දෙතුන් දෙනෙක් එකතු වෙන හැම විටම කාකි උකුසු ඇස් අපි වටකර ගෙන හිටියා. තාප්ප නැති නිදහස් ලස්සන කොළඹක් හැදුණට අපේ ජීවිත වටේට කටුකම්බි හත්පොටක් පැටලුණු තාප්ප ගොඩනඟල තිබුණා. මතුපිටින් උජාරුවට බැබලුණ ලස්සන කොළඹ කුට්ටිගල් යටින් ගන්දස්සාර කුණු කාණු පුරුදු විදියටම ඉතිරිලා පිටාර ගලන්න මඟ බලමින් උන්නා. අපේම හෙවණැල්ලට පවා බය හිතෙන තරමට, අපි අපිම දිහා සැකෙන් බයෙන් බලන තරමටම රෙජීමයේ උකුසු ඇස් අප්‍රසන්න විදියට අපි දිහාටම යොමු වෙලා තිබුණා...
දැන් යාම්තම් ඒ කරදරයෙන් නිදහස් කියල හිතෙනවා. අඩුම තරමෙ නිල් උකුසු ඇස් වෙනුවට කොල උකුසු ඇස් මතුවෙන තුරුවත් ( එසේ නොවේවා..) සැනසුමෙන් හුස්ම ගන්න හැකි වටපිටාවක් තියෙනවා.. ඒත් රාජපක්ෂ ගෙදර යැව්වට ඒ ක්‍රමය ගෙදර යවන්න තාමත් අපිට බැරි වෙලා.... (ඔන්න කතාව වෙන පැත්තකට ගියානෙ...)
............
පෙම්බරා උන්නෙ මහා කතාවක පැටලිලා. ලංකාවෙ දේශපාලනයේ ස්ත්‍රී භුමිකාව තමයි මාතෘකාව. මටත් ඒ ගැන තිබුණ උනන්දුවක් ටිකක් විතර... ඒ හින්දම අහන් උන්නා හුඟාක්........ උවමනාවෙන්... මං උන්නෙ ටිකක් ඈතින්.. ඒ වගේ වැදගත් කතාබස් අස්සෙ, මිත්‍ර සන්ධානයන් අස්සෙ ටිකක් ඈතින් ඉඳන් එයා දිහා බලන් ඉන්න එක මගේ පුරුද්දක් වෙලා.. ‘‘අයිතිකාරයා වගේ ළඟින්ම ඉන්න හදන්න එපා හැම වෙලාවෙම. නිදහස් වෙන්න. ඔයත් නිදහස් වෙන්න.. මාවත් නිදහස් කරන්න...‘‘ එහෙම නිහඬ තර්ජනයක් තිබුණා මුල් දවස්වල.. මමත් ඒකට පුරුදු වුණා... අයිතිය ගැන සැකයක් නොතිබුණ නිසාම නෙවෙයි අයිති කරගන්න තණ්හාවක් නොතිබුණ නිසා.
ඒත් අයිතිකාරය නෙවෙයි වගේ ඈතින් ඉද්දි ඉඳහිට හෙලන බැල්මක මහා ආදරයක් දැවටිලා තියෙන බව දැණුනා. ‘‘රෑ වුණා වැඩියි වගේ.. මං එන්න පරක්කු වෙයි.. පරිස්සමට යන්න‘‘ කියල, බස් එකට නග්ගන වෙලාවට හෙම තණ්හාවක් නොදැනුනාම නෙවි... ( මාත් හරිම මෝඩයි... ඉතාම වැදගත් සජීවි සංවාදයක් අස්සෙ කමකට නැති හෘද සංවාදවල පැටලෙනවා....)
‘‘පාර්ලිමේන්තුවේ 25% ක කාන්තා නියෝජනයක් ඉල්ලුවට.. කවුද අපි පාර්ලිමේන්තු යවන කාන්තාවො, ඒ ගැන සක්‍රීය සංවාදයක් තියෙනවද සමාජයෙ... රූපය හරි ජනප්‍රියත්වය හරි නෙවෙයි ගැහැනු දේශපාලනයට කැන්දන සාධක වෙන්න ඕන................
