නව මැතිවරණ ක්‍රමයක් රටට හඳුන්වාදී රට සංවර්ධන ආර්ථිකයකට යොමු කිරීමයි ඊළඟට කළ යුත්තේ, මුළුමහත් ජනතාවට ම, එනම් සිංහල, දෙමළ සහ මුස්ලිම් හැමට ආරක්ෂාවෙන් ජීවත්වන්නට, මානව අයිතිවාසිකම් බලගන්වා බලය රටපුරා බෙදී ගිය නව යුගයක් සඳහා යෑමටයි අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉල්ලන්නේ.
2015 අගෝස්තු මස නිකුත්වූ සාම විමර්ශී සඟරාව සඳහා පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකින් ඉහත ඡේදය උපුටා ගැනිණි. සෝභිත හිමියන්ගේ පොදු අභිලාෂයන් හි හරය ඊට ඇතුළත් වී ඇතැයි මට හැඟේ. එනම්,
1. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කිරීම
2. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම
3. 19 වැනි සංශෝධනය හරියාකාර ක්‍රියාත්මක කිරීම
4. නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීම
5. රට සංවර්ධන ආර්ථිකයකට යොමු කිරීම
6. මානව අයිතිවාසිකම් බලගැන්වීම
7. බලය බෙදාදීම
තමා ජීවිතයෙන් සමුගන්නට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු දක්නට ලැබීම සැනසිල්ලට කරුණක් වන බව උන්වහන්සේ කිහිපවරක් ම ප්‍රකාශ කළහ. මහ මැතිවරණාසන්නයේ උන්වහන්සේ කළ මේ ප්‍රකාශයෙහි අන්තර්ගතවන්නේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ඉටුකළ දේවල් සහ ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන පොදු අභිලාෂයන් පිළිබඳවය පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට තමන්ට ඇරියුමක් ලැබුණහොත් ජනාධිපතිවරණයෙන් ජය ලබා එම අරමුණු ඉටුකර දේශපාලනයෙන් ඉවත් වන බව සෝභිත හිමියන් ප්‍රකාශ කළේ පොදු අපේක්ෂකයකු පිළිබඳ කතිකාවත ආරම්භ වූ සමයේදීම ය. සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පසුගිය දේශපාලනය පෙරළියට මුලපිරූ සමාජ ව්‍යාපාරයයි. සෝභිත හිමියෝ එහි පුරෝගාමී කාර්යයක් ඉටු කළ බව කවුරුත් දනිති. සමාජ දේශපාලන ක්‍රියාධරයකු වශයෙන් සෝභිත හිමියන්ගේ ඓතිහාසික කාර්යභාරය විමසා බැලීමට සුදුසුම අවස්ථාව මෙය යැයි සිතමු.
1986 වසරේදී ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව භික්ෂු පෙළපාලියකට නායකත්වය දෙමින් ගමන් කිරීමේදී එවක බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති හැටියට කටයුතු කළ ගෆූර් මහතාගේ ප්‍රහාරයකට ලක්වීම සෝභිත හිමියන් පිළිබඳ මගේ පළමු මතකයයි. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් මැයි දින රැස්වීම් හා පෙළපාලි තහනම් කරනු ලැබීමෙන් පසුව නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වූ රැස්වීම වෙඩි ප්‍රහාරයකට ලක්වීම ඊළඟ මතකයි. එහිදී සරසවි සිසුවකු මියගොස් සෝභිත හිමියන් ඇතුළු පිරිසක් මැර ප්‍රහාරයට ලක්වූහ.
ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාත්මක වූයේ ඉන්දියාවේ බලහත්කාර මැදිහත්වීම මත ය. එහෙත් අපේ රටේ පාලකයන්ගේ අදූරදර්ශී විදේශ ප්‍රතිපත්තියත්, ජාතික එක්සත්කමට බාධාකළ දේශපාලන සංස්කෘතියත් නිසා, කෝටි 15ක් දෙමළ ජනතාව ජීවත් වන ඉන්දියාවේ පාලකයන් හට වෙන විකල්පයක් නොවීය. 1983දී කුලු ගැන්වුණු දෙමළ ජන සංහාරය හා දේපළ විනාශ කිරීමෙහි ප්‍රතිඵල ලෙස 50,000 කට අධික දෙමළ ජනකායක් අවතැන්වූවන් ලෙස තමිල්නාඩුවට සංක්‍රමණය වී සිටියෝ ය. ඉන්දියන් හමුදාව යාපනයට ගොඩබැසීමට හා ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිවූ ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රීලනිපය සමඟ එක්ව වීදි බැස්සේ ය. පෙළපාලිවල ඉදිරියෙන් ම කුපිත වුණු ශ්‍රීලනිප පාක්ෂිකයන් ගමන් කරද්දී ජවිපෙ අනුගාමිකයන් ගමන් කළේ පිටුපසිනි. එහෙයින් හමුදා, පොලිස් වෙඩි ප්‍රහාරවලට ලක්ව මියගියෝ ශ්‍රීලනි පාක්ෂිකයෝ ය.
