බල සේනාවල් පෝෂණය වුණේ ආණ්ඩුවේ ඔඩොක්කු

Thursday, 17 July 2014 14:17

මිලේච්ඡත්වය කරා සමාජය ඇදගෙන යන මේ ගමන ඇතුලේ විවිධ අන්තවාදී සංවිධාන නිර්මාණය වුණ බවත් එවැනි විවිධ බල සේනා හැදී වැඩුණේ පෝෂණය වුණේ මේ ආණ්ඩුවේ ඔඩොක්කුවේම බවත් සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ පවසීය.

ඔහු මේ අදහස් පලකළේ පෙරේදා (15) ‘ජාතිවාදයට, ආගම්වාදයට හා ගොත‍්‍රවාදයට එරෙහි අපි මිනිස්සු’ මැයෙන් සම අයිතිය ව්‍යාපාරය සංවිධානය මගින් සංවිධානය කළ වැඩසටහනක් අමතමිනි. මේ අවස්ථාව සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, ප‍්‍රජා සංවිධානවල නියෝජිතයින්, කලාකරුවන් හා වෘත්තිකයන් ඇතුළු වෘත්තීය සමිති හා ශිෂ්‍ය සංවිධාන නියෝජිතයින් විශාල පිරිසක් මේ සඳහා සහභාගීවිය.

සාම්ප‍්‍රදායික පොල්තෙල් පහණ දල්වනවා වෙනුවට ලංකාවේ විවිධ ජන කණ්ඩායම්වල සංස්කෘතින් නියෝජනය කරන බෙර වාදයකින් මෙම අවස්ථාව ආරම්භවීම විශේෂයක් විය. පිළිගැනීමේ කතාව සම අයිතිය ව්‍යාපාරය නියෝජනය කරමින් කමනි ගුණතිලක විසින් පවත්වන ලද අතර එක්සත් කම්කරු සංගමයේ ලේකම් ලීනස් ජයතිලක, ප‍්‍රවීන නාට්‍යවේදී ධර්මසිරි බණ්ඩාරනායක, ප‍්‍රකට විද්වතෙක් හා පර්යේෂකයකු වන අහිරන් කදිරගාමර්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික, හා සම අයිතිය ව්‍යාපාරයේ කැඳවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ යන අය දේශන ඉදිරිපත් කළහ.

මීට අමතරව දේශන අතරවාරයේ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු වන ප‍්‍රබෝධ බුද්ධප‍්‍රියගේ වීරෝධාකල්ප ගීතයකින්ද සාක්‍යය වීරසිංහ ප‍්‍රමුඛ වකන් ටන්කා සංගීත කණ්ඩායමේ සංගීත වැඩසටහනකින්ද මෙම අවස්ථාව හැඩගැන්වීය.

තවද ප‍්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂකවරයකු වන අශෝක හඳගමයන් විසින් අලුත්ගම හා බේරුවල ඇතිවූ අන්තවාදී ප‍්‍රචණ්ඩත්වය පදනම් කරගනිමින් ලියන ලද කවියකට අනුව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය අසේල රංගදේව විසින් නිර්මාණය කරන ලද බැලේ නර්තනයකින්ද මෙම වැඩසටහන හැඩගැන්වී තිබුණි. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ සඳහා නර්තනයෙන් දායක විය.

වැඩසටහන ආරම්භයට පෙර සම අයිතිය ව්‍යාපාරය විසින් ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිවිතවත් කළු ජූලියක් එපා’ මැයෙන් සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනේ අත්සන් බැනර හා ලංකාවේ හා තවත් රටවල ජාතිවාදී හා ආගම්වාදී කෝලාහල සිද්දි ඇතුළත් ඡායාරූප දැක්මක්ද පැවැත්වීම විශේෂයක් විය.

