බණ්ඩාරනායකට වෙච්චදේ ගැන මෛත්‍රී මතක් කරයි

Published in පුවත්
Monday, 15 June 2015 07:43

බණ්ඩාරනායක අගමැතිතුමා මේ රටේ අවුරුදු තුනහමාරක් කිසි කෙනෙක් බලාපොරොත්තු නොවෙච්ච අභියෝගවලට මුහුණ දුන්නා. බණ්ඩාරනායක අගමැතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු කැබිනට්එක වර්ජනය කෙරුවා. අවුරුදු තුනහමාරට වැඩවර්ජන හාරසිය ගණනයි. මේ රටේ දේශපාලන නායකයෙක් විදිහට බලයට පත්වෙලා බණ්ඩාරනායක අගමැතිතුමා තරම් දැඩි මානසික පීඩනයකට ලක්වෙච්ච කිසිම නායකයෙක් නැහැ. අවසානයේදී එතුමාව මරලා දැම්මා යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

හෙතෙම මේ බැව් ප්‍රකාශ කළේ “එක්වෙමු ජයගමු වැඩකරමු” යන මැයෙන් ඊයේ (14) දඹදෙනිය ප්‍රදේශයේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.

යූ.එන්.පී සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගහගන්න දේශපාලන ක්‍රමයකට තමන් කැමැති නැති බවත් එම නින්දිත දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම වෙනස්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.

මේ නින්දිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕනෑ. දියුණු වෙන රටකට ඒ දේශපාලන සංස්කෘතිය ගැලපෙන්නේ නැහැ. මේවා වෙනස් වෙන්න ඕනෑ. ඒවාවෙනස් වෙන්න අපි එකට වැඩ කරන්න ඕන කියන කොට තමයි මට ගල් මුල් ගහන්නේ. හැබැයි මම බො‍හෝම පැහැදිලිව කියන්නට ඕන. ලෝකයේ පරිවර්තනයක් කරන්න ගිය හැම දේශපාලන නායකයෙකුටම බරපතළ අභි‍යෝග ඇති වුණා.

ජනවාරි 8 වෙනිදා වුණේ මොකක්ද ?

මේ රටේ පසුගිය ජනවාරි 8 වැනිදා මැතිවරණයෙන් සිදුවූයේ කුමක්‌ද? මේ රටේ අද සිදු වන්නේ කුමක්‌ද? ජනවාරි 8 වැනිදාට කලින් මේ රටේ ජනතාවගේ පොදු දේශපාලන සටන් පාඨයක්‌ තිබුණා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට, එක්‌සත් ජාතික පක්‍ෂයට, ජනතා විමුක්‌ති පෙරමුණට, ද්‍රවිඩ ජාතික සන්ධානයට, ජාතික හෙළ උරුමයට, ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ආදී ඒ සියලු දේශපාලන පක්‍ෂවලට පොදු සටන් පාඨයක්‌ තිබුණා. ඒ පොදු සටන් පාඨය කුමක්‌ද? තමුන්නාන්සේලා අපි කතා කරනවා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය 94 මේ රටේ රාජ්‍ය නායකත්වය ලබාගැනීම පිළිබඳව, ආණ්‌ඩු කිරීම පිළිබඳව. 94 ඉඳලා මේ දක්‌වා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයට 2015 ජනවාරි 08 වෙනකම් මේ රටේ ජනතාව අවුරුදු විස්‌සක්‌ එක දිගට ආණ්‌ඩු කරන්න මැතිවරණවලදී බලය දුන්න ප්‍රමුඛතම හේතුව කුමක්‌ද? ඒවගේම තමයි ජනවාරි 8 ට කලින් මේ රටේ පොදු සටන් පාඨය විදියට සියලු දේශපාලන පක්‍ෂ අතට අරගෙන ගිය ඒත් එකම දේශපාලන පක්‍ෂයකටවත් කිරීමට අවස්‌ථාවක්‌ නොලැබුණු, එකම නායකයෙක්‌ වත් ඉටු නොකරපු, රටට අත්‍යවශ්‍ය රටේ පරිවර්තනය සඳහා අවශ්‍යම දේ තමයි මේ රටේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම හෝ බලතල අඩු කිරීම පිළිබඳ සටන් පාඨය.

