රාජපක්ෂ බේබීලාගේ කෝටි 14,000 ක් රට බැංකුවක! පරීක්ෂණයකින් හෙළිවේ. Featured

Published in පුවත්
Sunday, 11 October 2015 17:10

සන්ඩේ ටයිම්ස් දේශපාලන විශ්ලේෂක,පරිවර්තනය - කෝවිද ගුණසේකර


බටහිර ආසියාතික රටකදී ඊයේ (10) සුවිශේෂී නඩු විභාගයක් පැවැත්වීමට නියමිතව තිබිණ.මෙම නඩු විභාගයෙන් හෙළිවන්නට නියමිත තොරතුරු ශ්‍රීලංකාවේ මහත් ආන්දෝලනයක් ඇතිකරනු බව නම් නිසැකය.

නඩු විභාගය පැවැත්වෙන්නේ එරට බැංකුවක තැන්පත් කර ඇති ඩොලර් කෝටි 50 කට (රුපියල් කෝටි 7000 කට) ආසන්න මුදල් ප්‍රමාණයක් හා ඈදී ඇති සිද්ධීන් සම්බන්ධයෙන්ය.මෙම ගිණුමේ හිමිකරු ලෙස සදහන්වන්නේ මෙරට හිටපු අති සුවිශේෂී පුද්ගලයෙකුගේ තරුණ පුත්‍රයාය.මොහු අද දිනයේ දේශපාලඥයෙක් ලෙස කටයුතුද කරන්නෙකි.දැනට අනාවරණයව තිබෙන ආකාරයට මෙම ගිණුමේ ඩොලර් කෝටි 100 ක් පමණ (රුපියල් කෝටි 14000 ක්) තිබී ඇති අතර ඉන් හරි අඩක් පමණ නැගෙනහිරදිග යුරෝපා රටකට යැවීමට මෙම අති සුවිශේෂී පුද්ගලයා කටයුතු කර තිබේ.මේ සඳහා ඔහුට උපකාරීවී ඇති බවට වාර්තා වන්නේ ඔහුගේ ළඟම ඥාතියෙකි.

‘මේ වැඩේ හරිගියේ නැතිනම් අපට ගන්න තවත් ක්‍රියාමාර්ග තියෙනවා‘ යැයි නිලලත් ආරංචි මාර්ගයක් සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වීය.නඩු විභාගය පැවැත්වෙන රට පාරිබෝගිකයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන දැඩි මූල්‍ය නීති සම්බන්ධයෙන් ප්‍රකට රටකි. නමුත් පැහැදිලි සාක්ෂි,විශේෂයෙන් බැංකුවක තැන්පත් කර ඇත්තේ අයථා ක්‍රම වලින් උපයා ඇති මුදල් බවට පැහැදිලි වන සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකිනම්,වහාම ක්‍රියාත්මක වීමටද ඔවුන් සූදානම්ය.ශ්‍රීලංකාව වෙනුවෙන් මෙකී සාක්ෂි ඉදිරිපත් කිරීමට නීතිඥවරු පිරිසක් සූදානමින් සිටින්නෝය.

මෙම නඩුව පළමුවරට කැඳැවුනේ පසුගිය බ්‍රහස්පතින්දාය.ප්‍රධාන විනිසුරුතැන එහිදී රටේ නීතිපතිවරයාද කැඳවා තොරතුරු විමසීය.අවසන නැවත වරක් නඩුව කැඳවීමට ඔහු නියෝග කළේ ඊයේ දිනටය.ඉස්ලාමික රටක් වන එරට මෙම නඩුව දිගින් දිගටම විභාගයට ගැනුනහොත් එය වංචාවට හා දූෂණයට එරෙහිව වත්මන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙලේ මහත් ජයග්‍රහණයක් වනු ඇත.ඊට අමරතව පසුගිය රජයේ සුළුතරයක් රටේ ධනය ඔවුන්ට වුවමනා පරිදි භාවිතයට ගෙන ඇති බව පැහැදිලිව පෙන්වා දීමටද රජයට හැකිවනු ඇත.නඩුවේ ශ්‍රීලංකා පාර්ශවය නියෝජනය කරනි නීතිඥ පිරිසට අවශ්‍ය සියලු තොරතුරු ලබාදී තිබෙන බවද සඳහන්ය.ගිණුම අක්‍රිය කිරීමට දැනට ඉදිරිපත් කර තිබෙන සාක්ෂි ප්‍රමාණවත් බව රජයේ විශ්වාසයයි.රජයේ නිලධරයෝ සිටින්නේ ගිණුමෙන් සිදුව ඇති තවත් මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සොයා බැලීමේ අපේක්ෂාවෙන්ය.

‘අපි මේ දක්වා කරලා තියෙන දේවල් වලින් අනාවරණය කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ බොහොම පොඩි දේවල් ටිකක්.හිතාගන්නවත් බැරි තරමක් දේවල් තියෙන්නේ හැංගිලා.පසුගිය රජයේ නමින් පෙනී ඉදිමින් නිරපරාදෙයේ මහජන මුදල් නාස්ති කරපු පුද්ගලයින් ගැන තොරතුරු අපි අතේ තියෙනවා.පරීක්ෂණ කටයුතු සිදුවෙනවා කියනවා ඇරෙන්න වැඩි දෙයක් කියන්න දැන් හැකියාවක් නැහැ‘ මෙම නඩු විභාගය ගැන තොරතුරු දන්නා එක්තරා ආරංචි මාර්ගයක් සන්ඩේ ටයිම්ස් හා පැවසීය.

ඇමරිකාවේ සම්පූර්ණ සහය

සන්ඩේ ටයිම්ස් හට දැනගැනීමට හැකිව තිබෙන ආකාරයට මෙම බැකු ගිණුම පිළිඹදව තොරතුරු ලබාදී ඇත්තේ මේ අති සුවිශේෂී පුද්ගලයාගේ ළඟම ඥාතියෙකි.මෙම පුද්ගලයාට එරෙහිවද වංචා හා දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින බව වාර්තා වේ.

