ජේසු රොටී පහකින්, මසුන් පස්දෙනෙකුගෙන් දේශනා අහන්න ආව පන්දහසක් පමණ වූ ජනකායගෙ කුසගිනි නිවීමේ ප්‍රාතිහාර්යය ගැනයි පුංචි ස්වාමි දේශනාව කළේ. මහාජනකායගෙ කුසගින්න වෙනුවෙන් තමන් සන්තක රොටී පහයි, මසුන් පස්දෙනයි පරිත්‍යාග කළ කොලු ගැටයගෙ ධෛර්යවන්තකමයි, පරිත්‍යාගයයි, ජේසුගෙ මැදිහත්වීමයි නිසා එතන උන්නු මහා ජනකායගෙ ඇස් ඇරිලා ඔවුන්ගේ මලුවල තිබුණු කෑම බීමත් එළියට අරගෙන බෙදාහදා ගන්න පොළඹවන්න ඇති කියන එක තමයි බයිබල් විශාරද මතය වෙන්නෙත්... පුංචි ස්වාමිත් ඒ ගැන සිහිපත් කළා. ‘සමාජ වෙනසක්, පරිවර්තනයක් ඇති කරන්න ඉතාම කුඩා මිනිසෙකුගේ වුණත් මැදිහත්වීම ප්‍රමාණවත්, ඒ වෙනුවෙන් අපි හැමෝටම යුතුකමක් වගකීමක් තියෙනවා.‘ පුංචි ස්වාමි තියුණු නිරීක්ෂණාක්ෂියක් ශ්‍රද්ධාසම්පන්නව නිශ්චලව සිටි ජනතාව වෙත යොමු කරමින් පැවසුවා. බැතිමතුන් නම් සුපුරුදු විදියට ගල් ගිලල වගේ බලාන උන්නා.
පන්දහසකට කෑම දීමේ ප්‍රාතිහාර්යය ගැන කතා කරමින්ම පුංචි ස්වාමි කතා කළේ ලෝකයේ ඇති නැති පරතරය ගැන. බහුතර දිළින්ඳන් ගැන. 80% ක් වන ලෝකයේ සම්පත් භුක්ති විඳින 20% කගේ ආත්මාර්ථය සහ ධන තණ්හාව නිසා දුප්පතුන් කුසගින්නේ මිය යන බව... සාගත, වසංගත, යුද්ධ, කලකෝලහාල මේ හැම දෙයක්ම නිසා මිය යන මිනිසුන් වෙනුවෙන් අප ද වග කිව යුතු බව....
‘‘මහ මැතිවරණයත් ළඟ එනවනෙ.. කවුද බලමු මේ සැරේ ජේවීපියට ඡන්දෙ දෙන්නෙ..‘‘ පුංචි ස්වාමි ඇහුවා. සාමාන්‍යෙයන් දේශනාව වෙලාවට සැදැහැවතුන් කතා කරන්නෙ නැහැ. ප්‍රශ්න ඇහුවට ඉතින් උත්තර දෙන්නෙත් ස්වාමි ම තමයි. මේ ප්‍රශ්නෙටත් කවුරුවත් හ්ම් කිව්වෙවත් නෑ..එහෙම පක්ෂයක් තියෙනවද කියල දන්නෙත් නැති ගාණට උන්නා..
‘‘මං දන්නවනෙ කතෝලිකයො ගැන. කැපුවත් කොල, කැපුවත් නිල්.. එහෙම තමයි හිතන් ඉන්නෙ. පරම්පරාවෙන් අදහන පක්ෂයට තමයි ඡන්දෙ දෙන්නෙ. එහෙම විය යුතු නැහැ. යාච්ඤාව තුළ තීරණය කරන්න මේ මොහොතෙ රටටත් ජනතාවටත් වඩාත් සුදුසු මොන පක්ෂය ද, මොන පුද්ගලය ද කියල.. අනිත් එක මේ ඡන්දෙ ජනාධිපතිවරණය නෙවෙයි. තමන්ගෙ ගම්පළාත් වෙනුවෙන් සුදුසු ජනතා නියෝජිතයො පාර්ලිමේන්තුවට තෝරා පත් කරන ඡන්දයක්. ඒ නිසා ගමට, ප්‍රදේශයට වැඩක් කරන, පාර්ලිමේන්තුවෙදි ක්‍රියාකාරීව ජනතාව වෙනුවෙන් පෙනී හිටින අයව තෝරගන්න. පක්ෂය බදාගෙන ඉන්න එපා...‘‘‘
අප්පච්චියේ මේ පුංචි ස්වාමි.... මං හිතින් හිතුවා.. චේ සිහිගන්වන රැවුල, ගැඹුරු කටහඬ, තියුණු බැල්ම මං මුලදි හිතුවෙ මතුපිට සැරසිල්ලක් විතරයි කියල. බැලුවම පුංචි ස්වාමිත් යමක් කමක් දන්නවා සෙමනේරියෙන් පාඩම් කරවල එවන දේව ධර්ම පාඩමට අමතරව...
