ලෝකය අතහැර ශවේන්ද්‍ර තෝරා ගැනීම - කේ.සංජීව Featured

Thursday, 29 August 2019 11:38

හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිය ධූරයෙන් විශ්‍රාම ගිය පසු 23වැනි යුද හමුදාපති ලෙස පත්වීම් ලැබුවේ මහේෂ් සේනානායක යටතේ දෙවෙනියා ලෙස සිටි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ය. ඒ ලුතිනන් ජෙනරාල් නිළයට උසස්වීම් ලබමින් ය.

මෙම පත්වීම කරන්නේ ජනාධිපත්වරයා විසින් ය. මෙහිදී අදාළ තනතුර ජ්‍යෙෂ්ඨයාටම දිය යුතු යැයි නියමයක් නැත. එහෙම දුන් ඉතිහාසය අද නැත. මේ පත්වීම මෙලෙස අප ප්‍රශ්න කරන්නේ ඇයි? මෙම තනතුර මෙම පුද්ගලයාට දෙන්නට ජනපති තීරණය කර ඇතැයි යන්න සැළවූ වහාම අප හට නැඟුණු ප්‍රධාන ප්‍රශ්නය වන්නේ යුද අපරාධ චෝදනා බරපතල ලෙස, දේශීයව මෙන්ම විදේශීයවද එල්ලවන පුද්ගලයෙකුට මෙම තනතුර ලබා දීම තුළින් 2015 ජනවාරි 08 පසුව මානව හිමිකම් පිළිබඳව ලෝකය පුරා අප විසින් ගොඩනගාගත් ප්‍රතිරූපයට කුමන ඇබැද්දියක් වෙනු ඇතිද කියන එකය. ඊළඟ ප්‍රශ්නය වුණේ නොයෙක් කූඨඋපාය උපක්‍රම මතින් ජනපති සටනට පැනගෙන තිබෙන හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හමුදා නිලධාරියෙකු හමුදාපති නිලයට පත් කරන්නේ කෙසේද යන්නයි. අබමල් රේණුවක බුද්ධියක් තිබෙන පාලකයෙකු නම් කවදාවත් මෙවැනි තීරණයක් ගන්නේ නැත. කෙසේ හෝ බුද්ධියෙන් තොර මෙම තීරණය නිසා ජීඑස්පී බදු සහනය ඇතුළු ලෝකයෙන් අපිට ලැබෙන බොහෝ දේ නැතිවී යාමේ අවදානමක් ඇති වී ඇත. ඊටත් වඩා දේශීයව අපි දිනාගෙන සිටි අසල්වැසි දෙමළ ජනයාගේ සිත් අපි මෙම තීරණය සමගින් බිඳ ඇත. එය රට තුළ සහජීවනමය අනාගතයට හොඳ නැත.

සතර අතින් විරෝධය

මෙම පත්කිරීම පිළිබඳව මේ වන විට ලෝකයේ සතර අතින් දැවැන්ත විරෝධයක් ගලාගෙන එමින් තිබේ. එය බරපතල ප්‍රශ්නයක් ය. එහෙත් අගමැති රනිල් වික්‍රමසිංහ ද ඔහේ බලාගත් අත බලාගෙන ඔහේ සිටින්නේ ය. ඇවන්ගාඩ් චෝදනාව නිසා කාලයකට කලින් ඇමති පට්ටම ගැලවී දැන් විදේශ අමාත්‍යවරයා සේ කටයුතු කරන තිලක් මාරපන නම් මේක ස්වෛරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් යැයි ප්‍රකාශ කරමින් අන්තර් ජාතික මතය අප ගණන් ගන්නේ නැති බව ලෝකයාට පෙන්වා ඇත.

මෙම පත්වීමත් සමග එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කළේය. එහිදී එහා මහලේකම් මිෂෙල් බැචලේ ප්‍රකාශ කරන්නේ මෙම පත්කිරීම බරපතල ප්‍රශ්නයක් සහ මානව හිමිකම් පිළිබඳ සැකසංකා තමන් තුළ ඇති කරන බවය. එහිදී ඇය අවධාරණය කරන්නේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා ක්‍රියාන්විතයන් සඳහා ලංකාවේ සන්නද්ධ හමුදා යොදා ගැනීම පිළිබඳවද මේ නිසා ප්‍රශ්න ඇති වන බවය.

