ඒ බව විහාරාධිපතිට පැවැසීමෙදී පෙරළා ප්‍රශ්න කර තිබුණේ එසේය. නමුත් තරුණයා සිවුර අත්හැර දමා පන්සල් සැප අත්හැර පැන ගියේය. මේ කතාව දැන් කාලාන්තරයක් තිස්සෙ මගේ හිතේ පැලපදියම්ව තිබිණි. මෙය මතකයට ආවේ අද හමුදුරුවන් සහ බෞද්ධ සාසනයේ ආරක්ෂකයන් මෙන් පෙනී සිටින පිරිස් රංජන් රාමනායකට එරෙහිව අවි අමෝරාගෙන සිටිනු දකින්නට ලැබීමෙනි.
මහණ කම අඹුවන් සියයක් කෙසේ වෙතත් අඹුවක් කිහිප දෙනෙකුවත් තබා ගැනිමට හැකි ප්‍රතිපදාවකි. එපමණක් නොවේ අඩියක් පුඩියක් ගහගෙන ගංජා සුරුට්‍ටුවක් ගහගෙන ආතල් එකේ සිටීමට හැකි තැනකි පන්සල. පන්සලේ සමලිංගික සේවනය ගැන කතන්දර කියැවුනේ අද ඊයෙක සිට නොවේ. ඒවා ගොඩක් පරණ කතන්දරය. සමලිංගික සේවනයට ' පන්සලේ සෙල්ලම' යැයි කියන්නේද ඒ කතන්දර නිසාය. කොහොම නමුත් හාමුදුරුවරු ගැන බොහෝ අත්දැකීම් විඳ තිබුණත් ඒවා සියල්ල මෙතැන ලිවිය යුතු නැත..මේවා රහස්ද නොවේ. අද බෞද්ධයන්ගේ ගෞරවයට ලක්ව සිටින බොහෝ ප්‍රකට හාමුදුරුවරුන්ගේ කල් කිරියාවද ඇස් දෙකෙන්ම දැක ඇති නිසා හාමුදුරුවරු ගැන රංජන් රාමනායක කියන කතාවෙහි පුදුම වන්නට දෙයක් ඇත්තේ නැත. ඒවා ඇත්තය.
මේ කතා කිව් පළමු කෙනා රංජන් ද නොවේ. ඒත් අද රංජන්ට එරෙහිව ගෙන යන ව්‍යාපාරය වෙනත් හේතුවකින් පැන නඟින්නකි. මෙය දේශපාලනික වුවනාවක් මුල් කර ගත් තක්කඩි ව්‍යාපාරයක් බව පැහැදිලි කාරණයකි. තව මාස කිහිපයකින් ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරණයේ ජය තහවුරු කර ගත හැක්කේ මේ බෞද්ධයන් හෝ සිංහල බෞද්ධයන් බහුතරයේ ඡන්ද කෝටාව දිනා ගැනීමෙන් පමණක් බව සියලු පාර්ශ්ව මේ වන විට තීන්දු කර ඇත. මේ නිසා වෙනදා නොදැක්වූ බෞද්ධාගමික ආලයක් දේශපාලකයන් තුළ ගොඩනැගී තිබේ. අබෞද්ධ දේශපාලකයෝද දැන් පනසලේය. එය අන්තගාමී තැනකට ගමන් කරමින් තිබෙන බවද පෙන්නෙට තිබේ. ශක්තිකලා සිර ගත වන්නේත් එහිම ප්‍රතිපළයක් ලෙසය.
2015දී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමෙහි මූලික සටන් පාඨයක් වූයේ රාජපක්ෂලාගේ ජාතිවාදී ආගම්වාදී ව්‍යාපෘතිය පැරැදවීමය. වෙනත් ජාති හා ආගමිකයන්ට වෙනස් කොට සැලකීම මුලිනුපුටා දැමීමේ ආරම්භක පියවර මෛත්‍රීපාල සිරිසේනගේ ජයග්‍රහණයෙන් තැබුණු බවට ඒ වෙනුවෙන් පෙනී සිටි අයගේ දැඩි විශ්වාසයක් විය.
