ගෝඨා නැතුවත් බෑ.. සජිත් නැතුවත් බෑ.. දෙපිළටම වෙන විකල්පත් නෑ Featured

Wednesday, 24 July 2019 13:28

එළඹෙන ජනාධිපතිවරණේ පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂකය ලෙස එම පාක්ෂික බහුතරයේ ඉල්ලීම වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ යුතු බවය. එමෙන්ම එකසත් ජාතික පක්ෂයෙ බහුතරයේ ඉල්ලිම වී ඇත්තේ සජිත් ප්‍රේමදාසය.

බහුතරයේ ඉල්ලීම ඒ වන නමුත් මේ පක්ෂ දෙකෙහිම අ‍ටුවන් බැහැපු නායකයන් ඉන්නෙ තවම දෙගිඩියාවකිනි. නව නායකත්වයක් වෙත පක්ෂය නතු වෙනවා ඔවුන්ට දරා ගත නොහැකිව තිබීම මෙයට හේතුවය.

පොදුජන පෙරමුණෙහි ගෝඨාභය හැරුනු කොට ජනතා ආකර්ශනය දිනා ගත හැකි වෙනත් නායකයකු නොමැති බව ගැන විවාද කරනට දෙයක් නැත. සිය උත්තරීතර නායකයා වන මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙ අවස්ථාව නොමැති වන විට ඊට අනුප්‍රාප්තික නායකත්වයක් මහින්ද විසින් ගොඩ නැගුවේ නැත. දේශපාලනඥයකු ලෙස ජනතාවගේ විශ්වාසය දිනා ගත් ජනප්‍රියත්වය දිනා ගත් වෙනත් නායකයකුට ගොඩනැගෙන මහින්ද මෙතුවක් කාලයකට ඉඩ දී නැත. ගෝඨාභය සිය ජනප්‍රියත්වය ඉහළ නංවා ගත්තේ ඔහුගේම දේශපාලන ව්‍යාපෘතියකිනි. ඔහු පොදුජන පෙරමුණේ පක්ෂ සංවිධානයන් තුල හෝ ක්‍රියකාරීව කටයුතු කළේ නැත.

එහෙත් එම පක්ෂයෙ බහුතරය බලාපොරොත්තුවෙන් සිටින්නේ ගොඨාභය අනාගත ජනාධිපතිවරයා ලෙස පිළිගැනීමටය. එහෙත් එම රාජපක්ෂ පවුලෙම ගෝඨාට එරෙහිව විශාල බලපෑමක් සහිත පීඩනයක් එල්ලවෙමින් තිබේ. එසේම එම පක්ෂයේ ජේෂ්ඨයන් ගනනාවක්ම ගොඨාභයට එරෙහි තැනක සිටී. එහෙත් ඒ කිසිවකුට ජනාධිපතිවරණ ජයග්‍රහණක් වෙනුවෙන් වෙනත් විකල්ප නැත. යම් හෙයකින් ගොඨාභයට අපෙක්ෂකත්ව නොලැබුණ හොත් එහි තේරුම ජයග්‍රහණය මල්වට්ටියක බහා එජාපයට ලබා දීම සිදු වූවා යැයි පැවසීමටය.

එක්සත් ජාතික පක්ෂයේ සටන මීට වඩා උණුසුම්ය. ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගෙන සිටින පිරිස ඉහළය. සජිත් ප්‍රේමදාස හැරුණු කොට නායක රනිල් වික්‍රම සිංහ, කරූ ජයසූරිය, චම්පික රනවක, රාජිත සෙනාරත්න මෙන්ම සරත් ෆොන්සේකාද ඒ අතර වෙති. මේ එක් එක් නායකයනට තමන්ගේ සුදුසුකම් ගැන විශ්වාසයක් පවතී. එමෙන්ම මේ අයගේ ප්‍රතිපත්ති සහ වැඩ කිරීමේ රටාවන් වෙනස්ය. අනෙක කාරණය නම් සිය ප්‍රතිපාක්ෂික අපේක්ෂකයා ගොඨාභය වේ නම් ඔහුව පරාජය කිරීමේ හැකියාවක් තමන්ට ඇතැයි යන විශ්වාසය ඔවුන් සියලු දෙනාටම වෙති.

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී එජාපය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව හා පොදුජන පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව අතර විශාල පරතරයක් වූවත් එජාපය තමන්ගේ ජනාධිපති අපේක්ෂකයාට පොදු ජන පෙරමුණෙහි ඡන්ද සංඛ්‍යාව අභිබවා යෑමට හැකි බව කල්පනා කරන්නෙ සුලු ජන කොටස් වල පිළිගැනීම ලැබෙනු ඇතැයි විශ්වාසයෙනි. ඒ අවස්ථාව ගොඨාභයට නැති බව පැහැදිලි කරුණකි.