‘‘යක්ෂයාගේ බලය අද දවසේ ක්‍රියාත්මක වෙන්නෙ දේශපාලඥයො හරහා. යන්ත්‍ර මන්ත්‍ර හදිහූනියම් ගැන විශ්වාස කරන කට්ටඩි පස්සෙ යන දේශපාලඥයන්ට ඡන්දෙ දෙන එක දේව විරෝධි වැඩක්. කතෝලිකයින්ට කොහොමටවත් ජාතිවාදය අවුස්සන, යක්ෂයාගේ බලය පස්සෙ පන්නන, දුප්පතාව අසරණ කරවන දේශපාලඥයන්ට ඡන්දෙ දෙන්න බැහැ... ඒක දේව ආදරයට, දේව සැලැස්මට ප්‍රතිවිරුද්ධ වැඩක්...‘‘
මං ඇස් නළලෙ තියන් පුංචි ස්වාමි දිහා බලන් උන්නා.
‘‘අපේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ බාහිර රූපෙ බලලා. පෞරුෂය, කතා බහ, ගමන, බොරු සැරසිලි... මේ විදියට බැලුවම මහත්මා ගාන්ධි, හෝචි මිං වගේ මිනිස්සුන්ට කවදාවත් අපේ රටේ ජනතා නායකයො වෙන්න බෑ. ඒ මිනිස්සු පරඬැල් වගේ මිනිස්සු. නමුත් ඒ පරඬැල් වගේ මිනිස්සු තමයි ලෝකය වෙනස් කළේ. දේශපාලනයෙදි වැදගත් බාහිර රූපෙ, කට වාචාලකම නෙවෙයි.. මනුස්සකම..රටට මිනිස්සුන්ට තියෙන ආදරය..... ඡන්දෙ දෙන්න කළින් මේ හැමදෙයක් ගැනම හිතන්න..‘‘
...........
‘‘මොකෝ කළේ‘‘ ඒ පෙම්බරා.......
‘‘මං පල්ලි ගියා..‘‘
‘‘පල්ලි???‘‘
‘‘හ්ම්.. වෙනසකටත් එක්ක යන්න හිතුණා..‘‘
‘‘මට නම් වැස්සකටවත් ගොඩවෙන්න හිතෙන්නෑ. අද පල්ලි පන්සල්වලට වඩා ධර්මය තියෙනවා මහ පාරෙ.‘‘ ඒ හඬේ තැවරිලා තියෙන විරෝධය මට දැණුනා.
දුරකථන රැහැන් හරහා මම පුංචි ස්වාමිගෙ දේශනාව අකුරක් නෑර විස්තර කළා. කොහොමත් මම එහෙමයි.. මුල ඉඳන් අගටම කියනවා.. නැත්නම් ලියනවා. මට අනුව ආදරේට එහෙම නිදහසක් තියෙන්න ඕන. හිතට එන හැමදේම, අහන දකින විඳින හැමදේම කියන්න, ලියන්න, බෙදාගන්න ඕනි... එහෙම කරන්න ගිහින් බැනුම් අහගන්න වාර අනන්ත වුණත් ඒ පුරුද්දෙන් මිදෙන්නත් බැහැ. ඇයි දෙයියනේ තමන් ආදරේ කරන මනුස්සයට නැතිව ගස් ගල්වලට හිතේ තියෙන දේවල් කියන්නයැ.. ( ගහකට ගලකට කිව්ව නම් හොඳයි කියල හිතෙන වෙලාවලුත් තියෙනවා තමයි...)
පුංචි ස්වාමිගෙ දේශනාව අහන් උන්න පෙම්බරා මෙහෙම කිව්වා.
‘‘මං වෙලාවක යන්න ඕන ඒ ෆාදව මුණගැහෙන්න..‘‘
පුදුමයි.. ඒත් ඇත්තයි...
පුරවාසිනී.....