට සිටියේ නැත. සිය පංතිමය නොවන සතුරන් විනාශ කිරීමට රනිල් දෙවරක් සිතුවේත් නැත.
මේ නිසා ඔහුගේ දේශපාලනය රටට ගැලපුනේ නැත. එක්සත් ජාතික පක්ෂය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා පක්ෂයක් වුව එයටද රනිල්ගේ දේශපාලනය ගැලපුනෙත් නැත. ඒ එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයා පීඩිත බලවේගයන් නියෝජනය කරන බහුතර සාමාජිකයාගෙන් ගොඩ නැඟුනක් වීම නිසාය. ඔවුන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ හරයන් පිළිගත්තත් තමන් මුහුණ දෙන පීඩනයට එරෙහිව රනිල්ගෙන් අපේක්ෂා කළ නායකත්වය සහ ප්‍රතිලාබයන් හිමි වූයේ නැති නිසාය. සජිත් ප්‍රේමදාස වැන්නකුට එජාපය තුල ජනප්‍රියත්වයක් හිමි වන්නේ ඒ තුලය.
එහෙත් සජිත් අනුගමනය කළේ එජාපයට උරුම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ගුණයන් සහිත දේශපාලනය නොවේ. ඔහුට ඊට කැමැත්තක් තිබුණත් එය ප්‍රකාශ නොකිරීමට බල කෙරී තිබුණෙත් රනිල්ගේ දේශපාලනය විසින් ඇති කර තිබූ ජනතා විරෝධය මැඩ පැවැත්වීමට අන් කරුණක් සොයා ගැනීමට නොහැකිවය. මංගල සමරවීර වැනි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්ට පවා සජිත්ගේ වේදිකාවේදී නිහඬව සිටීමට තරම් ඒ තත්වයන් දුර දිග ගොස් තිබිණි.
මේ දේශපාලනික වියවුල ඇති වූයේ රනිල් ලංකාවේ දේශපාලන පක්ෂයකට ඔබින නායකත්ව ගුණයක් ප්‍රකට නොකිරීමය. ඔහුට පොදු මහ ජනතාව සමඟ හෝ සිය පාක්ෂිකයා සමඟ ගනු දෙනුවක් තිබුණේ නැත. දේශපාලනයේදී ජනතාව සමඟ වන ගනුදෙනුවට අවශ්‍ය සටකපටකම උපක්‍රමශීලී බව ඔහුට තිබුණ නැත. ඔහුගේ තීන්දු තීරණ පොදු ජනතාවට තේරුම් ගත නොහැකි විය. පාක්ෂිකයාට තේරුම් ගත නොහැකි විය. එය බරපතල ලෙස කල්පනා කරමින් තේරුම් ගැනීමට වැඩි වෙහෙසක් ගත යුතුව තිබිණි. මේ තත්වයන් නිසා ඔහුගේ නායකත්වය නිරන්තරයෙන් අභියෝගයට ලක් විය. පක්ෂය තුල ගැටුම්කාරිත්වයට, කල්ලි කණ්ඩායම් වලට බෙදී ගියේය, පාක්ෂිකයා පක්ෂය හැර යෑම සිදුවිය.. මේ අර්බුදයන් අනෙක් පාර්ශ්වයන්ට ඔහුගේ දේශපාලනයට එරෙහිව බලමුළු තරකරන්නට පහසු අවස්ථාවන් ගොඩ නැගී තිබිණි.
මේ නිසා කවර ක්‍රමයකින් හෝ අත්පත් කර ගත් බලය සිය සන්තකයේ තබා ගැනීමට ඔහුට කිසි විටෙක හැකි උනේ නැත. ඒ සියලු තැන්හීදීම ඔහු පරාජය විය. දේශපාලනයේ ශූර මං පහරන්නෙකු ලෙස බලය අත්පත් කර ගත්තත් අත්පත් කර ගත් දේ රඳවා තබා ගැනීමට ඔහුට හැකි නොවෙන්නේත් බලය වෙනුවෙන් වන ජනතා ආරක්ෂාව ඇඳ බැඳ තබා ගැනිමට අසමත් වීම තුල මිස ඔහුගේ අවාසනාව නිසා නොවේ. බලය අත්පත් කර ගත් සැනින් ඒ වෙනුවෙන් බලවේගය වූ පීඩිත ජනතාව ඔහුට අත් හැරෙයි. ඔවුන් හා සාකච්ඡාවක් නැත. එකඟතාවයන් නැත. ඔහු තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න යන්නේ මේ ජනතාවගෙන් වියුක්තවය. ඔහු තමන්ගේ පංතියේ ගැටලුව නිරාකරණය කිරීමට වැඩි වෙහෙසක් ගන්නවා විනා පොදු මහජන අභිලාශයන් නොතකා හරී. පංතියේ ගැටලුව විසඳෙන විට පංතිය විසින් පොදු මහජනතවගේ ගැටලුව විසඳනු ඇති බව ඔහුගේ දැක්මයි. එහෙත් ඒ සෑම විටම එය වැරදුනි. ජනතාව විසින් ඔහුව ප්‍රතික්ෂේප වන තැනට ඔහු පත් විය. සජිත් සහ එම පාර්ශවයේ කැරළි ගැසීම එහි ප්‍රතිපලයයි.