මෙහිදී පලවූ අදහස්



ලීනස් ජයතිලක - එක්සත් කම්කරු සම්මේලනයේ ලේකම්

‘‘පසුගිය පහලොස් වෙනිදා කලූ ජූලිය නැවත සිහි ගන්වමින් බේරුවල අලූත්ගම සහ දර්ගා නගරවල මහා සංහාරයක් දියත් කළා. ඒ සංහාරයට අපේ විරෝධය පල කිරීම සඳහා තමයි සම අයිතිය ව්‍යාපාරය අද දවසේ මෙම රැස්වීම සංවිධානය කරන්නේ. 1983 මහා කලූ ජූලියේදී පාරවල් වහලා, දෙමළ කඩ ගිනි තියලා දෙමළ ජනතාවට එරෙහිව විශාල සංහාරයක් දියත් කළා. දෙමළ ජනතාව අනාථ කඳවුරු වල ගාල් කළා. ඒ අවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව වාමාංශික පක්ෂ වලට විරුද්ධවත් මර්ධනය දියත් කළා. එලිමහනේ වැඩ කරන්න තිබෙන අවස්ථාව වාමාංශික ක‍්‍රියාකාරීන්ට නැති කරලා අත්අඩංගුවට ගන්න ක‍්‍රියා කළා. දෙමළ ජනකොටස් එතැනදී යාපනය පටුනට පසු බැස්සා.
2014 මුස්ලිම් ජනතාවට එරෙහිව සිදු කරන ලද සංහාරය අපි සලකා බැලිය යුත්තේ සුලූ ජාතීන්ට එරෙහිව දියත් කළ එබඳු තවත් ප‍්‍රහාරයක් ලෙස. දේශය එක්සත් කරන්න බැරි ප‍්‍රශ්න වලට මුහුණ දීගන්න බැරි දුර්වල රජයක් මේක. පාර්ලිමේන්තුවේ ආසන ගණන වැඩි කරගන්න වංචනික වැඩ කරනවා. ඡන්ද වලදී මොනවා හරි කරලා ආසන ගාන වැඩි කරගන්න උත්සාහ කරන දුර්වල රජයක්. ඉන්දියාවේ නරේන්ද්‍ර මෝඩි මීට සමාන ආකාරයකට කටයුතු කරන ආකාරය අපි පහුගිය කාලයේ දැක්කා.

ඔහු කිසිදු පක්ෂයක් සමග සන්ධානගත වෙන්නේ නැතිව ආණ්ඩුවක් හැදුවා. ඉන්දියාවේ හින්දි කථා කරන ප‍්‍රදේශ මත පමණක් පදනම් වෙලා ලබාගත් ජයග‍්‍රහණයක් ඒක. ඉන්දියාවේ දකුණු දිග ප‍්‍රදේශ වල කිසිම සහයෝගයක් ඔහුට ලැබුණේ නැහැ. ඒත් ඔහු ආණ්ඩුවක් හැදුවා. නේරුගේ, ගාන්ධිගේ යුගයේ ආණ්ඩු හැදුවේ මුලූ ඉන්දියාවේම ඡුන්ද පදනම මත. මේ සම්ප‍්‍රදායෙන් එහාට ගිහිල්ලා තමයි මෝඩි වැඩ කළේ. ගුජරාට් ප‍්‍රාන්තයේ මුස්ලිම් සංහාරය පසුපස හිටියේ මෝඩි. හින්දි ඡන්ද මත පමණක් හදලා තිබෙන දුර්වල රජයක් ඒක.

මහින්ද රාජපක්ෂ තිස් අවුරුදු දෙමළ විරෝධී යුද්ධයක් අවසන් කළා. ඒ සන්නද්ධ අරගලය පරාජය කිරීම විජයග‍්‍රහණයක් කියලා ඔවුන් කීවා. දෙමළ මිනිස්සු මේ යුද්ධයේදී අනාථ වුණා. ඒ උනාට මනුෂ්‍යත්වයේ නාමයෙන් ජාතිය එක්සත් කරන්න කිසිම දෙයක් කරන්න මේ රජයට බැරි වෙලා තිබෙනවා. අඩු තරමින් දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනයවත් මේ අයට ක‍්‍රියාත්මක කරන්න බැරි වෙලා තිබෙනවා. දේශය එක්සත් කරන්න බැරි මේ රජය නිසා ජනතාව අද වෙනකොට විනාශකාරී තත්වයකට මුහුණ දී සිටිනවා.

