Coca පෙන්නුවේ Cola විතරද?

Published in පුවත්
Thursday, 03 September 2015 07:32

අධිරාජ්‍ය විරෝධය යනු ලංකාව තුළ ඕනෑ තරම් තොරොම්බල් කළ වචනයකි. මේ වචනය මුවාවෙන් මෑත අතීතයේ සිදුකෙරුණු දූෂණ, වංචා, මිනීමැරුම් බොහෝය. ඊයේ පෙරේදා දිනක පටන් මෙම අධිරාජ්‍ය විරෝධය යළිත් බල්ටි ගහන්නට පටන් ගත්තේ මල්ටි නැශනල් කොම්පැණියක් හෙවත් බහුජාතික සමාගමක් වූ කොකා කෝලා සමාගම අල්ලාගෙනය. සිදු වී ඇති හානිය බරපතළය. එසේම දැනට බහුතරයක් දෙනා මෙම සිදුවීම අල්ලාගෙන ඇති තැන අනුව බලන කළ වෙන්නට ඇති හානියද බරපතළය. බොහෝ විට මෙය ද තවත් එක් සිද්ධියක්ව බොහෝ දෙනෙකුට අමතකව යාමට සහ ඊට පෙර බංකොළොත් දේශපාලකයින් කිහිපදෙනෙකුගේ එදාවේල සැපිරීමට නියමිතව ඇති බැවින් මෙයට ම අළලා අතීත සිදුවීම් කිහිපයක්ද මතක් කිරීම සුදුසු යැයි සිතමු.

කොකා කෝලා සමාගමේ බියගම කර්මාන්ත ශාලාවෙන් කැළණි ගඟට මුසු වුණු ඉන්ධන නිසා මහත් ආන්දෝලනයක් ඇති විය . මධ්‍යම පරිසර අධිකාරිය ඉතිහාසයේ කවරදාවකවත් නොවූ අයුරින් ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් එහි පරිසර බලපත්‍ර ආදිය අත් හි‍ටුවා මහත් කලාබගැනියක්ද සිදු කළේය. ඒ අතර ජලප්‍රවාහන මණ්ඩලය ද තමන්ගේ යන්ත්‍ර සූත්‍රවලට හානිවූ බව කියමින් රුපියල් බිලියනයක වන්දියක් ලබා ගන්නා බව ද කීවේය. කෙසේ වෙතත් පසුගියදා වන විට මෙම පරිසර බලපත්‍රය අත් හි‍ටුවීම අත් හි‍ටුවා ඇත. එසේ සිදු කළේ 'ආයේ මෙහෙම 'නෝටි වඩ කරන්න එපා' පන්නයේ තරව‍ටුවක් කොකා කොලා සමාගමේ ලොක්කාට කරමින් බවට ද තොරතුරු පළව තිබිණි.

අපගේ දැනුවත් භාවය අනුව ලංකාවේ දූෂිතම ගංගාව කැළණි ගඟයි. කැළණි ගඟ දූෂණය වන්නට පටන් ගත්තේ කොකා කොලා සමාගම නිසා නොවේ. ඒ ඉතා කුඩා සාධකයක් පමණි. උඩරට එළවලු ගොවියන් කැලණි ගඟේ පෝෂක ප්‍රදේශ විනාශ කිරීමෙන් මෙම දූෂණ ක්‍රියාවලිය ආරම්භ කරන අතර මෝදර ගංමෝය අසල ජනතාව එහි අවසන් විනාශය සිදු කරති.ඒ අතර වැලි ගොඩ දමන්නන් ද කර්මාන්ත හිමියන් ද මෙම ඉවුර අද්දර පදිංචි කරුවන් ද අඩු වැඩි වශයෙන් කැළණි ගඟේ විනශයට වගකිව යුතුය.

