ඔබේ අලුත්ම රංගනය ගැන කතා කරමු....?
‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ මම රඟපෑවේ එළාර රජුගේ අග බිසව “ධැරුත්‍රී” කියන චරිතය. වැඩි ධාවන කාලයක් හෝ වැඩි රූප රාමු ප්‍රමාණයක පෙනී නොසිටියත් මේක චිත්‍රපටයට අදාළ වැදගත් චරිතයක්. ඉතිහාස පොත්වල එළාර ගේ බිසවක් ගැන අපි අහලා තිබුණේ නැහැ. එළාර කියන්නේ දකුණු ඉන්දියානුවෙක් නෙවෙයි. ඔරිස්සා ප්‍රාන්තයෙන් තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ. ඔහුගේ අගබිසව ඉන්දියාවේ උසස් පවුලක කුල කාන්තාවක්. එළාර රජුගේ රාජ්‍යත්වයට ඈ දක්වන සහයෝගය ඔහුට අතිශයින් උපයෝගී වුණා, අවුරුදු හතළිස් හතරක් තිස්සේ රට පාලනය කරන්න.
මේ චරිතයේ විශේෂත්වය තමයි එකම දෙබසක්වත් නැතිව රඟපාන එක. වාචික අභිනයෙන් තොර රංගනයක්....?
වාචික අභිනය හැර අනෙක් සියලුම අභිනයන්ගෙන් මේ චරිතයට දායකත්වය දක්වලා තියෙන්නේ. රූපරාමු වැඩි පුර තියෙනවා නම් අපේ රංගනය මුදා හරින්න ලොකු අවකාශයක් තියෙනවා. නමුත් මේ චරිතය රඟපෑමේදී මට ඒ අවකාශය තිබුණේ නෑ.
අභියෝගාත්මක රංගනයක්....?
මම විශ්වාස කරනවා එය අභියෝගාත්මක රංගනයක් කියලා. මොකද වචනවලින් කරන හරඹය නැතිව රඟපෑමෙන් පමණක් තමයි එය කළ යුතුව තිබුණේ. නිළියකට වඩා පුරවැසියන් විදිහට ‘මහරජ ගැමුණු’ වගේ නිර්මාණයකට දායක වෙන්න ලැබීම භාග්‍යයක් කියා මං සිතනවා. මොකද එය රංගනයක් වගේ ම සත් ක්‍රියාවක් හැටියටත් මා දකින නිසා. ඒ නිසා සුළු පරිමාණයෙන් හෝ ඊට දායක වන්න ලැබීම මා ලත් භාග්‍යයක්.
ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ “අග්නි දාහය”, “ගරිල්ලා මාකටිං”, “සමනල සංධ්වනිය” චිත්‍රපට තුනේම ප්‍රධාන නිළි භූමිකාව රඟ දැක්කුවේ ඔබ...?
චරිතයේ වටිනාකම රැඳී තිබෙන්නේ වැඩි රූප රාමු ප්‍රමාණයක පෙනී සිටීමෙන් නෙවේ කියලා මම විශ්වාස කරනවා. සුමිත්‍රා පීරිස් ගේ “දුවට මවක මිස” චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව රඟපෑවේ සංගීතා වීරරත්න. මම සහාය චරිතයක් රඟපෑවේ. ඒ වාගේම මොහාන් නියාස් ගේ “කළු සුදු මල්” චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව දිල්හානි අශෝකමාලා. ප්‍රසන්න විතානගේ ගේ “අනන්ත රාත්‍රිය” ස්වර්ණා මල්ලවාරච්චි ප්‍රධාන භූමිකාව, ඊළඟ චරිතය රඟපෑවේ මම. විශේෂයෙන් ම සිනමා කෘතියක ඒ චරිත ලියැවි තියෙන්නේ ඒ කෘතියට අදාළ වන නිසාමයි. ඒ නිසා ම “ධැරත්‍රී’ සුළු චරිතයක් හැටියට මම තකන්නේ නැහැ. එළාර කියන චරිතය පසුපස තිබෙන දැවැන්ත සෙවණැල්ල ඇයයි.
