අරගල යනු තමුන්ගේ කිසියම් ගැටළුවකට පිළිතුරු ලබා ගැනීම සඳහා අදාල ගැටළුවට මුහුණ දෙන පිරිස් විසින් ආරම්භ කර, ඊට සංවේදී පිරිස්වල ආශිර්වාදය ඇතුව කෙරෙනා යම් සටනකි. පාලකයින් ජනතාව වෙනුවෙන් කල්පනා කර, ඔවුන්ගේ අවශ්‍යතා සපුරනවා නම් මේ ලෝකය මීට වඩා බොහෝ වෙනස් එකක් වන්නට තිබුණී. නමුත් මේ පාලකයින් පෙනී සිටින්නේ ඔවුන් හා ඔවුන්ගේ ගජමිතුරු ව්‍යාපාරික පැළැන්තිය වෙනුවෙන් පමණි. ඔවුන්‍ට අවශ්‍යතා ලෙස පෙනෙන්නේද එකී පිරිසගේ අවශ්‍යතා පමණි. එහෙයින් ජනතාව නිරන්තරයෙන් අරගල කිරීම අවශ්‍ය වේ. සෑම අරගලයක් ම ජයග්‍රහණයෙන් කෙළවර නොවුණත් අරගල තුළින් පාඩම් ඉගෙන ගැනීම අනාගත අරගල ජයග්‍රහණය සඳහා ඉතා ම වැදගත් වේ.
මෙම සටහන ලියැවෙන්නේ මෑතක ළදැරියක් දූෂණ කර මරාදැමීමෙන් අනතුරුව ඇතිවූ සංවේදී තත්වය මත සංවිධානය කෙරුණු උද්ඝෝෂණ ව්‍යාපාරයක පෙරමුණේ සිටි සරුවපිත්තල චරිත කිහිපයක් දැකීමත් සමඟය. අරගල සඳහා ජනතා අවධානය ලබාගත යුතුය. නමුත් එසේ අවධානය දිනා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීම එහි මුල් අරමුණ විසින් සාධාරණීයකරනය කෙරෙන්නේ නැත. මහපොළව සමඟ බැඳීමක් නැති ආකාශගත චරිත බොහෝවිට මේවාට එක්වන්නේ ද හුදු ප්‍රසිද්ධිය වෙනුවෙනි. සිද්ධියේ උණුසුම මැකීගිය විටෙක ඔවුන් පාවී ඉවතට ඇදී යනු ඇත.
එහෙයින් අරගල හුදු සරුංගල් වීම මෙන්ම අහක යන සරුංගල් වල පැටලී බිම හා බැඳෙන නූල් සිඳීයාමේ අනතුර ගැනද අරගල කරන්නන් දැනුවත් විය යුතුය. සියල්ලන්ගේම උද්ඝෝෂණය කිරීමේ අයිතියට අපි ගරු කරන්නෙමු. එසේම යහපත් අරමුණින් කෙරෙනා උද්ඝෝෂණ හුදු ප්‍රචාරක ව්‍යාපාරයක් හෝ ෆන් එකක් වීමට ඉඩ නොදීම වෙනුවෙන් අවධානයෙන් පසුවීමට සැබෑ අරගලකරුවන්ට හැකි විය යුතුය.