1978 ඡේ. ආර්. ජයවර්ධන මහත්තයා තමන්ගේ හයෙන් පහක බලය පාවිච්චි කරලා ව්‍යවස්‌ථාව සම්මත කෙරුවා. විධායක ජනාධිපති ධුරය සහ අද පවතින මනාප ඡන්ද ක්‍රමය සහිතව, 1978, ව්‍යවස්‌ථාව සම්මත කරන කොට කවුද පාර්ලිමේන්තුවේදී මේකට විරුද්ධ වුණේ. මේකට විරුද්ධ වුණේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය. අනුර බණ්‌ඩාරනායක, මෛත්‍රීපාල සේනානායක, ආර්. පී. විඡේසිරි, හලීම් ඉෂාක්‌, ආනන්ද දසනායක, සද්ධාතිස්‌ස වඩිගමංගාව, අටදෙනයි එදා සිටියේ. ඒ සටන් පාඨය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය 78 ඉඳලා එක දිගට අරගෙන ආවා. 1994 අපිට ආණ්‌ඩුවක්‌ පිහිටුවීමේ වාසිදායක දේශපාලන වාතාවරණයක්‌ ඇති වුණා. 1989 අත ලකුණින් තරග කරලා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 67 දෙනෙක්‌ පාර්ලිමේන්තුවට ගියා. ඒ 67 දෙනා 89 ඉඳලා 94 වෙනකන් විධායක ජනාධිපති ධුරයට විරුද්ධව පාර්ලිමේන්තුවේ කතා කෙරුවා. අපි හදන අලුත් ආණ්‌ඩුවක අපිත් ස්‌ථිරවම කරන කාර්යය කියලා.

චන්ද්‍රිකාගේ පොරොන්දුව

රටේ ජනතාවට පොරොන්දුවක්‌ දුන්නා 94 චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිනියගේ මැතිවරණ ප්‍රකාශනයේ පළවෙනි ඡේදයේ තමයි තිබුණේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව. ඒ කාර්යය ඒ අවුරුදු හයේ ඉෂ්ට වුණේ නැහැ. 1999 චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට එල්. ටී. ටී. ඊ. ප්‍රහාරය ආපු ජනාධිපතිවරණයේ, මැතිවරණ ප්‍රකාශනයේ පළවෙනි ඡේදයේ තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම, දෙවැනි සැරේට එතුමිය ඒක කළෙත් නැහැ. 2005 මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ මැතිවරණ ප්‍රකාශනයේ පළවැනි ඡේදයේ තිබෙන පළවැනි පොරොන්දුව වුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. ඒ අවුරුදු පහේ ඒක ඉෂ්ට වුණේ නැහැ. 2010 මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ මැතිවරණ ප්‍රකාශනයේ අපි උගුර ලේ රහ වෙනකන් කතා කරපු පළවැනි ඡේදයේ තිබෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම. ඒත් ඒක සිද්ධ වුණේ නැහැ. 2015 මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ මැතිවරණ ප්‍රකාශනයේ පළවැනි ඡේදයේ තිබුණේ කුමක්‌ද? විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම.

