ෆොන්සේකාගේ තවත් ගොං තකතීරු කතාවක් Featured

Tuesday, 13 August 2019 15:33

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන ලද්දේ අද වනවිට රටේ ප්‍රශ්නය පොහොට්ටුවේ නායකයන් විසින් නිසි ලෙස තේරුම් ගත් නිසා බව ෆීල්ඩ් මාර්ෂල් හිටපු හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ලංකාදීප පුවත් පතට පවසා තිබේ.

මේ කතාවට ඉහළ වටිනාකමදී ලංකාදිපය එය මුල් පිට්වේ ඉහළින්ම සඳහන් කර ද තිබේ.

පසුගිය දශක කිහිපය තුළ ජාතික ආරක්ෂාව මැයෙන් සංකල්පයක් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව ගෙන ගිය අරගලයට යටත් කොට ඉහළට මතු කරමින් තිබුණේය. එයටම ඈදාගත් විජාතික බටහිර ආක්‍රමණයක් ගැනද කතා විය. ඊට පසුව මේ වන විට අයි එස් අයි එස් ඉලක්කයක් බවට ශ්‍රීලංකාව පත්ව ඇති බවත් ඒ එක්කම අමරිකාණු මැදිහත් වීමක් ගැනද කියවමින් තිබේ.

රාජ්‍යයට එම රාජ්‍යයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහළ වැඩ පිලිවෙලක් තිබිය යුතුය ඒ ගැන විවාදයක් නැත. එසේම එම රාජ්‍යයේ පුරවැසියාටද අනෙක් රාජ්‍යයකින් පැමිණෙන ජනතාවටද ආරක්ෂාවක් හිමි විය යුතුය. එලෙස මහජන ආරක්ෂාව තහවුරුව තිබිය යුතුය. මෙරට සෑම ආණ්ඩුවක්ම තමන්ගේ ත්‍රාඩ දේශපාලන පැවැත්ම වෙනුවෙන් හැර රාජ්‍යයෙත් එහි පුරවැසියාගේත් ආරක්ෂාව අත් හැර දමා කටයුතු කළේ නැත. එය සැම කල්හීම සිදු කෙරුණකි. යම් දුර්වලතා හේතුවෙන් එය බිඳ වැ‍ටුණු අවස්ථා තිබිණි. එහෙත් එ්වාට ක්ෂණයෙන් පිළිතුරු සෙවීමටද ඒ හැම පාලන සමයකදීම කටයුතු යෙදිනි.

දැන් සරත් ෆොන්සේකා කියන කාරණය දෙස බැලුව හොත් එය බැලු බැල්ලමට මාර ඇත්ත කතාවකි. රටේත් මහජනතාවගේත් ආරක්ෂව බිඳ වැටී තිබේ. එය යළි පිහි‍ටුවන්නට ගෝඨාභය හැර වෙන කෙනෙක් නැත. ඒ නිසා රාජපක්ෂලා ගෝඨාබය ඒ සඳහා ඉදිරිපත් කරන්නට ගත්තේ බුද්ධිමත් තීරණයකි. එය මෙරට පුරවැසියාද ඉල්ලා සිටි දෙයකි.

ෆොන්සේකා ඉතා පැහැදිලිව මෙහිදී සඳහන් කරන කාරණයක් තිබේ. ඒ'... අද ජනතාව ප්‍රමුඛත්වය දී ඇත්තේ රටේ ආරක්ෂාවට ... බවය.

මෙය ඇත්තටම මානසික ලෙඩකි. ආරක්ෂක අංශ වල ඉහළ නිලතල දරමින් එ්වායේ අ‍ටුවම් බැහැපු අයගේ ප්‍රශ්නය නිතරම කිසිවකුට ආරක්ෂාව නැති බව විශ්වාස කිරීමය. ගෝඨාබයගේ මානසිකත්වයත් එයමය. මෙවර ජනාධිපතිවරණයේ ප්‍රධාන සටන් පාඨය කර ගෙන තිබෙන්නේත් ' ජාතික ආරක්ෂාවය' මේ ජාතික ආරක්ෂාව යනු කුමක්ද යන්න ගැන පැහැදිලි නිර්වචනයක් නොතිබුණත් උදේ හවා මන්ත්‍රයක් ලෙස වපුරන්නේ ජාතික ආරක්ෂාව ගැනය. ගෝඨාගේ මැතිවරණ මෙහෙයුමද මිලිටරි ජුන්ටාවකට බාර දී තිබෙන අතර ඔවුන්ද කටයුතු කරන්නේ ජාතික ආරක්ෂාව... ජාතික ආරක්ෂාව.. ජාතික ආරක්ෂාව යනුවෙන් නිරන්තර නන්දෙඩවීමක නිරත වෙමිනි.

