ඒ, "දේශපාලඥයෝ විවිධ චෝදනා කරනවා. හැබැයි මම මේ සිද්ධියේ දී අපේ අත්වල ලේ තැවරිලා නැති බව දන්නවා. මෙය සම්පූර්ණයෙන්ම ගොතපු සිද්ධියක්. හැබැයි මේක පරීක්ෂණය කරන්න ඕනි. මේක මිනිමැරුම් චෝදනාවක් නිසා මෙය පරීක්ෂණ කළ යුතුමයි. එත් චෝදනා කරන අය ගැන මම වැඩිය කතා කරන්න කැමති නෑ.මොකද එයාලගේ ඇහේ තියන මෝල්ගහ එයාලට පේන්නෙ නැහැනේ. හරියට මැතිවරණ කාලයේ දීම මෙය ඇවිත් ගොඩනගපු හැටි දෙස බලනවිට දේශපාලනීකරණය වෙලා කියලා හිතීම බැහැර කරන්න බෑ" යන ලෙසිනි.
මෙම ඝාතනය පිළිබඳව නැවත පරීක්ෂණ ආරම්භ වූ සැණින් මෘත ශරීරය ගොඩ ගැනීමක් සම්බන්ධව කතාව පැතිරෙද්දී ම ඊට එරෙහිව මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් වන සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ය. 2015.07.30 වන දින ඔහු පැවසුවේ තමන් ද නීතිඥයකු ලෙස දන්නා පරිදි මෙම මෘත ශරීරය ගොඩ ගැනීම නීති විරෝධී බවයි. ඉන් පසුව උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ද මේ පිළිබඳව ප්‍රකාශ කරමින් පැවසුවේ ඒ ගැන තොරතුරු දන්නේ නම් ඒවා කිව යුත්තේ දේශපාලන වේදිකාවල නොව පොලීසියට බවයි. පසුව නීතිමය තර්ක ඵල නොදුන් තැන ආගම වෙත පල්ලම් බසිමින් පෙරේදා ඩිලාන් පෙරේරා මහතා පවසා තිබුණේ මෙය තාජුඩීන්ගේ ආගම වූ ඉස්ලාමයට පටහැනි බවයි. මේ සියලු තර්ක කෙරුණේ රාජපක්ෂ පාර්ශ්වය වෙනුවෙනි.
බලය අහිමි මොහොතක මේ පැවැත්වෙන පරීක්ෂණයට පවා මෙසේ සිය මාරාන්තික විරෝධය පළකල සන්ධානයේ නායකයා ලෙස මහින්ද රාජපක්ෂ දැන් කියනුයේ තමා බලයට පැමිණි පසුවද මේ පරීක්ෂණය ඉදිරියට ගෙනයන බවයි. එසේ නම් උක්ත සටහන් වූ පරිදි ඔහු සිය සහායක බල ඇණි ලවා මීට විරෝධය පළ කෙරුවේ මන්ද යන ගැටළුව අපට මතුවේ.
එමෙන් ම මහින්ද රාජපක්ෂ පාලනය විසින් කෙරුණා වූ ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම පිළිබඳව පරීක්ෂණය ද අපට නිතැතින් සිහියට නැඟේ. ප්‍රගීත් පැහැර ගැණුනේ 2010 ජනවාරි 24 වනදා ය. එදා සිට රාජපක්ෂ පාලනය අවසන් කෙරුණු 2015 ජනවාරි 08 වනදා තෙක් ඒ පරීක්ෂණයෙන් ලද ප්‍රගතියක් නොතිබුණි. එමෙන් ම සිය සැමියා සොයා සටන් වැදුණු දිරිය ගැහැණියක වූ සන්ධ්‍යා එක්නැළිගොඩ සහ ඒ පවුලේ හැඟීම් පවා ඉතා නින්දිත ලෙස අවමානයට ලක් කරමින් රාජපක්ෂ රජය වරක් ප්‍රකාශ කළේ ප්‍රගීත් ප්‍රංශයේ ජීවත් වන බවට තොරතුරු ඇති බවයි.
පාර්ලිමේන්තුවේ සිටි 'මෙලෝ රහක් නැති' පුද්ගලයකු වූ අරුන්දික ප්‍රනාන්දු ලවා මේ මහා හෙළිදරව්ව කරවන ලදී. හලාවත ප්‍රදේශයේ ජනතාව මැරයකු ලෙස දත් අරුන්දික නැමැත්තෙක් පාර්ලිමේන්තුවේ ඉන්නා බව පවා බොහෝ අය දැනගත්තේ මේ සිදුවීමෙන් අනතුරුවය. ඔහු කීවේ ඔහු ප්‍රංශයට ගිය අවස්ථාවක ප්‍රගීත් එහි ජීවත් වන බවට තමන්ට තොරතුරක් ලැබුණු බවයි. මෙය ලංකාවේ පාර්ලිමේන්තුව නොමඟ යැවීමෙන් නොනැවතී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නොමඟ යැවීමක් දක්වා දුරදිග ගිය අතර ඊට එවකට සිටි අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ද සම්බන්ධ විය.
