සජිත් කියන්නේ රනිල්ගේ දේශපාලන භාවිතාවේ සුපිරිම ප්‍රථිපලයයි Featured

Saturday, 24 August 2019 20:20

එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් බොහෝ වාමාංශික කියවීම් වල ඇත්තේ එය ලිබරල් නැතිනම් නව ලිබරල් දේශපාලන පක්ෂයක් බවය. නමුත් මෙය අර්ධ සත්‍යයකත් අර්ධ සත්‍යයයකි. එක්සත් ජාතික පක්ෂය ලිබරල් ගතිගුණැතිව සිටින බව පෙන්විය හැකිවාක් මෙන්ම ඒහා සමානව අනෙකුත් දේශපාලන පක්ෂවලද මේ ලිබරල් ගතිගුණ දකින්නට ලැබේ. වාමාංශික පක්ෂ පවා අද ලිබරල් දේශපාලනය විසින් ඉල්ලා සිටිනු ලබන ඉලක්ක ඔස්සෙ පෙළ ගැසී තිබේ.

එක්සත් ජාතික පක්ෂය ලිබරල් පක්ෂයක් බවට නම් කරමින් වාමාංශික දේශපාලනය විසින් සිදු කරනු ලැබුවේ අනෙකා හා තමන් අතර වෙනසක් ඇති බව ඉරක් ඇඳ පෙන්වීමට මිසක් වෙනකක් නිසා නොවේ. ඔවුන් දේශපාලනයෙහි යෙදෙන්නට සතුරකු අවශ්‍ය වීම, පූර්ණ කර ගත්තේ එජාපයෙනි. නමුත් එජාපයේ ලිබරල් ලක්ෂණ වලට වඩා තවමත් පවතින්නේ වැඩ වසම් යුගයේ ලක්ෂණයන්ය. ගෝත්‍රික ආකල්ප පිළිගනිමින් සිටින මිනිසුන් එජාප නායකත්ව තලය තුලද ඕනෑ තරම් සිටී. පක්ෂයේ ප්‍රතිපත්ති වැඩ පිලිවෙලවල් තුල මේ ගෝත්‍රික ලක්ෂණ ඕනෑ තරම් තිබේ.

එහෙත් එජාප නායකයා යනු ලිබරල් දේශපාලනයේ ප්‍රති මුර්තියක් ලෙස හැඳින්වීම දිගටම සිදු කෙරෙමින් සිටී. මේ වැරැද්ද නිසා බොහෝ දේශපාලන වැරැදි තීන්දු තීරණ වලට මේ රටේ මිනිස්සු එළඹ තිබේ. එහෙත් ඒ වැරැද්ද නිවැරදි කරගන්නේ නැත. ඒ නිවැරදි කිරීමට ඉතිහාසයේ ඕනෑ තරම් සාක්ෂිද තිබේ. ඒ කෙසේ වෙතත් අද රනිල්, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ බර කරට ගෙන ගෙවුණු 25 වසරක කාලය තුල ඔහු කළ කී දෑ සියුම්ව පරික්ෂා කළ හොත් ඔහු ලිබරල් නායකයෙක්ද නැති නම් ගෝත්‍රික නායකයෙක්ද යන්න ගැන අවබෝධ කර ගැනීම අපහසු නැත.

රනිල් ලිබරල් නායකයකු වූයේ රනිල් වික්‍රමසිංහ නම් ප්‍රතිරූපය ලිබරල් වේදිකාවක් මත තබා උත්කර්ෂයට නැංවීමට රනිල් නියෝජනය කරන ප්‍රභූ පැලැන්තියේ ව්‍යාපෘතියකට වඩා රනිල් විරෝධීන්ගේ පහර ගැසීම් හේතුවෙන් බව නැවත අවධාරණය කළ යුතුය. රනිල් ලිබරල්වාදයේ දේශීය නියෝජිතයා බවට පත් කළේ රනිල් විරෝධීන් විසිනි. මෙහි උත්සන්නම අවස්ථාව 2015 වන විට දකින්නට ලැබිණි. මේ පට්ටපල් බොරුව විශ්වාස කළ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය විශ්වාස කළ වුන්ද රනිල්ව තමන්ගේ ලිබරල් දේශපාලන ව්‍යාපෘතියේ නායකයා ලෙස කරට ගත්තේය. 2015 න් පසුව ලිබරල් කරණය වන ශ්‍රීලංකාවක් ගැන ඔවුහු සිහින මැව්වේය. දේශපාලනයේ ආර්ථිකයේ සංස්කෘතියේ ලිබරල් ප්‍රතිසංස්කරණයන් සිදු වී මේ රට නිදහස සාමානාත්මතාවය රජයන ටිප් ටොප් දේශයක් වනු ඇතැයි ඔවුනු කල්පනා කළේය.