මේ අවස්ථාවේදී සම අයිතිය ව්‍යාපාරය පැති දෙකක් බලන්න අවශ්‍යයි. මේ පැති දෙක සමග කිසිම විදිහක සන්ධානගත වීමක් හෝ හවුල්වීමක් නැතිව වැඩ කටයුතු කිරීම අවශ්‍ය කරනවා. අලූත්ගම ජාතිවාදී සංහාරයට පස්සේ දවස් කීපයක් ඇතුලත 18 වෙනිදා සම අයිතිය ව්‍යාපාරය ජාතිවාදයට විරුද්ධ සියලූ බලවේග කොටුව දුම්රියපොළ ඉදිරියට කැඳවලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළා. මුස්ලිම් ජනතාවට ඒකෙන් සුලූ හෝ ධෛර්යයක් ලැබුණා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් යම් පෙනී සිටීමක් සමාජය තුළ තිබෙන බවට. මේ ජාතිවාදී ගැටුම් අවුලූවන සිංහල බෞද්ධ රාජ්‍යවාදය නමැති ප‍්‍රවණතාවයට අපි සම්පූර්ණයෙන් විරුද්ධ විය යුතුයි. අපි ඉන් බැහැර විය යුතුයි. සිංහල ජාතිවාදය බැහැර කොට වැඩ කරන විදිහ සිංහල ජනතාවට විශේෂයෙන් සිංහල වැඩ කරන ජනතාවට පෙන්විය යුතුයි.

අනිත් අතට රාජ්‍යය ලිබරල් විදිහට ගොඩ නගන්න උත්සාහයක් තිබෙනවා. රාජ්‍යය සම්බන්ධ මේ ධනේශ්වර සැලැස්මටත් අපි විරුද්ධ විය යුතුයි. ගෝලීය ධනවාදයට අනුව තමයි ඔවුන් රාජ්‍යය ගොඩනගන්න මේ අය වෑයම් කරනවා. මෙන්න මේ ප‍්‍රවණතාවටත් අපි විරුද්ධ විය යුතුයි. මේ පදනම් දෙක මත සිට සම අයිතිය ව්‍යාපාරය ජනතාව අතර ගොඩ නැගිය යුතුයි. සියලූ ජාතීන් එක්සත් කිරීමට, සියලූ ජාතීන්ට නිදහස්ව ජීවත් වෙන්න පුලූවන් සමාජයක් ගොඩ නැගීමට වැඩ කරන ජනතාව සංවිධානය කරමින් ඒ ඔස්සේ කටයුතු කිරීම ස`දහා පෙරමුණ ගත යුතුයි.’’



ධර්මසිරි බණ්ඩාරනායක - නාට්‍යවේදී

‘‘ජාතිවාදය ආගම්වාදය සහ උන්මන්තකවාදය කොහොමද ඇති වුණේ කියන ඉතිහාසය අපි අධ්‍යයනය කළ යුතුයි. මේ කථා කරන මම පහුගිය කාලයේ සමහර පුවත්පත් තුළ කොටියෙක් කියලා හංවඩු ගහලා තිබුණා. දකුණේ මම යුද්ධයේ ආදිනව ගැන කියන ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යය පෙන්නුවා. එතකොට අපෙන් ඇහුවා ඔය නාට්‍යය මෙහෙ පෙන්වන්නේ ඇයි පුලූවන් නම් යාපනයේ ගිහින් පෙන්වන්න කියලා. අපි යාපනෙත් ඒක පෙන්නුවා. උතුරේ කිසිම කෙනෙක් අපිට ගහන්න කොසු ඉදල් අරගෙන ආවෙ නැහැ. ඊයේ පෙරේදා මේ මුස්ලිම් ආරවුල ඇති වූ අවස්ථාවේ අපිට බයක් ආවා.
තිස් අවුරුදු යුද්ධයක් මේ රටේ තිබුණා. ඒත් මම කියනවා කවුරුත් මේ යුද්ධයෙන් දිනුවෙ නැහැ කියලා. 1981 දී ඡන්දයක් අවස්ථාවේ යාපනය පුස්තකාලය ගිනි තිබ්බා. පොත් අනූදාහක් පිච්චුවා. පුස්තකාලයක් පුච්චලා ඒ පෙන්නුවේ මිලෙච්ඡ ජාතියක ලක්ෂණ. මේ ගැන මුස්ලිම් මහාචාර්යවරයෙක් වන නුහුමාන් කවියක් ලීවා - බුදුන් ඝාතනය කිරීම කියලා. ඒ කවිය අනුව ඝාතකයා අදුරේ ඉදන් එනවා. ඔහු දකිනවා පඩි පෙල පාමුල බුදුන් ඝාතනය කරලා තිබෙනවා. ඔහු නාඳුනන තුවක්කුකාරයාගෙන් අහනවා ඇයි මේ බුදුන්ට වෙඩි තියල මරලා දාලා තිබෙන්නේ එයාගෙ නම අපේ ලැයිස්තුවේ නැහැ කියලා. නාඳුනන තුවක්කුකරු උත්තර දෙනවා බුදුන් අපිට කියල දීල තිබෙන්නේ අවිහිංසාව. ඉවසීම. ඒ හින්ද ඔහුව මරල දාන්නෙ නැතිව අපිට ලැයිස්තුවේ ඉන්න අනිත් අය මරන්න බැහැ ඒ නිසා මුලින්ම ඔහුව මරලා දැම්මා කියලා. ඊට පස්සේ ඔවුන් තීරණය කරනවා බුදුන්ගේ සිරුර ගිනි තියන්න. ඒ සිරුර මතට පොත් අනූදාහක් ගෙනත් දාලා ගිනි තියනවා. නුහුමාන් ලියනවා එතැනදී ගිනි ගෙන දැවෙන්නේ ධම්මපදය කියලා.