එක්‌සත් ජාතික පක්‍ෂයට 94 න් පස්‌සේ ආණ්‌ඩුවක්‌ ආවේ නැහැ. එක්‌සත් ජාතික පක්‍ෂය පළවැනි වතාවට 1999 එක්‌සත් ජාතික පක්‍ෂ සම්මේලනයේ යෝජනාවක්‌ සම්මත කරලා විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලා තීරණයකට ආවා. 1999 ඉඳලා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයත් එක්‌සත් ජාතික පක්‍ෂයත් රටේ සියලුම දේශපාලන පක්‍ෂත් මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අවශ්‍ය ප්‍රගතිශීලී ගමන්මග සඳහා මේ රටේ මානවවාදී ප්‍රබුද්ධ සමාජයක්‌ ගොඩනගන්න ඡේ. ආර්. ජයවර්ධන මහත්තයාගේ ව්‍යවස්‌ථාව වෙනස්‌ කළ යුතුයි කියලා පොදු සටන් පාඨයකට සහ පොදු එකඟතාවකට ආවා. ඒ පොදු එකඟතාවය ගිවිසුම් ගහලා ඇති වුණේ නැහැ. තම තමන්ගේ දේශපාලන පක්‍ෂ ප්‍රකාශනවලට දාලා, වේදිකාවේ ගිහින් කතා කරලා, ජනතාව ඉස්‌සරහට ගිහින් කතා කරලා කිව්වා මේ රටට පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න, මේ රටේ නිදහස්‌ සාමකාමී සමාජයක්‌ හදන්න ජනතාවගේ මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් සහතික කරන්න, 78 ව්‍යවස්‌ථාවේ මේ ඡේදය ඉවත් කරලා මේ රාජාණ්‌ඩු ක්‍රමය වෙනස්‌ කළ යුතුය කියලා. 1978 ඡේ. ආර්. ජයවර්ධන මහත්තයා ජනාධිපති ධුරයේ ඉන්නකොට රනිල් වික්‍රමසිංහ මහත්තයලා අත ඉස්‌සුවේ මේ විධායක ජනාධිපති ධුරය ඇති කිරීම සඳහා. 99 වෙනකොට එජාපය තීන්දු කෙරුවා 78 ව්‍යවස්‌ථාව සම්මත කරපු එක වැරදියි කියලා. ඒ නිසා එක්‌සත් ජාතික පක්‍ෂය තීන්දුවක්‌ ගත්තා. 78 ව්‍යවස්‌ථාව සම්මත කරන කොට අත ඉස්‌සුවට, මේක මේ රටට ගැළපෙන්නේ නැහැ. මේක අහෝසි කළ යුතුය කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයලා තීන්දුවක්‌ ගත්තා.

 

අලුත් පරපුරට අලුත් සමාජ ක්‍රමයක්

මිනිස්‌සු විදියට සමාජයක ඉස්‌සරහට යන්න දේශපාලන බලය වැඩක්‌ නැහැ. බලපුළුවන්කාරකම් වලින් සමාජය යටපත් කරන්න දෙන සමාජයක්‌ ලෝකයේ අද නැහැ. ඒකේ ඉහළම කරටියට ගිහිල්ලා ගඩා ෆිලාට සිද්ධ වෙච්ච දේ තමුන්නාන්සේලා දන්නවා. ඒකේ කරටියට ගිහිල්ලා සදාම් හුසේන්ලාට වෙච්ච දේ තමුන්නාන්සේලා දන්නවා.

ලෝකය දවසින් දවස වෙනස්‌ වෙන කොට අලුත් පරපුර අද උපදින, හෙට උපදින දරුවෝ නිදහස්‌ සමාජයක අවශ්‍යතාව පිළිබඳව සිය බුද්ධිය සහ දැනුමත් එක්‌ක ලෝකයට සහ සමාජයට කතා කරනවා. ඒ පරිවර්තනය මේ රටටත් අවශ්‍ය වුණා. මේ රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අලුත් සමාජ ක්‍රමයක්‌ වෙනුවෙන්, මේ රට තුළ තිබිය යුතු සාමුහිකත්වය වෙනුවෙන් සෑම කෙනකුටම අවශ්‍ය පොදු බව වෙනුවෙන් මේ රටට අවශ්‍ය, සියලු දේශපාලන පක්‍ෂවල සටන් පාඨය කිසිම දේශපාලන පක්‍ෂයකින් ඉෂ්ට වෙච්ච නැති නිසා, කිසිම දේශපාලන නායකයෙක්‌ ඉෂ්ට නොකරපු නිසා. ඒ ජනතාවගේ සටන් පාඨය ඉෂ්ට කරන්නයි මම පහුගිය ආණ්‌ඩුවෙන් එළියට බැහැලා පෙරමුණක්‌ හදාගෙන, සන්ධානයක්‌ හදාගෙන තරග කරලා ජයග්‍රහණ කරලා මාස 06 ක්‌ තුළ මේ රටේ පරිවර්තනයක්‌ ඇති කෙරුවේ.