ජයන්තගේ සෙසු චිත්‍රපට හා සසඳා බලද්දී ඔබ ‘මහරජ ගැමුණු’ තබන්නේ කිනම් තැනක ද...?
‘අග්නි දාහය’ ඔහුගේ පළමු සිනමා කෘතිය. ඊට හාත්පසින්ම වෙනස් “ගරිල්ලා මාකටිං” චිත්‍රපටය. දේශපාලනය තමයි ඊට පසුබිම් වුණේ. එතකොට “සමනල සංධ්වනිය”. එය අර චිත්‍රපට දෙකටම වඩා වෙනස්. ආදරය නමැති මනෝ භාවය මෘතෘකා කරගෙන කතා කරපු චිත්‍රපටයක්. මේ චිත්‍රපට සියල්ලක්ම එකිනෙකට සසඳන්න හරි අමාරුයි. වෙනස්ම ප්‍රස්තුතයන්.
ඔහුගේ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය කලාව ගත්තත් මේ අනන්‍ය සාධාරණ වූ ලක්ෂණ තිබුණා...?
ඇත්තටම ඔව්. දැන් ‘වෙද හාමිනේ’ වගේ නෙවෙයි ‘වෙස් මුහුණු’, ටෙලි නාට්‍යය. ‘දඬුබස්නාමානය’ ඊටත් වෙනස්. ‘අකාල සන්ධ්‍යා’ ‘රැජින’ වෙනස්ම ප්‍රස්තුත. ‘අත්’, ‘මෝරා’, ‘ඔත්තුකාරයා’ වගේ වේදිකා නාට්‍යය ගත්තත් ඒවා එකිනෙකට වෙනස්. සසඳන්න අමාරුයි. ඉතින් මම හිතනවා ඔහු නිර්මාණය කළ චිත්‍රපට හතර පෙළ ගැස්සුවොත් මේක මේකට වඩා උසස්, මේක මේකට වඩ පල්ලෙහා කියලා සංසන්දනය කරන්න බෑ. ඒ ඒ නිර්මාණවල වෙනම අනන්‍යතාවයක් තිබෙනවා.
මීට පෙර “සමනල සංධ්වනිය” චිත්‍රපටයේ ඔබ රඟපෑ චරිතයට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා...?
“ඔව්... ඇත්තටම. ඒ ගැන මට සතුටුයි.
මම හිතන්නේ “හිරු” ගෝල්ඩන් අවෝඩින් සම්මාන උලෙළේ ජනප්‍රියම නිළිය වෙන්නත් ඔබට බලපෑවේ ඒ සාධකය...?
අනිවාර්යයෙන්ම, “සමනල සංධ්වනිය” චිත්‍රපටයේ මම රඟපෑ පුණ්‍යා දිසානායකගේ චරිතය අතිශයින් ඉවහල් වුණා ඒ සම්මානයට. එක්තරා යුගයක මම රූපවාහිනියේ ජනප්‍රියම නිළිය වුණා එක දිගට පස්වතාවක්. 1998 සිට 2003 දක්වා. බොහෝ අය හිතනවා ජනප්‍රිය නිළිය සම්මානය ලබා ගත්තේ ඉතාම තරුණ, අද දවසේ බොහෝ දේවල්වල ඉන්න අයයි කියලා. නමුත් ඒවා එහෙම නෙවයි කියලා ඔප්පු කරන්න මට පුළුවන් වුණා. වසර ගණනාවකට පසු යළිත් ජනප්‍රිය නිළිය විදිහට සම්මානයට පාත්‍ර වුණාම මට දැනුණේ අර රසික ආදරය ආයෙත් අලුත් වුණා කියලයි.
