බැංකු බැඳුම්කර ගනුදෙනුව බැංකු නීතියට අනුකූලයි - ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා

Published in පුවත්
Saturday, 09 May 2015 08:32

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව මුළුමනින්ම බැංකු නීතියට අනුකූලව සිදු වී ඇති අතර එහි එක් කරුණක් පමණක් හුවාදක්වමින් ජනතාව අතර වැරැදි මතයක් පැතිරවීමට ඇතැම් පිරිස් කටයුතු කරන බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඊයේ (8) ශ්‍රේෂ්ඨාධිකරණයේ දී කීය. බැංකු නීති-රීති ගැන නොදන්නා කිහිපදෙ‍නකු හැරෙන්නට මෙම ගනුදෙනුවට සම්බන්ධ කිසිදු පාර්ශ්වකරුවකු විසින් ඒ සම්බන්ධ එකම පැමිණිල්ලක් කර නැතැයි රොමේෂ් ද සිල්වා මහතා වැඩිදුරටත් කීය.

මහ බැංකු බැඳුම්කර නිකුතුවට එරෙහිව ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් රොමේෂ් ද සිල්වා මහතා මේ බව කීය.

රජයේ මුදල් අවශ්‍යතාවය මත භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සහ එහි වටිනාකම ඉහළ දැමීම මුළුමනින්ම රජයේ ප්‍රතිපත්ති තීරණයක් මත කරන ලද බවත්, එවැනි කටයුතු සිදුකිරීමේ පූර්ණ බලය රජය සතුව ඇති බවත්, මහ බැංකු මූල්‍ය මණ්ඩලය‍ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග්ඊශ්වරන් මහතා මෙහිදී කීය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ ලේකම් කාර්යාලයෙහි හිටපු සාමාජික මෙන්ම ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය ජී. උස්වත්තආරච්චි, රාජ්‍ය සේවා කොමිසමෙහි හිටපු සාමාජික ආචාර්ය ඒ. ඩී. විශ්වලිංගම් විසින් මෙම පෙත්සම ගොනුකර තිබිණි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය, මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, භාණ්ඩාගාර බැඳුම්කර ටෙන්ඩර් කමිටුවේ සභාපති පී. සමරසිරි, මහ බැංකුවේ අධීක්ෂණ හා ලියාපදිංචි අධිකාරිවරයා, පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම සහ නීතිපතිවරයා ඇතුළු අටදෙනකු මෙහි වගඋත්තරකරුවෝ වෙති.

අගවිනිසුරු කේ. ශ්‍රීපවන්, ප්‍රියසාත් ඩෙප්, රෝහිණී මාරසිංහ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියෙහි මෙම පෙත්සම දෙවන වරට ද ඊයේ (08) කැඳවන ලදී.

එහිදී වගඋත්තරකාර මහ බැංකු මූල්‍ය මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග්ඊශ්වරන් මහතා දීර්ඝ ලෙස කරුණු දක්වමින් මෙසේ කීය.

මෙම කතාබහට ලක්වී තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ප්‍රකාශයක් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී සිදු කළා. ඒ අනුව මෙම බැඳුම්කර නිකුතුවේ මූලික අරමුණ වියදම් පියවා ගැනීමයි. පසුගිය රජය ‍සමයේ සිදු කළ අධිවේගී මාර්ග ව්‍යාපෘති වෙනුවෙන් වන ගෙවීම් සඳහා වැය කිරීමට රුපියල් බිලියන 15 ක මුදල් අවශ්‍ය වුණා. ඒ අනුව ඇමැතිවරුන් කිහිපදෙනකු සහ මහ බැංකු බලධාරීන් එකතු වී කළ සාකච්ඡාවකදී මෙම බැඳුම්කර නිකුත් කිරීමට තීරණය කළා. ඒ අනුව ඒ සඳහා වන ටෙන්ඩර් කැඳවීම පෙබරවාරි මස 25 දින වෙබ් අඩවිය හරහා සිදු කළා. ඒ සඳහා ලංසු 36 ක් ලැබී තිබුණා. එමඟින් රුපියල් බිලියන 20 ක් ලැබුණා. මෙම ක්‍රියාවලියේදී මහ බැංකුව පිස්කල් ඒජන්තවරයකු ලෙස කටයුතු කළා. එම සියලු කාර්යයන් මහ බැංකු රීතිවලට අනුකූලව සිදු කර තිබෙනවා.

මෙම ගනුදෙනුවේ විනිවිදභාවය පිළිබඳව එල්ල කරන චෝදනා පිළිගත නොහැකියි. එම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිතයි. එම ටෙන්ඩර් පටිපාටිය හෝ බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහි එකම පාර්ශ්වකරුවකු විසින් මේ වන තෙක් එකම පැමිණිල්ලක් කර නැහැ. එසේම එහිදී මහ බැංකුව හෝ එහි නිලධාරීන් මූලික අයිතීන් කඩකර ඇති බවට මෙම පෙත්සම මඟින් කරුණු ඉදිරිපත් කර නැහැ. නිසි නීති රෙගුලාසිවලට අනුකූලව කළ මෙම ගනුදෙනුවේ පාරදෘෂ්‍යභාවයක් නැතැයි පැවසීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්.

