හොඳ බිරිඳක් වීමේ සුදුසුකම් එකක්වත් මට නැහැ - නිරෝෂා

Published in අනං මනං
Friday, 12 June 2015 10:23

ඇය විටෙක නිවේදිකාවකි. තවත් විටක නිළියකි. කලාවේ විවිධ ඉසව් ඔස්සේ සිය කුසලතා පළ කළ ඇය ප්‍රේක්ෂක සිත තුළ ගොඩනගනු ලැබුවේ සැහැල්ලු විනෝදකාමී සුන්දර තරුණියගේ භූමිකාවකි. නමුදු කැමරාවෙන් පරිබාහිරව ඇගේ සිතුම් පැතුම් ජීවන තතු ඉන් එහා තැනෙක වෙතැයි කිවහොත් එය නිවැරදිය.

නිරතුරුව නව ඉසව් කරා යාම සහ විවිධ විෂයන් හැදෑරීමක් මේ කලාකාරියගේ විනෝදාංශ අතුරින් එකකි. ඇය ඔබ හොඳින් හඳුනන නිරෝෂා පෙරේරාය. අද වනවිට නිරෝෂා මනෝ විද්‍යාව හදාරන බවත් සිය සමීපතමයන්ට මනෝ චිකිත්සක උපදේශන දෙන අවස්ථා පවා ඇති බවත් බොහෝ අය නොදනිති. මේ සියලු කරුණු පිළිබඳව නිරෝෂා පෙරේරා සමග හෘදයාංගම කතාබහකට එක්වූයෙමු.

නිරෝෂා කාලෙකට පස්සේ සිනමා පට දෙකකට එකතු වුණා නේද ... ?

ඔව් “සෙවනැලි“ චිත්‍රපටයටයි “කන්දක් සේමා” චිත්‍රපටයටයි එකතු වුණා.nperera-new2

ඉඳහිට චිත්‍රපටවලට එක්වන්නේ ලැබෙන ආරාධනා අඩු නිසාද ?

මම ලැබෙන හැම ආරාධනාවක්ම භාරගන්නේ නැහැ. ඒ නිසා ප්‍රතික්ෂේප කළ නිර්මාණ කීපයක්ම තියෙනවා.

තෝරා ගැනීම් සිදුකළා නම් ප්‍රතික්ෂේප කළ නිර්මාණ මොනවද කියන්න

මම යම් නිර්මාණයක් ප්‍රතික්ෂේප කළොත් වෙනත් සහෝදර නිළියක් දාලා ඒ නිර්මාණකරුවා අදාළ නිර්මාණය කරනවා. ඒ වෙලාවට ඔය නිර්මාණයට මුලින්ම කතා කළේ මට කියල කිව්වොත් එයින් ඒ නිළියට යම් අවමානයක් විය හැකියි. ඒ නිසයි ප්‍රතික්ෂේප කළ නිර්මාණ ගැන කියන්නේ නැත්තේ. මම ඒ විදියට ප්‍රතික්ෂේප කළ නිර්මාණ වෙනත් නිළියන් දාල කරපු අවස්ථා වගේම සම්මාන දිනූ අවස්ථාත් තියෙනවා.

නිරෝෂා රඟපෑමට චරිත තෝරාගන්නේ මොන පදනම මතද ?

මට රඟපාන්න තියෙන චරිතය කොයි තරම් ප්‍රබල වුණත් සෙසු චරිත සහ අදාළ නිර්මාණය ප්‍රබළ නැත්නම් මම භාරගන්නේ නෑ. කතාව සහ එහි අවසානය ගැන මා තුළ තෘප්තියක් තිබිය යුතුයි. මගේ චරිතය කතාවට අත්‍යවශ්‍ය විය යුතුයි. ඒ වගේමයි මම එක වතාවකට වැඩ ගොඩක් භාරගන්නෙ නෑ. මට කොයිතරම් හොඳ චිත්‍රපටයකට ආරාධනා ලැබුණත් මම ඒ වනවිට වෙනත් කලා කටයුත්තකට හෝ අධ්‍යාපන කටයුත්තකට නියැළී සිටින කාලයක් නම් මම ඒ නිර්මාණය ප්‍රතික්ෂේප කරනවා.