ගිණුම පිළිඹදව තවත් තොරතුරු ලබාදී ඇති බවට සඳහන් වන්නේ ඇමරිකා බුද්ධි බියුරෝව (එෆ්.බී.අයි) සහ එරට නීති කටයුතු පිළිඹද දෙපාර්තමන්තුවයි.බටහිර ආසියාතික රටවල මුදල් ගනුදෙනු,ඉතාම සූක්ෂමව විමර්ෂණය කිරීමේ යෙදී සිටින බව සඳහන් මෙම ආයතනයන් මාර්ගයෙන් වැදගත් තොරතුරු ප්‍රමාණයක් ලබාගැනීමට ශ්‍රීලංකා රජයට හැකිව ඇතැයි පැවසේ.

මීට පෙර අවස්ථාවකදීද දූෂිත ගනුදෙනුවක් පිළිඹද තොරතුරු ශ්‍රීලංකා රජයට ලබාදීමට ඇමරිකා නීති කටයුතු පිළිඹඳ දෙපාර්තමෙන්තුව කටයුතු කළේය.ගනුදෙනුව පදනම්වී තිබූයේ අංක 2148,වයෝමින්ගේ ඇවිනියු,වොෂින්ග්ටන් හි පිහිටා තිබූ නව ශ්‍රීලංකා තානාපති කාර්යාලය හා වයිට්හේවන් වීදියේ අංක 3025 යන ස්ථානයේ තිබෙන ගොඩනැගිල්ලකි.තානාපති කාර්යාලය වයිට්හේවන් වීදියේ පිහිටි ගොඩනැගිල්ලට ගෙනයාමට සැළසුම් කර තිබී ඇත.එක්තරා ප්‍රබල ශ්‍රීලංකා රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මෙම ගනුදෙනුවෙන් සැළකිය යුතු වාසියක් තමන් කෙරේ සළසාගෙන තිබෙන බව ඇමරිකා නීති කටයුතු පිළිඹද දෙපාර්තමෙන්තුව හෙළි කළේය.වයිට්හෝල් වීදියේ ගොඩනැගිල්ලේ වටිනාකම ඩොලර් ලක්ෂ 600 (රුපියල් ලක්ෂ 8421) ඉක්මවන්නකි.මිලදී ගැනීමෙන්ද නොනැවතී එහි තිබූ නිදන කාමර 8 ක් කාර්යාල කාමර බවට පත්කිරීමට තවත් ඩොලර් ලක්ෂ 16 (රුපියල් ලක්ෂ 225 ක් පමණ) ක මුදලක් වැය කර තිබේ.

ඇමරිකා ඉතිහාසයේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු මෙවන් මුදල් ප්‍රමාණයක අයථා මුදල් ගනුදෙනුවක නිරතවී ඇති පළමු අවස්ථාව මෙය බව සඳහන්ය.හෙළිදරව්වෙන් පසු අදාළ රාජ්‍ය තාන්ත්‍රිකයා මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල කළේ තානාපති කාර්යාලයේ සේවය කළ ගණකාධිකාරීවරයාටය.ගණකාධිකාරිවරයා හැරෙන තැපෑලෙන් තමන්ට නැගුනු චෝදනා එම රාජ්‍ය තාන්ත්‍රිකයාටම එල්ල කළේය.පසුගිය මැයි මාසයේ ශ්‍රීලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසුගිය රජයේ ප්‍රබලයින් සතු ඇමරිකාවේ තිබෙන දේපළ සම්බන්ධයෙන් තොරතුරු සියල්ලක්ම ශ්‍රීලංකා රජයට ලබාදීමට ඇමරිකා රජය කටයුතු කරනු ඇති බව කීය.ඔහුගේ සංචාරයට පසු නොයෙක් අවස්ථාවන්හිදී ඇමරිකා රාජ්‍ය නිලධරයෝ මෙරටට පැමිණ පරීක්ෂණ කටයුතු වලට සහයවූහ.පසුගියදා ඇමරිකාවේ පැවති එක්සත් ජාතීන්ගේ 70 වැනි මහා මණ්ඩල හමුවේදී ඇමරිකාව ශ්‍රීලංකාවට ලබාදෙන සහය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන තම ස්තූතියද පුදකර සිටියේය.

ජනපතිවරයාගේ ඇමරිකා සංචාරයේදී ඇමරිකාව ඔහුගේ සහයට ඉදිරිපත්ව සිටින බව එරටදී සිදුවූ සිදුවීම් දෙකකිය් පැහැදිලි විය.පළමුවැන්න වූයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට පැමිණ සිටි රාජ්‍ය නායකයින් වෙනුවෙන් ඇමරිකා ජනපති බැරක් ඔබාමා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අවස්ථාවේ ඔහුට දකුණු පසින්වූ දෙවැනි ආසනය ජනපති සිරිසේන වෙනුවෙන් වෙන්ව තිබීමයි.පළමු ආසනයේ සිටියේ යුක්රේන ජනපති පෙට්රෝ ප්‍රොශෙන්කෝය.රුසියාව,ප්‍රංශය,චීනය ආදී රටවල රාජ්‍ය නායකයයෝද මේ භෝජන සංග්‍රහයට සහභාගීව සිටියහ.දෙවැන්න වූයේ ලෝක ප්‍රජාව අතර සාමය ගොඩනැගීම සඳහා ඇමරිකාව දියත් කර ඇති විශේෂ වැඩසටහනේ සාමාජිකයින් අමතමින් කළ දේශනය අවසානයේ වේදිකාවෙන් බැස කෙළින්ම ජනපති සිරිසේන වෙත ආ ඔබාමා ඔහුට අතට අතදී ආචාර කිරීමයි.මෙය ඉහළම රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇමරිකාව,ශ්‍රීලංකාවේ සහයට ඉදිරිපත්ව සිටින බව පෙන්වා දුන් ප්‍රබල අවස්ථාවක් විය.