යාපනය පුස්තකාලයට ගිනි තියපු ඒ අවස්ථාවේ නැගුණු ගිනි දැල් තමයි තවමත් මේ දැල්වෙන්නේ. පස්සෙ කාලයක මම යාපනය පුස්තකාලයට ගියා. ඒ අවස්ථාවේ පුස්තකාලයේ පුස්තකාලාධිපති මාව මුණ ගැසුනා. ඔහු ඇහුවා මගෙන් පුස්තකාලය ඇතුල දැකලා තිබෙනවාද කියලා. ඉන්පසු ඔහු මාව ඇතුලට අරන් ගියා. යාපන පුස්තකාලයේ සිංහල පොත් තිබෙන අංශයට ඔහු මාව අරගෙන ගියා. ඒ අංශයේ ගුණදාස අමරසේකරගේ, මාර්ටින් වික‍්‍රමසිංහගේ, සරච්චන්ද්‍රගේ පොත් ආරක්ෂිතව තිබෙනවා. ඔහු මට කීවා - පුස්තකාලය ගිනි ගෙන දැවෙද්දී අපි මේ පොත් බේරගත්තා කියලා. ඒ තමයි ශ්‍රේෂ්ඨ ජාතියක ලක්ෂණය.

පින්වත කියන කටින් තෝ යකෝ පරයා වගේ වචන පිටවෙන්නෙ කොහොමද කියලා අපි කල්පනා කළ යුතුයි. සිංහල ජනතාව හිතන පතන විදිහ වෙනස් කරන්න මේ විනාශය නතර කරන්න සම අයිතිය ව්‍යාපාරය කරන මේ ක‍්‍රියාව මම අගය කරනවා.’’




අහිලන් කදිරගාමර් - දේශපාලන විචාරක

‘‘අලූත්ගම සිද්ධියේදී හැම දෙනාම නිහඩයි. එම ජනතාව ඉන්නේ භීතියෙන්. මුස්ලිම් ජනතාවට එරෙහිව දියත් වූ ප‍්‍රචණ්ඩකාරී වැඩපිලිවෙලට රජය අනුබල දුන්නා. 1950 ගණන් වල නිදහසට පස්සේ රජය දෙමළ ප‍්‍රජාවගේ අයිතිවාසිකම් කප්පාදු කරන්න පටන් ගත්තා. ආර්ථික අර්බුදය නැගී ගෙන එද්දී ජනතාවගේ අවධානය වෙනත් අතකට හරවන්න එතැනදී ජාතිවාදය පාවිච්චි කළා. ජාතිවාදය ප‍්‍රයෝජනයට අරන් බලයට පත් වුණා.

