මට මුණගැහුණු පෙම්වතුන් මගේ විශ්වාසය බිඳ දැම්මා -යුරේනි නොෂිකා

Published in කලා
Saturday, 24 January 2015 09:11

ඇය තවමත් කෙළිදෙලෙන් පසුවන යොවුන් බවෙන් පිරිපුන් හැඩකාර කටකාර තරුවක්. මේ දවස් වල ඇගේ වැඩි සද්ද බද්දයක් නැතත් ඔන්න හෙට අනිද්දම ජීවිතේ තවත් එක් කඬුල්ලක් පනින්නයි සූදානම. ඒ තමයි යුරේනි නොෂිකාගේ උපන් දිනේ ළඟ ළඟම එනවයි ලැබුණු ආරංචිය. දිනෙන් දින වයසට යෑම බොහෝ අයගේ සිත් තුළ යම් කිසි සියුම් වේදනාවක් ඇති කළත් යුරේනී නම් ඒ ගැන වගක් වගක් නැති හැඩයි.

යුරේනි, උපන් දිනෙත් ළඟයි නේ. මෙදා පාර මොනවද කරන්න හිතන් ඉන්නේ?

ඔව්. ජනවාරී 29 හැබැයි උපන් දිනේ කියලා මුකුත් විශේෂයක් කරන්න නම් තවම හිතලා නැහැ. ලබන මාසේ ඩුබායි ටුවර් එකක් තියෙන නිසා ඒකටත් සූදානම් වෙනවා.

උපන් දින සාදේ එහේ ගන්නද කල්පනාව?

නැහැ. නැහැ මම යන්නේ වායෝ බෑන්ඩ් එකේ ප්‍රසංගයකට නර්තනයෙන් හා ගායනයෙන් සහභාගී වෙන්න.

යුරේනිට සින්දු කියන්නත් පුළුවන් කියලා අපි දැනන් හිටියේ නැහැනේ?

ලොකුවට නෙමෙයි. ෂේප් එකේ සින්දුවක් දෙකක් කියා ගන්න පුළුවන්.

ඇත්තටම දැන් යුරේනිට වයස කීයක් විතර ඇතිද?

තවම හිතින් දහ අටයි. තවම ඉස්කෝලේ යන කාලේ වගේමයි.

ඇයි ඔච්චර වයස හංගන්නේ?

ඉතින් එහෙම වයසක් පේන්නේ නැහැ නේ. හිත පිරිසුදු නම්, කලට වෙලාවට ව්‍යායාම කරලා සැහැල්ලු ජීවිතයක් ගත කරනවා නම් හැමදාම තරුණ වෙලා ඉන්න පුළුවන්.

යුරේනි කියන්නේ ජීවිතේ අරමුණක් නැති තරුණියක් කියන්නේ ඇත්තද?

ගොඩක් අරමුණු තියෙනවා. මාව ජීවත් කරවන්නේ ඒ අරමුණු තමයි. සමහර වෙලාවට ඩිස්ට්‍රැක්ට් වෙනවා. නමුත් වටේ ගිහින් ආයිත් ඒ අරමුණුවලට එන අවස්ථා තියෙනවා.

හීන වලට ආදරය කරන යුරේනි මේ දවස්වල දකින හීනය ගැනත් කියමුකො බලන්න ?

ජාත්‍යන්තර තලයේ නිළියක් වීමයි මගේ අරමුණ. හොලිවුඩ්, බොලිවුඩ් නොවුණත් වෙනත් විදේශීය රටක කලාකාරිනියක් ලෙස ජාත්‍යන්තරයට යන්න මම කැමැතියි. මේ දවස්වල හීන මවන්නේත් ඒ වෙනුවෙන්මයි. ඒ හීනේ හැබෑ කර ගන්න ශාරීරික සහ මානසික ඒකාග්‍රතාව ඉතාම හොඳ මට්ටමක තිබිය යුතුයි. ඒ වෙනුවෙන් මම දැනටමත් සූදානම් වෙනවා.

එතකොට අර ක්‍රිකට් පිස්සුව දැන් හොඳ වෙලාද?

දැන් මම හොඳ ක්‍රිකට් ෆෑන් කෙනෙක්. ඉස්කෝලේ යන කාලේ මට පුදුම පිස්සුවක් තිබුණේ. ඒ කාලේ ඉඳන්ම ක්‍රිකට් සෙල්ලම් කළා. හැබැයි දැන් බැට් එකක් අල්ලපු කාලයක් මතක නැහැ.

තවමත් යුරේනිගේ හොස්ස ළඟින් මැස්සන්ට යන්න බැහැලූ නේද?

ඒ තරුණ කාලේ, තරුණ ලේ වල තියෙන ගතිය නේ. පොඩි කාලේ ඉඳන් මම හැදුණේ වැඩුණේ තනියම. මාව ගයිඩ් කරන්න වැඩිහිටියෙක් මගේ ජීවිතේ කවදාවත් මට ඉඳලා නැහැ. ඉතින් මම වැරැදි කර කර හැදිච්ච කෙනෙක්. දැන් නම් ඔය කියපු දේ නැත්තටම නැති ගානයි. තරහ ගියත් ඒ ගැන දේපාර තුන්පාර හිතනවා.

යුරේනිට වඩාත් විශ්වාසවන්තම කෙනා ගැන මම ඇහුවොත්?

දෙවියන් වහන්සේ හැර ලොකු විශ්වාසයක් තියන්න පුළුවන් කෙනෙන් නම් මගේ ජීවිතයේ නැහැ.

දුක සහ සතුට යුරේනිගේ ජීවිතයේ බෙදී යන්නේ ?