එහෙත් ජනාධිපති සිරිසේන හෝ පිහිට වූ යහපාලන ආණ්ඩුව හෝ ඒ වෙනස් කිරීමට අසමත් විය. ගත් ක්‍රියමාර්ග සාර්ථක කර ගැනිමට අසමත් විය. ජාතීන් අතර සංහිඳියාව ඇති කිරීමට වෙනුවෙන් යම් තරමකින් හෝ සිදු වූයේ රාජ්‍ය අනුග්‍රහයෙන් අනෙක් ජන කණ්ඩායම් පීඩාවට පත් කිරීම වලක්වා ගැනීමට ඇතැම් ඇමැතිවරයෙක් පෙනී සිටි නිසා පමණකි. එහෙත් දේශපාලන වේදිකාවේදී, මාධ්‍ය හරඹ වලදී රාජපක්ෂ රෙජීමයේ අවශේෂයන් එසේම දකින්නට ලැබිණි. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ගත් ඇතැම් ක්‍රියාමාර්ග සහ ප්‍රකාශයන් මේ රට තව දුරටත් සිංහල බෞද්ධයාගේ රට පමණක් බවට තහවුරු කරන දෑ විය. ජාතිවාදය ආගම් වාදය උලුප්වමින් තව දුරටත් දේශපාලනයේහි යෙදී සිටින රාජපක්ෂ කණ්ඩායමට තමන්ගේ මුලෝපයික මෙහෙයුම වඩා හොඳින් දියත් කිරීමට ජනාධිපති සිරිසේනගේ සිංහල බෞද්ධ නැමියාවද වාසියට හිටියේය.
රටේ සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂ කිරීමත් සමානාත්මතාවයෙන් යුතුව සියලු දෙනාට සැලකීමටත් ආණ්ඩුව අපේක්ෂා කළ සහ ගත් පියවරයන් රැසක් අකුලා ගැනීමට හෝ පරාජය වීමට මේ තත්වයන් හේතු විය. එහි බරපතල කරුණවන්නේ තමන් රටේ ජනතාව හමුවේ යහපාලනය ඇති කරනවා යැයි ලබා දුන් ප්‍රතිඥාව ඉටු කර ගැනීමට ආණඩුව සමත් නොවීමය. එනම් මේ විපක්ෂ මතවාද හමුවේ පරාජය වැලැඳ ගැනීමට පළමු මොහොතේම තීන්දු කිරීමය. අද ශක්තිකලාට හිරේ විලංගුවෙ වැටෙන්න සිදු වන්නෙත් මංගල සමරවීර මෙන්ම රංජන් රාමනායකද බෞද්ධාගමේ සතුරන් ලෙස හංවඩු ගැසෙන්නෙත් ආණ්ඩුවේ කොන්ද පණ නැති ස්වභාවය නිසාය.
රාජපක්ෂ් රෙජීමය කොහොමත් සිංහල බෞද්ධ ජාතිවාදය අනුව කටයුතු කිරීම රටේ සියලු ජනයා දැනගෙන සිටි දෙයකි. ඒ නිසා ඊට එරෙහි වීම නිල හෝ නොනිල ලෙස හෝ මරණිය දන්ඩනයකට වුව යටත් විය හැකි බව දැන ගෙන සිටියෝය. යහපාලනය පිහිටු වූයේ එම තත්වයන් වෙනස් කරන්නට බව රටට රහසක් වූයේ නැත. එය යහපාලනය විසින් සිදු කරනු ඇති බවටත් රට වැසියෝ විශ්වාස කළේය. මේ නිසා එය ඉටු කිරීමට සමත් ජන මතයක් ඇතිව සිටි ආණ්ඩුවක් ඊට බිය වී ආපසු හැරීම කෙතරම් බරපතල දැයි වර්තමානයේ සිදුවෙමින් තිබෙන මේ වර්ගවාදී ප්‍රවණතාවය අනුව වටහා ගත හැක.