1977 බලයට පත්වූ ජේආර් ජයවර්ධන මේ රට කොල්ලකාරී විවෘත ආර්ථික පිලිවෙතට අරගෙන ගියා. ප‍්‍රගතශීලී ජනතාව එයට එරෙහිව නැගී සිටීම වෙනත් පැත්තකට හැරවීම ස`දහා ජාතිවාදී ප‍්‍රචාර අරගෙන ගියා. කලූ ජූලිය එහි ප‍්‍රතිඵලයක්. මෙය තිස් අවුරුදු යුද්ධයකට පාර කැපුවා. ඒ තිස් අවුරුදු යුද්ධයෙන් පස්සේ තවත් ව්‍යසනයක් අලූත්ගම බේරුවල නගර පදනම් කරගෙන නිර්මාණය උනා. කොහොම උනත් ඒ සිද්ධියෙන් පස්සේ ඊට එරෙහි විවිධ බලවේග මේ වනවිට සිය හඩ අවදි කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ කලූ ජූලියට වඩා මෙවර සිදුවීමේදී ප‍්‍රගතිශීලි අදහස් දරන පිරිස් ජාතිවාදයට එරෙහිව යම් හෝ ක‍්‍රියාකාරීත්වයක් දක්වනවා. දෙමළ ජනයා සතුරා විදිහට හුවා දැක්වූ යුගයට පස්සේ දැන් මුස්ලිම් ජනතාව සිංහලයාගේ සතුරා ලෙස පෙන්වමින් කටයුතු කරනවා. මේකට එරෙහිව ජාතිභේදයෙන් තොරව බලවේග ඒකරාශී වීම සිදුවිය යුතුයි.’’



රවීන්ද්‍ර මුදලිගේ - කැඳවුම්කරු - සම අයිතිය ව්‍යාපාරය

‘‘අපි දන්නවා ජූලි මාසය කියන්නේ මීට අවුරුදු තිහකට කලින් සහෝදර දෙමළ ජනතාවගේ ජීවිත දේපල දස දහස් ගණනක් ගිනිබත් කරලා ඒ අඳුරු දුමින් අහස පිරීගිය වර්ෂයක්. ඊට අවුරුදු තිස් එකකට පස්සේ අලූත්ගම බේරුවල දර්ගා නගරය පදනම් කරගෙන ජාතිවාදී ගිනිගැනීම් සිදුවූ අතර ඒ අහස් තලයත් අද වෙනකොට ජාතිවාදී දුමෙන් වැසී ගිහින් තිබෙනවා. කලූ ජූලිය සිදුවෙද්දී බොහෝ දෙනා ඒ දෙස නිහඩව බලාගෙන හිටියා. නමුත් අලූත්ගම සිදුවීමට පස්සේ ජාතිවාදයට එරෙහිව බලවේගවල එකතුවක් අපි දකිනවා. මේ ජූලි මාසයේදී ඒ සිද්ධියට එරෙහිව විවිධ පෙරමුණු වල බලවේග ක‍්‍රියාත්මක වෙනවා අපි දකිනවා. ඒ ආරම්භය හො`දයි. නමුත් අපිට බොහෝ දුෂ්කර ගමනක් ඉදිරියට යන්න තිබෙනවා.

මුලූ මහත් සමාජයේ වැඩකරන ජනතාව සිංහල දෙමළ මුස්ලිම භේදයක් නැතිව නිෂ්පාදනයේ යෙදෙනවා. මේ නිෂ්පාදනයේ ඵල එම ජනතාවට ලැබෙන්නේ නැහැ. සමාජයේ වරප‍්‍රසාදිත සුලූතරයක් ඒ නිෂ්පාදනයේ ඵල භුක්ති විදිනවා. එවැනි සමාජයක පීඩිත ජනතාවට භාෂාවේ සංස්කෘතියේ පුලූල්කම අත්පත් කරගන්න අවස්ථාවන් නැහැ. මේ සමාජයේ පසුගාමීත්වය ඇතුලේ ජාතිවාදය ආගම්වාදය නිර්මාණය වෙන්න පසුබිම සකස් වෙලා තිබෙනවා. ඉතිහාසය පුරා පාලකයින් ස්වකීය දේශපාලන බල අරමුණු වෙනුවෙන් මේ ජාතිවාදී ආගම්වාදී මනෝභාවයන් පාවිච්චි කරනවා. එහි ප‍්‍රතිඵලයක් විදිහටයි සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු එකිනෙකා මරාගන්න ඛේදවාචකයකට සමාජය ඇද ගෙන වැටුණේ.