රාජපක්ෂ සමයේදී මෙරටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබුණයි කීම පට්ටපල් බොරුවකි.. එහෙම ආරක්ෂාවක් සහතික කර තිබුණානම් ඒ සමයෙහි දකුණේ බොම්බ පිපිරෙන්න හේතුවක් නැත. එල්ටීටීඊ ක්‍රියාකාරිකයන්ට උතුරු නාගෙනහිරෙන් මෙපිටට එන්න ඉඩක් ලැබෙන්නේ නැත. එනමුත් ඇත්තටම සිදු වුණේ එල්ටීටීඊ ආරක්ෂක අංශවල ඇස් වලට වැලි ගසා ක්‍රියාත්මක වීමය. ෆොනසේකා මෙන්ම ගෝඨාභයවත් බොම්බ ඉලකක් බවට පත් විය. එදා ආරක්ෂාව සහතික කොට තිබුණානම් එහෙම වෙන්න ඉඩක් නැත.

එල් ටී ටීඊ මැදිහත් වීම පසෙක තබා කතා කළත් මේ රටේ පුරවැසියන් එවකට මුහුණ දී තිබූ අනාරක්ෂිත තත්වයට ඒ පැවැති රාජපක්ෂ පවුල් පාලනය වගකිව යුතුය. මේ රටේ පුරවසියාගේ ආරක්ෂාව සහතික කිරීමට රාජපක්ෂලට හැකි වූයේ නැත. ලසන්ත වික්‍රමතුංග. ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුලු මාධ්‍ය වේදීන් ගනනාව එක පෙළට ඝාතනයට අතුරුදන් වීමට පැහැරගෙන යෑමට ලක් වන්නේ කෙසේද ? මෙරට මහජනතාවගේ ආරක්ෂාව සහතික කර තිබුනා නම්. රතුපස්වල ජනතාවට වෙඩි කන්නට සිදුවන්නෙ කෙසේද? මහජනතවගේ ආරක්ෂාව තහවුරු කර තිබුණා නම් රොෂේන් චානකලාට ,හලවත ඇන්තනීලාට ලලිත් කූගන්ලාට ජීවිතය අහිමි විය හැකිද? මේ රටේ මහජනතාවගේ ආරක්ෂාව සහතික කර තිබුණා නම්. කුමාර් ගුණරත්නම්ලා පැහැරගෙන යාමට ලක්වන්නෙ කෙසේද? තවත් උදාහරණ ඕනෑතරම් මේවාට දැක්විය හැකිය. කොටින්ම සරත් ෆොන්සේකාට ඔහුගේ දේශපාලන සහ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස පවා නැති කරනු ලැබුවේය. ෆොන්සේකාට සහය වූ හමුදා නිලධාරීන් ගනනාවකට ජීවිතය බේරාගෙන රට පනින්නට සිදුවිය. වත්මන් යුධහමුදාපතිවරයාද එලෙස ජීවිතය බේරා ගත් අයෙකි.