මේ විනාශය ගැන මෙතුවක් කල් කවුරුවත් ඇස් ඇර බැලුවේ නැත . පසුගියදා කැලණිගඟේ ජලය ගැන පරිසර වේදීන් පිරිසක් විසින් කළ පරීක්ෂණකදි මෙහි අඩංගු මිනිස් ශරීරයට අහිත කර රසායන සංඝටකයන් රැසක් හඳුනා ගත් අතර මෙරට මහත් ජාතික ව්‍යවසනයක් බවට පත්ව ඇති වකුගඩු රෝගයට හේතුවන ආසනික් නම් රසායනයද කැළණි ගඟේ ජලයේ අඩංගු බව අණාවරනය කර ගන්නා ලදී.
කොළඹ ජනයාගේ පානීය ජල අවශ්‍යතා සඳහා කැළණි ගඟේ ජලය අඹතලේ පොම්පාගාරයේදී පිරිසුදු කර නළ මඟින් බේදා හැරියද මේ සියළු අහිතකර සංඝටකයන් විනාශ වන්නේ දැයි තවමත් තහවුරු කර නැත. ඊටත් වඩා භයානක කරුණ නම් කැළණි ගඟ දෙපස ළිං ජලය පානය කරන ජනතාවට එම ජලයේ පිරිසිදු භාවය ගැන කිසිදු සහතිකයක් නොමැති වීමය.

කැළණි ගඟට තෙල් මිශ්‍ර වීම 'යහපාලනයේ"අවුලක් බව කියමින් මේ මොහොතේ නොයෙකුත් වකාශයන්හි ක්‍රියාත්මක වන 'තකතීරුවන්'නොවේනම් 'තක්කඩියන්'මීට පෙර මේ ප්‍රශ්නය ගැන වචනයක් හෝ කතා කර නොමැත. ඔවුන් කළේ ඒ කැළණි ග‍ඟෙම වතුර බොමින් අවස්ථාවාදී දේශපාලකයින්ට ආවඩමින් සිටීමය.


මීට එපිටින්ද මේ කිසිවකුත් පසුගිය රජය සමයේ කළ සහ නව රජය සමයේද දැනටත් කෙරෙන පරිසර විනාශයන් ගැන කතා කළේ නැත. ඔවුහු ලංකවේ රක්ෂිත වනාන්තර උලා කෑ හැටි දැක දැකත් සංවර්ධනය යැයි මතුරමින් සිටියහ. වකුඩගු රෝගකාරක කෘෂි රසායන තහනම් කරන්නේයැයි වසර ගණනාවක් තිස්ස්සේ කීවද ඒවා බෙදා හරිමින් කොමිස් ලාබ ලැබීය. අඩු තරමින් දුම් වැටි පැකට්‍ටුවට රූපමය අවවාද දැමීමට හෝ මහින්ද පාලනය සමත් වූයේ නැත. එවන් දරුණු පරිසර දූෂණ සිද්ධීන් අතුරින් කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන්නේ නම්,


දැදුරු ඔය වනසන ජිෆී

ගංගා ජලය පිළිබදව කතා කිරීමේදී දැදුරු ඔය දූෂණය සම්බන්ධව ද නොයෙක් වර හඬ නැඟුනද කිසිවකු ඒ පිළිබඳ සැලකිලිමත් වූයේ නැත. පොල්ලෙලි කොහු ආශ්‍රිත ව්‍යාපාරික කර්මාන්තායතනයක් වන, නෝර්වේ රාජ්‍යයට අයත් ජිෆී ප්‍රඩක්ට් ආයතනය විසින් කොබෙයිගනේ, නිකවැරටිය, දැදුරු ඔය ආශ්‍රිතව පවත්වාගෙන යන කර්මාන්ත ශාලාව හේතුවෙන් එම ප්‍රදෙශයේ දැඩි පරිසර හානියක් සිදුව තිබේ. මෙම කර්මාන්ත ආයතනය විසින් කොහු පිරිසිදු කිරීමෙන් පසු එම අපජලය දැදුරු ඔයට මුදා හැරීම නිසා දැදුරු ඔය හා ඒ අවට ප්‍රදේශයන් හී භූගත ජලය අපවිත්‍ර වී තිබෙන බව ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී සනාත වී තිබේ. මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියා මාර්ගද ගැනුන නමුත් මේවන විටත් එම සමාගම එම අප ජලය පිරිසිදු කිරීමකින් තොරව යළිත් දැදුරු ඔයට හා අවට මහ මාර්ග දෙපසට( දුහුවිලි වලක්වන්නයි කියමින්) මුදා හරිමින් සිටින බව එම ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.දැනට වසර 4ක් පුරා සිදුවෙමින් පවතින මේ කටයුත්ත නිසා මේවන විට කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශයේ ජනතාව විවිධ රෝගාබාධ වලට ගොදුරුව සිටිති. නිල් දරු උපත්, අංගවිකල දරු උපත් මෙන්ම එවන්වූ සත්ත්ව උපත්ද වාර්තා වී ඇත.