මිලේච්ඡත්වය කරා සමාජය ඇදගෙන යන මේ ගමන ඇතුලේ තමයි විවිධ අන්තවාදී සංවිධාන නිර්මාණය කරන්නේ. ඔය විවිධ බල සේනා හැදී වැඩුණේ පෝෂණය වුණේ මේ ආණ්ඩුවේ ඔඩොක්කුවේ. මේ විදිහට හදා වඩා ගන්න සංවිධාන සමහර අවස්ථාවල මේ පාලකයින්ට පාලනය කරන්න පුලූවන් සීමාව ඉක්මවලා යනවා. ඒ සංවිධාන තමන්ට අවශ්‍ය සීමාවන් තුළ තබාගන්න පාලකයින් කටයුතු කරනවා. ජාතික වගේම ජාත්‍යන්තර වේදිකා වලත් අන්තවාදී සංවිධාන ලෙස කටයුතු කරමින් සිටින්නේ මෙවැනි පාලක පංතීන්ගේ රූකඩ. අපේ රට ඇතුලේ වේගයෙන් ඉදිරියට ආපු අන්තවාදී සංවිධාන පසුපස සිටින්නේ ආණ්ඩුව. ඊටත් ටිකක් පිටිපස්සේ පසුගාමී සමාජ ආර්ථික ක‍්‍රමය තිබෙනවා.

අපි විශ්වාස කරනවා අපි ජීවත් වන වර්තමානය ඇතුලේ එරෙහි විය යුතු දේවල් ගණනාවක් තිබෙනවා. මර්වින් සිල්වා සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක් ගස් බැන්දා. එතකොට මේ රටේ කම්කරු ප‍්‍රජාව ඒකට විරුද්ධ උනා. ඇමති කෙනෙක් ඇවිත් ගුරුවරියක් දණ ගස්වද්දී සමාජය නිහඩව බලාගෙන හිටියා. මේක සිංහල දෙමළ මුස්ලිම් භේදයක් නැතිව ගොවි ජනතාව තමන්ගේ අස්වැන්න විකුණාගන්න බැරිව දුක් විදින සමාජයක්. ජීවත් වෙනවා වෙනුවට ජීවිතය වි`දවනවා. ඒ වි`දවීම කිසිම විරෝධයක් නැතිව භාරගන්න සමාජයක් මේක.

අපි එරෙහි විය යුතු සියල්ල නිහඩව භාර ගන්නා අතරේ දරා ගත යුතු දේවල් දරාගන්නෙ නැහැ. වෙනත් ජාතික ප‍්‍රජාවක වෙනස් සංස්කෘතික ලක්ෂණ වගේ දරා ගත හැකි දේවල් දරාගන්න එපා ඉවසන්න එපා කියා ජනතාව පුරුදු කරවනවා. අනෙකාගේ සංස්කෘතික වෙනසට එරෙහිව ජනතාව පෙලගස්වන්න පාලකයින් කටයුතු කරනවා. ඒ අනුව අවසානයේ අප ඉදිරියේ තිබෙන්නේ වෙනස්කම් සතුරුකම් බවට පත්කරපු සමාජයක්. අධිවේගී මාර්ගයේ වැඩ කරන කම්කරුවන් විශාල කොන්ක‍්‍රීට් තට්ටු වලට යටවෙලා මිය යනවා අපි දැක්කා. ඒවා විරෝධයක් නැතිව විඳ දරාගන්නවා. ඒ ව්‍යාපෘති වලින් ලාභ ලබන ධන කුවේරයෝ එලෙස මිය යන කම්කරුවන් හා තමන් අතර සමානකම තියෙනවා කියලා කියන්නේ සිංහල වීම උඩ. වෙනස්කම සතුරුකම බවට පත් කරලා සැබෑ සතුරුකම හුදු වෙනස්කමක් බවට පත්කරලා තිබෙනවා. මේක තමයි ඉතිහාසයක් පුරා පාලකයින් විසින් පවත්වාගෙන යන උගුල. අපි තවත් ඒ උගුලට අහු වෙනවාද කියන එක අපි දැන් තීරණය කළ යුතුයි.