මෙම වැඩසටහන ඇමරිකා රජයේ ආධාර මත එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව ක්‍රියාත්මක වන්නකි.එහි ප්‍රධාන අරමුණ වන්නේ විදෙස් රටවල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ක්‍රියාකාරීත්වය වඩා විධිමත් හා ඵලදායී කිරීමය.සාමසාධක කටයුතු වලටද මෙම වැඩටහනින් ඉඩ වෙන්ව තිබේ.ශ්‍රීලංකාවද මෙහි සාමාජිකයෙකි.

ඇමරිකා ගැති,නමුත් ශ්‍රීලංකාව හා සමීපව කටයුතු නොකරන ඇතැම් රටවල් හා සමග පවා ඇමරිකාව - ශ්‍රීලංකාව අතර ඇතිව තිබෙන නව සම්බන්ධතාවයේ පිහිටෙන් කටයුතු කිරීමට හැකිව තිබෙන බව රජයේ ආරංචි මාර්ග පවසන්නකි.

මෙය තවදුරටත් පැහැදිලි කර ගත හැකි සිදුවීමක් වන්නේ පසුගිය රජය සමයේ යුක්රේනයෙන් මිලදී ගත් මිග් 27 ප්‍රහාරක යානා සම්බන්ධ ගනුදෙනුව අරබයා මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය දියත් කර තිබෙන පරීක්ෂණ කටයුතු වල වත්මන් තත්ත්වයයි.මේ පිළිඹද සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන්නැයි ශ්‍රීලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්දියාවේ යුක්රේන තානාපති ඔලෙක්සැන්ඩර් ෂිව්චෙන්කෝට ආරාධනා කළේ පසුගිය අප්‍රේල් මාසයේය.ශ්‍රීලංකාවේ විශේෂ දූත පිරිසකට යුක්රේනයේ සංචාරයක නිතරවීමට පවා අවස්ථාව ලබාදෙන බවද එරට බළධරයෝ කීහ.නමුත් කාලය ගතවත්ම පැහැදිලි වන්නට ගත්තේ ඒ සියල්ල වචන වලට පමණක් සීමාවී තිබෙන බවයි.අගමැතිවරයා හා සිදුකළ ඉන්දියා සංචාරය අතරතුරදී විදේශ අමාත්‍ය මංගල සමරවීරට එරට යුක්රේන තානාපති කාර්යාලයේ ‘දෙවැනියා‘ හා සංවාදයක නිරත වීමට අවස්ථාව ලැබී තිබෙන අතර එහිදී යුක්රේන සංචාරය සම්බන්ධයෙන් විමසූ විට ඒ පිළිඹදව යුක්රේන රජය තවමත් අවසන් තීරණයක් ගෙන නැතැයි ඔහු පිළිතුරු දී ඇත.මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධරයෙක්ට අනුව මෙම පරීක්ෂණ කටයුතු දැන් සිදුවන්නේ ඇමරිකා ආයතන කිහිපයක සහයෝගය ඇතිවය. මුදල් ගනුදෙනුවට හවුල් වී ඇති බව කියන කොළඹ පිහිටි බැංකුවක තතු අනාවරණය කරගැනීමට මේ වන විට හැකිව තිබෙන බව සඳහන්ය.

විදේශ දූතයින් ප්‍රශ්න කිරීම් වලට

ශ්‍රීලංකාවේ තත්ත්වය මෙසේ වෙද්දී මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ ප්‍රධානී පොලිස් අධිකාරී රවී විද්‍යාලංකාර මහතා ඇතුළු දූත පිරිසක් සිටියේ ලන්ඩනයේය.බරපතල ගණයේ දූෂණ,වංචා විමර්ෂණය කිරීමේ කාර්යාලයක් එනුවර ක්‍රියාත්මක අතර එය ක්‍රියාත්මක වන ආකාරය ඔවුහු අධ්‍යනය කරමින් සිටියහ.මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මෙවන් ඒකකයක තත්ත්වයට පත්කිරීම රජයේ අපේක්ෂාවයි.මෙම ඒකකය පිහිටුවීම සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුව දැනුම්වත් කිරීම හා අවශ්‍ය නීතිමය අවසරය ලබාගැනීම මෙම වසර අවසානයට පෙර සිදුවනු ඇත.මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයට අවශ්‍යව ඇත්තේ තානාපතිවරුන්,මහා කොමසාරිස්වරුන්ද ඉලක්ක කර වඩා පුළුල් පරාසයකින් වංචා හා දූෂණ කටයුතු සම්බන්ධ පරීක්ෂණ දියත් කිරීමටය.විශේෂයෙන් පසුගිය රජය සමයේ පත්කරන ලද රාජ්‍ය තාන්ත්‍රිකයන් කෙරේ මෙම ඒකකයේ නිලධරයින්ගේ අවධානය යොමුව තිබේ.ජනපතිවරණ සමයේ මෙවන් රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් දිවයිනට පැමිණ ඇති බවටත් ඔවුන්ගෙන් වැඩිදෙනා හිටපු ජනපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලට දායකත්වය ලබාදී ඇති බවටත් තොරතුරු මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධරයින් සතුව ඇත.දිවයිනට පැමිණ තමන්ගේම නිවාස වල නවාතැන්ගෙන ඇත්තේද ඔවුන්ගෙන් ඉතා සුළු පිරිසක් බවටද මේ වන විට හෙළිව තිබේ.

මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධරයින්ගේ විශේෂ අවධානය යොමුව ඇත්තේ මෙකී රාජ්‍ය තාන්ත්‍රිකයින් ශ්‍රීලංකාවට ගෙන්වා ගැනීම සඳහා ඔවුන්ගේ ගුවන් ටිකට්පත් වලට මුදල් ලබාදී ඇත්තේ කවුරුන්ද යන්න සොයාබැලීමටයි.පෙර සඳහන් කළ පරිදි දිවයිනට පැමිණි පසු තමන්ගේම නිවෙස් වල නවාතැන් ගෙන ඇත්තේද මෙම රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් ඉතා සුළු පිරිසකි.කොටසක් හෝටලවලද,තවත් කොටසත් අති සුඛෝපභෝගී හෝටලවලද නවාතැන් ගෙන තිබේ.වාර්තා වන පරිදි මින් එක් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් තමන්ට නවාතැන් ගැනීමට කොළඹ තරුපහේ හෝටලයක්ම අවැසියැයි අවධාරණය කර ඇත.මොවුන්ට වෙනම රථවාහන හා රියැදුරන් ලබාදීමද සිදුව තිබේ.මූල්‍ය අපරාධ ඒකකයේ නිලධරයින්ට අවශ්‍යව ඇත්තේ මෙයාකාරයෙන් කොපමණ මහජන මුදල් ප්‍රමාදයක් වැයව ඇත්ද යන්න සොයාගැනීමටයි.මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් හා විගණන කටයුතු පිළිඹද නිලධාරිනිය ලෙස සේවය කළ දැනට තායිලන්තයේ ශ්‍රීලංකා තානාපතිනිය වන ක්ෂෙනුකා සෙනෙවිරත්න මහත්මියගෙන්ද ප්‍රශ්න කිරීමට නියමිතය.ශ්‍රීලංකාවේ රාජ්‍ය තාන්ත්‍රිකයින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළේ කාගේ උපදෙස් පරිදිදැයි
ඇයගෙන් විමසීමටද මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයේ නිලධරයෝ අපේක්ෂා කරති.හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්.පීරිස් මහතාගෙන්ද මේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙනු ඇත.

සෙනෙවිරත්න මහත්මියගෙන් ප්‍රශ්න කෙරෙනු ඇත්තේ අනෙක් සියලු තානාපතිවරුන්ගෙන් හා මහ කොමසාරිස්වරුන්ගෙන් ප්‍රශ්න කර අවසානයේය.එළැඹෙන මස 3 වැනිදා ජනපතිවරයා තායිලන්තයේ සංචාරයක නිරතවීමට සූදානමින් සිටීම මෙයට හේතුවයි.තායිලන්ත සංචාරයෙන් පසු පැරිසියේ පැවැත්වෙන අන්තර්ජාතික මට්ටමේ හමුවකටත්,අනතුරුව මෝල්ටාවේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ හමුවටත් ජනපතිවරයා සහභාගීවීමට නියමිතය.පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතීධූරය හිමිද ඔහුටය.

( සැබැඳි පුවත් : රාජපක්ෂලාට ලිබියාවෙන් මිලියන 500 ක් නෙවෙයි 1089 ක්ම එවලා )

අවන්ගාඩ් - තවත් ගැටලු

ගාලු වරායට ඇතුල්වීමට තැත් කළ අවස්ථාවේ නාවික හමුදාවේ අත්අඩංගුවට පත්වූ අවන්ගාඩ් සමාගම යටතේ සේවයේ යොදවා තිබුණු නෞකාවක් සම්බන්ධයෙන් පසුගිය බදාදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී විවිධ අදහස් පළවිය.පාඨලී චම්පික රණවක සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරු අවන්ගාඩ් සමාගම සම්බන්ධයෙන් චෝදනා මුඛයෙන් අදහස් දැක්වූහ.නෞකාවේ අවි නොතිබූ බව මුලින් පැවසුනද පසුව කළ පරීක්ෂාවේදී අවි රාශියක් සොයාගැනීමට හැකිව තිබෙන බවට තොරතුරු තමන් සතු බවද ඔවුහු කීහ.රණවක අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය මණ්ඩලයේම සිටිනා ඇතැම් පුද්ගලයින් මෙම සමාගමට පාක්ෂිකව අදහස් පළකරන බව කීය.මෙනිසාවෙන්ම තමන්ට නිදහසේ අදහස් පළකිරීමට නොහැකි වාතාවරණයක් උද්ගතව ඇතැයි කී අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයේ සිදුවන ඇතැම් සාකච්ඡා වල තොරතුරු කිසිවෙකුට නොදැනීම කොළඹ අති සුපිරි පැලැන්තියේ ඇතැම් පුද්ගලයින්ගේ කණට යන බැව් දන්නේයැයි පැවසීය.
අවන්ගාඩ් අවි නැව පිළිඹද සම්පූර්ණ පැහැදිලි කිරීමක් සිදුවූයේ සිකුරාදා පැවති ජාතික ආරක්ෂක කවුන්සිල හමුවේදීය.එහිදී අදහස් දැක්වූ වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වත්මන් තත්ත්වය සම්බන්ධව පූර්ණ විග්‍රහයක් සිදුකළේය.ජනපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ දෙපළද මෙම හමුවට එක්ව සිටියහ.

වයිස් අද්මිරාල්වරයාගේ පැහැදිලි කිරීමට අනුව අවන්ගාඩ් නෞකාව සැප්තැම්බර් මස 28 වැනිදා දාතමින් යුතු ලිපියකින් තමන් ශ්‍රීලංකාවට පැමිණෙන බවට ආරක්ෂක අමාත්‍යංශයට දැනුම්ද තිබේ.නැවේ අවි කොපමණ පවතින්නේද යන්නත්,නැව ශ්‍රීලංකා රජය යටතේ ලියාපදිංචි කර ඇතැයි යන්නත් එම ලිපියේ සඳහන්ව තිබී ඇත.නමුත් කුමන හෝ කරුණක් නිසා හෝ මෙම ලිපිය ආරක්ෂක අමාත්‍යංශයේ අවධානයට ලක්ව නොමැත.වයිස් අද්මිරාල්වරයා පවසා සිටි ආකාරයට නාවික හමුදාව නැවට ගොඩවී කළ පරීක්ෂාවේදී ලියාපදිංචි නොකළ අවි පවා එහි තිබී සොයාගැනීමට හැකිව තිබේ.