ඇත්තම කාරණය රාජපක්ෂ යුගයේදී තරම් මේ රටත් පුරවැසියාත් අනාරක්ෂිත වූ යුගයක් තිබුණේ නැත. ජාතික ආරක්ෂාව යැයි කියමින් හමුදා සහ පොලිස් ඔත්තු කරුවන් විසි තිස් දහසක් රට පුරා පැය විසිහතරම ක්‍රියාත්මකව තබා ගනිමින් පුරවැසියාගේ මානව හිමිකම් පවා පාලනය කරමින් තිබු යුගයකි රාජපක්ෂ පාලනය. එදා කිසිම මාධ්‍යකට රාජපක්ෂ පවුලෙ කිසිවකු ගැන විවේචන ඉදිරිපත් කිරීමේ හැකියාව තිභුණේ නැත. ඔවුන්ගෙ නීති විරෝධී මජර වැඩ සියල්ල ඉවසා වදාරා සිටීමට සිදු විය. එ්වාට එරෙහි වීම ජීවිතය නැති කර ගැනීමේ පහසු අවස්ථාවක් බවට පත් කොට තිබිණි..ඒ වෙනුවෙන් සුදු වෑන් හැම මොහොතකම ක්‍රියාත්මකව තිබිණි. නිහඬව නිවට නියාලුව සැඟවී හෝ රාජපක්ෂලාට සේවය කරමින් හෝ තමතමන්ගේ ආරක්ෂාව සහතික කර ගත්තා මිසක් රාජපක්ෂ පාලනයෙන් කිසිදු පුරවැසියකුට ආරක්ෂාවක් සැලසුණේ නැත. සිංහල බෞද්ධ නොවන ප්‍රජාව සිටියේ ඊටත් වඩා අනාරක්ෂිත තත්වයකය. තමන් සිංහල බෞද්ධ නොවීම මත ඕනෑම මොහොතක ජීවිතයට දේපොළ වලට හානි වීමේ අවධානම ඔවුන් වෙත තිබිණි.

මේ ඇත්ත අමතකර දමා අද සරත් ෆොන්සේකා රටේ ආරක්ෂාව වෙනුවෙන් ගොඨාභයව ඉදිරිපත් කිරීම නිවැරදි තීන්දුවක් බව කියයි. මෙය අමු මෝඩ ගොං තකතීරු කතාවකි. පසුගියදා සිදුවූ පාස්කු ඉරිදා බොම්බ ප්‍රහාරයෙන් පසුව මේ ජාතික ආරක්ෂාව ගැන කතන්දර නැවත් වටයකින් මතු පිටතට පැමිණීම නිසා රටේ ආරක්ෂාව නැති බවට ප්‍රවාදයක් රාජපක්ෂ පාර්ශ්වයත් ෆොන්සේකා වැනි මිලිටරි මානසිකත්වය ඇති පිරිස් ඇතුලුව වත්මන් ආණ්ඩුවේ හිතවත් පාර්ශ්වයන් විසින්මත් නිතර කතා කරනන්ට ගෙන තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු වූයේ රාජ්‍ය ආරක්ෂාවේ හෝ මහජන ආරක්ෂාවේ දුර්වලතාවයක් නිසා බව ඕනෑ කෙනෙකුට කියන්නට හැකිය. එය පැහැදිලිය. අවශ්‍ය තොරතුරු ලැබී තියදී දේශපාලන අධිකාරිය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් වග කිවයුතු නිළධාරීන් නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවද අද පැහැදිලි කාරණයකි. එහෙත් රටේ නිතිය හා සාමය බිඳ වැටවීම යම් අයෙකු කල්පනා කරන්නෙ නම් පවතින ආරක්ෂක පවුරු වලින් රිංගා ගෙන ගොස් එය සිදු කිරීමට උත්සහ ගනු ලැබේ. රාජපක්ෂ සමයේදී කොළඹ බෝම්බ පිපිරුණේ .ඝාතයන් සිදු වුණේ ඒ අනුවය. ඇතැම් ඒවාට පවතින පාලනයේ පහසුකම් හිමිවූ බවද රහසක් නොවේ. විශේෂයෙන්ම ආරක්ෂක අංශ වල සාමාජිකයන් යොදවා ඉහළ දේශපාලන අධිකාරියේ මෙහෙයවීමෙන් සිදුවූ අපරාධයන් ගනන සුළුප‍ටු නොවේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වූවන් එය සිදු කළේ ආරක්ෂක අංශයන්ගේ දුර්වල තැන ‍තෝරා බේරාගෙනය. එය එල්ටීටීඊය ක්‍රියාත්මක වූ ආකාරයට වඩා වෙනස් මාදිලියකින් ක්‍රියාත්මක වූ කණ්ඩායමකි. එහෙත් ඒ සිදුවීමෙන් දින කිහිපයක් ඇතුලත එම ක්‍රියාකාරිත්වය මුළුමනින්ම අඩපණ කිරීමට ආරක්ෂක අංශයන් සමත් විය. තමන්ගේ වූ දුර්වලතාවයන් හඳුනාගෙන ඊට අලුත් පිළියම් යොදමින් තිබේ. රටේ ආරක්ෂාව යළි සහතික කොට තිබේ. නීතිය හා සාමය ස්ථාපිත කර තිබේ. ජන ජීවිතය යතා පරිදි සකස් කර තිබේ.