නව ලිබරල් ධනවාදයට වගේම ජාතිවාදයට, ගෝත‍්‍රවාදයට, ආගම්වාදයට මේ සමාජයට කිසිදු දෙයක් දිනා දෙන්න බැහැ. සමාජය ඇතුලේ මුල් බැහැලා තිබෙන අගතීන්ට එරෙහි අරගලයක් අප ඉදිරියේ තිබෙනවා. මේ නිර්මාණය වෙමින් තිබෙන ප‍්‍රවණතාවයට ඉදිරියට යන්න දෙන්න බැහැ. ඉතිහාසය විසින් මග හැර යා නොහැකි අභියෝගයක් අප ඉදිරියට පමුණුවා තිබෙනවා. මිලියන විස්සක ජනතාවගේ අනාගතය ගැන වගකීම අපගේ දෙවුර මත පැටවී තිබෙනවා. මේ ඇතිවී තිබෙන ප‍්‍රශ්නය චීවරධාරියෙක්ගේ උමතුවක් ලෙස වටහා ගන්න එපා. මේක සමාජ ප‍්‍රශ්නයක්. මේ අභියෝගය සිංහල දෙමළ මුස්ලිම් පීඩිත ජනතාව එකතු වී ජය ගත යුතු අභියෝගයක්.’’



නජිත් ඉන්දික - කැඳවුම්කරු - අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය

‘‘මේ උදා වී තිබෙන්නේ යලිත් වතාවක් මිලේච්ඡත්වය වීදි දිගේ සැරිසරන්න පටන් අරගෙන තිබෙන කාලයක්. තිස් අවුරුදු යුද්ධයට පසු සමාජය ඇතුලේ සැගවී තිබූ වර්ගවාදය සහ මිලේච්ඡුත්වය මතුපිටට ඇවිල්ලා මිනිසුන් මරා දමමින් එය වීදි දිගේ සැරිසරන්න පටන් අරන් තිබෙනවා. ජාතිවාදය විසින් සමාජයට උරුම කරන්නේ මිලේච්ඡත්වය විතරයි. ඒ හැර වෙන කිසිම දෙයක් එය විසින් සමාජයට ඉතිරි කරන්නේ නැහැ. 83 කලූ ජූලිය සමාජයට ඉතිරි කළේ වෛරයත් දරාගන්න බැරි මතකයන් සමූහයක් පමණයි. අවුරුදු හැට හැත්තෑවකට කලින් නාසිවාදය විසින් විශාල විනාශයක් සිදුකළා. ඒ විනාශය ගැන ලොකු සාකච්ඡාවක් සමාජය ඇතුලේ ඇති වුණා. සියල්ල අවසානයේ ජාතිවාදය විසින් මිලේච්ඡත්වය මිස කිසි දෙයක් සමාජයේ ඉතිරි නොකරන බවයි ඒ සාකච්ඡා වලින් පැහැදිලි උනේ.

අපි හැමෝම මේක දන්නවා නම් නැවත නැවතත් මේ විදිහේ ජාතිවාදී ආගම්වාදී ප‍්‍රවණතා මතු වෙන්නේ ඇයි? මෙවැනි පැන නැගීම් පසුපස තිබෙන රහස මොකක්ද?
දර්ගා නගරයට මේ විනාශය උඩින් පාත් උනේ නැහැ. මේක හැමදාමත් පාලක පංතියේ උවමනා මත පාලකයින්ගේ අනුග‍්‍රහය සහිතව දියත් වෙන ක‍්‍රියාවලියක්. 2012 දී දඹුල්ල මුස්ලිම් පල්ලියට පහර දීලා, හලාල් විරෝධය ඔස්සේ ඉස්සරහට ඇවිත් අද වෙනකොට ජාතිවාදී මරාගැනීම් වල තත්වයට මේ උසි ගැන්වීම් ඇවිත් තිබෙනවා. පවතින නීතියවත් ක‍්‍රියාත්මක කරන්නේ නැතිව පාලකයෝ මේකට අනුග‍්‍රහය දක්වනවා.