මෙම පත්කිරීම සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමු කරන බව ප්‍රකාශ කරන ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කරන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ වෙනත් රාජ්‍ය නොවන සංවිධාන ලේඛනගත කර ඇති ආකාරයට ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ බරපතල චෝදනා ඇති බව සහ එම චෝදනා විශ්වාසනීය බවය. සංහිඳියාව සහ සමාජ සමගිය සඳහා වන උවමනාව අතීශය ලෙස පවතින අවස්ථාවක මෙම පත්වීම් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය, යුක්තිය සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා වූ කැපවීම් හෑල්ලුවට ලක් කරන බවය.

කොළඹ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත්කළ පමාවෙන් සිංහල බෞද්ධ විමල් වීරවංශ ප්‍රමුඛ කල්ලිය එකින් එක ප්‍රකාශ නිකුත් කරන්නට විය. තවමත් යැංකි බව රැකගෙන සිටින පුද්ගලයෙකු ජනාධිපති පුටුවට ඔසවාගෙන යමින් සිටින ඔවුන් මෙවැනි විරෝධතා දැක්වීම විහිළුවක්මය.

මේ පිළිබඳ යුරෝපා සංගමයද බරපතල නිවේදනයක් නිකුත් කළ අතර එහිදී ඔවුන් කියා සිටියේ සංහිඳියාව ඇති කිරීම සහ වගවීම යන කාරණා මෙමගින් බරපතල ලෙස ප්‍රශ්න කෙරෙන බවයි. ඉන්පසුව කැනඩාවද මෙවැනි බරපතල ප්‍රකාශයක් කරමින් සංහිඳියාව සහ යුක්තිය වගවීම පිළිබඳව මෙරට ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව සිය සැකසංකා ජනිත කර ඇත. මෙම අන්තර්ජාතික තත්වයකට ලංකාව ළදරු ලෙස ප්‍රතිචාර දක්වමින් සිටීම ප්‍රශ්නය තව තවත් උග්‍ර කරනු ඇත.

දෙමළ ජනතාව

මෙම පත්කිරීම පිළිබඳව උතුරේ දෙමළ ජනතාව තුළ සැකය ජනිත කර ඇත. අතුරුදන් වූ දෙමාපියන්, දරුවන්, නෑදෑයින් සොයා යමින් ද ඔවුන්ට යුක්තිය ඉටුකර ගැනීම උදෙසා ද නොනවතින අරගලයක නිරත උතුරේ මිනිසුන් මෙම පත්කිරීම නිසා නැවත සිංහල සමාජය දෙස කෝපයෙන් බලන තත්වයක් උදාවි ඇත. ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන් වන ද්‍රවිඩ ජාතික සන්ධානය මෙම පත්කිරීමට සිය දැඩි විරෝධය, ආණ්ඩුව හමුවේ පළ කර ඇත. ට්විටර් පිණිවිඩයක් යොමු කරන එම සන්ධානයේ මාධ්‍ය ඒකකය මෙම පත්කිරීම පිළිකුලෙන් යුතුව හෙලා දකිමින් ප්‍රකාශ කරන්නේ, මේ පත්වීම උතුරේ දෙමළ ජනතාවට කළ අවමානයක් සේ සලකන බවය.

මෙලෙස වර්තමාන යුද හමුදාපතිවරයාට චෝදනා ගොනුවෙන්නේ ඇයි දැයි සොයා බැලිය යුතුය. හමුදාපති තනතුරට ඔහු සුදුසු නැති බව කියන්නේ ඇයි? සොයා බැලිය යුතුය.

යුද අපරාධ චෝදනා

ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ සඳහා නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි තිබෙන බව දකුණු අප්‍රිකාවේ සිට ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ සත්‍ය සහ යුක්තිය සඳහා ව්‍යාපෘතිය (ITJP),ශවේන්ද්‍ර සිල්වා පිළිබඳ පිටු 137 ක සවිස්තර වාර්තාවක් පළකරමින් කියා සිටී. ඔවුන් එම වාර්තාව ප්‍රකාශයට පත් කරන්නේ ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාවේ දෙවැනි නිලයට නැතිනම් හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කළ පසුගිය ජනවාරියේ දීය. ලංකාවේ උසස් හමුදා නිලධාරියෙකුට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් පළ කරනු ලැබූ සවිස්තරම වාර්තාව සහ තොරතුරු ගොනුව මෙය බව මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අන්තර්ජාතික නමක් දිනාගෙන සිටින නීතිවේදිනියක වන යස්මින් සුකා මහත්මිය ප්‍රකාශ කරන්නීය. යස්මින් සුකා යනු ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් අදියරේදී සිදුවූ දේවල් ගැන සොයා බැලීමට 2010 දී එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පත් කරනු ලැබූ නීතිවේදීන් තිදෙනාගෙන් කෙනෙකි.