සෝභිත හිමියන්ගේ විරෝධය එල්ලවූයේ භික්ෂු ව්‍යාපාරයක් හැටියට ය. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පාලනය ඇතුළු වමේ දේශපාලන පක්ෂ ඉන්දු ලංකා ගිවිසුම යටතේ ක්‍රියාත්මක වූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වූහ. සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කෙරෙන ව්‍යවස්ථාවක් හැටියට එය ඔවුනගේ විරෝධයට හේතු නොවී ය.
මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ විසින් ආරම්භ කරන ලද විරෝධතාව සහ ඝාතන ක්‍රියාවලියට ගොදුරු වූ වමේ ක්‍රයාකාරිකයෝ රැසක් වෙඩි උණ්ඩවලට ගොදුරුව දිවි පිදූහ. ශ්‍රීලනිප ද සහභාගි කර ගනිමින් එජාපය එළවා දමා බලය ලබා ගැනීම ජවිපෙ අරමුණ විය. ඝාතන සංස්කෘතිය අනුමත නොකළ ද සෝභිත හිමියන් පෙරටු කොටගත් භික්ෂූ ව්‍යාපාරය ද 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය රටට අහිතකර එකක් ලෙස අර්ථකථනය කළේ ය. පිටකොටුවේ බෝධිය අබියස පැවති මාරාන්තික භික්ෂු උපවාසය ද ප්‍රහාරයට ලක් විය.
13 වැනි සංශෝධනය යටතේ පැවති පළමු පළාත් සභා මැතිවරණයට එජාපය හා වමේ පක්ෂ තරග කළ හ. එහිදී එම අපේක්ෂකයන්ගෙන් ඇතැමෙකු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ වෙඩි උණ්ඩවලට ගොදුරුවූයේ බේදජනක අයුරිනි. ශ්‍රීලනිප පළාත් සභා මැතිවරණය වර්ජනය කළේ ය. 1992 දී ජවිපෙ නැවතත් ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසීමෙන් පසුව පැවති පළාත් සභා මැතවරණවලදී තම අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි. වත්මන වනවිට එජාප, ජවිපෙ, ශ්‍රීලනිප ඇතුළු ප්‍රධාන පක්ෂවල නියෝජිතයෝ පළාත් සභා නියෝජනය කරති. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නැයි කිසිවෙක් නොඉල්ලති.
“සිංහල, දෙමළ සහ මුස්ලිම් සැමගේ ජීවත්වීමේ අයිතීන් තහවුරු කරමින් බලය බෙදූ යුගයක් නිර්මාණය කිරීමේ මුල් පියවර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම බව” මාදුළුවාවේ සෝභිත හිමියෝ පසුගිය මහ මැතිවරණයේදී ප්‍රකාශ කළහ. ඒ වෙනුවෙන් අරගල කළහ. මෙය සමාජ දේශපාලන ක්‍රියාකාරියකු ලෙස උන්වහන්සේ දෘෂ්ටිමය වශයෙන් පරිණතභාවයට පත්වීමේ අවස්ථාවකි.
1986දී ප්‍රගතිශීලී ස්ථාවරයක පිහිටි වමේ පක්ෂ 2015 වන විට ප්‍රතිගාමී කඳවුර වෙනුවෙන් පෙනී සිටීම ඉතිහාසයේ සරදමකි. පසුගිය වසර 10ක කාලයේදී මහින්ද රාජපක්ෂ පාලනය අන් කවර කලකටවත් වඩා ජාතීන් අතර අසමගිය වැපිරුවේ ය. මුස්ලිම් සහ දෙමළ ජනයා පිළිබඳ හතුරු ආකල්පයක් සිංහල ජනතාව අතර ඇති කළේ ය. මුස්ලිම් පල්ලි හා ක්‍රිස්තියානි පල්ලි විශාල සංඛ්‍යාවක් ප්‍රහාරයට ලක්විය. මුස්ලිම් ව්‍යාපාරිකයන්ට අයත් ව්‍යාපාරික ස්ථාන ගිනි තැබීමට, පහරදීම හෝ තර්ජනයට ලක්විය.