ඒ දෙකම තිබෙනවා. මාව දකින අය මම පොඩි කාලේ ඉඳලා හරිම සැපට හැදිච්ච සැප විඳපු කෙනෙක් කියලා හිතනවා ඇති. මම ජීවිතයේ සැපට හැදිච්ච කෙනෙක් නෙමෙයි. මගේ ජීවිතේ වැඩි බරක් තියෙන්නේ කටුක අත්දැකීම්. නමුත් ඒ කටුක අත්දැකීම් දිහා කිසිම වෙලාවක මම අප්‍රසන්නව බලන්නේ නැහැ. ඒවායින් මගේ ජීවිතයට ලොකු පන්නරයක් ලැබෙනවා. ඒ නිසා ඒ කටුක බව මට ලැබුණු ආශිර්වාදයක් ලෙසයි සලකන්නේ.

ඔබ මෙතෙක් අත් විඳී සුන්දරතම අත්දැකීම මම ඇහුවොත්?

මම කොහොමත් හරිම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. රෑට හොඳට නිදා ගෙන උදේට සැහැල්ලු නිදහස් මනසකින් ඇහැරෙන්න මට පුළුවන් වෙලා තියෙන්නේ ඒ නිසයි. ඉතින් ඒ සැහැල්ලු බවම මම අත් විඳින සුන්දරම අත්දැකීමක්.

සැහැල්ලුවෙන් සහ සතුටින් ඉන්න තාවකාලික සතුටක් පසු පස යන අයත් ඉන්නවා?

මම ඒය දකින්නේ තමා තමාවම රවටාගෙන තමාවම මෝඩයාට අන්දවා ගැනීමක් විදිහටයි. සැහැල්ලුවෙන් ජීවත්වීම කියන්නේ හිත රවටගෙන ජීවත් වීම නෙමෙයි. හිතට එකඟව සතුටින් ජීවත් වීමයි.

ඔබ හරිම විවෘතයි. ඒ නිසාම වැරදුණු අවස්ථා ඇති නේද?

මගේ විවෘත බව නිසා මට වැරදුණු තැන් ඇතියි. ඒත් මගේ මේ විවෘත බව වෙනස් කරන්න කැමැති නැහැ. සමාජෙට පේන්න කෙනෙකුයි ඇතු‍ෙළන් වෙනම කෙනෙක් වෙන්න මට වුවමනාවක් නැහැ. යුරේනි යුරේනි විදිහටයි ඉන්නයි ඕනේ.

යුරේනිගේ කට නිසත් දවසක නහින්න වෙයි?

ඇත්ත. නමුත් කට නිසත් නැහෙන වගේම කට නිසාම බේරුණු අවස්ථාත් ඕනෑ තරම් තියෙනවා. ඒ නිසා ලොකු අවුලක් නැහැ.

ඔබේ යම් යම් ගුණාංග ඔබට හොඳ පෙම්වන්තියක් වෙන්න බාධාවක් නොවේද ?

පෙම්වතියක් ලෙස අනිවාර්යෙන්ම මට මගේ විශ්වාසය රකින්න පුළුවන්. හැම දාම එහෙම තමයි හිටියේ. නමුත් මගේ ජීවිතේට ආපු පෙම්වතුන් නම් මගේ විශ්වාසේ බිඳලා ගිහින් තියෙනවා. ප්‍රේමයේදී මම පොඩි ළමයෙක් වගෙයි. ඇත්තටම මගේ ආදරය ලබන කෙනා හරිම වාසනාවන්තයි.

එහෙනම් යුරේනී පවුලක් වෙන්න හදන හැම අවස්ථාවකම මොන හරි අවුලක් වෙන්නේ ඇයි?

මට ලැබුණු සහකරුවෝ රැඳිලා හිටියේ නැහැ. ඒ මම පෙර කරපු අකුසලයක් නිසා වෙන්න ඇති. ආදරෙන් මම බොහෝ විට අත්වින්ඳේ විරහවයි. දැන් මම ඒ දේවල් අවබෝධ කර ගෙන ඉන්නේ. නමුත් මේ සමාජයට අනුව මමත් විවාහ විය යුතුයි නේ. සමහර වෙලාවට ජීවිතයේ දැනෙන තනිකම දරා ගන්න අමාරුයි. මටත් හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙයි. හැබැයි ගෙදරට වෙලා සම්පූර්ණයෙන්ම සාම්ප්‍රදායික ගෘහණියක් වෙලා ඉන්න මගේ කැමැත්තක් නැහැ. හොඳ පවුල් ජීවිතයක් ගත කරන ගමන්ම සමාජයට ලොකු දෙයක් කරන්නයි මට අවශ්‍ය.

යුරේනිට කුසල් අකුසල් ගැන දැඩි විශ්වාසයක් තියෙන හැඩයි?

ඔව්. කුසල් අකුසල් ගැන මගේ දැඩි විශ්වාසයක් තියෙනවා. ගිය ආත්මකදි කරපු අකුසල් නිසා වෙන්න ඇති මේ ආත්මේදී මට දෙමාපියන්, සහෝදර සහෝදරියන් නොලැබුණේ. අපි හැමෝගේම ජීවිත වල මොනයම් හෝ උස් පහත් වීම් තියෙනවා. මොනව හරි ප්‍රශ්නයක් මගේ ජීවිතේට ආපූ ගමන් මම දන්නවා මම පෙර ආත්මෙකදී කරපු පවක් තමයි මේ ගෙවෙන්නේ කියලා.

ටානියා මෝසස්-රසදුන

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us