කොහොම නමුත් රාජපක්ෂ විරෝධී , ජාතිවාදී ආගම්වාදී විරෝධී මධ්‍යස්ථ ජනතාවගේ සහ මධ්‍යපාංතික ජන ප්‍රජාවගේ වැඩි විශ්වාසය එජාප අපෙක්ෂකයා කෙරෙහි අත්පත් කර ගැනීමේ හැකියාව එජපය සතුව තිබේ. නමුත් ඒ සිදු කළ හැක්කෙ ඊට හරියටම ගැලපෙන නායකයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ හොත් පමණි..නමුත් එය එජාප පාක්ෂිකයා දිනා ගත හැකි නායකත්වයකද විය යුතුය. පසුගිය කාලයේ එජාපයට සිද්ධ වුයේ සිය පාක්ෂිකයා ආධාරකරුවා හිතවතා අමතක කර දැමීමේ අලකලංචියයි. 2015 දී ආණ්ඩුවක් පිහිටෙව්වා කියා මේ එජාප පාක්ෂිකයාට වූ අමුතු වගතුවක් නැත. ආණ්ඩුවක් එලෙස තමන්ගේ පාක්ෂිකයාට පමණක් සැලකීම නොවිය යුතු නමුත් ලංකවේ ඡන්ද දායකයා තමන්ගේ පක්ෂය රජකරන විට තමන්ට වාසියක් අපේක්ෂා කරයි. ඒ අපේක්ෂාවන් ඉ‍ටු නොකර නොතකා හැරීම පක්ෂ වලට නොහැකිය. මන්ද එවිට පාක්ෂිකයා පක්ෂය අත්හැරීමට කල්පනා කරන හෙයිනි. එජාපයට අද සිදුව ඇත්තේ ඒ නොසලකා හැරීමෙ විපාකයය.

ඒ අනුව මෙවර ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමෙදී එජාපය සමඟ තව දුරටත් සිටින පාක්ෂිකයා මෙන්ම ඉවත්ව සිටින පාක්ෂිකයාගේද විශ්වාසය දිනා ගැනීමේ හැකියාව සහිත අපේක්ෂකයකු වීම තීරණාත්මකය. එජාප ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතරින් ඒ හැකියාව ඇත්තේ සජිත් ප්‍රේමදාසට බව විවාදයක් නැත. රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකයා නිසා ඔහුගේ නායකත්වය පිළිගැනිමට සිදුව තිබුණා හැර එජාප පාක්ෂිකයාට වෙන කරන්න දෙයක් තිබුණේ නැත. ඔහු දැවැන්ත අභියෝගවලට මුහුණ දෙමින් ඒවා ජයගත් උගත් බුද්ධිමත් විශිෂ්ට දේශපාලනඥයකු බව පැහැදිලි කරුණකි. එහෙත් තම පක්ෂයේ පාක්ෂිකයා දිනා ගැනීමට ඔහු අසමත් බව හැමදාමත් පෙන්වූ සත්‍යයකි. කරූ ජයසූරිය පක්ෂයෙ ජනප්‍රිය නායකයකු නොවේ. එසේම වරක් ඔහු එජාපයට ද්‍රෝහී වී රාජපක්ෂලාගේ පැත්ත තෝරාගත් අයෙකි. පක්ෂයේ මන්ත්‍රීවරු 17 දෙනෙකු පක්ෂයට අහිමිකර එජාපය දුර්වල කළ අයෙකි. රාජපක්ෂලාගේ ඒකාධිපති පවුල් පාලනයට පාර කැපුනේ කරූගේ දායකත්වයනි. මේවා එජාප පාක්ෂිකයාට අමතක නැත. එසේම ඔහු දේශපාලකයකු ලෙසත් අසාර්ථක අයෙකි. කථානායකයා ලෙස දැඩි තීන්දු තීරණ කිහිපයක් පසුගිය සමයේදී ගත් නමුත් එය පොදු මහජනතාවට එතරම් වැදගත් දේ නොවේ. එජාප පාක්ෂිකයාට ඒ කොහොමවත් අදාල නැත. චම්පික, රාජිත,සරත් යනු එජාප සාමාජිකයන් නොවේ. පක්ෂයට එපිටින් පැමිණ වගකිව යුතු බලයක් හිමිකරගෙන සිටියද එජාප පාක්ෂිකයා ඔවුන්ව පිළිගන්නෙ නැත. මධ්‍යම පාන්තික කොටස් වල සහය ඔවුන්ට හිමි කර ගත හැකි වූවද එය ජනාධිපතිවරණයක් ජයග්‍රහණය කිරීමට ප්‍රමාණවත් නැත. 2010 දි සහ 2015 දී සරත් ෆොන්සේකාට මෛත්‍රීපාල සිරිසේනට එජාප පාක්ෂිකයා මෙන්ම මධ්‍යම පාන්තික කොටස් ඡන්දය පාවිච්චි කළේ පැවැති මජර රාජපක්ෂ පාලනය පරාජය කිරීම වියයුතු බැවින් මිසක සරත්ට හෝ මෛත්‍රීට ඇති කැමැත්තක් නිසා නොවේ. නම්‍රත් මෙවර ඇත්තේ එවැනි දේශපාලන වටපිටාවක් නොවේ.