බොදු බල සේනා වැනි ජුන්ටා කල්ලි මේ ප්‍රහාර සඳහා වීදි බස්සන ලද්දේ රාජ්‍යානුග්‍රහය ඇතිව ය. යුද්ධයෙන් පසුව බිඳීගිය සිත් හැදීම අත්හැරදැමූ රාජපක්ෂ පාලනය මළවුන් සැමරීමේ අයිතින් පැහැරගනිමින් මියගිය ඥාතීන් සැමරූ පිරිස්වලට ද පහර දුන්නේ ය. ශ්‍රී ලංකා ආර්ථිකයට සැනසිල්ලක්ව තිබූ ඇඟලුම් කෝටා බදු සහන (GSP +) අහිමිවූයේ රාජපක්ෂ පාලනය මානව හිමිකම් තඹ දොයිතුවකටවත් මායිම් නොකරන ලද හෙයිනි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද සර්වපාක්ෂික කමිටුවේ බහුතරය ලබාදුන් යෝජනාවලිය ඔහු විසින් ම කුණු බක්කියට දමන ලදී. උගත් පාඩම් කොමිසමේ යෝජනාවලින් ද, බහුතරයක් ක්‍රියාත්මක නොවී ය. යුරෝපා සංගමය දේශීය මාළු නිෂ්පාදන මිලදී ගැනීම අත්හිටුවීම මත්ස්‍ය අපනයනයෙන් ලද ආදායමට මරු පහරක් විය. රාජපක්ෂ පාලනයට එරෙහිව මතවාද දැරුවෝ රාජ උදහසට ලක්වූහ. මාධ්‍ය ආයතන ගිනි තැබීම, මාධ්‍යවේදීන් මරාදැමීම සුලබ අත්දැකීම් බවට පත්විය. සුජාත ආර්ථිකය හැකිළීයමින් කළු ආර්ථිකය දේශපාලන අනුහසින් වර්ධනය විය.
මෙබඳු අරාජික වාතාවරණයක් යටතේ කිසිදු මැතිවරණයකින් රාජපක්ෂ පාලනය වෙනස් කළ නොහැක යන අදහස ද අධිපති මාධ්‍ය විසින් ජනතාවට එන්නත් කරන ලදී. මේ නිසා සමාජ දේශපාලන ක්‍රියාධරයෝ අන්දමන්ද වූහ. 1980, 1990 දශකවල ප්‍රගතිශීලී කඳවුර නියෝජනය කරමින් ජනතා සටන්වලට පණ පෙවූ වමේ පක්ෂ රාජපක්ෂ පාලනයේ සියලු පිළිවෙත් ඉවසමින් ඊට එරෙහිව යන්නන් බටහිර ඒජන්තයන් ලෙස හංවඩු ගැසීමට ද ඉදිරිපත් වූහ.
සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය පිවිතුරු හෙටක් ව්‍යාපාරය හා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය යනාදී සංවිධානය අරාජික පාලනය වෙනස් කිරීම සඳහා ප්‍රගතිශීලී කාර්යභාරයක් ඉටු කරනවිට වමේ පක්ෂ රාජපක්ෂ පාලනයේ පව් හෝදන මට්ටමට පිරිහී සිටියේ ය. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ කාර්යභාරය කැපී පෙනෙන්නේ මෙහි දී ය. බොදු බල සේනා වැනි ජාතිවාදී ජුන්ටා කණ්ඩායම ද, රාජපක්ෂ පාලනයේ වරප්‍රසාද ලාභීන් වූ වමේ නායකයන් ද සෝභිත හිමියන් බටහිර ඒජන්තයකු ලෙස හංවඩු ගැසීම ඉතිහාසයේ සරදමකි. වම දකුණ පැටළුණු වමේ නායකයන් මර්දනය යන්ත්‍රයට මතවාදී දායකත්වය ලබාදෙද්දී දේශපාලන පක්ෂවලට වඩා පොදු අරමුණු වෙනුවෙන් සටන් කිරීම වඩා වැදගත් වන බව සෝභිත හිමියෝ ක්‍රියාවෙන් ම ඔප්පු කළ හ.
“දෙමළ ජනතාවට හා මුස්ලිම් ජනතාවට විශාල අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා. අප එය නිවැරදි කළ යුතුයි යනුවෙන් සෝභිත හිමියෝ ප්‍රකාශ කළ හ.