කොටින්ම අද එජාප නායක රනිල් වික්‍රමසිංහටද මල් වට්ටි උස්සාගෙන පන්සල් ගානේ රස්තියාදු ගැසීමට සිදුව තිබේ. බුදු දහම ගැන බණ කියන්නට සිදුව තිබේ. පන්සල් සංවර්ධනයට රාජ්‍ය මුදල් බිලියන ගානක් ප්‍රධානය කරන්නට සිදුව තිබේ. රාජ්‍ය ආගම ලෙස බුද්ධගම තව දුරටත් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තබාගෙන යන්නටද සිදුව තිබේ. මානව හිමිකම් , ප්‍රජාතන්ත්‍රවාදය ආදී සියල්ල බුද්ධාගමට හෝ කඩප්පුලි චීවරධාරීන්ගේ ඝෝෂාවට යට කරන්නට සිදුව තිබේ.
මෙය ඛේදවාචකයකි. රටක සියලු පුරවැසියන් අපේක්ෂා කරන්නේ සැමට සමානව සලකන රාජ්‍යකි. විශේෂයෙන්ම සුලු ජන කොටස් එය දැඩිව අපෙක්ෂා කරයි. එමෙන්ම මහ ජාතියේ හෝ මහ ආගමේ හෝ වේවා ඒ සියලු දෙනාද අපේක්ෂා කරන්නේ තමන්ගේ අයිතීන් රැකගෙන නිදහසේ ජීවත් වීමටය. එහෙත් එය හෝ තහවුරු කිරීමට හෝ ආණ්ඩුවට හැකිව නැත. අදත් මේ මහා ජන කොටස බියට පත්ව සිටී. ඒ අනෙකාගෙන් බාධාවක් එල්ල වේ යන බිය නිසාය. ඒ බිය නැති කිරීමට ආණ්ඩුව මෙතුවක් කල් සාර්ථක වූයේ නැත. එක්කෝ උපක්‍රමශීලීව මඟ හරිනු ලැබීය. ආගමික අන්තවාදයන්ට එරෙහිව කටයුතු කිරීම්දී ආණ්ඩුවේ නායකයෝ දක්වන නිවට නියාලු සහ තක්කඩි ස්වභාවය විසින් ඒ පැහැදිලිව පෙන්වයි.
මේ තත්වයන් හමුවේ ජාතිවාදීන් ආගම්වාදීන් තව පියවරයන් කිහිපයක්ම ඉදිරියට තබා තිබෙන බව පැහැදිලිය. ඉදිරියේදී තත්වයන් මීට වඩා බරපතල විය හැකිය. ජනකොටස් අතර ගැටුමක් වූ වහාම එය පාලනය කිරීම ජනාධිපතිවරයාගේ හෝ ආණ්ඩුවේ හෝ හැකියාවක් නොවේ. සිදුවීමක විනාශයෙන් පසුව එය පාලනය කර අපි තත්වය පාලනය කළා යැයි මොර දීමෙන් පාලකයන්ට යන්තම් විලි වසා ගැනීමට හැකි වූවද හෙළුව පෙනී අවසන්ය. එමෙන්ම එසේ පාලනයේදී සෙසු ප්‍රජාවටටද ඒවායේ ආදීනව විඳින්නට සිදුවීම පසුගිය කාලයේ නිතරම දකින්නට ලැබිණි. ඒවාට වගකිව යුතු වන්නේ පාලකයන්ය. මෙලෙස අද පවතින්නේ යහපාලනය අපේක්ෂා කළ වුන්ගේ අපේක්ෂා භංග කළ පාලනයකි.
දැන් රටක යහපාලනය බලාපොරොත්තු වූවන් කළ යුත්තේ කුමක්ද ? රට නැවත සීග්‍රයෙන් ගමන් කරමින් සිටින ගෝත්‍රවාදී නරා වලට යන්න හැර අද නිහඬව සිටිනවාක් මෙන් තව දුරටත් නිහඬව සිටනවාද ? ඊට එදිරිව යමක් කරනවාද? මෙහෙම ප්‍රශ්න කිරීමත් සාම්ප්‍රදායිකව සිදු වන ඕලාරික විදිහකි. ඒත් මට වෙන කියන්න දෙයක් නැත.
- ජය