ඔවුන්ගේ මෙම සවිස්තර තොරතුරු ගොනුව තුළ 2008/2009 කාලයේ ශවේන්ද්‍ර සිල්වාගේ අණ යටතේ 58 සේනාංකය උතුරේ ගම් සහ නගර තුළ එල්ල කළ ප්‍රහාර පිළිබඳව සාක්ෂි සහිත සවිස්තර වාර්තා පළ කරයි. කිසිදු වග විභාගයකින් තොරව සාමාන්‍ය ජනතාවට හිතා මතාම ප්‍රහාර දියත් කිරීම, රෝහල් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල ප්‍රහාර සහ ඉලක්කවලට පත්කර ගැනීම, තහනම් අවි යොදා ගැනීම ආදී වූ වපසරීන් ගණනාවක් ආවරණය කරමින් මෙම තොරතුරු සම්පිණ්ඩනය කර ඇත. මෙහිදී ඔවුන් පවසන්නේ ජාත්‍යන්තර නීතියට අනුව මෙම යුද නිලධාරියා සෘජුව වගකීමෙන් බැඳෙන බවය. තමන් යටතේ සිටින කාර්ය මණ්ඩලයට නීතිවිරෝධී කියා මාර්ග ගන්නා ලෙස අණ කිරීම, ඔහු යටතේ සිටින කාර්ය මණ්ඩලයේ පුද්ගලයින් නීතිවිරෝධී ක්‍රියා සිදුකරන විට එයට එරෙහි ව කටයුතු නොකිරීම යන ප්‍රධාන කරුණු දෙක ඔස්සේ ඔහුට මෙහිදී චෝදනා එල්ල කර ඇත.

මෙහිදී සිවිල් ජනතාවට එරෙහිව හිතාමතාම ප්‍රහාර එල්ල කළ බවට සාක්ෂි සපයන එම වාර්තාව කියන්නේ කිළිනොච්චිය රෝහල්වලට හා එක්සත් ජාතීන්ගේ ආයතනවලට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන විට සහ කිළිනොච්චිය අල්ලාගන්නා විට එම සේනාංකය (58) සඳහා ශවේන්ද්‍ර සිල්වා අණ දුන් බවය. පුදුකුඩුඉරුප්පු අල්ලා ගැනීමේ 58 සේනාංකයේ මෙහෙයුම පිළිබඳ තොරතුරු සහ සාක්ෂි සම්පිණ්ඩනය කරන එම වාර්තාව කියන්නේ හඳුනාගැනීම සඳහා ඔ්නිවාටත් වඩා හැකියාව තිබියදී හමුදා සේනාංකය රෝහල් තුළට ප්‍රහාර එල්ල කළ බවය. පුදුමාතලන්, වල්ලියාමඩම්, මුල්ලිවයිකාල් ආදී ප්‍රදේශ තුළ 58 සේනාංකය සිවිල් ජනතාවට එරෙහිව ඉවක් බවක් නොමැතිව එල්ල කළ ප්‍රහාර මාලාව සහ ඒ සඳහා ඔවුන් තහනම් අවි භාවිත කිරීම පිළිබඳව සාක්ෂි සහ තොරතුරු රාශියක් මෙම වාර්තාව ඉදිරිපත් කරයි. මෙහිදී සමහර ස්ථාවලදී මෙම ප්‍රහාර නිසා මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යා දත්තද ඔවුන් ඉදිරිපත් කරනු ලබයි. එලෙස සඳහන් කරමින් ඔවුන් ප්‍රකාශ කරන්නේ පුදුකුඩුඉරුප්පු රෝහල තුළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් 60 ක් පමණ මියගිය බවය. වට්ටුකාල් පාලමේදී ජනතාව 58 සේනාංකයට බාර වුණ බව එක්සත් ජාතීන්ගේ වාර්තා ප්‍රකාශ කරන බව පවසන මෙම තොරතුරු ගොනුව, පසුව මෙම භාරවූ පිරිසේ මළ සිරුරු මට්ටුකාල් පාලමේ අනෙක් පස තිබෙනු දැක ඇති අයගේ සාක්ෂි ඉදිරිපත් කරයි. එහි එක තැනෙක පුද්ගලයෙක් ප්‍රකාශ කරන්නේ මෙහිදී භාරවූ එල්.ටී.ටී. නායකයින් ශවේන්ද්‍ර සිල්වා විසින් අතට අත දී භාරගත් බවය. වාර්තාවේ තව තැනෙක තිබෙන්නේ මෙසේ 58 සේනාංකයට බාර වූ එල්.ටී.ටී.ඊ නායකයින් අතර නඩේෂන් පුලිදේවන් සහ නඩේෂන්ගේ සිංහල බිරිඳ විනීතාද සිටි බවය. එහෙත් අද මොවුන් ආගිය අතක් නැත. මෙම වාර්තාවේ තව තැනෙක තිබෙන්නේ හමුදාවට යටත් වී පැමිණි පිරිස අතර සිටි එල්ටීටීඊ සාමාජිකයින් 500 දෙනෙකුගේ නම් කතෝලික පියනමක් විසින් හමුදාවට ලබාදුන් පසුව මෙගා හෝන් එකක් භාවිතා කරමින් ඔවුන්ගේ නම් අඬගසා බස් රථවලට නග්ගාගෙන රැගෙන ගිය බවය. එම අවස්ථාවේ එම ස්ථානයේ ශවේන්ද්‍ර සිල්වා, ජගත් ජයසූරිය වැනි හමුදාවේ උසස් නිලධාරීන් සිට ඇති බව වාර්තාව කරුණු ඉදිරිපත් කරයි. යුද මුක්ත කලාපයේ සිටිනු ලැබූ සාමාන්‍ය සිවිල් ජනතාව ඉලක්ක කරමින් 58 සේනාංකය එල්ල කළ ප්‍රහාර පිළිබඳව හදවත කම්පනය වන තොරතුරු රාශියක් මෙම ගොනුව තුළ අන්තර්ගතය. එම ප්‍රහාර ඇසින් දුටු සාක්ෂිකරුවන් එම බිහිසුණු ප්‍රහාර පිළිබඳව විස්තර කරන ආකාරය කියවීමේදී හද සසල වේ.

