1. කටුනායක රොශේන් චානක ඝාතනය
2. හලාවත ඇන්තනී ප්‍රනාන්දු ඝාතනය
3. වැලිවේරිය අඛිල දිනේශ්, ශමිල රවිශාන් සහ නිලන්ත පුෂ්ප කුමාර ඝාතනය
සේවක අර්ථසාදක අරමුදලෙහි ඇති විශාල මුදල කොල්ලකෑමේ අරමුණින් යුතුව රාජපක්ෂ රජය ගෙන ආ විශ්‍රාම වැටුප් පනතට එරෙහිව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් දියත් කළ කම්කරු විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය යොදවා එල්ල කළ මෘග ප්‍රහාරයකදී වෙඩි වැදීමෙන් රොශේන් මිය ගියේය. ධීවරයින්ට ලබාදෙන බවට පොරොන්දු වූ ඉන්ධන සහනාධාරය ලබා ගැනීම සඳහා හලාවත ධීවරයින් කළ විරෝධතා ව්‍යාපාරයකට පොලීසිය වෙඩි තැබීම නිසා ඇන්තනී ප්‍රනාන්දුට ජීවිතය අහිමි විය. රාජපක්ෂ රජයට හිතවත් ව්‍යාපාරිකයකුට හිමි කර්මාන්තශාලාවකින් රතුපස්වල ප්‍රදේශයේ පානීය ජලයට විශ මිශ්‍ර වීම හේතුවෙන් අදාල ප්‍රදේශවාසීන් දියත් කළ විරෝධතා ව්‍යාපාරයකට ඉතා නින්දිත ලෙස හමුදාව යොදවා කළ පහර දීමක දී වෙඩි පහරට ලක් වීමෙන් අඛිල දිනේශ්, ශමිල රවිශාන් යන පාසල් සිසුන් ඝාතනයට ලක් වූ අතර පහරදීමෙන් නිලන්ත පුෂ්පකුමාර නම් කම්කරු තරුණයා ඝාතනය විය.
රජයකට විරෝධය පළ කෙරෙන සිවිල් ජනතා අරගලයක දී රජයක් වශයෙන් හැසිරිය යුතු ලොව පිළිගත් ක්‍රමවේදයන් තිබේ. ශිෂ්ට සම්පන්න කිසිදු රජයක් එහිදී පාතාල මැරයින් ලෙස ක්‍රියා කරන්නේ නැත. වෙඩි නොතබා පාලනය කරගැනීමට හැකි සෑම උත්සාහයක් ම දැරීම සාමාන්‍ය පිළිවෙතයි. කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ බැටන් ප්‍රහාර තත්වය පාලනය කර ගැනීම අසීරු අවස්ථාවක දී භාවිතා කෙරේ. ඉනුත් ඉදිරියට වෙඩි නොතබා පාලනය කළ නොහැකි තත්වයක් මතු වන්නේ නම් මා අසා දැනගත් පරිදි,
පොලිස් අධිකාරීවරයෙකු හෝ ඉහළ නිලධාරියකු සිටිය යුතුය, අතිරේක මහේස්ත්‍රාත්වරයකු ගෙන්විය යුතුය, භාෂා තුනෙන්ම අවසාන නිවේදනය මෙගා ෆෝනයකින් නිකුත් කළ යුතුය, වෙඩි තබන බව සඳහන් බැනරයක් පෙන්විය යුතුය, එසේත් පාලනය නොවන්නේ නම් අහසට වෙඩි තැබිය යුතුය, ඉනුත් නොහැකි නම් රබර් උණ්ඩ යොදාගෙන වෙඩි තැබිය යුතුය, අවසාන වශයෙන් ජීව උණ්ඩ භාවිතා කළ හැකි මුත් ඒ දණහිසෙන් පහළට ඉලක්ක කොට ය. හිසෙහි සිදුරක් සහිතව ඔසවාගෙන ගිය හලාවත ඇන්තනීගේ සිරුර ඔබට මතකද ? අප ජීවත් වූයේ, වන්නේ මෙවන් සම්ප්‍රදායන් කිසිත් නොසලකා පාතාල පන්නයෙන් එක්වරම ජීව උණ්ඩ භාවිතා කොට, පසුව පන්න පන්නා ගොස් පහරදී, තුවාල කරුවන් රෝහල් ගතකිරීමටද ඉඩ නොදුන් රටකය.