මේ පරිවර්තනය ඇඟට දැනිලා තියෙනවා හුඟක්‌ වැඩියි. ඇයි ඒ? අද කොච්චර නිදහසේ කතා කරනවද? මම ඒ ගැන හරි සතුටු වෙනවා. අද දේශපාලනඥයෝ කොච්චර නිදහසේ කතා කරනවාද? අද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම කොච්චර නිදහසේ කතා කරනවද? අද පළාත් සභා රැස්‌වුණාම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පළාත් සභාවේ මැති ඇමැතිවරු කොච්චර නිදහසේ කතා කරනවද? මම දැක්‌කා දකුණේ පළාත් සභාවක මන්ත්‍රීවරයෙක්‌ කියනවා අපි මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වය ගණන් ගන්නේ නැහැ කියලා. කොච්චර නිදහස්‌ද? කොච්චර ප්‍රජාතන්ත්‍රවාදීද? ඉස්‌සර ඒ වගේ කතා කරන්න පුළුවන්ද? මේ පරිවර්තනය මේ රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය කරන්න මම ආණ්‌ඩුවෙන් එළියට බැස්‌සේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ලේකම්වරයා විදිහට. මම වෙනත් දේශපාලන පක්‍ෂයක සාමාජිකත්වයක්‌ ගත්තේ නැහැ. මේ රටේ 56 ඉඳන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හදපු ආණ්‌ඩු හැදුවේ සන්ධාන සහ පෙරමුණු. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තනියෙන් ආණ්‌ඩු හැදුවේ නැහැ. 60 විතරක්‌ පොඩි කාලයක්‌ තනියම ආණ්‌ඩුවක්‌ තිබුණා. ඒ සන්ධාන හා පෙරමුණු හදනකොට තමුන්නාන්සේලා දන්නවා ඒ එක්‌ එක්‌ දේශපාලන පක්‍ෂවල ප්‍රතිපත්ති සහ දර්ශන වෙනස්‌.

1977 ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විශාල පරාජයක්‌ ලබන කොට ඡේ. ආර්. ජයවර්ධන මහත්තයා හයෙන් පහක ජයක්‌ ලැබුවේ ඡේ. ආර්. ජයවර්ධන මහත්තයාගේ දක්‍ෂතාවයකට නෙවෙයි. 75 ලංකා සම සමාජ පක්‍ෂය අයින් වුණා. 77 පාර්ලිමේන්තුව විසිරෙව්වම කොමියුනිස්‌ට්‌ පක්‍ෂය අයින් වුණා. වමේ පෙරමුණ වෙනම තරග කෙරුවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වෙනම තරග කෙරුවා. එක්‌සත් ජාතික පක්‍ෂයට හයෙන් පහක බලයක්‌ ආවා. 77 හයෙන් පහක බලයක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට එන කොට ආසන 75 කට වැඩිය එක්‌සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කරලා තිබෙන්නේ වැඩි ඡන්ද 150 කට අඩුවෙන්. සමහර ආසන වැඩි ඡන්ද 42 යි. සමහර ඒවා වැඩි ඡන්ද 75 යි. වැඩි ඡන්ද 112 යි. එහෙම තමයි තිබුණේ. හැබැයි වමේ පක්‍ෂ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එකට හිටියා නම් හයෙන් පහක බලයක්‌ එක්‌සත් ජාතික පක්‍ෂයට ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඡේ. ආර්. ජයවර්ධන මහත්තයාට හයෙන් පහක බලයක්‌ ලැබුණේ ඡේ. ආර්. ජයවර්ධන මහත්තයාගේ දක්‍ෂතාවය හින්දා නොවෙයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සහ වමේ නායකයන්ගේ තිබුණු අසමගිය නිසා. කඩාගෙන ගිsහිල්ලා වෙනම පෙරමුණු වෙනම පක්‍ෂ හදපු හින්දා.