අද එජාපය මුහුණ පා සිටින්නේ රනිල්ගෙ නායකත්වය සමඟ තවත් දුර යෑමට නොහැකිය යන නිශ්චිත අවස්ථාවටය. එහෙත් රනිල් මේ වන තුරුත් සිය නායකත්වය අත් හැරීමට සූදානම් නැත. ඔහු ඒ වෙනුවෙන් තවමත් තමන් දන්නා ශිල්ප ශාස්ත්‍ර සියල්ල පාවිච්චි කරනු ඇත.
එහෙත් ගැටලුව වන්නේ රනිල් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අත් පත් කර ගැනීම නොවේ. ශ්‍රි ලංකාව මුහුණ දෙමින් තිබෙන අනතුරට උත්තරයක් සොයා ගැනීමට නොහැකි වීමේ අර්බුදයයි.
රනිල් වික්‍රමසිංහව ප්‍රතික්ෂේප වන්නේ සහ ප්‍රතික්ශේප කළ යුතු වන්නේ එතැනදීය. එජාපය පක්ෂයක් ලෙස රැකීම හෝ නොරැකීම තව දුරටත් ප්‍රගතිශීලි ජනතාව හමුවෙ වන ගැටලුවක් නොවේ. ඒ අදාලම නැත. රාජපක්ෂ රෙජීමය විසින් ගොඩනගමින් තිබෙන ශ්‍රී ලංකාව යනු නුදුරු අනාගතයේදි මහත් ව්‍යයසනකාරී මොහොතක අපේක්ෂාවකි.
ගොටාබය විසින් ඇතැම් විට රාජපක්ෂවරුන්ගේ දේශපාලනය මෙරටින් සදහටම ඉවත් කරන තැන දක්වා රට තල්ලු කිරීමද විය හැකි නමුදු අප පරිස්සම් විය යුත්තේ අවම විනාශයකින් රාජපක්ෂ රෙජිමය නියෝජනය කරන මජර දේශපාලනය පරාජය කිරීමටය. ඊට මහා ජන බලයක් අවශ්‍යය. ඒ බලය මෙහෙය විය හැකි බලගතු දේශපාලන නායකත්වයක් අවශ්‍යය. ඒ නායකත්වයට අනතුරේ විශාලත්වයත් ඒ පරාජය කිරීම හැකියාවන් එකතු කරන එය ශක්තිමත්ව ගොඩනගන නිවැරදි උපාය මාර්ගයත් වැඩ පිළිවෙලත් තිබිය යුතුය.
රනිල් කියන්නේ ඊට සුදුස්සකු නොවේ. සජිත් කියන්නේ මේ දක්වා ඊට සුදුසුකම් පෙන්වූවෙකු නොවේ. ඔහුගේ ජනාධිපතිවරණ සටන දේශපාලනික වුවමනාවක සටනක් වූයේ නැත. එතැනට යෑමට ඔහුට අවස්ථාව තිබුණෙත් නැත. ඊට රනිල් විරෝධය බාධාවක් ද විය. එය පරාජය කිරීමට ඔහු උපක්‍රමශීලී වුයේද නැත. රාජපක්ෂ රෙජිමය පාරාජය කිරීම සඳහා හුදු ජනප්‍රිය පුද්ගල නායකත්වයකට වඩා දේශපාලන වුවමනාවක් පෙරටු කර ගත් නායකත්ව පෞර්ශයක් අවශ්‍යය. එය බිහිකර ගත හැකි වන්නේ මහ පොළොවේ දේශපාලනයට බැස සටන් වැදීම තුලින්ය.
දැන් මේ ගෙවෙන්නේ ඒ අවශ්‍යතාවය හඳුනාගත යුතු මොහොත බව අපගේ වැටහීමය. එය තව දුරටත් ප්‍රමාද නොවිය යුතුය. ඒ අනතුර මඟ පැමිණෙමින් තිබෙන නිසාය.