දැනට අවන්ගාඩ් නෞකාව තිබෙනුයේ නාවික හමුදා අත්අඩංගුවේය.තත්ත්වය තවත් ව්‍යාකූලව ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයා සහ සිවිල් ආරක්ෂ කටයුතු පිළිඹද වගකිවයුතු නිලධරයා වන ඩී.එම්.එස්.බස්නායක මහතා ඔක්තෝබර් මස 6 වැනිදා දාතමින් යුතු ලිපියකින් නෞකාව මුදා හරින ලෙස නාවික හමුදාවට දැනුම්දී තිබීම හමුවේය.අවන්ගාඩ් සැප්තැම්බර් මස 28 වැනිදා එවූ ලිවුම හදිසියේ අවධානයට ලක්වීම නිසා ආරක්ෂක ලේකම්වරයා මෙසේ නාවික හමුදාව වෙත ලිපියක් එවන්නට ඇතැයි සිතිය හැකිය.නමුත් ලියාපදිංචි නොකළ අවි නෞකාවේ තිබී හමුවීම නිසාවෙන් නාවික හමුදාව එම ඉල්ලීම ප්‍රකාරව කටයුතු කර නොමැත.දිසානායක මහතාට පෙර සිවිල් ආරක්ෂ කටයුතු පිළිඹද නිලධරයාගේ ධූරයේ කටයුතු කළේ දමයන්ති ජයරත්නය.ඇය මේ වන විට සිටින්නේ ස්ථාන මාරුවක් ලබාය.

නෞකාව සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු නාවික හමුදාවේ අධීක්ෂණය යටතේම සිදුවිය යුතුයැයි ආරක්ෂක කවුන්සිල හමුවේදී අදහස් පළවිය.නමුත් ඉතාම ආචාරශීලීව එම යෝජනාව ප්‍රතික්ෂේප කළ වයිස් අද්මිරාල් විජේගුණරත්න අධිකරණ කටයුතු හා සම්බන්ධවීමට නාවික හමුදාවට අවසරයක් නොමැති බව පෙන්වා දුන්නේය.ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුවිය යුත්තේ පොලිසිය යටතේ බව ඔහු කීවේය.මේ අනුව නෞකාව නාවික හමුදා භාරයේ රදවා තැබෙනු ඇති අතර පොලිසිය ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරනු ඇත.

මෙය නාවික හමුදාවේ නිල මාධ්‍ය පුකාශක කොමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතාද සනාථ කළේය.


‘මේ නැව තාම නිදහස් කරලා නැහැ.නාවික හමුදාපතිවරයා නියෝග කරලා තියෙනවා සම්පූර්ණ පරීක්ෂණයක් සිදුකරන්න.පරීක්ෂණ වාර්තාව සකස් කළායින් පස්සේ නාවික හමුදාපතිවරයා ඒක ආරක්ෂක අමාත්‍යංශයට භාරදේවි.එතැනින් පස්සේ ඉදිරි කටයුතු සිදුවේවි‘. ඔහු සන්ඩේ ටයිම්ස් හා පැවසීය.

ඉදිරි සතියේ ජනපති සිරිසේන ප්‍රමුඛ අමාත්‍ය මඩුල්ලක් පසුගිය රජය සමයේ සිදුවූ මහා පරිමාන දූෂණ වංචා සිදුවීම් 10 ක් හඳුනාගැනීමට හා තොරතුරු අනාවරණය කරගැනීමට සූදානමින් සිටී.අවන්ගාඩ් හා ප්‍රතිසංස්කරණ සහ සංවර්ධන අධිකාරිය,මෙසේ ජනපතිවයාගේ හා එම අමාත්‍ය මඩුල්ලේ විමර්ෂණයට ලක්වීමට නියමිත ආයතනයන් දෙකකි.

අවන්ගාඩ් සිදුවීම කරළියට පැමිණියේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පැවති මාධ්‍ය හමුවකදීය.

‘ජනපතිවරයා නියෝග කර තිබෙනවා සියලුම ආකාරයේ නීතිමය පියවරයන් ගන්නා ලෙසට.මේ කට්ටිය මුලින් කියලා තියෙන්නේ නැවේ අවි නැහැ කියලා.පස්සේ හොයලා බලද්දී මෙන්න අවි තියෙනවා.‘ අමාත්‍යවරයා කීය.

මෙවන් සිදුවීමක් වාර්තා වන්නේ ජනපතිවරණ හා මැතිවරණ සමයේදී වංචාව හා දූෂණය සම්පූර්ණයෙන්ම මැඩලන බවටත්,දූෂිතයින් නීතිය හමුවට ගෙනඑන බවටත් පොරොන්දු පිට පොරොන්දු දුන් වත්මන් රජය එම පොරොන්දු අමතක කර දමා ඇතැයි ප්‍රබල ජනමතයක් ගොඩනැගී තිබියදීය.දූෂිතයින්ට එරෙහිව පරීක්ෂණ කටයුතු දියත් කිරීම පැවරී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව හා පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකයටද ජනතාවගේ චෝදනා වලින් ගැලවී ගත නොහැකිව තිබේ.දේශපාලන වුවමනාකම් මත පරීක්ෂණ කටයුතු යට ගැසීමට කටයුතු කරමින් සිටින්නේය යන්න මෙම ආයතනයන්ට නැගී තිබෙන චෝදනාවයි.රජයේම සාමාජිකයින් අතරද වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වැඩි පැහැදීමක් නොමැත.පොරොන්දු ඉටුකිරීම ප්‍රමාද හෙයින් දැන් තමන්ගේ ඡන්ද කොට්ඨාශවල ඡන්ද දායකයින්ට මුහුණදීගත නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන්නේයැයි ඔවුහු කියති.ඉහළ ගොස් ඇති ජීවන වියදම නිසාද ජනතාව හමුවේ ඔවුන් තවදුරටත් ප්‍රතික්ෂේපව ගොස් ඇත.