එමෙන්ම සමේ රෝග ඉතා බහුල ලෙස ව්‍යාප්තව ඇත. වගාවන් විනාශ වී තිබේ. නයිට්‍රෙට් රසායනය මිශ්‍ර කර්මාන්තශාලාවේ අපජලය නිසා දැදුරු ඔයෙහි ඇල්ගී විෂේශ වර්ධනය වීම හා මත්ස්‍ය සම්පත විනාශ වීම මේවන විටත් ඇරඹී තිබේ.එවකට ආර්ථික සංවර්ධන ඇමතිවරයා වූ බැසිල් රාජපක්ෂට එකී සමාගම සමඟ තිබුණු කවර හෝ ගණුදෙනුවක් නිසාවෙන් එම පරිසර හානිය පිළිබඳව කිසිවක් කිරීමේ හැකියාව පරිසර අධිකාරියට ලැබී තිබුණේ නැත. රාජපක්ෂවරුන් ගෑවුණු තැනක හෝ තිබුණේ විනාශය පමණක් ම බව සියල්ලන් දැන සිටියද විරුද්ධ වීම පවා තවත් විනාශයකින් කෙළවර බැවින් ඉතා සුළු පිරිසක් හැර කිසිවකු මීට එරෙහි වූයේ නැත. රාජපක්ෂ පාලනය අවසන් කිරීමෙන් අනතුරුව පවා අදාල ජිෆී සමාගම කිසිදු බාධාවකින් තොරව යහපාලනය යටතේද යහතින් පරිසර විනාශය අඛණ්ඩව සිදු කරයි.

රතුපස්වල ජල ගැටළුව ඉවරද?

පානීය ජලය අපවිත්‍රවීම පිළිබඳව මෑත කාලීන ආන්දෝලනාත්මක ම සිදුවීම සිදුවූයේ රතුපස්වල ය. ලංකාවේ සුපිරි කෝටිපතියා වූ ධම්මික පෙරේරාගේ වෙනිග්‍රොස් කර්මාන්ත ශාලාවෙන් බැහැර කෙරුණු අපද්‍රව්‍ය හේතුවෙන් පානීය ජලය අපවිත්‍ර වීමෙන් 2013 අගෝස්තු 01 දා ඇති වූ කලබැගෑනිය කෙළවර වුණේ වැලිවේරියේ දී රාජපක්ෂ පාලනය විසින් පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු ජීවිත තුනක් බිලිගනිමිනි. ඒ මොහොතේ ඒ සටන අතට ගත් සහ පසුව එම සටන විකුණා ඡන්දගත් උන් පවා අදටත් එහි භූගත ජලයට වූ හානිය පිළිබඳ කතා නැත. ජල දූෂණයට එරෙහිව මහමඟ උද්ඝෝෂණය කළ පිරිසට හමුදාව යොදවා ඉවක් බවක් නොමැතිව වෙඩි තැබවීම හේතුවෙන් හානිවූ ජීවිත පිළිබඳව මානව හිමිකම් වාර්ථාව යන්තම් දෙවසරකට පසුව එළිදැක් වී ඉන් හමුදාව නීතියට පිටින් ක්‍රියා කළ බව ඔප්පු වී තිබුණද ඊට දඬුවම් තවම නැත.

ඊටත් වඩා දරුණු ඉරණමක් අත් කර දිය හැකි පරිදි රබර් අත්වැසුම් නිශ්පාදන කර්මාන්ත ශාලාවක් වූ මෙම වෙනිග්‍රොස් වෙතින් කවර නම් රසායන ද්‍රව්‍යයන් කොතරම් ප්‍රමාණයකින් අදාල ප්‍රදේශයේ භූගත ජලයට එක් කර ඇතිද, ඉන් මතුවිය හැකි අනාගත ගැටළු කවරේද, ඒවාට විසඳුම් මොනවාද යන්න කිසිම තැනක සාකච්ඡා කෙරුණේ නැත. මෙහි අහිතකර ප්‍රථිපල තවත් වසර ගණනාවක් යනතුරා අදාල ප්‍රදේශවාසීන්ට විදීමට සිදුවීමේ අනතුරක් තිබුණද ක්ෂණික ඝාතනයන් පිළිබඳව යොමුවුණු අවධානය මෙම සෙමෙන් ලැබෙන්නා වූ හානි ගැන කිසිවකු අදටද යොමු කරන්නේ නැත. එම කර්මාන්තශාලාව නැවත බියගම හෝ කටුනායක ප්‍රදේශයේ ඉදිකෙරෙන බවටද රාවයක් පැවතුනි.