පක්ෂය දෙකට කඩල ලැබූ දෙයක් නෑ

පක්‍ෂය මට භාර දුන්නා නම් මම ගැන විශ්වාසයක්‌ තිබුණා නම් මම මේ රටට අවශ්‍ය සමාජ පරිවර්තනය දේශපාලන පරිවර්තනයත් එක්‌ක ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මේ රටේ අලුත් පක්‌ෂයක්‌ විදියට බණ්‌ඩාරනායක අගමැතිතුමාගේ දර්ශනය සහිතව ගොඩනඟනවා. මම ඒ පරිවර්තනයටයි තමුන්නාන්සේලාගේ සහයෝගය ඉල්ලා සිටින්නේ. මේ පක්‌ෂය මට භාර දුන්නම මම සමස්‌ත ලංකා කාරක සභාව කැඳෙව්වා. මැතිවරණ ජයග්‍රහණය කරන්න මැතිවරණ මෙහෙයුම් කමිටු, ප්‍රචාරක කමිටු හැදුවා. ඒ අතරවාරයේ තමයි මේ වෙනත් ප්‍රශ්න තමුන්නාන්සේලා මාධ්‍ය මගින් දකින්නේ.

මම බොහොම පැහැදිලිව කියන්න ඕනෑ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේම අර්බුද ඇතිවෙච්ච අවස්‌ථාත් ඒ අර්බුදවල ඉතිහාසයත් ගත්තම එක්‌සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ හැමකෙනෙක්‌ම දන්නවා ඒ අර්බුදත් එක්‌ක ඒ පක්‍ෂයට සිද්ධ වෙන්නේ කුමක්‌ද කියලා. පක්‍ෂය කඩාගෙන ගියොත් පක්‍ෂය කැඩිලා වෙන පක්‍ෂ හැදුවොත් වෙන පෙරමුණු වෙන සන්ධාන හැදුවොත් එයින් බරපතළ විදියට පාක්‌ෂිකයා අසරණ වෙලා, තමන්ගේ ප්‍රතිවාදි කණ්‌ඩායම් ශක්‌තිමත් වෙලා ඒ ඇතිවෙච්ච තත්ත්වයන් තමුන්නාන්සේලා දන්නවා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක මහත්වරුන්ට ඇතිවෙච්ච ප්‍රශ්නත් එක්‌ක ඒ දෙන්නා එක්‌සත් ජාතික පක්‍ෂය කඩාගෙන එළියට ගියා. එදා ඉඳලා එක්‌සත් ජාතික පක්‍ෂයට තාම බැරිවුණා ආණ්‌ඩුවක්‌ හදා ගන්න. තාම බැරිවුණා තනියම ආණ්‌ඩුවක්‌ හදන්න. ඒක තමයි ඇත්ත තත්ත්aවය. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මුළු ඉතිහාසයේ පක්‍ෂය කඩාගෙන ගිය අවස්‌ථා තමුන්නාන්සේලා දන්නවා. 77 ඉඳලා 89 කාලේ විශේෂයෙන් දන්නවා. අනුර බණ්‌ඩාරනායක, මෛත්‍රීපාල සේනානායක, විජය කුමාරතුංග, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මැතිනිය මේ ඔක්‌කොම කඩාගෙන ගිහිල්ලා පක්‍ෂය තුනට කැඩිලා එක්‌සත් ජාතික පක්‍ෂය 17 අවුරුද්දක්‌ රට පාලනය කෙරුවා. 77 ඉඳලා 94 වෙනකන් අඛණ්‌ඩව එක්‌සත් ජාතික පක්‍ෂය 17 අවුරුද්දක්‌ මේ රට පාලනය කෙරුවේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකඩ වෙලා තුනට කැඩිලා පක්‍ෂය අසමගි වෙච්ච නිසයි.

දැන් මම කෙරෙහි විශ්වාසයක්‌ තියලා පක්‍ෂය භාර දුන්නා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විතරක්‌ නොවෙයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙත් සභාපතිවරයා විදියට මාව පත් කරගත්තා. මේවා බලෙන් ගන්න පුළුවන් තනතුරු නොවෙයි. ජනාධිපති ධුරය බලෙන් ගන්න බැහැ වගේ මේ රටේ තියෙන මේ දේශපාලන පක්‍ෂයක සභාපති ධුරය නායකත්වය බලෙන් ගන්න බැහැ. ඒ සඳහා සියලු දෙනාගේම සම්පූර්ණ එකඟතාව අවශ්‍යයි. කිසි කෙනෙක්‌ විරුද්ධ වුණේ නැහැ. ඒ සියලු දෙනාගේම එකඟතාවයෙන් තමයි මාව පත් කර ගත්තේ.