රාජ්‍ය ආරක්ෂව මහජන ආරක්ෂාව ඉතා තදින්ම ක්‍රියාත්මක වනවාය කියන රටවල පවා තවමත් බොම්බ පුපුරයි, සමූහ මිනිස් ඝාතන සිදු වෙයි. ඒ ආරක්ෂක අංශ කෙතරම් ආරක්ෂාව ගැන සලකිලිමත් වූවද කොතැන හෝ පවතින දුර්වල තාවයක් හරහා රිංගාගෙන ගොස් එ්වා කිරීමට තරම් සමතුන් සිටින නිසාය.

ඒ තබා මෙරට උදාහරණයකට පසුගිය දශකයක කාලය ගතහොත් දේශපාලන හෝ වෙනත් මතවාදී සංවිධානත්මක කණ්ඩායම්වල මෙහෙයවීමෙන් තොරව දිනකට මිනී මැරුම් 1ත් 5ත් අතර වත් සිදු වෙයි. වාර්ෂිකව එය දෙදෙහසකට ආසන්නය. පුද්ගල පහරදීම්, ස්ත්‍රී දුෂණ,කොල්ලකෑම් ආදිය සලකා බැලීමේදී පුද්ගලයන්ට එරෙහිව වන අපරාධ ප්‍රමාණය වාර්ෂිකව පන් හය දාහකට වැඩිය. එය ත්‍රස්තවාදීන්ගෙන් වන හානියට වඩා ඉහළ අගයකි. රටේ මහජන ආරක්ෂාවක් තිබේ නම් එය එසේ සිදු විය හැකිද?

දැන් ගෝඨාභයලා මෙන්ම ෆොන්සේකලාද යෝජනා කරන්නේ අඩියෙන් අඩියට ආරක්ෂක නිලධාරීන් යොදවා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම කළ යුතු බවය. හැම පුරවැසියෙක් පසුපසම පොලිස් ඔත්තු කරුවකු යෙදිය යුතු බවය. ආරක්ෂාවට තර්ජනයක් යැයි හිතෙනවා නම් මොකා හෝ කුදලාගෙන ගොස් මරා දැමිය යුතුය. නැතිනම් සිරගත කළ යුතුය. එසේ නොමැතිව ගෝඨලා ෆොනීලා කියන ජාතික ආරක්ෂාව තහවුරු කළ නොහැකිය. මේ රට මිලිටරි රාජ්‍යයක් කර , පොලිස් රාජ්‍යයක් කර පාලනය කිරීම ඔවුන්ගෙ කැමැත්තය. ඔවුන් පුහුණු වූයේ එහෙම පාලනයක් කිරීමටය. යුධ සමයේදී හා ඉන් පසුව උතුර පාලනය කළේ එහෙමය. දකුණට ගෙන ආවේද එම පාලන විදික්‍රමයයි. ,

මේවා ගොං තකතීරු කතා බව මුලින්ම කීවේ එබැවිනි. මිනිස්සු රාජපක්ෂ පාලනය පෙරළා දැමුවේ මේ ගොං තකතීරු වැඩ නිසාය.