නමුත් ඔබ හොඳම නිළියට නිර්දේශ වුණෙත් නැහැ අඩුම තරමේ...?
ඇත්තටම මම බලාපොරොත්තු වුණා. එහෙම නිර්දේශ වෙයි කියලා. නමුත් ජනප්‍රිය සම්මානය ලැබුණ එක ගැන මම වඩාත් සතුටු වෙනවා. මොකද හතර, පස් දෙනකුගේ තීරණයට වඩා මුළු රටේම ජනතාවගෙන් ලැබුණ මේ සම්මානය මට වටිනවා.
හොඳම නිළිය තේරීමේදී ඔබට යම් අසාධාරණයක් වුණා කියලද ඔය කියන්නේ...?
අසාධාරණයක් වුණේ සම්මානය නොලැබීම තුළ නෙවෙයි. සාමාන්‍යයෙන් අවුරුද්දක් තුළ තිරගත වූ චිත්‍රපටවලින් නේ අපි සම්මානයට සුදුසු අය තෝරන්නේ. එහෙම තෝරාගන්නේ එක හා සමාන දක්ෂතා ප්‍රකට කළ හතර, පස්දෙනෙක්. ඒ අතරට එක්වෙන්න ලැබීම ගෞරවයක්. ඉතින් සම්මානය නොලැබීම ගැන නෙවේ එහෙම නිර්දේශ නොවීම ගැන කනගාටුවක් තියෙනවා. අපි සම්මාන උලෙළකට සහභාගි වෙන්නේ ඒ ජූරියට හිස නවලයි. නමුත් හොඳම නිළියට නිර්දේශ වන්නට තරම් පුණ්‍යා දිසානායකගේ චරිතය සුදුසු නැද්ද කියන සැකය, ප්‍රශ්නාර්ථය මා තුළ මතුවුණා.
විශිෂ්ට යැයි සම්මත අධ්‍යක්ෂවරුන් කිහිපදෙනකු සමඟම ඔබට සිනමාවේ වැඩ කරන්න ලැබුණා...?
ඔව්... සුමිත්‍රා පීරිස්, වසන්ත ඔබේසේකර, ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න විතානගේ, මොහාන් නියාස් වගේ අය එක්ක මට වැඩ කරන්න ලැබුණා. ධර්මසේන පතිරාජ, පරාක්‍රම නිරිඇල්ල වගේ අධ්‍යක්ෂවරුන් එක්ක මම ටෙලිනාට්‍යවල වැඩ කළා. ධර්මසිරි බණ්ඩාරනායක එක්ක වේදිකාවේ වැඩ කරලා තියෙනවා. මේ මාධ්‍ය තුනේම සිද්ධ වෙන්නේ රංගනය. මාධ්‍ය හඳුනාගෙන රඟපෑම විතරයි වෙනස වෙන්නේ. ඉතිං මම හිතනවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හැරුණු කොට බොහෝ අධ්‍යක්ෂවරුන් සමඟ වැඩ කරන්න මට අවස්ථාව උදාවුණා කියලා.
මේ අධ්‍යක්ෂවරු යටතේ රඟපාන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙන අධ්‍යක්ෂවරුන් නැද්ද ඔබට...?
ඒක තීරණය වෙන්නේ ලැබෙන චරිතය අනුව. මට ආසාව තියෙන්නේ විවිධ චරිත රඟපෑමට. ඒක කොයි අධ්‍යක්ෂවරයා ද කියලා විෙශ්ෂත්වයක් නෑ. අපේ පරම්පරාවේ අධ්‍යක්ෂවරු රාශියක් ඉන්නවා. මෙතනින් එහාට සිනමාව ගෙනියන්නට දායක වෙන උදවිය ඔවුන් කියා මම හිතනවා. ආචාර්ය ලෙස්ටර් ජේමිස්ට පස්සේ අපේ පරම්පරාවේ අයට තමයි පුළුවන් වුණේ ජාත්‍යන්තරයට අපේ සිනමාව ගෙන යන්න.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සමඟ වැඩ කරන්නට නොලැබීම ගැන මම හිතන්නේ ඔබේ හිතේ කනස්සල්ලක් තියෙනවා...?