පාර්ලිමේන්තුව විසුරුවේ නැත්තේ ඇයි ?

ජනවාරි 9 වැනිදා මම ජනාධිපති විදියට දිවුරුම් දීලා මට තිබුණා ජනවාරි 10 වැනිදා පාර්ලිමේනතුව විසුරුවන්න කියලා. ජනවාරි 10 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණය තිබ්බා නම් අද වෙන කොට මේ රටේ තත්තවය කුමක්‌ද? අද වෙනකොට මේ රටේ ඉතාම ප්‍රබල එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌. නමුත් ඒ දේ මම කළේ නැහැ. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පාර්ලිමේනත්වේ බහුතරය.

මන්ත්‍රීවරු 127 ක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විතරක්‌. සන්ධානය විදියට ගත්තම 142 ක්‌. ඒ කෙරෙහි මම විශ්වාසය තියලා පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැතිව මේ රටේ ජනතාවට අවශ්‍ය පරිවර්තනය 19 වැනි සංශෝධනය 20 වැනි සංශෝධනය පාර්ලිමේනතුවේ සම්මත කරලා රටේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ශක්‌තිමත් කරන්න ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මන්ත්‍රීවරු කෙරෙහි විශ්වාසය තියලයි පාර්ලිමේන්තුව විසිරෙව්වේ නැත්තේ කියන එක මම තමුන්නාන්සේලාට කියන්න ඕනේ.

අපි අලුත් ගමනක්‌ ආරම්භ කරලා තිබෙනවා. සමාජ පරිවර්තනවලට සමහර අය කැමැති නැහැ. මම කැමැති නැහැ මේ යූඑන්පී සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ගහගන්න දේශපාලන ක්‍රමයකට. මේ රටේ 1947 ඉඳල බලයට පත්වෙන යූඑන්පී ආණ්‌ඩු ශ්‍රී ලංකාකාරයන්ගේ ගෙවල් ගිනි තියන එකයි, 47 ඉඳලා බලයට පත්වන ශ්‍රී ලංකා ආණ්‌ඩු යූඑන්පී කාරයන්ගේ ගෙවල් ගිනි තියන එකයි, අත පය කඩන එකයි, රස්‌සාවල්වලින් එළියට දාන එකයි වාගේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා කියන්නේ මේ රටේ මහ ඛේදවාචකයක්‌.

 

වෙනස කළ යුතුමයි

මේ රටේ පරිවර්තනයක්‌ කළ යුතුමයි. එහෙම නැතිව ලෝකය අපිව පිළිගන්නේ නැහැ. ඒ නිසයි මම කිව්වේ ඡේ. ආර්.ගේ 78 ව්‍යවස්‌ථාවෙන් විධායක ජනාධිපති ධුරයෙන් ඒකාධිපති තත්ත්වයක්‌ ඇතිවෙච්ච එක 18 වැනි සංශෝධනයෙන් රාජාණ්‌ඩුවක්‌ දක්‌වා ගෙනගියා. අපි ඒක අවසන් කෙරුවා.

බණ්‌ඩාරනායක මහතා කරපු සමාජ පරිවර්තනය ඉස්‌සරහට අරගෙන ආවා. මේ රට ඉස්‌සරහට ගෙනියන්නට ඕනෑ. මේ රට ඉස්‌සරහට ගෙනියන්නට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය සහෝදරත්වයෙන් එකට එකතුවෙලා මේ රටේ පොදු මහජනතාවත් එක්‌ක ඉදිරි මැතිවරණය කරලා ජයග්‍රහණය කරලා ආණ්‌ඩුවක්‌ හදන්න ඕනෑ. ඒකයි මේ රටේ අවශ්‍යතාවය.

