නාමල්ගේ හත්දාහේ මඟුල් කෑම Featured

Sunday, 15 September 2019 23:19

A dinner followed at the Rajapaksa’s home Carlton House at Weeraketiya on Thursday. Some 7,000 invitees attended the wedding banquet.  -the sunday times

හත්දොහේ මඟුල් කනවා කියන්නේ හත්දහසකට මඟුල් කන්න ආරාධනා කරන එක නොවේය.. ඒ දින හතක් මඟුල් කෑමය..

දින හතක් මඟුල් කෑම කියන්නෙද එහෙම ලෙහෙසි පාසු දෙයක් නොවේය. හතේ හත වැදිලා හන්ටර් වෙච්චවුන්ට නම් එහෙම මඟුල් කන්නට බැරිය. ඒත් එහෙම හත්මුතු පරම්පරාවටම එන්නැයි කියා  මඟුල් කන්න පුලුවන් කමක් තිබෙන අය හිටියාට  හත්දහසකට මඟුල් කන්න එන්නැයි කියන්න නම් ඒකා එසේ මෙසේ  පුතයකු නොවිය යුතුය.

 මඟුල් කන්න දෙනවා කියන්නේ  පොල් සම්බෝලයි බතුයි කන්න දෙන එකට නොවේ. යහමින් බත් පිඟාන සරසා ගැනීමට ජාති හත අටක්වත් තිබිය යුතුය. ඉස්සර නම් හත් මාළුව වරදින්නේ නැති උනත් දැන් කාලේ ඒවා නැත. හැත්තෑ හතේ ආණ්ඩුව පෙරළීමෙන් පස්සේ  පිටරට හැත්ත බුරුත්ත මෙහෙ එන්න ගත්තාට පස්සේ අපේ කෑම පීඟාන වෙනස් විය. මඟුල් ගෙදර කෑම ද එහෙම්ම වෙනස් විය.  හත් පොළේ ගාගන් නැතුව මඟුලක් කනවා නම් කෑමද එහෙම්ම ඒ කොලටියට තිබිය යුතුය. නැත්නම් මඟුල, හත් දවසේ දානේ ගානට වැටෙන්නේය.

ඒ මොන හත් ඉලව්ව හරි මේ කියන්න ගියේ  නාමල්ගේ මඟුල ගැනය. බලු අඩියට සෙනඟ හතක් කිව්වා වගේ නාමල්ගේ මඟුලට හත් දහසක් ආවේය. කෑම පිඟන් හත් දහසක් ලැහැස්ති විය. ඒ තරු හතේ හොටල් කෑමට නොදෙවෙනි කෑම පිඟානෙකි.  හත් දින්නත් තරු පේන රෑ වෙනකම් මේ මඟුලේ කෑම මේසය හිස් නොවීය. කොළඹ හතෙන්ද , හත් කෝරලයෙන්ද ,වන්නි හත් පත්තුවෙන්ද, දෙමළ හත් පත්තුවෙන්ද, ආදී ලෙස හත් අට දිසාවෙන්ම මාගම්පත්තුවේ මේ මඟුලට හත් දහසක් ආවේය. නාමල්ගේ සිකුරා හතේ වැඩ කරන්නට ගත් නිසා පතිනිය ලැබී තිබිණි. පතිනියන් හත් වර්ගයකි. ඕ මොක වුණත් මාල හතක් පලන්දාගෙන  නාමල්ගේ අතේ එල්ලී සිටියාය.

නාමල්ගේ මඟුලට හත් දහසක් ආවා කියා පුදුම වන්නට කාරි නැත. ලෝක පුදුම හත වගේ එහි විශේෂයක් නැත.  ඒ හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍ර රත්නය. අනාගත ඔ‍ටුන්න හිමි කුමාරයාය..ඒ  හත්දාහකට දුන්නු කෑම පිඟානේ පිරිවැය ගැන හත්දෙයියනේ කියා හුල්ලන්න දෙයක් නැත. හත්මුතු පරම් පරාවටම හම්බ කරගෙන ඇති රාජපක්ෂලාට මඟුල් කියන්නේ ලොකු මෙව්වා එකක් නොවේය. රටේ ඇත්තන් දන්නේ හත් වාසි සූදු කෙළින්න විතරක් උනාට රාජපක්ෂලා හත් දෙනා කෙළපු කෙළිල්ල දන්නේ ඔවුන්ය.  ඉරවල් හතක් පායා,වැසි හතක් වැටී ලෝක විනාශය සිදුවෙනවා කිව්වත් රාජපක්ෂ පවුලේ බල පුලුවන්කාරකම එහෙම ඉවර වෙන්නේ ද නැත. හත් පෙති මල තියා උන්නේ ඔවුන් අතය. 

හිතෝපදේශයේ කියන මරණීය පාප හතම බුක්ති විඳිමින් දෙවියන් යදිමින් හිටියා හැර රටේ ඇත්තන්ට වෙනතක් තිබුණේ නැත. ඒ කිවේ හැමදාමත්  දින හතේම අපල උවදුරුය. ඒවා හත් අඩියේ දෙහි කැපුවාට හරි ගියේ නැත.  මොකක් හරි උනාම ජූලි හතයි කියා කරබාගෙන ඉදීමෙන් වැඩ වුනේ ද නැත. හෙණ හත වැදියන් කියා සාප කෙරුවාට ඒවා වැදුනේ නැත. එහෙමත් නැතුව මේ මඟුල හරියන් නෑ කියා මුහුදු හතක් තරණය කර පිටරටක වාසයට යන්නට ගිය අය ද සිටියෝය.   

 ඒත් මේ  රටේ ඇත්තෝ හත් පණ කතන්දරයේ මෙන් අනියත බියකින්  රාජපක්ෂලාට බය පක්ෂපාතීව සිටින තාක් කල් වාසනාවන්ත හතේ ඉලක්කමේ  වාසියවත්  හිමි වෙන්නෙ නැති බව  ජනවාරි හත් වෙනිදා වෙනකොට පසක් කර ගත් අය ද සිටියෝය.  ඒ ඈයෝ පහුවදා ගත් තීරණෙන් තවමත් රටක් කියා යමක් ඉතිරිය. හීන හතක් මැද විමනක් සැදුණයි කියන්න තරම් දෙයක් නොවුණේමුත් දැන් රට දැය යන කල හොඳය.

කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකකුත් ඕනෑ වෙන්නේ නොකෙරෙන වෙදකමටය. ඒත් රාජපක්ෂ මකරුන් හත් දෙනා නැවත වලක්වන්න හත් අඩිය නටන්න ඕනෑ නොවේ. උදේ හතට සිහියෙන් ඡන්ද පොළට ගියාම ඇතිය.

                         

Last modified on Sunday, 15 September 2019 23:29

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us