එහෙත් පසුගිය සිව් වසර තුල රට කෙසේ වෙතත් රනිල් හෝ ලිබරල් නායකයකු ලෙස සිටිනවා දැකිය නොහැකි විය. කොටින්ම ඔහුගේ එක්සත් ජාතික පක්ෂය තුල හෝ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය දකින්නට තිබුණේ නැත. තනිකර ගෝත්‍රවාදී වුවමනාවන් සමඟ සිටියා මිස රනිල් ඉන් එහාට ගියේ නැත.
සරලම කාරණා දෙකතුනක් සටහන් කරනවා නම් ජනවාර්ගික ගැටළු ගැන රනිල්ගේ ප්‍රතිපත්තිය කුමක්ද? උතුරේ දෙමළාගේ ගැටළුවට ඔහුගේ උත්තරය කුමක්ද? ආර්ථිකය ගැන ඔහුගේ ප්‍රතිපත්තිය කුමක්ද? ආගම ගැන ප්‍රතිපත්තිය කුමක්ද? මේ කිසිවකට රනිල් සතුව නිශ්චිත පිළිතුරු නැත. මෙවැනි තවත් උදාහරණ ඕනෑ තරම් පෙන්විය හැක. රනිල් කියන්නේ කිසිවක් නැති ලිබරල් නාමකරණයක් පමණි.

මේ ටික කියන්නට සිත් වූයේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ‍තෝරා ගැනීමට ගහ මරා ගන්නා ගොත්‍රිකයන්ගේ යුද්ධය අස්සෙ කියන පෙනෙන ඇසෙන දෑ නිසාය.

දිර්ගකාලයක් තිස්සෙ ඇවිලෙන මෙම යුද්ධය, අවසානයේ දැන් ගල උඩ සටනක දක්වා පැමිණ තිබේ. මේ වන විට පෙන්නුම් කරන්නේ අතර මැද සමාදානයකට හෝ ඉඩක් වෙන්ව නොමැති බවය. එක් අයකුගෙ ජයග්‍රහණයෙන් සටන කෙළවර වීමට නියමිත බව පෙනෙයි. රනිල් වික්‍රමසිංහ , සජිත් ප්‍රේමදාස කියන ප්‍රතිවාදීන් දෙදෙනකු මතු වූවද මේ දෙක එක්සත් ජාතික පක්ෂය විසින්ම නිර්මාණය කළ දෙදෙනෙකි. . රනිල් - සජිත් කියන්නෙ උපන්ගෙයිම යූ එන් පී කාරයන් දෙදෙනෙකි. නමුත් පරම්පරා දෙකකි. පාරම්පරික උරුමයන් දෙකකි. පැලැන්ති දෙකකි. පක්ෂයේ නායකයා සහ නියෝජ්‍ය නායකයා ලෙස මේ දෙදෙනා නියෝජනය කරන පාක්ෂික බලවේගයන්ද දෙකකි.

එක්සත් ජාතික පක්ෂයේ මුලාරම්බයේ පටන්ම දක්ෂ වූයේ විවිධ බලවේගයන් කළමනාකරණය කර ගනිමින් දේශපාලන ජයග්‍රහණයන්ට සමත්කම් පෑ පක්ෂයක් ලෙසය. මෙය ' එක්සත්' ජාතික පක්ෂය ලෙස හැඳින්වන්නේමම ඒ නිසාය. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී ගුණයන් අඩු වැඩි වශයෙන් එජාපය තුල යම් යම් කාලවල ක්‍රියාත්මක වීම නිසා පක්ෂයට ලිබරල් දේශපාලන පක්ෂයක හැඩ රුව ආරෝපනය වූවද පක්ෂයක් ලෙස බොහෝ ජයග්‍රහණයන් අත් පත් කර ගත්තේ පක්ෂය තුල වන එක් ගෝත්‍රිකත්වයක් පරාජය කිරීමට තවත් පාර්ශ්වයක් සටන් වැදීම තුලය. නමුත් පක්ෂය ලැබූ ලිබරල් ජයග්‍රහණයන් ඇත්තේ නැත. සිදු වූයේ තවත් ගෝත්‍රිකත්වයක් ජය ගැනීමය.