ඔය විදියට තෝරා බේරා ගැනීම් කිරීම අවාසිදායකයි නේද ?

මම චිත්‍රපටයක රඟපානවා නම් එය සාර්ථක විය යුතුයි. වැඩසටහනක් කරනවා නම් එයින් අදාළ නාලිකාවට වාසි විය යුතුයි. මම අසවල් සම්මානය ලබන්නට රඟපානවා එහෙම නැත්නම් අංක එකේ නිළිය වන ච්ෙතනාවෙන් රඟපානවා කියන අරමුණ මට නැහැ. ඒ හින්දා මගේ තෝරාගැනීම අවාසිදායක නැහැ.

නිරෝෂාගේ ජීවිතයේ ප්‍රබල අරමුණු ඉලක්ක නැතිද ?

මේ ජීවිතයවත් ස්ථිර නැතුව මහ ලොකු ඉලක්ක තියාගෙන මොකටද? සදාකාලිකව නම පවතින්න කටයුතු කරන අය වගේම මම මැරුණදාක මා ගැන කතා කරන්න යමක් ඉතුරු කළ යුතුයි කියලා කියන අය ඉන්නවා. ඒත් මම මියගියදාක හැමෝටම මාව අමතකවෙලා යනව නම් මම කැමතියි. මොකද අපි මිය ගියාට පස්සේ කරන ගුණකථනවලින් අපිට වැඩක් නැහැ.

nperera6නිරෝෂා ඔය කතා කරන්නේ කලකිරීමෙන් නේද ?

දවසින් දවස ජීවිතය තේරුම් ගන්න කොට අපි යථාර්ථවාදීව ජීවිතය දකිනවා. ඒක කලකිරීම

‍නෙවෙයි. මේ සියල්ල අතැරදැමිය යුතුයි කියන තැන මම නැහැ. රඟපෑම හෝ නිවේදනය හෝ කරන දේ උපරිමයෙන් කරන්න මම කැපවෙනවා. යාළුවෝ එක්ක සතුටින් ගෙවන වෙලාවට මම උපරිමයෙන් සතුටුවෙනවා. ඒත් මගේ ජීවිතයේ බැඳීම් නැහැ. සරලයි මම මෙහෙම කිව්වම ඔයා වුණත් විශ්වාස කරයිද දන්නේ නැහැ.

මොනවා ගැනද නිරෝෂා ඔය කියන්නෙ ?

මට පාලනය කරන්න බැරිම දේවල් තමයි මුදල් වියදම් කිරීම් සහ ආහාර ගැනීම. මම අත දිගහැරලා වියදම් කරනවා වගේම තමයි හොඳට බඩ කට පුරා කනවා. ඇඟ සිහින්ව තබාගන්නට නොකා නොබි දුක්විඳින අය මම දකිනවා. හැබැයි කොච්චර කෑවත් මට සිහින් සිරුරක් තියෙනවා. මම සම ගැන ලොකු සැලකිල්ලක් නෑ. ඒත් මට හොඳ සමක් තියෙනවා. හෙට මම මහත් වුණත් මගේ සම වෙනස් වුණත් මට ඒක ප්‍රශ්නයකුත් නැහැ. මම ජීවිතයට මුහුණ දෙන්නේ ඔන්න ඔය විදියට.

නිරෝෂාගේ ජීවිතය අද මෙ විදියට තනියම ගෙවිල යන්නෙත් ඔය සිතුම් පැතුම් නිසාද ?