මෝඩයන් නොවන මිනිස්සු තේරුම් ගත යුතු දෙයක් තිබේ. ඒ රාජ්‍ය ආරක්ෂව සහ මහජන ආරක්ෂාව ගැන විශ්වාසය ගොඩනගා ගත හැකි වෙනත් උපක්‍රම තිබෙන බවය. රාජ්‍යයේ ආරක්ෂාව යුධ මෙවලම් හෝ පිරිස් බලයෙන් සහතික කර ගැනීමේ හැකියාවක් ශ්‍රි ලංකාවට නැත. සාමාන්‍යයෙන් ආරක්ෂක හමුදාවන් කියන්නෙ රාජ්‍ය ආරක්ෂාවට සිටින ආයුධ සන්නද්ධ පුද්ගලයන් පිරිසකි. බලගතු රටවල් සම්බන්ධයෙන්, ලෝක දේශපාලනයේ තීරණාත්මක වෙන රටවල් සම්බන්ධයෙන් මේ ආරක්ෂක හමුදාවන්ගේ යුද ශක්තියේ හැකියාව වැදගත් සාධකයකි. එහෙත් ශ්‍රිලංකාව සම්බන්ධයෙන් එහෙම තත්වයක් නැත. ඒ නිසා ජාතියේ මුර දේවතාවුන් යැයි කියමින් ආරක්ෂක අංශ උත්කර්ශයට නංවා කරන සන්දර්ශන ලෝක විහිළුවකි.උතුරු නැගෙන හිර සිදුවූයේ දෙමළ ජනතාවගේ ආයුධ සන්නද්ධ සිවිල් අරගලයකි. ජවිපෙද එවැනි අරගල දෙකක් ඊට පෙර සිදු කර තිබිණි. එ්වා මර්දනය කිරීමට හමුදාව යෙදවීම රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නොව මහජන ආරක්ෂාවේ නාමයෙන් කරන රාජ්‍ය මර්දනීය ක්‍රියාදාමයකි. එ්වා ආරක්ෂක අංශ වල හපන් කම් නොවේ. තිරශ්චීන බවයි. රාජ්‍ය පාලනය දුර්වල වන විට හමුදාවන් යොදවා මර්දනය කිරීම හමුදාව් උත්කර්ශයට නංවන්න හේතුවක් නොවේ.. පසුගිය රාජපක්ෂ සමයේදී හමුදාව උත්කර්ශයට නංවනු ලැබුවේ. දේශපාලනික ප්‍රයෝගයක් ලෙසය. අදත් රාජපක්ෂලාට ජාතික ආරක්ෂාව ප්‍රධාන සටන් පාඨයක් කර ගැනීමේ හැකියාව ලැබුණේ ඒ නිසාය.

ඒ කෙසේ නමුත් අද අපිට රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කළ හැක්කේ අනෙක් රාජ්‍යන් සමඟ වන සාක්ච්ඡාවෙන් සම්මුතියෙන් සිදුවිය යුතු රාජ්‍ය තාන්ත්‍රික දේශපාලන උපාය මර්ගයන් අනුගමනය කිරීමය. එය මෙතෙක් සිදුවී තිබේ. රාජ්‍ය ආරක්ෂාවට අනතුරක් ඇත්තේ නැත. එහි වාසි අවාසි තිබිය හැකිය. ඒ රටට වාසි වන විදිහට කලමනාකරණය කිරීමට රාජ්‍ය ප්‍රතිපත්ති තිබිය යුතුය, ඊට දක්ෂ පාලකයන් පත්කර ගැනීමට පුරවැසියා සමත් විය යුතුය. ඒ අනුව මේ රට චීන කොලනියක් වෙනවාද අමරිකානු කොලනියක් වෙනවාද නැතිනම් නොබැඳිව සිටිනවාද වැනි කාරණා විසඳා ගත හැකිය.

මහජන අරක්ෂාව සම්බන්ධයෙන් වන වගකීම පාලකයාට මුළුමනින්ම පවරා දිය හැක්කක් ද නොවේ. එහි විශාල කොටසක් පුරවැසියා සතු වෙයි. අනෙකාගෙ නිදහස අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නට පුරවැසිය කල්පනා කරන තාක් කල් ආරක්ෂාවට තර්ජනය එල්ල වන්නෙ නැත. එය අතිශය සරල කාරණයකි. පාලක පක්ෂයට මෙහි ඇති වගකීම නම් පුරවැසියා අනෙකා කෙරෙහි දක්වන සතුරුකම්, වෙනස් කොට සැලකීම, සම්බ්නධයෙන් තිබෙන මෝඩ ආකල්පයන් දුරලීම වෙනුවෙන් පුරවැසියාව ශික්ෂණය කිරීමේ වගකීමය. එසේම සැමට සමානව සැලකීම රාජ්‍යයේ ප්‍රතිපත්තිය විය යුතුය. එවැනි රාජයයක් තුල මහජනයා අනාරක්ෂිත වන්නෙ නැත. එමෙන්ම රට කොටවමින් ගෝඨාභයලා ෆොන්සේකලා වැනි මූලග්ගිනි කාරයන්ට මේවායේ රඟන්නට ඉඩක් ලැබෙන්නේද නැත.

Last modified on Tuesday, 13 August 2019 15:34

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us