වරාය නගරය දැන් මරුද?

මහින්දලාගේ සංවර්ධනයේ අග්‍ර ඵලය විය හැකිව තිබු 'කොළඹ වරාය නගරය' නම් පරිසරය විනාශ කිරීමේ මහා වයපෘතිය ගැන මේ මහින්දගේ ගෝල බාලයින් වචනයක් කතා කරන්නේ නැත. ජනාධිපතිවරණ වේදිකාවන් දෙවනත් කරමින් පෝට් සිටි විනාශය නවතන බවට දෙස් දුන් යහපාලන ඇත්තන්ද දැන් නිහඬය. ඒ නිහඬ තාවය චීනයෙන් ලැබෙන කොමිස් කුට්ටි විසින් සදාකාලික කෙරෙන්නටද ඉඩ තිබේ. කොකා කොලා සමාගමේ අර්බුධය විසැඳීමට අමරිකානු තානාපති කාර්යාලය මැදිහත් විය. පරිසර නීති පසෙකට දමා කොකා කොලා සමාගමට අවසර ලැබිණි. මෛත්‍රීපාල ජනාධිපතිවරයාද දිවුරුම් දී ඉක්මනින් ම චීන සංචාරයක නියැළුනේය. චීන රජයද මෛත්‍රීපාල මහතාගේ මැතිවරණ පොරොන්දුවකට සම්බන්ධ කරුණක් ඉටු කරමින් වකුගඩු රෝහලක්ද ලංකාවට දන් දෙන්නට ඉදිරිපත් විය. වරාය නගරය කාගේවත් බාධාවකින් තොරව සුවසේ ඉදිවෙමින් පවතියි.

වරාය නගරයේ පාදම වෙනුවෙන් මුහුද ගොඩ කිරීම හේතු කොට ගෙන මේ වන විටත් ඒ අවට වෙරළ බඩ ප්‍රදේශය මුහුදු ඛාදනයට ලක්වෙමින් පවතින බව පැහැදිලිව දකින්න්ට ලැබේ. ඉදිරියේදී එම තත්වය තවත් වර්ධනය වනු ඇති අතර ගල්කිස්ස හා මීගමුව වෙරල තීරයන් ලංකාවට අහිමි වනු ඇත. එමෙන්ම මෙම ගොඩ කිරීම නිසා මුහුදු ජීවීන්ට වූ හානිය බරපතල තත්වයක පවතින බවත් පරිසර වේදීහු පෙන්වා දෙති. මේ ව්‍යාපෘතිය වෙනුවෙන් යෙදවෙන අති විශාල කළු ගල් ප්‍රමාණය කැඩීමෙන් රට අභ්‍යන්තරයේ කෙරෙන විශාල පරිසර හානිය ආදී ලෙස සමස්තව සිදුවන දැවැන්ත පරිසර හානිය ගැන පරිසර වේදීන් වාර්තා සකස්කර ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් ලබා දී තිබේ. මේ අත් හිටවිය යුතු ව්‍යාපෘතියකි. එහෙත් යහපාලනයේ කරුණාව දැනටත් එම ව්‍යාපෘතියට ලැබී ඇති අතර දැවැන්ත චීන සෙවනැල්ල එම ව්‍යාපෘතිය හෙල්ලීමටවත් මොන ම රජයකට හෝ ඉඩ ලබා නොදෙන බවක් පෙනෙන්නට ඇත. චීනයේ සමාජවාදී ලේබලය හේතුවෙන් වාමාංශිකයැයි කියාගන්නා පක්ෂ පවා මීට කට අරින්නේ නැත. ඒ තමන්ටද චීනයෙන් කුමන හෝ වරදානයක් ලැබෙන නිසා විය යුතුය.