ඇත්තටම කනගාටුවක් තියෙනවා. මොකද ලෙස්ටර් - සුමිත්‍රා යුවළ මගේ මවුපියන් වගේ මට සමීපයි. ඒ නිර්මාණකරණය හරහා නෙවෙයි සමීප වුණේ. මගේ පියාණන්ගේ සමීපතමයන් හැටියට. මං පුංචි කාලේ ඉඳලා ඒ අය ඇසුරු කළා.
නමුත් සුමිත්‍රා පීරිස් යටතේ රඟපෑමේ අවස්ථාව ඔබට ලැබුණා...?
ඇගේ නවතම චිත්‍රපටය වන “වෛෂ්ණාවි” ට රංගනයෙන් දායක වෙන්න වරම් ලැබුණා මට. එහි තිර රචනය ලෙස්ටර් ජේම්ස් මහතා විසින් ඉංග්‍රිසි බසින් ලියා තිබුණේ. සිංහල බසට පරිවර්තනය කළේ ටෝනි රණසිංහයන්. ලෙස්ටර් මහතා සමඟ චරිතය ගැන කතා කරන්නට අවස්ථාව මට ලැබුණා. ඒක මට ලොකු වටිනාකමක්.
චරිත තෝරා බේරාගෙන රඟපෑම කවදත් ඔබ සතුව තිබූ ගුණාංගයක්...?
මට ලැබෙන චරිතය කොයිතරම් ප්‍රේක්ෂකයාගේ මතකයේ රැඳවිය හැකිද, කොයිතරම් ඉඩකඩක් තිබෙනවාද මගේ කුසලතාව විදහා පෑමට කියන කාරණය තමයි මම මූලිකව බලන්නේ. ඉතින් ඒ ඔස්සේ තමයි මම චරිත තෝරා ගන්නේ. දොස්තරවරියකගේ චරිතයක් කරන්න ආසයි, මෙහෙණින් වහන්සේ කෙනකුගේ චරිතයක් කරන්න ආසයි කියලා එකක් නැහැ. නිළියක හැටියට ලැබෙන කාලපරාසය ඔස්සේ මගේ භාව ප්‍රකාශනය කෙතෙක් දුරකට කළ හැකිද කියන කාරණාවයි ප්‍රධාන.
පුංචි තිරයෙන්, වේදිකාවෙන් අද ඔබ තරමක් දුරස්ව හිඳින බවයි පෙනෙන්නේ...?
ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ට්‍රෝජන් කාන්තාවෝ’ තවම වේදිකාගත වෙනවා. ටෙලි නාට්‍යවලට නම් දායක වුණේ හරිම අඩුවෙන්.
ඔබ පුංචි තිරයේ ජනප්‍රිය නිළියක්ව හිඳිද්දී මේ රටේ හරවත් ටෙලි නාට්‍ය සංස්කෘතියක් තිබුණා. නමුත් අද හැදෙන බොහෝ ටෙලිනාට්‍ය අවරගණයේ හරසුන්, ඒකාකාරී ටෙලි නිර්මාණ. ඒ නිසාද ඔබ ඉන් ඈත්ව සිටින්නේ...?