කෙසේවෙතත් සිවිල් ජනතාවට වෙඩි තැබීම ජාත්‍යන්තරව පවා බරපතළ ගැටළු මතුකෙරෙන සිද්ධියක් වශයෙන්, මෙවැන්නකට කැරළි මර්ධනයට පැමිණි අවශේෂ පොලිස් නිලධාරීන් ඉතා ඉහළ නියෝගයකින් තොරව ඉදිරිපත් වන්නේ නැත. මන්දයත් ඔබ හෝ මා නොදැන සිටියද මීට අදාල නීති සහ කඩකිරීමෙන් ලද හැකි දඬුවම් ඔවුන්ට පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී උගන්වන බැවිනි. මෙවන් අමු අමුවේ මිනිස් ඝාතනයක් සඳහා නියෝග ලබාදුන් තැනැත්තා කවුරුන් විය හැකිද ?
මට නිතැතින්ම සිහියට නැඟෙන්නේ එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ ප්‍රමුඛ පිරිසක් එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ මාර්ග අවහිර කරමින්, සාමය කඩවන සේ මෙන්ම ජාත්‍යන්තරව අපකීර්තියක් ගෙනෙන සේ දියත් කළ විරෝධතා ව්‍යාපාරයට මැදිහත් වීමට පොලීසිය පැමිණි අමාත්‍ය විමල් සිය ජංගම දුරකථනයෙන් ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ අමතා එම ඇමතුම ඉහල පොලිස් නිලධාරියකුට දුන් අවස්ථාවයි. ඔහු දුරකථනය ඔස්සේ පැවසුවේ එකදු පොලිස් නිලධාරියකු හෝ නොතබා පොලීසිය එතැනින් ඉවත් කරගන්නා ලෙසත් මෙතැනට පොලිසිය එව්වේ කවුරුන්දැයි තමුන් පොලිස්පති වරයාගෙන් විමසන බවත් ය. සියල්ලටම බය පක්ෂපාතීව 'යස් සර්, ඕකේ සර්' කිවූ එකී උසස් නිලධාරියා ඇතුළු පොලිස් නිලධාරින් ට හූ හඬ මැද විසිර යන්නට වූ අතර අදාල ඉහළ පොලිස් නිලධාරියාගේ තොප්පියද ගැලවෙන සේ පහරදීමක් ද සිදුවුණි. එකල ලංකාවේ පොලීසිය ක්‍රියාත්මක වුණේ ඒ ආකාරයෙන් බැවින් පෙරකී උද්ඝෝෂනයන්ට වෙඩි තැබීමේ නියෝග දුන්නේ ආරක්ෂක ලේකම් වරයාට පහළ කිසිවකු හෝ වන්නට කෙසේත් ම හැකියාවාක් නැත. මන්දයත් කුකුල් කේන්තිකාරයකු වශයෙන් ප්‍රකට ආරක්ෂක ලේකම් වරයා තමාගේ නියෝගයකට පිටින් කිසිවකු වෙඩි තැබුවේ නම් නිහඬව සිටින්නේද නැති නිසාය.
අවම වශයෙන් මෙම ඝාතන සිද්ධීන් පහට අදාලව හෝ වගකිව යුත්තාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනෙන්නේ ඇයි ? ජාතික ආරක්ෂාව දුර්වල වී ඇතිබවට හා නැවත යුද්ධයක් ඇතිවිය හැකි බවට පාරම්බාමින් රටවටා සරන්නට මෙකී ඝාතනයන්ට වගකිව යුතු ගෝඨාබයට ඉඩ සැලසෙන්නේ අනාගත රජයන්ද සිවිල් උද්ඝෝෂනයන්ට රාජපක්ෂ පන්නයේ මර්ධන ක්‍රියාදාමයන් දියත් කිරීමට බලාපොරොත්තු වන නිසාද ?
~ සම්පත් සඳරුවන්