ජනාධිපතිධුරය හොබවන්නේ තමන්ගෙම ඡන්ද වලින් පැමිණි මෛත්‍රීපාල සිරිසේනය. ඇත්තේ එජාප ආණ්ඩුවකි. එජාප පාක්ෂිකයාගේ අවශ්‍යතාවය තමන් විසින් පිහි‍ටුවා ගනු ලැබු පාලනය පෙරළා දැමීමට නොවේ. එය තමන්ගේම පාලනයක් බවට නිශ්චිත තක්සේරුවක් ලබා ගැනීමටය. සිරිසේන ජනාධිපතිවරයා කළ ද්‍රෝහීකම නිසා ඔහුව ඉවත් කර තමන්ගේම ජනාධිපතිවරයකු එජාප පාක්ෂිකයාට අවශ්‍යව තිබේ. තමන්ගෙම ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් කරගැනිමට අවශ්‍යව තිබේ. මේ නිසා තමන්ට පිළිගත හැකි නායකයකු එජාප පාක්ෂිකයාට අවශ්‍යව ඇත. ඒ අතරින් වඩාත් යෝග්‍යයම පුද්ගලයා සජිත් ප්‍රෙමදාස බව අද පැහැදිලි කරුණකි.

එහෙත් ගැටලුවකට ඇත්තේ සජිත් ප්‍රේමදාසට එජාපය සමඟ ඓන්ද්‍රීය සම්බන්ධයක් නැති මධ්‍යස්ථ ඡන්දදායකයාගේ විශ්වාසය දිනා ගැනීමේ ගැටළුවය. එය විසඳිය හැක්කේ සජිත්ට නොවේ. එජාපයේ සෙසු නායකත්වයටය. එනම් එජාපයේ මැතිවරණ සටන මෙහෙය විය යුත්තේ ශක්තිමත් තනි එජාප අණ්ඩුවක් පිහි‍ටුවීමේ අරමුණ ඇතිව මෙම ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවීමය. ඒ වෙනුවෙන් දියුණු ප්‍රජාතන්ත්‍රවාදී වැඩ පිළිවෙලක් සහිතව ජනතාව හමුවට යෑමය. ඊට රාජපක්ෂ මජර පාලනය පෙරළා දමා 2015 සිට මේ රටේ සිදු කළ ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයන්ගෙ ප්‍රගතිය ජන ජනතාව හමුවේ ඔප්පු සිද්ධ කිරීමේ හැකියාව එජාපය සතු විය යුතුයි. තව දුරටත් එහිම දිගුවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පෙන්විය යුතුයි. ජනතා සහභාගිත්ව ආණ්ඩුකරණයක් වෙනුවෙන් තමන්ගේ ඇති කැමැත්ත දැක්විය යුතුයි. එමෙන්ම තමන්ට සිදු කිරීමට නොහැකි වූ දේ ගැන පැහැදිලි කිරීමක් එජාපයට තිබිය යුතුයි. ඒ ඉ‍ටුකර ගැනීමට හැකි වුවහොත් එජාපයේ ජයග්‍රහණයට පහසු මාවතක් විවර වෙනි ඇත.

එහෙත් තමන්ගේ ප්‍රතිවාදියා වන ගෝඨාභය රාජපක්ෂව මෙහිදී අවතක්සේරු කළ නොහැකිය. ඔහු සිටින්නෙද ඉදිරිගාමී වැඩ පිළිවෙලක් සහිතවය. සිංහල බෞද්ධ බහුතරයේ විශ්වාසය දිනා ගත හැකි තරම් ඔහු ශක්තිමත්ය. ඔහු කතා කරන්නේ මේ බහුතරයේ දුර්වලතාවයන්ටය. ඒ දුර්වලතාවය වාසියකට පෙරළා ගැනීමට එජපයට හැකියාව තිබිය යුතුය. ඒ කිසිදු ජාතියකට වෙනස්කොට සැලකීම මුලිනුප්ටා දමන ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටීමෙනිය. එය කවදත් එජාපයේ අනන්‍යතාවය ලෙස තිබුණු නමුත් 2015න් පසුව ඒ වෙනුවෙන් කළ කී දෑ වලින් එජාපය ඊට සමත්කම් පෙන්වා නැත. එසේ නොවුනා නම් මේ රටේ සුළු ජාතික ප්‍රජාවන්ගේ පිළිගැනීම එජාපයට පහසුවෙන්ම ලැබීමට ඉඩ තිබිණි. රාජපක්ෂ කඳවුරේ වර්ගවාදී ස්ථාවරයන් නිසා සුලු ජන කොටස් දිනා ගැනීමට ඇති පහසුව නිවැරදිව කළමනාකරණය කර ගැනීමට එජාපයට හැකි වුවහොත් සජිත්ට ගෝඨාභය සමඟ තරගයක් නැත.

 

Last modified on Wednesday, 24 July 2019 13:35

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us