ඔබේ ප්‍රශ්නය ඇතුළෙම උත්තරය තියෙනවා. මම හරිම ආදරෙයි රූපවාහිනියට. රංගනය තමයි මගේ ජීවිතය. මොන මාධ්‍යයක රඟපෑවත් එහෙමයි. මම හිතන්නේ ඒක මගේ ජීවිතය හා බද්ධ වෙලා ඉවරයි. අප පටන්ගත් තැන ඉඳන් මේ මෑතක් දක්වා ඉතාම හරවත් ටෙලිනාට්‍ය නිර්මාණය වුණා. ඒ තුළ තමයි නිළියක් හැටියට මටත් ඉස්සරහට එන්න ලැබුණේ. අද ටෙලි නාට්‍ය කලාවට අත්වෙලා තියෙන ඉරණම ගැන හිතේ තියෙන්නේ ලොකු දුකක්. එක එක කාලවලට එක එක ප්‍රවාහ එනවා. නමුත් ඒවා රඳා පවතින්නේ නෑ. මම හිතන්නේ ඉහළ නිර්මාණයකට හොඳ වටිනාකමක්, මිලක් තියෙන්න ඕනෑ, ඒ නිසා හැම නාළිකාවකින්ම අනුග්‍රහය දක්වන්න ඕනෑ ගුණාත්මක ටෙලි නාට්‍ය කලාවක් නැවත ස්ථාපිත කරන්න.
වර්තමානයේ ටෙලි නාට්‍ය සඳහා ඔබට ඇරියුම් ලැබෙන්නේ නැද්ද...?
නිතරම ආරාධනා ලැබෙනවා. පිටපතක් ඉල්ලුවාම පිටපතක් නැහැ. සිනොප්සිස් එකක් ගෙනත් දෙනවා. තිර පිටපත නැහැ.
පිටපතක් නැතිව ඔබ රඟපාන්නේ නැද්ද...?
නැහැ. පිටපතක් කියන්නේ නැතිව චරිතය තේරුම් ගන්න බැහැෙන්.
එතකොට “මහරජ ගැමුණු” දෙබස් තිබුණේ නෑනේ. තිර පිටපතින් කොයි වගේ අනුප්‍රාණයක් ද ඔබට ලැබුණේ?
ජයන්ත අය්යා මේ චිත්‍රපටය මුලින්ම කරන්න සූදානම් වුණේ 2009 දී. ඒත් යම් යම් හේතු මත එය වැළකී ගියා. ඔහු ඒ තිර කතාව කොටස් වශයෙන් ‘දිවයින’ ඉරිදා සංග්‍රහයේ පළ කළා. ඊට පස්සේ නවකතාවක් විදිහට මුද්‍රණය කළා. 2009 මට දුන්න පිටපතම තමයි යළිත් භාවිතයට ගත්තේ. කිසි වෙනසක් වෙලා තිබුණේ නැහැ.
රංගනය නිසා ඔබට ජනප්‍රියත්වය, කීර්තිය වගේම ජයග්‍රහණ රැසක් උරුම වුණා. ඒත් නිළියක ලෙසින් රංගන දිවියේ ඔබේ ඒ පරිපූර්ණත්වය සැබෑ ජීවිතයේ තියෙනවාද...?
ඇයි ඔබ එහෙම අහන්නේ.
මට හිතෙන්නේ ඔබේ ජීවිතය පාළුවෙන්, හුදෙකලාවෙන් ගෙවෙනවා කියලයි...?
එහෙම පාළුවක්, හුදෙකලාවක් මට නැහැ. බොහොම සතුටෙන් ජීවත් වෙන්නේ. මම සාමයෙන්, නිදහසේ කටයුතු කරන කෙනෙක්. ජීවිත කාලයම මම මවුපියන් වෙනුවෙන් බොහෝ දේවල් කළා. ඒක පෙර පිනක් හැටියට මම දකිනවා. මොකද බොහෝ දරුවන්ට ඒ අවස්ථාව ගිළිහී යනවා. ජීවිතයේ වටිනාම දේ නිරෝගීකම සහ සතුටින් ජීවත් වීමයි. හුදෙකලා බවක් මට දැනෙන්නේ නැහැ. මම විවිධ වෘත්තීය කටයුතුවලට දායක වෙනවා. ඒක තුළ මගේ ජීවිතය තෘප්තිමත්.
එතකොට ඔය සුන්දර රූ සපුව නීත්‍යානුකූලව කාටවත් අයිති වෙන්න ඉඩක් නැද්ද...?