ඇයි පාලකයෝ මෙහෙම කරන්නේ? සමාජයේ අපි ඔබ සියලූ දෙනා මුහුණ දෙමින් සිටින ප‍්‍රශ්න තිබෙනවා. ඒ ප‍්‍රශ්න මතු වෙන්නේ ලාභ අරමුණ මත ගොඩනැගී තිබෙන මේ සමාජ ක‍්‍රමය නිසා. ජනතාව එකතු වෙලා මේ ප‍්‍රශ්න වලට විරුද්ධව අරගල කරන එක වෙනත් අතකට හරවලා තමන්ගේ පාලනය පවත්වා ගෙන යාම සඳහා මිනී දහස් ගණනින් උනත් මැරෙන්න දෙන්න පාලකයින් සූදානම්.

සමහර අය කියනවා මුස්ලිම් ජනයා මරන එක නරකයි ඒත් ජාතිවාදීව කරන ප‍්‍රචාර වල වරදක් නැහැ කියලා. අපි කියනවා ජාතිවාදයේ භේදයක් නැහැ. ජාතිවාදය කියන්නේ ජාතිවාදය. ජාතිවාදියා කියන්නේ ජාතිවාදියාට. අවසාන ප‍්‍රතිඵලයට විතරක් විරුද්ධ වෙලා වැඩක් නැහැ. හලාල් විරෝධයේ ඉදල පල්ලි වලට ගහපු එකේ ඉදලා මේ ක‍්‍රියාවලිය ආපු පෙලක් තියෙනවා. ඒ පෙලට සම්මාදම් වුන සියලූ දෙනා මේ විනාශයට වග කිව යුතුයි.

දශක ගණනාවක් තිස්සේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් අපි අරගල කරනවා. අධ්‍යාපනයේ සම අයිතිය වෙනුවෙන් අපි අරගල කරනවා. ජාති ආගම් භේදයකින් තොරව මෙම අයිතිය දිනාගැනීමයි අපගේ අරමුණ. ඒ විතරක් නෙමෙයි අද වෙනකොට ජනතාවට අහිතකර බොහෝ ප‍්‍රතිසංස්කරණ සිදුවෙනවා. ජල පනත් ඖෂධ පනත් බීජ පනත් ගෙන එනවා. ජලය, සෞඛ්‍යය ක්ෂේත‍්‍රය, බීජ වෙළඳ භාණ්ඩ බවට පත් කරනවා. හැමදේටම මිලක් නියම වෙනවා. අධ්‍යාපන අයිතිය අහිමි වෙද්දී ඒකට සිංහල දෙමළ මුස්ලිම් භේදයක් නැහැ. පාසල් වලට විශ්ව විද්‍යාල වලට මුදල් අය කරද්දී ඒක කරන්නේ සිංහල ද දෙමළද කියලා බලලා නෙමෙයි. ජලයට මිලක් අය කරද්දී ගොවියා සිංහල ද දෙමළ ද කියලා බලන්නේ නැහැ.

ඒත් ජාතිවාදය අරගෙන ආවම මොකද වෙන්නෙ. ජාතිවාදීව ජනතාව බෙදුවට පස්සේ මේ සැබෑ ප‍්‍රශ්න ගැන නෙමෙයි ජනතාව කථා කරන්නේ. යුද්ධ කාලයේ මිනී ගණන් කලා වගේ දැන් එක එක පුවත් හැදෙනවා. ජනතාව සැබෑ ප‍්‍රශ්න අමතක කරලා ඒ ගැන කථා කරනවා. ඒ නිසා අපි කියනවා ජාතිවාදයට එරෙහිව මේ සටන ගෙන යා යුත්තේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන කම්කරු, ශිෂ්‍ය, ධීවර ආදී බහුජන සංවිධාන. මේ ප‍්‍රශ්නය වෙනම ගන්න බැහැ. ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන සංවිධාන ජාතිවාදයේ අනතුර තේරුම් අරගෙන ඒකට විරුද්ධ අරගලයත තමන්ගේ අතට ගත යුතුව තිබෙනවා.’’

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us