‘තත්ත්වය හොඳ නැහැ.අපිව දිගටම ජනතාව අතරින් ප්‍රතික්ෂේප වෙමින් තියෙන්නේ.දැනට තියෙන්නේ අපේ ප්‍රතිවාදීන්ට වාසි තත්ත්වයක්.ඒ අය අපිට හොදට පහර දෙනවා.‘ නම සඳහන් කිරීමට අකමැති වූ එවන් එක් සාමාජිකයෙක් කීය.

ජනපතිවරයාට අන්තර්ජාතික තලය ජයගැනීමට හැකිව තිබෙන බව සැබෑය.නමුත් එම සාර්ථකත්වය ශ්‍රීලංකාවේ ජනතාවට දැනවීමට යාන්ත්‍රණයක් ඔහුට හෝ ඔහු සම්බන්ධ මාධ්‍ය කටයුතු වල යෙදෙන්නන්ට නොමැතිවීම කණගාටුදායකය.මේ දිනවල රටේ මාධ්‍යයන්ගේ ප්‍රචාරණය වන්නේ ජනපතිවරයාගේ සහ රටේ ජයග්‍රහණ ගැන නොව දිවයින පුරා සිදුවන ළමා අපචාර,ලිංගික හිංසන,සොරකම් කිරීම්,කොල්ලකෑම් හා ඝාතනයන් ගැන තොරතුරුය.මේ සම්බන්ධයෙන් විශේෂ අධ්‍යනයක් සිදුකරමින් සිටින එක්තරා සමාජ විද්‍යාඥයෙක් සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වීය.
‘මේ දවස්වල හැමදාම රෑට අපේ ජනතාවට බලන්න වෙලා තියෙන්නේ පිළිකුල් සහගත,බිහිසුණු,මිනිහෙක්ට තරම් නොවන සිදුවීම්.මාධ්‍යත් ඒවා රස කර කර ජනතාවට දෙනවා.නමුත් පසුගිය රජය සමයේ තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්.ඔවුන් තමන්ගේ ප්‍රතිරූපය නංවා ගන්න දේවල් කළා තමයි.නමුත් ඒ කාලයේ රූපවාහිනියේ වැඩි ඉඩක් වෙන්වෙලා තිබුණේ ඒ කාලයේ නායකත්වය යටතේ රට ඉදිරියට යන හැටි,සංවර්ධනය වෙන හැටි,අනාගතය සකස්වෙන හැටි, කොටින්ම කිව්වොත් ධනාත්මක දේවල් ජනතාවට පෙන්වන්න.‘
සේයා සදෙව්මි දැරියගේ සිදුවීම සම්බන්ධයෙන්ද හෙතෙම අදහස් පළකළේය.

‘පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එක එක වෙලාවට එක එක පුද්ගලයින්ට චෝදනා කරනවා.පස්සේ ඔහුම ඒ චෝදනා ඉවත් කරගන්නවා.ඒ කියන්නේ රටේ තියෙන තත්ත්වය තමයි ඉස්සෙල්ලාව සැකකරුවෙක් වැරදිකරුවෙක්ද නැද්ද කියන එක තීරණය කරන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා.පස්සේ තමයි පොලිසියේ ජේ්‍යෂ්ඨ නිලධාරීන් මේක ඇත්තද නැත්තද කියලා හොයාගන්නේ.‘
මේ තත්ත්වයට පිළියමක් හඳුන්වාදීමට රජය තවමත් අපොහොසත්වී ඇති බව පෙන්වා දුන් ඔහු මෙය දිගින් දිගටම පැවතුනහොත් අතීතයේ මෙන් භීෂණකාරී සමයක් රටේ ඇතිවීම නොවැළැක්විය හැකිවනු ඇතැයි අනතුරු ඇගවීය.

ජනපති නිල නිවසේ වියදම

පොරොන්දු කඩ කරන්නේ යැයි නැගෙන චෝදනා වලට අමතරව තම නිල නිවසේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් නැගුනු චෝදනා වලටද මුහුණදීමට ජනපති සිරිසේනට පසුගිය සතියේ සිදුවිය.පැජට් පාරේ පිහිටි ඔහුගේ වත්මන් නිල නිවස මේ වන විට පවතිනුයේ යාබද නිවාස දෙකක් එකට එක් කර විශාල කෙරෙමින්ය.ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් ලක්ෂ 7800 කට අධිකය.මෙයින් රුපියල් ලක්ෂ 2000 කට අධික මුදලක් මේ වන වට නිවසේ නවීකරණ කටයුතු වලට වැයකර අවසන් බව පාර්ලිමෙන්තුවේදී පැවසිණ.

ජනපති නිල නිවස ලෙස වෙන්වී ඇති කොළඹ 05 පැජට් පාරේ පිහිටි සී 61 සහ සී 62 ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය සහ නවීකරණය කිරීම සදහා ගෙවුණු මැයි මාසයේ රුපියල් ලක්ෂ 963 කට අධික මුදලක් වෙන් කර තිබේ.අනතුරුව වෙනත් ඉදිකිරීම් කටයුතු මැයෙන් තවත් රුපියල් ලක්ෂ 842 ක මුදලක්ද එම මසදීම වෙන් කර ඇත.

කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය තම නිල නිවස ලෙස ජනපති සිරිසේන තෝරාගත්තේ නම් වියදම මීට වඩා බොහෝ සෙයින් අවම කරගත හැකිව තිබිණ.එම ගොඩනැගිල්ල ජනපතිවරයාට සුදුසු පරිදි සකස් කර ගැනීමට වැඩි මුදලක් වැය කිරීමටද අවශ්‍ය නොවේ.නමුත් ජනපති නිල නිවසේ වියදම් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනපති කාර්යාලයට අනුව මේසා මුදලක් වැයව ඇත්තේ ජනපතිවරයාගේ කටයුතු වෙනුවෙන් සුදුසු නිවසක් සකස් කිරීමට නිවාස දෙකක් යා කිරීමට සිදුවීම නිසාවෙන්ය.කොටුවේ ජනාධිපති මන්දිරයේ පදිංචියට යෑම යනු තවත් මුදල් වැයවන්නක් බවත් එම නිවසේ ජල හා වෙනත් පහසුකම් වෙනුවෙන් වැයකළ යුතු මුදල මසකට රුපියල් ලක්ෂ 150 ක් ඉක්මන බවත් ජනපති කාර්යාලය පවසයි.මේ අතර රුපියල් ලක්ෂ 706 ක අතිරේක මුදලක්ද ජනපති ආරක්ෂක අංශයට බී.එම්.ඩබ්ලියු වර්ගයේ ලිමොසින් රථයක් සහ බී.එම්.ඩබ්ලියු 1200 වර්ගයේ යතුරුපැදි 12 ක් මිලයට ගැනීමට ලබාදී තිබේ.මේ මුදල ගැන අදහස් දක්වන ජනපති කාර්යාලයට අනුව මෙසේ සම්පූර්ණ කර ඇත්තේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදුකළ ඇනවුමකි.නමුත් පසුගිය අගොස්තු මාසයේදී තවත් රුපියල් ලක්ෂ 520 ක මුදලක් ගෙවා රුපියල් ලක්ෂ 260 බැගින් වූ ඩමී,එසේත් නැතිනම් ජනපතිවරයා ගමන් කරන බවට ව්‍යාජ ලෙස ඇගවෙන මෝටර් රථ දෙකක් මිලයට ගැනීමටද කටයුතු කෙරී තිබේ.

ජනපතිවරණ සමයේ නිල නිවෙස් හා රාජපක්ෂ රජයේ සුඛවිහරණය ගැන ජනපති සිරිසේන පළකළේ මෙවන් අදහස්ය.

‘මම දන්නවා අරලිය ගහ මන්දිරයේ සීතල කාමර ඇතුලේ වෙන්නේ මොනවාද කියලා.රනිල් වික්‍රමසිංහ කාලයක් එතැන රටේ අගමැතිවරයා හැටියටත් හිටියා.ඒත් අද තියෙන්නේ එදා තත්ත්වය නෙවෙයි.හාත්පසින්ම වෙනස් අරලිය ගහ මන්දිරයක් තමයි අද තියෙන්නේ.පසුගිය අවුරුදු 5 -6 දී කෝටි ගාණක මුදලක් අරලියගහ මන්දිරයේ සංවර්ධන කටයුතු වලට වැයකරලා තිබෙනවා.ඒක දැන් මන්දිරයක් නෙවෙයි.මාළිගාවක්.‘

‘නුවර තියෙන ජනපති නිවස්නයත් ඒ වගේ.ලක්ෂ ගණන් වියදම් කරලා ගොඩනැගිලි හදන්න.ඒකත් මාළිගාවක් වගේ.නුවරඑළියේ තියෙන නිවස්නයත් එහෙමයි.ඇඹිලිපිටියේ තවත් එකක් තියෙනවා.රජෙක්ට ඉන්න වගේ හදලා තියෙන්නේ.මේවා හදන්න වැය කරලා තියෙන්නේ රටේ සල්ලි.ජනතාවගේ සල්ලි නේද මේවා?‘

මෙවන් නිවස්නයන් රාජ්‍ය තාන්ත්‍රිකමය කටයුතු වලට හැර තම පෞද්ගලික පරිහරණයට යොදානොගන්නා බවද ජනපති සිරිසේන අවධාරණය කර තිබෙන්නකි.

සත්‍ය ගවේෂණ හා සංහිදියා කොමිසම

ජනපතිවරයා හා අගමැතිවරයා හමුවේ මේ දිනවල ඇති අභියෝග දෙකකි.ඉන් එකක් වන්නේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මතවූ ශ්‍රීලංකාවේ සිදුව ඇති බව කියන යුධ අපරාධ පිළිඹද වාර්තාවයි.අනෙක වන්නේ රට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමයි.

‘අපි වහාම කළ යුතු දේ තමයි අන්තර්ජාතික ප්‍රජාව හමුවේ අපි පොරොන්දුවූ දේවල් ක්‍රියාත්මක කරන එක.උපදේශන වැඩකටයුතු ආරම්භ කළ යුතුයි.මේ සඳහා දේශපාලන පක්ෂ නියෝජිතයින්ගේ,සිවිල් සමාජ ක්‍රියාධරයින්ගේ සහ යුද්ධයෙන් අවතැන්වූවන්ගේ සහය ලබාගන්න අපි බලාපොරොත්තු වෙනවා‘ සන්ඩේ ටයිම්ස් හා අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කීය.ඉදිරි වැඩකටයුතු ක්‍රියාත්මක විය යුත්තේ කෙසේදැයි දළ සැළැස්මක් ඇතිව ඔවුන් හමුවට යෑමටත්,ඔවුන් ඉදිරිපත් කරන අදහස් යොදාගෙන ස්ථාවර සහ ශක්තිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමටත්, බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.මෙම කටයුතු එළැඹෙන වසරේ ජනවාරි මස වන විට අවසාන කිරීම රජයේ අපේක්ෂාව බවද ඔහු කීය.

දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වන සත්‍ය ගවේෂණ හා සංහිදියාව පිළිඹද වන කොමිසමේ වැඩකටයුතු පිළිඹදව අධ්‍යනය කිරීමට විශේෂ නියෝජිත පිරිසක් එළැඹෙන සතියේදී එරට බලා යන බව අමාත්‍යවරයා පැවසීය.එවන් කොමිසමක් මෙරටද පිහිටුවීම රජයේ සැළැස්මයි.මෙය කොමිසම පිහිටවෙනු ඇත්තේ දිවයිනේ පිළිගත් ආගමික නායකයින් යටතේ ක්‍රියාත්මක වන විශේෂ සානුකම්පිත කොමිසමට සහ අතුරුදන්වූවන් සම්බන්ධව සොයාබැලීමට පිහිටුවීමට යන නිල කාර්යාලයට අමතරවය.මෙම කාර්යාලයට පත්කළ යුත්තේ කවුදැයි සම්බන්ධයෙන් රජය හා අන්තර්ජාතික රතු කුරුස සංගමය අධ්‍යනය කරමින් සිටී.නොවැම්බර් මස 20 වැනිදා අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථමයෙන් පැවැත්වෙන පාර්ලිමෙන්තු සැසිවාරයකදී මෙම කාර්යාලය නිල වශයෙන් පිහිටුවීම සම්බන්ධව සාකච්ඡාවට ගැනෙනු ඇති බව සමරවීර කීය.

