'අපේ තාත්තාට අගෞරව කරන්න එපා' -සරත් ප්‍රනාන්දු

Saturday, 19 July 2014 15:12

Derana dream star” පස්වන අදියරේ සුපිරි තරුව ලෙස පසුගියදා අභිසෙස් ලැබුවේ ඇඹිලිපිටියේ එම්.ජී. ධනුෂ්ක යි. අවසාන තරගය පැවති දින වැඩසටහනේදී එම්.ජී. ව “චක්‍රවර්ති” ලෙස හැඳින්වීම හේතුවෙන් බයිලා චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දු ගායකයාණන් හට අපකීර්තියක්, අගෞරවයක් සිදු වී යයි සංගීත ක්ෂේත්‍රයේ කතාබහක් ඇති වී ඇති අතර “සැබැවින්ම අපේ පියා (එම්.එස්. ප්‍රනාන්දු) දශක ගණනාවක් රැගෙන ආ ‘චක්‍රවර්ති’ නාමය reality වැඩසටහනකින් ආ SMS තරුවකට දීලා අපේ පියාට කලා ලොවේ ඉන්න කුහකයින් පිරිසක් මේ කළේ අගෞරවයක්” යයි පවසමින් එම්.එස්. ගේ දරුවෝ ද සිය විරෝධය ප්‍රකාශ කරමින් සිටිති.


ඒ පිළිබඳව එම්.එස්. ගේ පුතෙකු වන සරත් ප්‍රනාන්දු කතාබහකට එක් වුණේ මෙසේ ය.

“අපේ පියාගේ වියෝ වීමෙන් පසුව මේ වනතුරුම එතුමාගේ නාමයට හානියක්, අගෞරවයක් වන අයුරින් සංගීත ක්ෂේත්‍රයේ කිසිවෙකු හෝ මේ වගේ දෙයක් කරලා නැහැ. ඇත්ත වශයෙන්ම මේ දේ කරලා තියෙන්නේ අපගේ පියාගේ කීර්ති නාමයට ඊර්ෂ්‍යා කරන කුහක සිත් ඇති තමන් කලාකාරයින් යයි කියා ගන්නා තුට්ටු දෙකේ කලාකරුවන් පිරිසකගේ මෙහෙයවී‍මෙන් කියලයි අපට හිතෙන්නේ. සත්තකින්ම මෙය කුහකකමක්. අපගේ පියා වියෝ වීමෙන් පසුවත් ‘චක්‍රවර්ති’ නමින් හැඳින්වෙමින් ජනප්‍රියත්වයේ රැඳී සිටිමින් එතුමාගේ ගීත රැව් පිළිරැව් දී පවතිනවාට ඊර්ෂ්‍යා කළ ඔය තුට්ටු දෙකේ කුහක කලාකාර පිරිස මාන බලබලා උන්නේ ‘චක්‍රවර්ති’ යන ඔය වටිනා නාමය කාට හෝ දීලා නැතිකර දමන්නයි. ඔය SMS තරුව අපේ පියාගේ ගීත ගායනා කළ හින්දා එම කුහකයින් මේක අවස්ථාවක් කර ගත්තා ඔවුන්ගේ කුහක අරමුණ ඉටු කර ගන්න.”

 

  • ඔබේ පියාගේ නමට මෙම “චක්‍රවර්ති” නාමය එක් වූ අයුරු පවසනවා නම්..?

“අපේ පියා ‘චක්‍රවර්ති’ නාමය ලබා ගත්තේ ආවට ගියාවට නෙමේ. එතුමා ගීත ගායන කලාවට යොමුවෙලා, පුහුණුවීම් කරලා, වාද බයිලා ක්ෂේත්‍රයේ බලකණු සමඟ තරග කරලා, රන් සහ රිදී කුසලාන 159 ක් දිනා ගනිමින් ඉමහත් කැපවීමක් කරලා තමයි ඔය වටිනා නාමයෙන් පිදුම් ලැබුවේ. එමෙන්ම එතුමා භාෂා පහකින් ගීත ගායනා කළා. රසික ජනතාව ඉදිරියේ ප්‍රසිද්ධ වේදිකාවේ එවලේම දුන් මාතෘකාවට පද බැඳ ගායනා කර ‘චක්‍රවර්ති නාමය සඳහන් රන් බෝ කොළය කරුණාරත්න අබේසේකර කලාකරුවාණන්ගෙන් තමයි ලබා ගත්තේ. මෙම නාමය අපේ පියාට ලැබුණේ එතුමාගේ සුවිශේෂ දක්ෂතාව නිසා මිස ඔය අවිචාරවත් SMS නිසා නෙමේ. ‘චක්‍රවර්ති’ නාමය reality වැඩ සටහනකින් ආපු SMS තරුවකට දීම මෙම ගෞරවනීය නාමයට වගේම අපේ පියාටත්, එතුමාගේ දරුවන් වන අපටත්, එම්.එස්. ප්‍රනාන්දු ගායකයාණන්ට ආදරය කරන එතුමාගේ ගීත වලට ප්‍රිය කරන රසික රසිකාවියන්ටත් කළ අගෞරවයක් ලෙසයි අපි සලකන්නේ.”

