කැලම් මැකරේගෙන් නියම වැඩක්. No Fire Zone සිංහලෙන්

Published in අනං මනං
Sunday, 08 March 2015 10:12

බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනියේ වැඩසටහන් නිශ්පාදකයකු වන කැලම් මැකරේ මහතා නිශ්පාදනය කළ No Fire Zone - The Killing Fields of Sri lanka සම්මානනීය වාර්තා චිත්‍රපටයේ සිංහල පිටපත් නිකුත් කිරීම එළබෙන 10 වන දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ශාලාවකදී සිදුවේ. කාමර අංක 21 හී පෙරවරු 10 ට මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ වූ සිවිල් යුධ තත්වය තුල උතුරේ දෙමළ ජාතික සිවිල් පුරවැසියන්ට මුහුණ පාන්නට වූ ඛේදජනක තත්වය අල්ලා මේ වාර්තා චිත්‍රපටය නිර්මාණය වී තිබේ. මෙහි ඉංග්‍රීසි පිටපත මීට පෙර නිකුත් වූ අතර මේ සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක්ද ඇති විය. කෙසේ නමුත් යුද්ධයේ සැබෑ තත්වය මෙරට දකුණේ සිංහල බහුතරයකගේන් තවමත් වසංකර ඇති තත්වයක් තුල මෙම චිත්‍රපටයයේ සිංහල පිටපතක් නිකුත් වීම අගය කළ යුතුව තිබේ.

ඊනියා යුධ ජයග්‍රහණය, සිංහල මාධ්‍යය තුළ මල්වෙඩි සංදර්ශනයක් වූවද එහි ඇත්ත කතාව ඊට හාත්පසින්ම වෙනස්ය. ඒ ඇත්ත් පසුගිය රාජපක්ෂ පාලනය හා සිංහල ජාතිවාදී ව්‍යාපාර හා ජඩ මාධ්‍ය ආයතන විසින් විකෘති කරනු ලැබ හා වසන් කරනු ලැබීය. ඒ තබා වත්මන් යහපාලන ආණ්ඩුවට පවා ඒ ඇත්ත හෙළි කිරීමට දෙවරක් කල්පනා කිරීමට තරම් පසු ගිය කාලයෙහි යුද්ධය සම්බන්ධයෙන් පෙන්වූ බොරුව සමාජය තුල ප්‍රබලව පැල පදියම්ව තිබේ. මේ නිසා යුධ අපරාධකරුවන් 'රණවිරු ලේබලය ගසා'ආරක්ෂා කිරීමටත් උතුරේ දෙමලාගේ මානව අයිතිවාසිකම් තව දුරටත් පාලනය කිරීමටත් වත්මන් යහපාලනයට සිදුව තිබේ.

කෙසේ නමුත් මෙම චිත්‍රපටය වෙබ් අඩවි සඳහා නිකුත් කිරීමටද එම නිශ්පාදකයින් අදහස් කර තිබේ. එය සිංහල සමාජයට යුද්ධය පිළිබඳ සැබෑව දැන ගැනීමට වන වටිනා අවස්ථාවකි. නමුත් මෙවැනි නිර්මාණයන් සිදුවිය යුතුව තිබුණේ මෙරට කලාකරුවන්ගේ හෝ මාධ්‍යවේදීන්ගේ හෝ අතින්ය. එහෙත් එහෙම කොන්දක් ඇති ගෝත්‍රවාදී නොවන මානුෂ්‍යවාදී පිරිස් වලින් රට තවම දුප්පත්ය. රටේ වත්මන් ඛේදවාචකය එයය.


No Fire Zone - The Killing Fields of Sri lanka



ක්‍රීඩා

Connet With Us