වනාන්තර උලා කෑ හැටි

එමෙන් ම පසුගිය රාජපක්ෂ රජයේද එය පෙරළූ යහපාලන රජයේද නවතම සම්මුතිවාදී රජයේද එකසේම ඇමති කම් දරන්නට දේශපාලනික පින්කම් කළ රිශාඩ් බදූර්දීන් ඇමතිවරයා විසින් විල්පත්තුව සහ මඩු රක්ෂිතය කපා ජනතාව පදිංචි කිරීමද මහත් වූ පුවත් මවන සිද්ධියක් වූ සමයක් තිබිණි. පරිසර හිතවාදී මෙන් ම ජාතිවාදී ස්වරූපයෙන් පවා නැඟුණු මෙම විරෝධයට ද දැන් ආගිය අතක් නැත.

මඩු රක්ෂිතය මුලින් අක්කර 04ක ප්‍රමාණයක් එළිකර තිබූ අතර පසුකාලීනව සංචාරක පුරයක් සේම ඉන්දියාව බලා දිවෙන මාර්ග ව්‍යාපෘතියක් ද හා සම්බන්ධ කිරීමේ අරමුණින් මෙම ප්‍රදේශය මුලින් ම ජනාවාස කිරීම මෙහි අරමුණ වී තිබේ. එහි ප්‍රතිපල ලෙස අවට ප්‍රදේශවල ජල මූලාශ්‍ර සිඳී යන්නට පටන් ගෙන තිබුණු අතර එම වනාන්තරයේ සිටින අලි ඇතුන් එළුවන්කුලම රක්ෂිතයට ඇතුළුවීමේ අවදානමක් ද මතු වී තිබුණි.

ලක්ෂපාන දිය ඇල්ල ඉවරයි

කැළණි ගෙඟ් අතු ගංඟාවක් වන මස්කෙළි ඔයේ ලක්ෂපාන දිය ඇල්ලට ඉහලින් සප්තකන්‍යා හයිඩ්‍රෝ පවර් පුද්ගලික සමාගම විසින් ඉදිකරන තිබර්ටන් කුඩා ජල විදුලිබලාගාරය ඉදිකරමින් පරිසර පද්ධතියට සිදුකරන හානියද තවත් එකකි. දිය ඇල්ලට මීටර් 200 ඉහළින් ඉදිකරණ මෙම විදුලි බලාගාරය වෙනුවෙන් දිය ඇල්ලට උඩින් කරන පිපිරීමි නිසා දිය ඇල්ල දෙපස ඉවුරු හා මස්කෙළි ඹයේ ඉවුරු කඞා වැටීමට පටන් ගෙන ඇති අතර විදුලි බලාගාරයේ ඉදිකිරීමි නිසා දිය ඇල්ලේ ගල් ගැලවී වැටීමට ආසන්නව ඇත.තවදුරටත් මෙම විදුලි බලාගාරයේ ඉදිකිරීමී කටයුතු සිදුවුවහොත් දියඇල්ලේ හැඩය පවා වෙනස් විය හැකිය. මෙය ලක්ෂපාන දිය ඇල්ලේ සොදුරු දසුන් විනාශ කරන්නක් මෙන්න
සිංහරාජ, රිවර්ස්ටන්, හි තවමත් සක්‍රියව ක්‍රියාත්මක වන හෝටල් පරිසරය විනාශ කරන සංවර්ධන කටයුත්තක ලෙස පෙන්වාදිය හැකිය.

වර්ථමානයේ ලක්ෂපාන දිය ඇල්ලේ සියයට අසුවකය වැඩි ප‍්‍රමාණයක් ගල් පැලී එල්ලී ඇත. මෙම අස්ථාවර කොලූවියල් පස්වල ගල් කුට්ටි ඇද හැලීමට ඉඩ ඇති බැවින්ද මස්කෙළි ඔය තුළ මිටර් 500 වැඩි දිග පුමාණයක් සහිතව ඉදිකෙරෙන කොන්ක‍්‍රීටී ඇල නිසා මස්කෙළි ඹයේ මිරිදිය මත්ස්‍යන්ගේ බොවන් ස්ථාන රාශියක් විනාශ වී ගොස් ඇති අතර මෙය සමස්ථ සප්ත්‍යකන්‍යා කදු පංතියේ ජෛව විවිධත්වයට බරපතල හානියක් බවට පත්වී ඇති බැවින්ද මෙම ව්‍යාපෘතියද නවතා දැමිය යුතු එකක් වුවත් නවතින අයුරක් පෙනෙන්නට නැත. විදුලිබලයට මෙන් ම පරිසරයටද අරක්ගත් හෙළ උරුමයේ චම්පික රණවකලා ද අතුරලියේ රතන හිමිලාද විදුලි සැර වැදුණු උන් ලෙස හිඳිනවා විය යුතුය.