යුධ අපරාධ චෝදනා විමර්ෂණය කිරීමට ක්‍රියාත්මක කිරීමට යන දේශීය යාන්ත්‍රණය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් දැක්වීය.එය දේශීය යාන්ත්‍රණයක් බවත්,පිළිගත් විදෙස් නීති විශාරදයින්ගේ සහයද ඇතිව ක්‍රියාත්මක වන්නක් බවත් ඔහු පැවසීය.මෙමගින් යාන්ත්‍රණයේ විශ්වසනීයත්වය තවත් තහවුරු වන බව ඔහුගේ අදහසයි.විදෙස් සාමාජිකයින්ගේ සහය ලබාගෙන මෙරට පරීක්ෂණ ක්‍රියාත්මක කෙරෙන පළමු අවස්ථාව මෙය නොවන බවද ඔහු කීය.එස්.ඩබ්ලියු.ආර්.ඩී බණ්ඩාරණායක මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණ කටයුතු විදෙස් විනිසුරුවරුන් පිරිසකගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරුණු ආකාරයත්,ප්‍රේමදාස පාලන සමයේ ලලිත් ඇතුලත්මුදලි ඝාතනය විමර්ෂණය කිරීමට ස්කොට්ලන්ඩ්යාඩ්හි රහස් පරීක්ෂකයින් කැඳවුනු ආකාරයත් ඔහු සිහිපත් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය ශ්‍රීලංකාවේ සිදුවී ඇතැයි කියන යුධ අපරාධ සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන වාර්තාව එළැඹෙන 21 හා 22 යන දෙදින පාර්ලිමෙන්තුවේ විවාදයට ගැනීමට නියමිතය.මේ අතර විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින් වත්මන් රජය මෙම වාර්තාව පිළිගැනීම සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට සංවිධානාත්මක ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.මහජන එක්සත් පෙරමුණ,කොමියුනිස්ට් පක්ෂය,ලංකා සමසමාජ පක්ෂය,ජාතික නිදහස් පෙරමුණ,ප්‍රජාතන්ත්‍රවාදී වාමාංෂික පෙරමුණ,ශ්‍රීලංකා මහජන පක්ෂය,දේශ විමුක්ති පෙරමුණ යන දේශපාලන පක්ෂ සහ එම පක්ෂවල නායකයින් මේ වෙනුවෙන් එක්ව සිටී.

වාර්තාව සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමේ අරමුණින් විශේෂ සමුළුවක් මෙම මස 19 වැනිදා කොළඹදී පැවැත්වෙන බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේශ් ගුණවර්ධන මහතා කීය.
විදේශ කටයුතු අමාත්‍යංශයේ වෙනස්කිරීම්

ජනපතිවරයා සහ අගමැතිවරයාගේ උපදේශනය යටතේ විදේශ කටයුතු අමාතශයේ තනතුරු වල වෙනසක් සිදුකිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව මංගල සමරවීර මහතා සන්ඩේ ටයිම්ස් හා පැවසීය.මෙම තනතුරු හොබවන ඇතැම් පුද්ගලයින් සම්බන්ධයෙන් අගමැතිවරයාගේ වැඩි කැමැත්තක් නොමැති බව සඳහන්ය.විශේෂ කොට ජීනිවාහි ශ්‍රීලංකා නිත්‍ය නියෝජිතවරයා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධරයින් කණ්ඩායමක් සම්බන්ධයෙන් අගමැතිවරයාගේ සහ විදේශ අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇත.රටේ ඉදිරි ආර්ථික වැඩපිළිවෙල සඳහා සක්‍රීයව දායකත්වය ලබාදිය හැකි රාජ්‍ය තාන්ත්‍රිකයින් විදේශ කටයුතු අමාත්‍යංශයේ තනතුරුවලට පත්කිරීම අගමැතිවරයාගේ අපේක්ෂාවයි.පසුගියදා ජපානයේ සිදුකළ නිල සංචාරයේදී ඔහුගේ මෙම අදහස තවත් තහවුරුවී ඇති බවට ලකුණු ඇත.සාර්ථකව නිමාව දුටු එම සංචාරයේදී රටට වැදගත් තීන්දු තීරණ රැසකට එළැඹීමට ඔහුට හැකිවිය.මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වත්මන් රජයේ පළමු අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ කරුණු දක්වනු ඇති බව සඳහන්ය.අයැවයේ ජනතාවට සහන ලබාදීම වෙනුවෙන්ද සැළකිය යුතු ඉඩක් වෙන්ව තිබෙන බව රජයේ ආරංචි මාර්ගයක් පැවසීය.

බටහිර ආසියා රටේ අගනුවර පැවැත්වෙන නඩු විභාගයේදී ශ්‍රීලංකාවට වාසි සහගත තීන්දුවක් ප්‍රකාශයට පත්වීම යනු වත්මන් රජයට සුභ ලකුණකි.එය ඔවුන් මැතිවරණ සමයේ දුන් පොරොන්දුවක් ඉටුකිරීමකි.නමුත් රටේ දැවෙන ගැටලු ඇතිවෙමින් තිබෙන බව රජය කිසිසේත්ම අමතක කළ යුතු නැත.විශේෂ කොට කඩවුණු පොරොන්දු,ප්‍රමාදවන දඩුවම්,ඉහළ යන අපරාධ හමුවේ ජනතාව අතරින් වියැකී යමින් තිබෙන විශ්වාසය නැවත දිනාගැනීමට රජය වහාම කටයුතු කළ යුතුව ඇත.

 

lankadeepa

Last modified on Sunday, 11 October 2015 17:34

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us