83 ට පමණක් නොව සදාකාලිකවම ජූලිය කළු කරන්නට දක්ෂිණාංශික දේශපාලනය කටයුතු කළ ද මේ ගෙවෙන හෝරාව දක්වාම ඊට නිසි විසඳුම් ලබා දීමට නොහැකි වීමම අතිශය ඛේදවාචකයකි.1956 සිට දළුලමින් තිබූ ජාතිවාදය 1983 ජූලි 23 දා රාත‍්‍රියේදී පුපුරා ගියේය.දකුණේ පාලකයන් දෙමළ ජනතාව සම්බන්ධයෙන් දැරූ ආකල්පයේ දිග පළල කළු ජූලියෙන් අර්ථ ගැන්වීය. එයින් අත්කරගත් ජාත්‍යන්තර අපකීර්තියෙන් මිදීමට අදටත් අපට නොහැකිවීම පිළිබඳව ද සිහිතබා ගත යුතුය.
මහා සංහාරයක පෙර නිමිති පළ කෙරෙද්දිත් එය වළක්වනවා වෙනුවට එවකට ජනාධිපතිව සිටි ජේ.ආර්.ජයවර්ධන මහතා සිදු කළේ කුමක් ද? ජූලි 18 වැනි දින ඬේලි ටෙලිග‍්‍රාෆ් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් ජනාධිපති ජයවර්ධන මෙසේ කීය.‘‘යාපනයේ මිනිස්සුන්ගෙ මතය කුමක් වුවත් මට දැන් කමක් නැත. දැන් අපට ඔවුන් ගැන සිතිය නොහැකිය. ඔවුන්ගේ ජීවිත ගැන හෝ අප පිළිබඳව ඔවුන්ගේ මතය ගැන හෝ සිතිය නොහැකියි’’ මේ ජනාධිපති ජයවර්ධනගේ දේශපාලන හැසිරීමයි.
දළුලමින් තිබූ ජාතිවාදයට ජනාධිපති ජයවර්ධන කළ කතාව ඇවිලෙන ගින්නට පිදුරු දැම්මාක් මෙන් විය.
83 ජූලි 23 වන දින රාත‍්‍රියේ යාපනය ගුරුනගර් යුද හමුදා කඳවුරේ ජීප් රථයක් සහ ට‍්‍රක් රථයක් ඉලක්ක කර ගනිමින් දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය බිම් බෝම්බයක් පුපුරුවා හැරීයේය. එම ප‍්‍රහාරයෙන් තිරුනෙල්වෙලියේ පලාලි මාර්ගයේදී ලූතිනන් වාස් ගුණවර්ධන මහතා ඇතුලූ හමුදා සෙබළුන් 13 දෙනෙකුට ජීවිත අහිමි විය.
පසුදින හමුදාව ද ඊට උණ්ඩයෙන්ම පිළිතුරු දී 41 දෙනෙකුට මරු කැඳවිනි. 25 වැනිදා සහ 27 වැනි දා අනුක‍්‍රමික ප‍්‍රහාරයන් දෙකක දී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි කොටි නායකයෙකු වූ සෙල්වරාජා සෝමචන්ද්‍රන් හෙවත් කුට්ටුමනී ඇතුලූ දෙමළ 53 දෙනෙකු ඝාතනය කළේය.
ඒ සම්බන්ධයෙන් එවකට ආණ්ඩු බලය හෙබවූ එක්සත් ජාතික පක්ෂය අපක්ෂපාතී පරීක්ෂණයක් හෝ පැවැත් වූයේ නැත.මෙරට දේශපාලන ඉතිහාසය තුළ ජූලිය අන්ධකාරයක් වූයේ එපරිද්දෙනි.
දහස් ගණනක් දෙමළ ජනතාවට ජීවිත අහිමි කළ එම සංහාරයෙන් අනතුරුව ජූලි 28 වන දින ජනාධිපති ජයවර්ධන ජාතිය අමතා අපූරු ප‍්‍රකාශයක් කළේ ය.
එහිදී ඔහු සඳහන් කළේ එම අවාසනාවන්ත සිදුවීම පිළිබඳ තමන් අවංකවම කනගාටු වන බවයි. දේශපාලන ගැටලූවට විසඳුම් ලබා දෙනවා වෙනුවට ජනාධිපති ජයවර්ධන පය බරවායට පිටිකර බෙහෙත් බඳින්නාක් සේ උත්තරයක් ලබා දුනි.
එක් පසෙකින් දෙමළ ජාතිවාදය පෝෂණය කරද්දී අනෙක් පසින් නැගී එමින් තිබූ වාමාංශික දේශපාලනය යටපත් කිරීමට ජයවර්ධන ආණ්ඩුව කටයුතු කරමින් සිටියේය.
ජූලි කලබලය ඉත්තෙකු ලෙස භාවිත කරමින් වාමාංශික දේශපාලනය මර්දනය කිරීමටද එකී පාලකයන් තීරණය කළේය. ඒ අනුව ජුලි 30 වන දින විශේෂ ගැසට් පත‍්‍රයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය තහනම් කළේය.
මේ සම්බන්ධයෙන් එවකට සිටි කැබිනට් ප‍්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ආනන්ද තිස්ස ද අල්විස් මහතා ප‍්‍රකාශ කළේ ජූලි කලබල හුදෙක් සිංහල දෙමළ කැරලි කෝලහලයකට වඩා ගැඹුරු දේශපාලන කුමන්ත‍්‍රණයක් බවයි.එකී දේශපාලන තීන්දු තීරණ 88-89 දකුණේ පැවැති අරගලය දක්වාම බලපෑම් නොකළේ යැයි තර්ක කළ හැකිද?
මෙවැනි දේශපාලන පැලැස්තර මත ඇත්ත ප‍්‍රශ්නයට විසඳුම් ලබා දීමේ සම්භාවිතාවක් ඉතාමත් අඩු බව ඕනෑම අයෙකුට නොතේරෙන්නක් නොවෙයි.
යාපනයේ ජනතාවගේ හදවත බඳු වූ පුස්තකාලය ගිනිබත් කරමින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරමින් ක‍්‍රමානුකූලව ඔවුන්ගේ අයිතිවාසිකම් කප්පාදුව මෙරට දේශපාලන ඉතිහාසයට ගෙන ආවේ අඳුරු කාලපරිච්ඡේදයකි.
තිස් වසරකට ආසන්න යුද්ධයකට රට රැුගෙන ගියේද ඒවායේ ප‍්‍රතිඵලය. 2009 වසරේදී එකී සන්නද්ධ අරගලයට තිත තැබුවද ඊට අවශ්‍ය දේශපාලන විසඳුමක් ලබා දීමට අදටත් හැකි වී නැත. කළු ජූලියෙන් පසු වසර 32ක් ගත වන මොහොතේත් අපට කියන්නට ඇත්තේ ඉතිහාසයේ සිට හමා ආ ඒ අඳුරු වලාවන් අදටත් පහව ගොස් නැති බවය. දේශපාලන ප‍්‍රති විරෝධයන් මත ගොඩනැගෙන බලකාමය එදා සිට අද දක්වාත් හෙටත් සිදු කරන්නේ මිනිස් සංහාරයක්ම පමණක් බව ද අවධාරණය කර ගත යුතුය.
සිංහ ප්‍රවෘත්ති