විදුලි බල ඇමැති චම්පික රණවකද හිටපු ඇමතිනී පවිත්‍රා වන්නි ආරච්චි ඇරඹූ කුඩා විදුලි බලාගාර 108 වැනි ප්‍රදේශ වල කෙරෙනා මහා පරිසර විනාශයන් පිළිබඳව ඉතා අතළොස්සක් දෙනා හැර අන් සියල්ලන් ම නිහඬය.

සොරගුනේ වනාන්තරය ගොල්ෆ් පිට්ටනියකට

එසේම, බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුමුල්ල ප‍්‍රදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටි සොරගුණේ වනාන්තරය නසමින් මේ වනවිට රන්වන් ගුහාව, දඩයම්පොළ හරහා මහ මාර්ගයක් ඉදිකිරීමට හල්දුමුල්ල ප‍්‍රාදේශීය සභාව මගින් කටයුතු කරමින් සිටින අතර, අනවසරයෙන් කිලෝ මීටර් 03ක් පමණ දිග මාර්ගයක් දඩයම් පොළ සිට වනාන්තරය තුළ හොර රහසේ ඉදිකර ඇත. මෙම මාර්ගය ඉදිවෙමින් පවතින්නේ මීට වසරකට පමණ පෙර ජනතාවගේ උද්ඝෝෂණ මත යටගිය කාමර දෙදහසක හෝටල් සංකීර්ණය හා ගොල්ෆ් පිටිය ඉදිකරන බෙරගල ගොල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය සඳහා බව ඉතා පැහැදිලිය. වේලි ඔය ව්‍යාපෘතිය පෝෂණය කරන කාල්කන්ඔය, දෙමටආර, වේලි ඔය, පතහ ඔය යන ප‍්‍රධාන ජල මාර්ගවල පෝෂක ප‍්‍ර‍්‍රදේශ වන සොරගුණේ වනාන්තරය තුළ අක්කර හයසිය විසි අටක කැලෑ ඉඩම් එළි පෙහෙළි කර හෝටල් ව්‍යාපාරයකට හා ගෝල්ෆ් පිටියකට පවරා දීමේ කටයුතු මේවන විට සිදුකර හමාරය. 2011 වසරේ සිට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව,ජනාධිපති කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඌවප‍්‍රධාන අමාත්‍ය කාර්යාලය,ඉදිකිරිම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය ඇතුළුව ගකිවයුතු ආයතන 26 ක් වෙත මෙම හොටල් ව්‍යාපෘතියෙන් ඉදිකිරීම නිසා වන හානිය පිළිබඳ දැනවත් කරමින් සිදුවීමට යන දැවැන්ත පාරිසරික විනාශය වළක්වාලන ලෙස ඉල්ලීම් කළද සිදුවීමට යන පරිසර හානිය වළක්වාලීම සඳහා මේ වනතෙක් කිසිදු වගකිව යුතු ආයතනයක් කටයුතු කර නොමැති බව හැඟෙන්නේ වනාන්තරය හරහා හෝටල් ව්‍යාපෘතිය සඳහා හොර රහසේ මහා මාර්ග ඉදිකිරීම් වැනි අනවසර කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින නිසාය.