නිදහසින් පසුව ජාතික එක්සත්කම සහතික කෙරෙන ව්‍යවස්ථාවක් ගොඩනඟා ගැනීමට නොහැකි වීමේ ගැටලුවට අපේ රට මුහුණදී සිටී. 1926දී මෝනිං ලීඩර් පත්‍රයේ පළවූ බණ්ඩාරනායක මහතා යාපනයේදී කළ කතාව අනුව ඔහු ජාතික එක්සත්කම ඇති කරන නායකයා වනු ඇතැයි සිතූ අයගේ බලාපොරොත්තු සුන්වී ගියේ ඔහු අගමැතිවීමෙන් පසුව භික්ෂූන්ගේ විරෝධය ඉදිරියේ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ඉරාදැමූ බැවිනි. ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව “ඩඩ්ලිගෙ බඩේ මසල වඩේ” යැයි කියමින් පෙළපාලි ගිය වමේ පක්ෂ ද බණ්ඩාරනායක කළ දේම කළහ. ඔවුන් කිසියම් ප්‍රගතිශීලී බවක් පෙන්වූයේ 13 වැනි සංශෝධනයේදී පමණි. දේශපාලන පක්ෂයක නායකයකු නොවූ මාදුළුවාවේ සෝභිත හිමියන් සමාජ දේශපාලන ක්‍රියාකාරිකයකු ලෙස පසුගිය දශකයෙහි ඉස්මතු වූයේ අපරිණත දේශපාලන සංස්කෘතියක් තුළ අවියක් නැති සෙනෙවියකු පරිද්දෙනි. එහි දී එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා මාදුළුවාවේ සෝභිත හිමියන් ප්‍රමුඛ සිවිල් සංවිධාන පොදුවේත් වෙන් වෙන්වත් ගෙන ගිය අරගලය නව දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේ දොරටුවක් විවෘත කර දුන්නේ කිසිදා පරාජය කළ නොහැකි යැයි සිතූ රාජපක්ෂ පාලනය ගෙදර යැවීමෙනි.
එහෙත් තමන් සිතූ අයුරින් අවශ්‍ය වෙනස්කම සිදු නොවන බවට සෝභිත හිමියන් පසුවූයේ කිසියම් කලකිරීමකිනි. එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කොමසාරිසගේ වාර්තාව අනුව වත්මන් ආණ්ඩු ඇතැම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නට යෑම ජනතා විමුක්ති පෙරමුණට පෙනුණේ බටහිර වුවමනාවන්ට අනුව නැටීමක් හැටියට ය. ශ්‍රී ලංකාවේ පැරණි දේශපාලන පක්ෂයක් හැටියට එහි අපරිණතකම එයින් ම පෙනේ.
කොටදෙණියාවේ දැරියගේ ඝාතන සිදුවීමෙන් පසුව මරණ දඬුවම ඉල්ලා ජනතාව වීදිබට මොහොතේදී මාධ්‍ය හමුවකදී ජවිපෙ නායකයකු වන ටිල්වින් සිල්වා පැවසුවේ “මරණ දඬුවම ගැන හිතා බලා තීන්දුවක් ප්‍රකාශ කරන බව” ය. ඒ පිළිබඳ දෙවරක් හිතන මට්ටමේ පසුගාමී චින්තනයක් ඇති දේශපාලන පක්ෂවලට ද අනාගතයක් නැත. වත්මන වනවිට ජනතාවට පක්ෂපාතීව ජනප්‍රිය සටන් පාඨවලින් බැහැරව ඉදිරිගාමී චින්තනයකින් කටයුතු කිරීමේ හයිය ඇත්තේ සිවිල් සංවිධානවලට පමණි. අපරිණත දේශපාලන සංස්කෘතියක උරුමයවූ දේශපාලන පක්ෂවලින් ජනතාවට පක්ෂපාතීවූ තීන්දුවක් ගැනීම කොතරම් දුෂ්කර ද යන්න 19 වැනි සංශෝධනයේ දී අඬු කැපීමෙන් ම පෙනේ. ඒ අනුව සිවිල් සංවිධානවල බලගතු ශක්තිය නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීමේ මුල් පියවර වනු ඇත. මාදුළුවාවේ සෝභිත හිමියන් නැති අඩුව අපේ රටට බලවත්ව දැනෙනුයේ ඒ නිසා ය. පූජක සංස්ථාව සහ දේශපාලන සංස්ථාව අන්‍යෝන්‍ය වශයෙන් යැපෙමින් පීඩක යන්ත්‍රයක් බවට පත්වෙමින් තිබූ සමයක බෞද්ධ භික්ෂුවක ලෙස එම පීඩක යන්ත්‍රය වෙනස් කිරීම සඳහා සෝභිත හිමියන් ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපවීම සදානුස්මරණීය වන්නේ එනිසාය.
තිඹිරියාගම බණ්ඩාර
dinamina