මෙම අවසන් යුද්ධයේ තොරතුරුවලට අමතරව 1988/1989 දකුණේ පැවති ජන සංහාරය ගැනද ඔවුන් තොරතුරු ඉදිරිපත් කරන්නේය. එහිදී එම වාර්තාව කියන්නේ එම ඝාතනයන්ද රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවුණ බවය. 60000ක් පමණ මෙම සංහාරයේදී මරා දමනු ඇතැයි විශ්වාසය පළ කරන වාර්තා කියන්නේ, මෙම අවදියේදී ශවේන්ද්‍ර සිල්වා, ගෝඨාභය රාජපක්ෂ යටතේ එවකට මාතලේ ප්‍රදේශයේ ගජබා රෙජිමේන්තුව යටතේ වැඩකළ බවය. මාතලේ සමූහ මිනීවල පිළිබඳව වාර්තාව ප්‍රකාශ කරන්නේ 154 දෙනෙකුගේ සිරුරු එයින් සොයාගෙන ඇති බවය. මේ නිසා මාතලේ ප්‍රදේශයේ එවක ක්‍රියාත්මක වූ මෙම අපරාධ සඳහා මෙම හමුදා නිලධාරීන් වගකිව යුතු බව එම වාර්තාව කියයි.

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබ 1984 වසරේදී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක් වූ මේ නිලධාරියා හමුදාව තුළ 34 වසරක වෘත්තීය ජීවිතයක් ගත කර ඇත. අවසන් යුද්ධයෙන් පසුව මොහු 2010-2015 කාලය තුළ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත තානාපති ධූරය හෙබවීය. එම අවදියේදීද මොහුට වරින් වර යුද අපරාධ චෝදනා එල්ල වූ අතර 2012 වර්ෂයේදී දකුණු අප්‍රිකාවේ නියෝජ්‍ය මහකොමසාරිස් ධූරය සඳහා යෝජනා වුණත් එරට තුළින් එයට බලවත් විරෝධයක් පළ වීම නිසා ඔහුට ඒ තනතුර අහිමි විය. මෙනිසා මේ හමුදා නිලධාරියාට මේ එල්ලවෙන යුද අපරාධ චෝදනා අද ඊයේ දේවල් නොවන බවද කිව යුතුය.

ප්‍රශ්නය තිබෙන්නේ ලංකා රජය මෙම චෝදනා පිළිබඳව නිවැරදි පරීක්ෂණයක් කර රටට ලෝකයට ඇත්ත ප්‍රකාශ නොකිරීමය. වැරද්දක් කර ඇත්නම් නීතියට අනුව දඬුවම් ලබා නොදීමය.

එම ක්‍රියා නොකරන ආණඩුව එම චෝදනාලාභී පුද්ගලයින් තෝරා ඔවුන්ට රටේ ඉහළම වගකිව යුතු තනතුර ප්‍රධානය කිරීම බරපතල ප්‍රශ්නයක් ය. මෙම ක්‍රියා නිසා අන්තර්ජාතිකව හෑල්ලුවට ලක්වන්නේ ශ්‍රී ලංකාවය.

- අනිද්දා

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us