 

  • ඔබ පැහැදිලිවම පවසන්නේ ‘චක්‍රවර්ති’ ලෙස එම්.ජී. ව හැඳින්වීම හේතුවෙන් මෙම අගෞරවය සිදු වූ බව ද..?

“ඔව්. එම නිසා අපේ පවුලේ හැමෝමත්, සංගීත කලාව හොඳින් දන්නා කලාකරුවනුත්, අපේ පියාට ආදරය කරන රසික රසිකාවියනුත් දැඩි අපහසුතාවයකට පත් වුණා. ඒ අවස්ථාවේ සිට මෙතෙක් අපට දුරකථනයෙන්, facebook එකෙන්, e-mail වලින්, skype එකෙන් සහ හමුවීමෙන් අදහස් දක්වන එතෙර මෙතර සිටින රසික හිතවතුන්ගේ ප්‍රතිචාර වලින්ම අපට පැහැදිලිව දැනෙනවා ඔවුන් මොනතරම් නම් අපහසුතාවයකට පත් වීද ඉන්නේ කියන එක. ඔවුන් වත්, අපේ පවුලේ කිසිවෙකු වත් SMS තරුව සමඟ අමනාපයක් නැහැ. මොකද ඔහු නොවේනේ ‘චක්‍රවර්ති’ නාමය දමා ගත්තේ. පැහැදිලිවම මෙවැනි වටිනා නාමයක් ලබන්න තම ජීවිතය කැප කළ එම්.එස්. ප්‍රනාන්දු නම් අග්‍රගණ්‍ය කලාකරුවාට මේ අගෞරවය කළේ අප මුලින් සඳහන් කළ අපේ පියාගේ ජනප්‍රියත්වය ඉවස දරා ගත නොහැකිව සිටින අර තුට්ටු දෙකේ කලාකාර කුහකයින් පිරිසයි. (“තොප්පිය හරි නම් දාගන්න” යයි උපහාස ස්වරයෙන් පවසා හිනැහෙමින්...) ඔවුන් මාන බලමින් උන්නේ කොයි යම් මොහොතක හෝ ‘බයිලා චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දු’ නාමය ඉදිරියට ගෙන එන එතුමන්ගේ දරු පරපුරට ප්‍රහාරයක් එල්ල කරන්නයි. මේ කළේ ඒ කුහක පහර දීමයි.”

 

  • එම්.ජී. ට ‘චක්‍රවර්ති’ නමින් හැඳින්වීම නොගැළපෙන බව ද ඔබ තවදුරටත් අදහස් කරන්නේ...?

“සංගීත ක්ෂේත්‍රයේ කාට වුණත් ඒ දෙය පැහැදිලිවම තේරෙනවානේ. SMS reality වැඩසටහනින් අපේ පියාගේ ගී ගැයුවාට ඔය SMS ‘චක්‍රවර්ති නාමය කොහෙත්ම ගැළපෙන්නේ නැහැ. වෙනත් ගායන ශිල්පියෙකු අනුකරණය කරමින් අනුන්ගේ ගීත ගයමින් SMS වලින් ආව ඔහුට කොහොමද මේ වටිනා නාමය දෙන්නේ...? මෙය වැරැද්දක්. මීට අපේ පවුලේ බලවත් අප්‍රසාදය අපි පළ කරනවා.”

 

 

  • ඔබ ඇතුළු සහෝදරයින් විසින් ඊට පිළියම් ලෙසින් කිසියම් පියවරක් ගත යුතුයි නේද...?

“අපි විමසිල්ලෙන් ඉන්නවා. මොකද ඔය SMS තරුව පවසා තියෙනවානේ තරගයේදී අපේ පියාගේ ගීත ගායනා කළාට ඉන්පසුව ගායනා නොකරන බව. ශ්‍රී ලංකාවේ බයිලා චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දු කියන්නේ අපේ පියාට පමණයි. මේ ලොව පවතින තාක් කල් එය වෙනස් කරන්න කාටවත්ම බැහැ. මේ රටේ බුද්ධිමත් රසික ජනතාව දන්නවා - නියම බයිලා චක්‍රවර්තිගේ ගීත ගායනා කරන්න එතුමාගේ පුතුන් සහ සහෝදරයා (වෝල්ටර් ප්‍රනාන්දු) සිටින බව. මම මේ ප්‍රකාශය කරන්නේ අපේ පවුලේ හැමෝම වෙනුවෙනුයි. කුහකයින් පිරිසකගේ ඕනෑකමට ඔය මොන දේ කළත් ඒවාට අපි සැලෙන්නේ නැහැ. හැමදාටම අපේ පියා එම්.එස්. ප්‍රනාන්දුම ‘බයිලා චක්‍රවර්ති’ මිස අන් කිසිවෙකු චක්‍රවර්ති නොවේ. මේ අවස්ථාවේ අපව දැනුවත් කරමින් අප සමඟ රැඳි සිටින සියලුම රසික හිතවතුන්ට ස්තූතියි.”

(සිළුමිණ- රසඳුන)

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us