මම කවුරුවත් එක්‌ක ගිවිසුම් ගහලා නැහැ. අමූලික බොරු කියනවා. අර ගිවිසුම මේ ගිවිසුම කියලා. අගමැති ධුරය ගැන කතා කරනවා. රටේ ජනාධිපතිවරයා වෙනස්‌ වුණා වගේ රටට අලුත් ප්‍රතිපත්තියක්‌ අලුත් වැඩපිළිවෙළක්‌ අලුත් දර්ශනයක්‌ එක්‌ක අලුත් අගමැතිවරයෙක්‌ ආපුවම මොකද වෙන්නේ. කුරුණෑගලින් නාවින්න ඇමැතිතුමා අගමැතිවරයා වුණොත් නරකද? තමුන්නාන්සේලාට ජෝන් සෙනෙවිරත්න අගමැති වෙනවා නම් බදුල්ලෙන් නිමල් සිරිපාල අගමැති වෙනවා නම් කළුතරින් කුමාර වෙල්ගම අගමැති වෙනවා නම් ඇයි මෙහෙම කෙනෙකුටම වෙනසකට හොඳ නැද්ද?

ලෝක නායකයන්ගේ ආදර්ශය

ලෝකයේ බලය තියෙන නායකයෝ තමන්ගේ බලය පාවිච්චි කිරීම ගැන සහ බලය පාවිච්චි කිරීමේ සීමාවන් පිළිබඳව තමුන්නාන්සේලා දන්නවා. අද මහ ලෝක බලවතා ඇමරිකන් ජනාධිපතිගේ කාලය අවුරුදු 04 යි. අද වේගයෙන් මහා බලවතා වන චීනයේ ජනාධිපතිගේ කාලය අවුරුදු 04 යි. එක සැරයයි ඉන්නේ. දෙසැරයක්‌ බැහැ. ඇමරිකන් ජනාධිපතිට දෙසැරයක්‌ පුළුවන්. චීනයේ ජනාධිපති අවුරුදු හතර කරලා ගෙදර යනවා. ඒකයි ඇත්ත තත්ත්වය. දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 27 ක්‌ රට වෙනුවෙන් සිරබත් කෑවා. අවුරුදු 27 ක්‌ සිරබත් කාලා එළියට ඇවිල්ලා ආණ්‌ඩුවක්‌ හැදුවා. රටේ නායකයා වුණා. මම විසිහත් අවුරුද්දක්‌ හිරේ හිටියා. ඒක හින්දා මම 27 අවුරුද්දක්‌ ආණ්‌ඩු කරන්න ඕනෑ කියලා ආණ්‌ඩු කෙරුවද, ඒකට අලාබෙ ඉල්ලුවද? නැහැ. 27 අවුරුද්දක්‌ හිරේ ඉඳලා අවුරුදු 04 ක්‌ ආණ්‌ඩුව කරලා අනුප්‍රාප්තිකයාට රට භාරදීලා නෙල්සන් මැන්ඩෙලා අවුරුදු 04 න් විශ්‍රාම ගියා. එහෙමයි ලෝකේ නායකයෝ ආදර්ශ දීලා තියෙන්නේ. ඇයි ඒ ආදර්ශය අපට ගැලපෙන්නේ නැද්ද? ඕන කෙනකුට දේශපාලනය කරන්න පුළුවන්. රටට අවශ්‍ය පරිවර්තනය, අලුත් අදහස්‌, සැලසුම්, අලුත් සිතුම් පැතුම් එක්‌ක අලුත් ලෝකයත් එක්‌ක ඉස්‌සරහට යන්න ඕනෑ.

