විද්‍යාතා දැරියගේ මරණය සම්බන්ධයෙන් දෙමළ සමාජය කීවේද එයමය. එහෙත් ඒ සමාජයන් හා බෞද්ධ දර්ශනයේ අවිහිංසාව, ඉවසීම පදනමේ සකස්වුණු සිංහල බෞද්ධ සමාජය අතර වෙනසක් ඇති බවට වන ඉස්මුරුත්තාව හැදෙනකම් අපේ ඔලුගෙඩි ඇතුලට පුරවන්න උත්සහ කළ ප්‍රකට ආකල්පය අනුව යමින් සිතන්නට කෙතරම් වෙර දැරුවද, ඒ එසේ නැත. මරාදාන්නමයි කියන්නේ. යෝජනා කරන්නේම මරා දැමීම ගැනය.
මෙයට තවත් විදිහකින් තහවුරු වූ තැනකි, වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන්ව මරා දැමීම. මේ ගැන සිංහල බෞද්ධ සමාජයේ වූ කතිකාවතද අවසන් වූයේ සිරකරුවන් නම් අපරාධකරුවන්ය, ඔවුන්ව මරා දැමීම සාධාරන බව කියමිනි.
අපරාධකරුවකු කෙසේ වෙතතත් මිනීමරුවකුට දඬුවම් ලෙස මරා දැමීම, අප දන්නා මිනිස් ඉතිහාසයේ සිට පැවැතගෙන ආ විදිහය. ඒ තවමත් බොහෝ රටවල ක්‍රියාත්කම වේ. විශේෂයෙන්ම ශරියා නීතිය ක්‍රියාත්මක වන මුස්ලිම් රාජ්‍යයන් කියන රටවල දඬුවම් ලෙස මරා දැමීම, අංගච්ඡේදනය, කස පහර ආදිය ක්‍රියාත්මකව පවතී. ඉතා සුලු වරදට පමණක් නොව අත් වැරදීමවලට පවා මේ දඬුවම් ක්‍රියාත්මක වී ඇති ආකාරයන් අපි දුටුවෙමු. 'රිසානා'ගේ සිදුවීමද එවැන්නකි. ප්‍රාණ ඝාතය වැරදී දෙයක් ලෙස නොපිලිගන්නා ඒ ආගමික රාජ්‍යයක ඒ සිදුවීම ගැන තර්කයක් තිබේ. පසුගියදා මක්කම දොඹකරයක් කඩා වැටීමෙන් වූ මරණ සම්බන්ධයෙන් මෙහෙ කතාව වූයේ එළුවන් මරණ නිසා එසේ වූබවටය.
එහෙත් කෙතරම් දැඩි දඬුවම් පැනවූවද මේ කිසිදු රටක මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ තබා හොරකම්වත් නතර වී ඇති බවක් වාර්තා වන්නේ නැත. ඒ සිරගෙවල්වල තදබදය ද ඇති බව වාර්තා වී ඇත.
මේ අතරම සිරකරුවන් නොමැති වීම නිසා සිර ගෙවල් වසා දැමීමට සිදුව ඇති රටවල් කිහිපයක් ගැනද වාර්තා වෙයි. ඉන් කිහිපයක්ම අධි සංවර්ධිත රාජ්‍යයන් වන ස්කැනේඩියානු රාජ්‍යයන්ය. එහෙත් ගැටලුව නම් මේ රටවල් මිනී මැරුමකට දඬුවම ලෙස මරණ දඬුවම හෝ අංගච්ඡේදනය හෝ නොපිලිගැනීමය. මේ රටවල අවිහිංසාව මූලධර්මයක් කර ගත් ආගමික රාජ්‍යයන්ද නොවේ. සත්ව මංශ බහුලව ආහාරයට ගන්නේද මේ රාජ්‍යයන්ය. මත්පැන් පානයද ඔවුන් හොඳින් කරති. හතර පෝයට සිලගන්න ජනතාවක් එහෙ නැත. ඔවුන්ගේ කිසිදු ගුවන්විදුලි හෝ රූපවාහිනියක නිතිපතා ආගමික වැඩ සටහන් නැත.
එසේ නම් මේ ලොකයේ ඉහළම අවිංසාවාදී ආගම ලෙස බොහෝ පිරිස් විසින් හඳුන්වනු ලබන දහමක් පැලපැදියම්ව තිබෙන මේ රටේ මේ ම්ලෙච්ඡත්වයට වඩා හාත්පසින් වෙනස් සමාජ ක්‍රමයක් ඒ රටවල්ට ලැබුණේ කෙසේද ?
මරණ දඬුවම ලබා දීම තබා දරුවන් යහමඟට ගන්නට යැයි කියා කෝටුමස් කිරීම හෝ තදින් කතා කිරීම හෝ මේ සංවර්ධිත රාජ්‍යවල නොකරති. එසේ කිරීම නීතියෙන්ද දඬුවම් ලැබිය හැකි වරදකි. මන්ද ඒ දරුවාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට වැඩිහිටියාට අයිතියක් නැති බැවිනි. මේ කිව්වා සේ ඉහත ගැටළුවට පිලිතුරද ඒ තුල ඇත. ඒ අනෙකාගේ අයිතිය පිළි ගැනීමය. අනෙකාට ගෞරව කිරීමය. දෙමළාවද මුසල්මනුවාවද පෙති ගැසීමට බලා සිටිනා රාජ්‍යයක සෙසු ජනතාවට 'අනෙකාගේ අයිතිය' කුණුහරුපයක් බව අපි අත් දැකිමෙන්ම දන්නා ඇත්තකි. මේ අනුව ලෝකයේ ස්ත්‍රී දූෂණ ළමා අපචාර මිනී මැරුම් බහුල රටක් ලෙස මේ ශ්‍රී ලංකාද්වීපය සලකුණු වීම ලොකු අරුමයක් නොවේ. සමන් කුමාරලා, ක්‍රිශාන්ති කුමාරස්වාමිලා, විද්‍යාතලා, සේයාලා තව තවත් අපට පෙරදා හමුවුනා සේ ඉදිරියටත් හමුවීමට නියමිතය. ඒ අනිවාර්යයකි. අද මේ සේයා වෙනුවෙන් ඇද හැලෙන්නේ කිඹුල් කඳුළුය. ඒ තමාගේ එකාට එහෙම දෙයක් විය නොවිය යුතු බවට වන ආත්මාර්තකාමී හැඟීම අනුව මිස සේයාගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් නොවන බව ටක්කෙටම පැවැසිය හැක.
අප පුරුදුව ඇත්තේ අනෙකාට මෛත්‍රී කිරීමේ බොරුවට හැර මිසක අනෙකාගේ අයිතිය පිලිගැනීමට නොවේ. 'මා මෙන්ම' අහවලාද නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියා, පළමුව තමන් ගේ පංගුව බේරාගෙන වැඩ කළා මිස අනෙකාගේ නීරෝගී භාවය මිනිස් අයිතියක් බවත් ඒ වෙනුවෙන් පෙනී සිටියේ නැත. ඒ වෙනුවෙන් සටන් කළේ නැත. අඩුම තරමින් මේ සමාජය මිනිසාගේ ජිවත් වීමේ අයිතිය පිළිගත යුතුය. ඒ අද නීතියෙන්ද අපට අහිමිව ඇති මිනිස් අයිතිවාසිකමකි.
එසේ හෙයින් අනෙකාගේ ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීම ප්‍රතික්ෂප කරන සමාජයක් 'සේයා' වෙනුවෙන් කඳුළු හෙලිම මුළුමනින්ම බොරුවකි.
- සුජය