නීත්‍යානුකූලව අපි කාටවත් අයිති නෑ. අපි දවසක මේ සියල්ල අතෑරලා යනවා. මේ සංසාර ගමන් මඟේ එක ජීවිතයක් විතරයි මේක. බොහෝ අය ඔය කතා කරන්නේ විවාහය ගැනනේ. විවාහයක් සිද්ධ වුණේ නෑ කියලා කෙනෙකුට මම හිතන්නේ ඒක සතුටට බාධාවක් නෙවෙයි. තෘප්තිමත් ජීවිතයක් තමයි වැදගත් වෙන්නේ.
අපි දකිනවා මේ සමාජය ඇතුළේ විවාහ ජීවිතවල මොනතරම් දුක් කන්දරාවල් දරාගෙන, සමාජයට වෙන මූණක් මවාපාමින් ජීවත් වෙනවද කියලා සමහරු. නිදහස් ජීවිතයක් කියන්නේ හැම මනුෂ්‍යයෙකුටම ලැබෙන අයිතිවාසිකමක්.
සාර්ථක යුග ජීවිත ගෙවන බොහෝ අය සිටිනවා.
හැමෝම නෙෙවයි මම කියන්නේ. සමහරු. ඇත්තටම ඒක අවාසනාවන්ත තත්වයක්. “සමනල සංධ්වනිය” තිරගත වෙන කාලේ මට එහි ප්‍රචාරණ කටයුතුවලදී පුන පුනා කියපු දෙයක් තමයි එය හොඳ ආදරණීය චිත්‍රපටයක් කියන එක. මොකද අද සමාජයේ පිරිමි ළමයෙක්, ගෑනු ළමයෙකුගෙන් යාළු වෙන්න අහලා අකමැති වුණොත් අනෙක් පැත්තට පිහියෙන් අනිනවා. මේක නෙවෙයි ආදරය කියන්නේ. පරිත්‍යාගය, කැපවීම, අනුන්ගේ සතුට විඳින්නට පුළුවන් වීම, ඒක තමයි අමාරුම දේ. ඒත් වැදගත්ම දේත් ඒක. අඩුම තරමින් බෞද්ධයාට හෝ බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වෙන්න පුළුවන් නම් විවාහක, අවිවාහක කියලා නෑ, ජීවිතය සතුටින් ගත කරන්න පුළුවන්.
ඒ කියන්නේ ඔබ කවදාවත් විවාහ වන්නේ නැහැ...?
ඒක ඉතින් කියන්න බෑ. ජීවිතය අපට පෙරදි තීරණය කරන්න බෑ. අපි අරගෙන එන දේ තමයි අපි ගෙනියන්නේ. මට ලැබුණු දේ තුළ මම ජීවිතය සාර්ථක කරගෙන තියෙනවා. මම හීනෙකින්වත් රංගන ශිල්පිනියක වෙන්න හිතපු කෙනෙක් නෙවෙයි. නමුත් ඒක සංසාර පුරුද්දක් විදිහට මට ලැබුණා. ඒක සාර්ථකව කරගෙන මම ඉදිරියට ගියා. මගේ මරණය දක්වාම ඒ ජීවිතය තුළ මාව රැඳේවි. මොකද එය මට ආත්ම ගතවී අවසානයි. ඒක ඇතුළේ යන්න තියෙන වෙන වෙන ඉසව් ඔස්සේ මම ඉදිරියට යන්න හිතාගෙන ඉන්නවා.
කොහොමත් ජීවිතය විඳිමින් ඉන්නවා...?
ජීවිතය විඳවන්න නෙවෙයි තියෙන්නේ විඳින්න. ඉතින් ජීවිතය මම උපරිමයෙන් විඳිනවා. ඒ ජීවිතය හරිම තෘප්තිමත්.
අසංක දේවමිත්‍ර පෙරේරා