උමා ඔයෙන් ඌව වේලෙයි

උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල දිස්ති‍්‍රක්කයේ බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ හා ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 650 කගේ පමණ නිවාස විනාශ වී ජනතාව අවතැන් වීම හා ළිං සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුධ උද්ගතවීම සිදු ව තිබේ. මේ සියළු ව්‍යසනයන්ට මහින්ද රාජපක්ෂ මහතා හා මධ්‍යම පරිසර අධිකාරිය සෘජුව ම වගකිව යුතු ය. ඊට හේතුව වන්නේ දේශපාලන උවමනාවන් මත ප‍්‍රතිරූප ගොඩනගා ගැනීම සඳහා පමණක් කි‍්‍රයාත්මක කළ හම්බන්තොට ඊනියා සංවර්ධන ව්‍යාපෘති වලට අවශ්‍ය ජලය ලබා ගැනීමට උමා ඔයේ ජලය හම්බන්තොට ගෙන යාම සඳහා සැලැසුම් සකස් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දීම හා එ් සඳහා සකස් කළ ඉතා ම දුර්වල හා අසම්පූර්ණ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව සඳහා මහින්ද රාජපක්ෂ මහතාගේ දැඩි බලපෑම මත මධ්‍යම පරිසර අධිකාරිය විසින් ජාතික පාරිසරික පනත උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස අනුමැතිය ලබා දීම ය. දැනට සිදු වෙමින් පවතින සියළු ව්‍යසනයන්ට ප‍්‍රධාන හේතුව වන්නේ මේ වැරදි කි‍්‍රයාමාර්ගයන් ය. මහින්ද රාජපක්ෂ අවසානයේ නිකම්ම නිකම් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගත්තද උමා ඔය විනාශය තවමත් සක්‍රියය.

සෝමාවතිය සුද්දයි

එසේම, සෝමාවතිය ජාතික වනෝද්‍යානය හා ත්‍රිකෝණමඩු ස්වභාව රක්ෂිතය අතර කන්දකාඩු ප්‍රදේශයේ පිහිටි මහවැලි ගෙග් පිටාර තැනි හා ගංගාශ්‍රිත වනාන්තර ලෙස ව්‍යාප්ත ව ඇති මහවැලි අධිකාරියට අයත් සුවිශේෂී වනාන්තර අක්කර 11400ක් යුධ හමුදාව විසින් නීති විරෝධී ලෙස පවරාගෙන විවිධ ආයතනවලට බදු දීම සිදු කරනු ලැබේ. මේ වන විට තිස්තුන් අවුරුදු බදු පදනම මත යුධ හමුදාව විසින් බ්‍රවුන්ස් සමාගමට වනාන්තර අක්කර 1000ක් බදු දී තිබේ. තවත් වනාන්තර අක්කර 6000ක් මරිනා සමාගමට බදු දීමට සූදානම් වේ.

බ්‍රවුන්ස් සමාගම නීති විරෝධී ලෙස ලබා ගත් වනාන්තර වලින් මේ වන විට අක්කර 650ක් පමණ සම්පූර්ණයෙන්ම එළිපෙහෙළි කර අක්කර 400ක පමණ තේක්ක ශාක වගා කර ඇති අතර අක්කර 250ක පමණ කැවැන්ඩිස් කෙසෙල් ප්‍රභේදය වගා කර තිබේ. බ්‍රවුන්ස් සමාගම මේ වගා බිම් පිටතට නොපෙනෙන පරිදි ඉතා සූක්ෂමව සකස් කර ඇති අතර වනාන්තර මධ්‍යයයේ සිට එළිපෙහෙළි කර වගා බිම් ස්ථාපිත කර ඇත. මීට අමතර ව මෙම නීති විරෝධී වගා බිම් ස්ථාපිත කිරීම පිළිබඳ තොරතුරු බාහිර පුද්ගලයින්ට දැන ගැනීම වැළැක්වීම සඳහා පිටත ප්‍රදේශවල කම්කරුවන් සේවයේ යෙදවීම සිදු නොකර යුධ හමුදාවේ සෙබලූන් යොදා ගෙන වනාන්තර එළිපෙහෙළි කිරීම හා වගා බිම් සැකසීම සිදු කර තිබේ. මෙම සමාගම දැනට ලබා ගෙන ඇති ඉඩම් සංවර්ධනය කිරීමෙන් අනතුරුව තවත් වනාන්තර ඉඩම් බදු පදනම මත ලබා ගැනීමට සූදානම් වේ.