මෙහිදී වගඋත්තරකාර මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කෙළේය.

මෙම බැඳුම්කර නිකුත් කිරීම මුළුමනින්ම රජයේ ප්‍රතිපත්ති තීරණයක් මත කරනු ලැබුවත් එහි එක් කොටසක් පමණක් සුවිශේෂී කොට සැලකීම වැරදියි. මූල්‍ය ක්‍රියාවලියේදී මූල්‍ය වෙළඳපොළ ගැන වැඩි අවධානයක් යොමුකිරීම කරනවා. ටෙන්ඩර්කරුවන් ඉදිරිපත් කරන ලංසු ගැන පමණක් සැලකිල්ල යොමු කර තීරණ ගැනීම වැරදියි. එහිදී රජයට දැරීමට සිදුවන වියදම ගැන අවධානය යොමු කළ යුතුයි. මෙවැනි අවස්ථාවකදී එක බැඳුම්කරයක වටිනාකම ඊට ගැළපෙන මිලටම විකිණීම වන්නේ නැහැ. මීට පෙර එක් අවස්ථාවකදී පමණයි එලෙස නියම වටිනාකමට අලෙවි කර ඇත්තේ. සෙසු සෑම අවස්ථාවකදීම භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර ඇත්තේ නියමිත වටිනාකමට වඩා බොහෝ අඩුවෙන්.

එසේම නිකුත් කරන බැඳුම්කර නිකුතුවේ වටිනාකම තීරණය කිරීම හෝ එම වටිනාකම වැඩි කිරීමට ගත් හදිසි තීරණය මහ බැංකු අධිපතිවරයාගේ තීරණයක් නොවෙයි. මෙම කාර්යයේදී මහ බැංකු අධිපතිවරයා ක්‍රියා කර ඇත්තේ මුළුමනින්ම මූල්‍ය නීතියට අනුකූලවයි. ඔහු සිය රාජකාරි නීතියට අනුව සිදු කළා. මහ බැංකු අධිපතිවරයාට බෑණා කෙනෙකු සිටීමෙහි ඇති වරද කුමක්ද? එම බෑණාට අයත් සමාගම බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ වී ඇත්තේ අද ඊයේ නොවෙයි. මීට බොහෝ කලකට පෙරයි.

රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් මත සිදුකළ මෙම බැඳුම්කර නිකුතුවේ වගකීම දරන අගමැතිවරයා මෙම පෙත්සම මඟින් වගඋත්තරකරුවකු කර නැහැ. එසේ කළා නම් අධිකරණයට පැමිණ මේ පිළිබඳව නියම කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව ඔහුට ලැබෙනවා. එසේම කිසිදු ටෙන්ඩර්පත් හිමියකු හෝ ප්‍රාථමික ගැණුම්කරුවකු මෙම ගනුදෙනුව පිළිබඳව කිසිදු පැමිණිල්ලක් කර නැහැ. මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත්තේ පෙත්සම්කරුවන් සහ ඇතැම් මන්ත්‍රීවරු කිහිපදෙ‍නකු පමණයි. මෙම ගනුදෙනුවේ ප්‍රාථමික ගැණුම්කරුවන් ලෙස ප්‍රධානතම බැංකු ඇතුළුව 36 දෙනකු කටයුතු කළා. ඔවුන් කිසිවෙකු කිසිදු පැමිණිල්ලක් කර නැහැ. මෙය මුළුමනින්ම අසත්‍ය චෝදනාවක්. ජනතාව අතර වැරැදි මතයක් පැතිරවීමක්.

එසේම මෙවැනි මූල්‍ය ගනුදෙනු පිළිබඳව පරීක්ෂා කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට මිස අධිකරණයට නොවෙයි. ඒ නිසා මෙම පෙත්සම විභාගයට ගැනීමේ හැකියාවක් අධිකරණයට නැහැ. එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමිය යුතුයි.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ඇති ඇතැම් ලේඛන පෙත්සම්කරුවන් විසින් අධිකරණයට හිතමතාම ඉදිරිපත් කර නැහැ. පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගම ඉදිරිපත් කළ ලංසු දෙකක් මෙහිදී ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ ගැන පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ නැහැ.

‍මෙම ගනුදෙනුවට අදාළ ඇතැම් සටහන් ගැන දැන සිටීමත් ඒ සමඟම නිකුත් කළ ඇතැම් සටහන් ගැන නොදැන සිටීමත් විය නොහැකියි. එක පාර්ශ්වයකට පමණක් වාසි සහගත තොරතුරු සහ ලේඛන ඉදිරිපත් කරමින් අධිකරණයට කරුණු දැක්වීම වැරදියි. නිවැරදි තීන්දුවක් ලබාගැනීමට සම්පූර්ණ තොරතුරු ඉදිරිපත් කළ යුතුයි.

එසේම රටේ මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් එය එම කටයුතු සම්බන්ධ බලධාරීත්වය ඇති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

පෙත්සමෙහි වැඩිදුර විභාගය මෙම මැයි මස 11 දිනට කල් තබන ලදී.

 

dinamina

Last modified on Saturday, 09 May 2015 08:34

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us