මේ වන විට සිදුවෙමින් පවතින් රනිල් - සජිත් ගැ‍ටුමද ගෝත්‍රික වුවමනාවක් වෙනුවෙන් ගෝත්‍රික දේපාර්ශ්වයක සටනකි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වනවා කියන පක්ෂයක් තුල ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු සිටිනවා කියන පක්ෂයක මෙවැනි ගෝත්‍රික සටන් වලට ඉඩක් තිබිය හැකි නොවේ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට දැන් දශකයකටත් වැඩි කාලයක් මුළුල්ලේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අභියෝගයක් ගෙන එන්නේ සජිත් ප්‍රේමදාස විසින්ය. සජිත්ව යටපත් කරගෙන සිටීමට එම දශකය තුල රනිල් සමත් වූවද එම ගිණි පුපුර එසේමය. එය නිවා දැමීමේ හැකියාවක් රනිල්ට තිබුණේ නැත. සජිත් ප්‍රේමදාස නියෝජනය කරන නිර්ප්‍රභූ පැලැන්තියෙන් තමාව හෝ තම පැලැන්තිය ආරක්ෂා කර ගැනීමේ සටකපට හැකියාව රනිල්ට මේ දක්වා පෙන්වා ඇති නමුත් මේ ගෙවෙන්නේ එහි අවසන් සමයයි. තව තුරුම්පු කොතෙකුත් රනිල් සතුව තිබුණත්..රනිල්ට තවත් ලබා ගත හැකි ජයග්‍රහණයක් නම් ඉතිරිව නැත...සිය ගෝත්‍රික භාවිතාවේ ඉහළටම දැන් රනිල් ගොස් අවසන්ය.

රනිල්ලා මුලින්ම වරද සිදු කළේ රණසිංහ ප්‍රේමදාසව ආරක්ෂා කරන්නට යෑමෙනි. එදා දෝෂාභියෝගය මොහොතේදී රණසිංහ ප්‍රේමදාසව පරාජය කිරීමට ඇති හැකියාව මොට කර දැමුවේ රනිල්ය. ඒ රණසිංහ ප්‍රේමදාසගේ අනුප්‍රාප්තිකයා ලෙස එජාපයේ නායකත්වය ඩැහැගැනීමට තිබූ ගෝත්‍රික වුවමනාව නිසාය. එදා ප්‍රේමදාසව දෝෂාභියෝගය මඟින් ඉවත් කර ගත හැකි වූවා නම් ඔහු ජීවතුන් අතරය. එහෙම වූවා නම් ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය පරාජය වේ. එමෙන්ම තවත් එජාප ප්‍රභූ පැලැන්තියේ නායකයන් ගනනාවක්ම ජීවතුන් අතර සිටිනවාක් මෙන්ම තවත් ප්‍රේමදාස (පැලැන්තියේ) කෙනෙකුට එජාපයේ ඉඩක් ලැබෙන්නේ නැත. එය කොහොම වූවත් වත්මන් ප්‍රශ්නයට එහි අදාලත්වයක් නැත. දැන් එජාපය කියන්නෙ රනිල්ගේ නායකත්වය යටතේ අවුරුදු 25ක් තිස්සෙ හැඩ ගැහුණු පක්ෂයකි. සජිත් ප්‍රේමදාස කියන්නේ එහි සාමාජිකයෙකි. පක්ෂයේ නිර්ප්‍රභූ බලවේගයකි.එමෙන්ම තවත් ලිබරල් දේශපාලන නායකයකු යැයි කියන මංගල සමරවීර, සජිත් ප්‍රේමදාසට උදව් කරන්නේ ඇයිද යන්න ගැන ගැටළුවක් තිබිය නොහැකිය.

සජිත්, රණසිංහ ප්‍රේමදාසගේ පුතා වීම නිසාම එජාපය තුල මතු වූ චරිතයක් නොවේ. එහි බලපෑමක් තිබුණේ නම් ඒ ප්‍රේමදාස පැලැන්තිය තවදුරටත් එජාපය තුල පැලපදියම්ව සිටි නිසාය. නමුත් ඔහු ගොඩ නැගෙන්නෙ රනිල්ගේ ඊනියා ලිබරල් නායකත්වය යටතේය. රනිල්ගෙ නායකත්වය යටතේ වූ ප්‍රතිපත්ති මතවාද ආකල්ප සියල්ලට යටත්ව ඔහු මේ දක්වා ඊනියා 'එජාප ලිබරල්' දේශපාලනයෙහි යෙදී සිටියේය. ඔහුට අවස්ථාව ලබා දුන්නෙ රනිල්ය. කොටින්ම සජිත් කියන්නේ රනිල් උස් මහත් කර හැදූ ඔහුගේ දේශපාලන දරුවෙකි. සජිත් අද කරන කියන යමක් වේ නම් ඒ රනිල් ඔහුව හදා කියා ගත් විදියෙහි ප්‍රතිපළයයි. ඒ නිසා අද රනිල්ට, සජිත් නිසා යම් අබග්ගයක් සිදුව ඇත් නම් ඊට වගකිව යුතු වන්නේ රනිල්මය. මන්ද කොටින්ම රනිල්ට සිය නායකත්වයේ 25 වසරක දේශපාලනය තුල හිඳිමින් කළ හැකි වූ උපරීමය සජිත් ය... රනිල් විසින් වපුරා නෙලා ගනු ලැබූ සුපිරිම අස්වැන්න සජිත්ය.. දැන් එය ඔහු බුක්ති විඳිය යුතුය. 

රනිල්ගේ ලිබරල් කෙරුවාව ඔච්චරය...

- වෙද පප්පා

Last modified on Saturday, 24 August 2019 20:24

Leave a comment

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us