දැනට එළිදරව් වී ඇති තොරතුරු වලට අනුව ප්‍රගීත්ව කොළඹින් පැහැරගෙන ගිය දෙදෙනා සහ මින්නේරිය හමුදා කඳවුරෙන් ඔහුව භාරහත් එක් හමුදා සෙබළෙක්ද අත් අඩංගුවට ගෙන ඇත. එසේ නම් රාජපක්ෂ රජයේ පරීක්ෂණ පිළිබඳව තවත් කුමන කතාද ? වසර 5ක් තිස්සේ රාජපක්ෂ රජය කළේ පරීක්ෂණ පවත්වනු වෙනුවට ප්‍රශ්න කළ උන් නොමඟ යැවීමය. දැන් තාජුඩීන් පරීක්ෂණය කරන්නට කතා කරන්නේ ද ඒ රාජපක්ෂලා මය.
මෙවන් අපූර්ව මාදිලියේ පරීක්ෂණ පිළිබඳව රාජපක්ෂ ඉතිහාස ලැයිස්තුව බොහෝ දිගුය. ඉන් කිහිපයක් සිහියට නඟන්නේ නම්, මාධ්‍යවේදී ධර්මරත්නම් සිවරාම් නොහොත් තාරකී කොළඹදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂණය ට වූ දෙයක් නැත. ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ පරීක්ෂණයට ද ඒ ඉරණම මය. කන්ටේනර් ගණනින් මත්කුඩු ගෙන්වූවන් පිළිබඳ පරීක්ෂණ කුඩේ කුඩුය. එතනෝල් බැරල් කන්ටේනර ගණනින් ගෙන්වීම පිළිබඳ පරීක්ෂණ ගැන තබා ඇල්ලූ එතනෝල් ගැනද කතා නැත. වරක් හිටපු නියොජ්‍ය ඇමති රෝහිත අබේගුණවර්ධනට එරෙහිව පැවති අයථා වත්කම් ඉපයීම පිළිබඳ පරීක්ෂණයක් කෙළවර වුණේ ඇමතිවරයාට 'සර්පයකු දශ්ට කළ' බව පවසා එය මඟ හැරීමෙනි. පරීක්ෂණයද සර්පයා සේම අතුරුදන් ය.
මෙවැනිදෑ බොහෝ වූ අතර තවත් අමුතුම ගනයේ පරීක්ෂණ විශේෂයක්ද රාජපක්ෂ පාලනය යටතේ විය. ඒ පාතාල සාමාජිකයින් ලෙස හැඳින්වූවන් සමඟ සැඟවූ ආයුධ සොයා ගිය පරීක්ෂණ ය. ඒ සියල්ල ඉතාම නාටකීය ස්වරූපයෙන් එකම පිටපතකට අනුව සැකකරු සැඟවූ ආයුධ වලින් පහරදීමට තැත් කිරීමේදී පොලීසිය ආත්මාරක්ෂාව පතා කළ වෙඩි තැබීම් වලින් හෝ සැකකරු මාංචු පිටින් ගඟකට හෝ ඔයකට පැනීමෙන් කෙළවර විය. රටෙහි කැළඹීමක් ඇතිවන කුමක් හෝ සිදුවූ විගස ඒ පිළිබඳව රාජපක්ෂ ජනාධිපති වරයා විසින් කමිටු පත් කෙරුණු අතර ඒ කමිටු වාර්තා ඔහු බලයෙන් පහකෙරෙන තුරුද පැවතියේ රෝල්කර හමස් පෙට්ටියේ ලෑ අයුරින්ය.
වෙනෙකක් තබා කෝප් කමිටුව විසින් පාර්ලිමේන්තු පරීක්ෂණ කර දූෂණ සහ වංචා පිළිබඳව ඉදිරිපත් කෙරුණු වාර්තාවට ද අවසානයේ කෙරුණු දෙයක් නොතිබිණි. මේ පරීක්ෂණ පිළිබඳව රාජපක්ෂ යුගය නිරීක්ෂණය කිරීමේදී අපට පෙනෙනා ආශ්චර්යමත් යතාර්ථයයි.
මෙවන් වූ අපකීර්තිමත් අතීතයක් පරීක්ෂණ කෙරෙහි තබාගෙන මහින්ද රාජපක්ෂ මහතා දැන් කතා කරන්නේ යළි බලයට පැමිණ සිය දෙවෙනි පුතුට චෝදනා එල්ල වී ඇති තාජුඩීන් ඝාතනය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් කරන්නට ය. මෙය අන්ත තක්කඩි කමක් මෙන්ම කේන්තියෙන් පුපුරා යන්නට තරම් වන නීච විහිළුවක් නොවන්නේද ?