.... සමාජය වෙනස් කරන්න ගැහැනුන්ට පුදුමාකාර හැකියාවක් තියෙනවා. ආදරවන්ත මැදිහත්වීමක් ඇතුළෙ.. දැනුවත් බුද්ධිමත් දේශපාලනික මැදිහත්වීමක් ඇතුළේ... ඒත් කරුමෙට අපේ රටේ පාර්ලිමේන්තු යවන්න බලන සුදුසුකම් ඒව නෙමෙයිනෙ............
....... කාන්තාව ඒ තැනට ගොඩනඟන්න වමේ ව්‍යාපාර වුණත් මෙතෙක් සැලකිය යුතු දායකත්වයක් දුන් බවක් පේන්නෙ නෑ.. එහෙම වුණා නම් වමෙන් මීට වඩා කාන්තා නියෝජනයක් බිහිවෙන්න තිබුණා......‘‘
අන්න එහෙම සංවාදය දිගින් දිගටම ඇදුණා.. ලාංකීය දේශපාලනයේ ස්ත්‍රී නියෝජනය ගැන වෙනම පර්යේෂණයක් කරන්න ඕන.. මට හිතුණා.. ඡන්දෙ ඉල්ලන්න නම් මගේ අදහසක් නෑ. ඒත් ගැහැනු අපිටත් දේශපාලනය ඇතුළෙ සක්‍රීයව කටයුතු කිරීමේ හැකියාව, අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව, ගැහැනුකම වෙන්දේසි නොවන සමාජයක නිදහස්ව හැසිරීමේ වටපිටාව තියෙන්න ඕන මට හිතුණා....
දැනට තියෙන දේශපාලන අවකාශය නිළියන්ගෙන්, රූප සුන්දරියන්ගෙන් මුදවගෙන මහපොළවෙ පයගහල ජීවත්වෙන ධෛර්යවන්ත ගැහැනු අතට ගන්න විප්ලවයක් කරන්න වෙනවා... පෙම්බරා වගේ පිරිමි උන්න නම් හැමතැනම ටිකක් හරි බලාපොරොත්තුවක් තියාගන්න තිබුණා ඒ ගැන.... ඒත් ඉතින් මේ සිරි ලංකාවනෙ...
...........
විහාරමහාදේවියෙ පහන් දැල්විලා හෝරාවක් විතර ගෙවුණට පස්සෙ මම දන්නා අඳුනන ත්‍රීවීලයකට ගොඩනැගුණා බෝඩිමට ගාල්වෙන අදහසින්..
‘‘මිස්.. බලන්න ඉතින්, මිස්ල කිව්ව නිසා අපි මෛත්‍රීට ඡන්දෙ දුන්නා. දැන් රට පාලනේ කරන්නෙ මෛත්‍රී නෙමෙයි යූඑන්පී කාරයොනෙ..‘‘
මහා චෝදනා පත්‍රයක් වචන කිහිපයක ගොනු කරල ළෙංගතු විදියට දමල ගහද්දි, මට ඒකට දෙන්න උත්තරයක් ආවෙ නෑ හිතට.... අහවලාට ඡන්දෙ දෙන්නෙයි කියල කෙළින්ම කියන්න බැරි හිත තාවර වෙන ගතියකුත් දැණුනා.
‘‘ඉතින් මේ සැරේ කාටද ඡන්දෙ දෙන්න හිතන් ඉන්නෙ? ‘‘ මම ඇහුවා.
‘‘අනේ මන්දා... ඡන්දෙ නොදා ඉන්නවා..‘‘
‘‘එහෙම කරන්න එපා.........අලියට කතිරෙ ගහන්න අකමැති නම් ජේවීපියට ඡන්දෙ දෙන්න පුළුවන්නෙ... ජේවීපිය විපක්ෂය විදියට එනව නම් හොඳයි මට හිතෙන්නෙ... ‘‘ මම ඇඟට පතට නොදැනී කිව්වා. ඒක පෙම්බරාගෙ සටන් පාඨයක්.. මගේ හිතත් එකඟ වෙමින් තියෙනවා.... මේ වෙලාවෙ එයා ළඟ උන්න නම් කාටත් නොදැනෙන්න හීනියට හාදුවක් කොපුලේ තියාවි නිසැකයි....
පුරවාසිනී.......