ලෝකයේ අපකීර්තිමත් සමාගමක් වන ඩොල් සමාගම හා බ්‍රවුන්ස් සමාගම අතර මේ වන විට හවුල් ගිවිසුමක් අත්සන් කර ඇති අතර ඒ අනුව බ්‍රවුන්ස් සමාගම වගා කරන කැවැන්ඩිස් කෙසෙල් ඩෝල් සමාගම නමින් අපනයනය කිරීමට නියමිත ය. ඇමෙරිකානු මහා පරිමාණ සමාගමක් වන ඩෝල් සමාගම මේ වන විට ජපන් සමාගමක් විසින් මිල දී ගෙන තිබේ. ලෝකයේ විවිධ රට වල ඉතා ම හානි කර ලෙස ක්‍රියාත්මක වන ඩෝල් සමාගම පළමුව කන්දකාඩු වනාන්තරය විනාශ කර කැවැන්ඩිස් කෙසෙල් වගා කිරීම ආරම්භ කළේ ලංකාවේ හවුල්කාර සමාගම වන ලෙට්ස් ග්‍රෝ සමාගම හා එක්ව ය. ඒ අනුව අක්කර 11400ක් යුධ හමුදාවෙන් නීති විරෝධී ලෙස ලබා ගෙන වනාන්තර එළිපෙහෙළි කර කැවැන්ඩිස් කෙසෙල් ප්‍රභේදය අපනයනය ස`දහා වගා කීරීම ආරම්භ කෙරින. නමුත් පරිසර සංවිධානවල මැදිහත්වීම මත එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නතර කිරීමට හැකි විය. නමුත් අද වන විට ඔවුන් වෙනත් මුහුණුවරකින් කන්දකාඩු ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙමින් පවතින බව මේ අනුව පෙනී යයි. ඒ රණවිරු හා ජාතික ආරක්ෂාවේ මුවාවෙන් සිදු කෙරුණු කැලෑ කොල්ලයකි. මේවාද ආපිට හැරී නැත.

කොකා කොලා උගුරේ හිරකරගෙන


කොකා කොලා සමාගමෙන් වූ අත් වැරදීමකට එම සමාගම වසා දැමිය යුතු යැයි යෝජනා කරන ගොබිලන් පෝර්ට් සිටියෙන් දැන දැනම වෙන පරිසර විනාශය ගැන කතා නොකිරීම මෙන්ම පොර්ට් සිටිය නිසා මෙරරට ස්වෛරීත්වයට වන හානිය ගැනද කතා නොකරති. කොකා කෝලා අමරිකානු අධිරාජ්‍ය වාදීන්ගේ ව්‍යාපෘතියක් යැයි කියමින් ජාති ආලය ගැන කතා කර්න ජාතිවාදී තක්කඩියන් රට චීනයට පාවා දීම ගැනද කතා කරන්නේ නැත. පරිසරය තම දේශපාලන ගමනට ඈඳා සින්නක්කර ලියාගත් උදවිය පවා නිලතල ඉදිරියෙහි මේවාට නිහඬය.

ගැටළුව ඇත්තේ සමාගම් අත පමණක් නොවේ. පරිසර සාධක කෙරෙහි නිසි අවධානයක් යොමු නොකිරීමේ සහ සමාගම් වල ක්‍රියාකාරීත්වය කෙරෙහි පාරිසරික පසුවිපරම් නොකිරීමද සමාගම් සතු මූල්‍ය සහ දේශපාලනය බලය ඉදිරියේ ජනමාධ්‍ය, දේශපාලන පක්ෂ ඇතුළු සමාජ ක්‍රියාරීත්වයන් නිහඬ වීමද මේවාට එකසේ වගකිව යුතුය. කොකා කෝලා සමාගම අදාල වරදට නීතියෙන් දඬුවම් ලැබිය යුතුය. එහෙත් එම දඬුවම් දීම මෙන්ම දීමට බලකිරීම ද ලාභ එදාවේල දේශපාලනයේ අධිරාජ්‍ය විරෝධී විරුවන් වීමෙන් මෙපිට සිදුවිය යුතුය. එමෙන් ම සිය ලාභය පමණක් සිතා පරිසරයට හෙණ වැදුනද සිය කර්මාන්තශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්, ඔවුන්ගෙන් කොමිස් ලබනා දේශපාලකයින් මෙන් ම එදිනෙදා තමුන්ට හානියක් වූ විට පමණක් පරිසරය මතක් වන ජනතාවද මේවාට වගකිය යුතුය. රටක් ලෙස කර්මාන්තශාලා සහ ව්‍යාපෘති ඉදිරිකිරීම සහ පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පාරිසරික බලපෑම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ඇතිවිය යුතුය.

Last modified on Thursday, 03 September 2015 07:35

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us