අද මම ඉතාම සතුටු වෙනවා දඹදෙණිය ආසනයේ තමුන්නාන්සේලා හමුවෙන්න ලැබීම ගැන. ශාන්ත බණ්‌ඩාර නියෝජ්‍ය ඇමැතිතුමා තමුන්නාන්සේලාගේ නායකයා. එතුමා ආණ්‌ඩුවේ ඇමැතිකමක්‌ ගත්තම එක්‌සත් ජාතික පක්‍ෂයට ගියා කියලා නොයෙක්‌ ප්‍රචාර ඇරියා. නාවින්න ඇමැතිතුමා ආණ්‌ඩුවේ ඇමැතිකමක්‌ ගත්තම එක්‌සත් ජාතික පක්‍ෂයට ගියා කිව්වා. මේ ආණ්‌ඩුවේ ඇමැතිකම් ගත්තේ ඇමැතිකම් දුන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව තීන්දු කරලා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම ඒකමතිකව තීන්දු කරලා. එහෙම නැතිව මගේවත් ඒ අයගේවත් තනි ඕනෑකමට නොවෙයි. හැබැයි ඒ නිසා තමයි වෙනසක්‌ මේ රටේ වුණේ නැහැයි කියලා තමුන්නාන්සේලාගේ ඇඟට දැනුණේ නැත්තේ. දේශපාලන පළිගැනීම් සිද්ධවුණේ නැත්තේ. ඒ එකතුව සිද්ධ නොවුණා නම් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති ධුරයට මම පත්වුණේ නැත්නම් ආණ්‌ඩුව වෙනස්‌ වුණා කියලා අර 77 වගේ. 2001 වගේ. වයඹ මැතිවරණය වගේ තමුන්නාන්සේලාට දැනෙන්නට තිබුණා. එහෙම දැනුණේ නැත්තේ මේ විදියේ ක්‍රියාමාර්ගයකට ගිය නිසයි.

ඒ නිසා මම විශේෂයෙන්ම කියන්නට ඕනෑ ශාන්ත බණ්‌ඩාර මහතාගේ නායකත්වයෙන් කුරුණෑගල දිස්‌ත්‍රික්‌කය විදියට ගත්තහම එස්‌. බී. නාවින්න ඇමැතිතුමාගේ නායකත්වය අනික්‌ අපේ මැති ඇමැතිවරු මේ සියලු දෙනා එක්‌ක සහෝදරත්වයෙන් රටේ අනිත් ප්‍රදේශවල වගේ එකතුවෙලා වැඩ කරලා පොදු ජනතාවගේ සංවර්ධනය වගේම දේශපාලන වශයෙන් මේ එකමුතුව, ශක්‌තිය ඇතුව අපේ වගකීම හා කාර්යයන් ඉෂ්ට කරලා අපි හොඳ සමාජයක්‌ ගොඩනඟමු. ඒ අරමුණ කරා අපි යමු.

ශාන්ත බණ්‌ඩාර මහත්තයා එක්‌සත් ජාතික පක්‍ෂයට ගියෙත් නැහැ. යන්නෙත් නැහැ. එස්‌. බී. නාවින්න ඇමැතිතුමා එක්‌සත් ජාතික පක්‍ෂයට ගියෙත් නැහැ යන්නෙත් නැහැ. අපේ ආර්. ඩී. විමලදාස අලුත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, ජයරත්න හේරත් මහතා එහෙම යන අය නෙවෙයි. මම එක්‌සත් ජාතික පක්‍ෂයට ගියෙත් නැහැ. යන්නෙත් නැහැ. අපි මේ මොකක්‌ද කරන්න යන්නේ කියලා තමුන්නාන්සේලාට තේරෙනවා.

අපිට අවශ්‍ය වන්නේ සියලු සමාජ, දේශපාලන බලවේග උපරිම ලෙස ඒකරාශි කර ගෙන රටට අවශ්‍ය පරිවර්තනය කිරීමයි. ඒ රටට අවශ්‍ය පරිවර්තනයේදී ශ්‍රී ලංකා ද යූ එන් පී ද, ඡේවීපී ද, ටී. එන්. ඒද කියන ප්‍රශ්නය නොවෙයි තියෙන්නේ. රටේ පොදු ජනතාවගේ අවශ්‍යතාවය. රටේ අනාගතය, රටේ දියුණුව, රටේ යහපත ඒ සඳහා සියලු සමාජ ආර්ථික දේශපාලන බලවේග ඒකරාශි කරගෙන මේ රටට එල්ල වී තිබෙන අභියෝගවලට මුහුණදීලා ඒ අභියෝග ජයග්‍රහණය කරලා අපි ලෝකයේ ශක්‌තිමත් ප්‍රබුද්ධ රටක්‌ ගොඩනඟමු.

 

දිවයින ඇසුරෙනි

 

 

 

Last modified on Monday, 15 June 2015 09:05

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us