මම තනි නැහැ. මගේ ගෙදර අය මා ළඟ ඉන්නවා. ඔයා ඔය අහන්නෙ ආදරවන්තයෙකුගේ අඩුව ගැනනේ ... ? මගේ බොස් මම. තව කෙනෙකුට යටත් වෙලා ජීවත් වෙන්න මට බැහැ. තව කෙනෙක්ව යට කරගෙන ජීවත් වෙන්න මට අවශ්‍යත් නැහැ. විවාහයේදී ඔය දෙකින් එකක් අනිවාර්යයෙන්ම වෙනවා. කොටින්ම කියනවා නම් හොඳ බිරිඳක් වෙන්න අවශ්‍ය ප්‍රධාන සුදුසුකම් එකක්වත් මට නැහැ. මට ඉවසීම නැහැ, අරපිරිමැස්ම නැහැ. තව කෙනෙකුට දෙවැනි වීමටත් මම කැමති නැහැ. යම් දෙයක් බොහොම ඉක්මනට එපා වන සුළු ගතිය මට තිබෙනවා ඔය විදියේ ගතිගුණ තියෙන කෙනෙකුට කවමදාවත් හොඳ බිරිඳක් වෙන්න බැහැ. ඒ හින්දා මේ විදියට මම තනියම ඉන්නත් ඉඩ තියනවා.

නිරෝෂාගේ සිතුවිලි හැමදාමත් ඔය විදිහටම තියේවිද?

ඉතින් කෙනෙක් ගැන ආකර්ෂණයක් ඇතිවුණාම ඒ ආකර්ෂණය ඉදිරියේ අපේ හැම ප්‍රතිපත්තියක්ම වෙනස්වෙලා අපි එයා ළඟ නවතින අවස්ථාත් තියෙනවා. ඒ වගේ ආකර්ෂණීය කෙනෙක් මුණ ගැහුනොත් විතරක් මටත් එහෙම වේවි. මම ගොඩක් සමාජශීලී කෙනෙක්. අතිශය කඩවසම් අය, ඉතාම හොඳ ගතිගුණ තියෙන අය, දැන උගත් අය මට අනන්තවත් හමුවෙලා තියෙනවා. ඒත් ඔය කියන විදියේ ආකර්ෂණයක් මා තුළ ඇති කරන්න ඒ එක්කෙනෙකුටවත් බැරිවුණු එක තමයි ප්‍රශ්නේ.

නිරෝෂා විවිධ විෂයයන් ඉගෙන ගන්න කැමතියි කියන්නේ ඇත්තද ?

මනැස නිරෝගීව තියෙන කා‍ලේ තමයි යමක් ඉගෙන ගන්න පුළුවන්. යමක් ඉගෙන ගන්නේ ඒ තුළින් ආර්ථික හෝ වෙනත් ලාභයක් ලබන්න කියලා බොහෝ අය හිතුවට මම නම් හිතන්නේ අප ඉගෙන npereranew3ගන්නා දෙය කවදා හෝ අපතේ යන්නෙ නැහැ කියලා.

මේ වනවිට නිරෝෂා භාෂා කීයක් හදාරලා තියෙනවද?

සිංහල, ඉංග්‍රීසි, දෙමළ, හින්දි, ප්‍රංශ, ජපන් හදාරලා තියෙනවා. මේ දවස්වල අරාබි සහ කොරියානු භාෂා හදාරනවා.

නිරෝෂා මනෝ චිකිත්සක උපදේශන දෙන්නේ ඒ පිළිබඳවත් හදාරලා තියෙන නිසාද ?

දැනට මම වෘත්තීය වශයෙන් ඔය කටයුත්ත කරන්නේ නැහැ. මගේ සමීපතම කෙනෙකුට එවැනි උදව්වක් අවශ්‍ය වුණොත් මම එය කරනවා. මම මුලදී සමාජ විද්‍යාව හැදෑරුවා. ඊට පස්සේ ළමා මනෝ විද්‍යාව හදාරන්න ආශාවක් ඇතිවුණා. ඒ විදියට පියවරෙන් පියවර ඇවිත් දැන් දිගටම මනෝ විද්‍යාව හදාරනවා.

ආරියවංශ කුලතිලක

lakbima

Connet With Us