ලියනගේ වෘත්තියෙන් ආරක්ෂක නිලධාරියෙක්. මේ කෞතුකාගාර සිදුවීම වන කාලයේ ඔහු සේවය කළේ කලාභවනේ ආරක්ෂක නිලධාරියෙක් විදිහට. කෞතුකාගාරෙ හොරු කැඩුවයි කියලා පොලිසිය, හමුදාව පරීක්ෂණ පවත්වද්දි ඒ අහළ පහළ වුණ කලාභවනෙ ආරක්ෂක නිලධාරීන්ගෙනුත් ප‍්‍රශ්න කරලා. එදා ? පොලිසියේ වාහනයක් ඒ කිට්ටුව නතර කරලා තිබ්බා දැකපු එක පමණමයි ලියනගේ මේ සම්බන්ධයෙන් දන්නේ. මාස ගාණක් ඕක නිසා ලියනගේටයි එදා ලියනගේ එක්ක එතැන හිටපු අනික් ආරක්ෂක නිලධාරියාටයි පොලිසියට, රහස් පරීක්ෂක අංශයට කටඋත්තර දෙන්න වෙලා.
ලියනගේ සිය හඩ අප හමුවේ අවදි කළේ මෙලෙස.
”මේ සිද්ධි සේරම උනේ 2011 මාර්තු 17 වෙනිදා සිද්ද වුණ කටුගේ හොරු බිඳපු සිදුවීම නිසා. එදත් මං සුපුරුදු විදිහට රැකියාව කරපු දවසක්. ඒ වෙද්දි ඛඍෘක් සමාගම යටතේ කලාභවනේ ආරක්ෂක නිලධාරියා විදියට තමයි මං සේවය කරමින් සිටියේ. 18 වෙනිදා රාජ්‍ය නාට්‍ය උළෙලේ පුහුණුවීම් තිබුණ නිසා 17 වැනිදා ? ජෝන් ද සිල්වා එකේ ලයිට් එල්ලන්න කට්ටිය වැඩ කළා. පාන්දර එක හමාරට විතර මමයි මගේ ළඟ වැඩ කරපු අනික් ආරක්ෂක නිලධාරියයි ආයතනය වටේ මුර සංචාරයක් යද්දි අපි දැක්කා කෞතුකාගාරෙ ගේට්ටුව ගාව කුරුඳුවත්ත පොලිසියේ රේඩියෝ මැසේජ් කාර් එක තියෙනවා. එක පොලිස් නිලධාරියෙක් කාර් එකට හේත්තුවෙලා සිගරට් එකක් බිබී හිටියා. අනිත් කෙනා කටුගේ පැත්තට යනවා දැක්කා. පොලිස් කාර් එකක් තියෙන එක සාමාන්‍ය දෙයක්.”
”පහුවදා කටුගේ හොරු කඩල කියන ආරංචිය ආවා. කාටවත් යන්නවත් දුන්නේ නැහැ ඒ පැත්තට. පොලිසිය, හමුදාව ඇවිත් හිටියා අපි දැක්කා. හවස් වෙද්දි පොලිසියෙන් කලාභවන පැත්තටත් ඇවිත් අපෙනුත් තොරතුරු ඇහුවා. ඊට පස්සේ දිගටම අපෙන් කට උත්තර ගත්තා. පොලිස් පරීක්ෂණවලට කියලා තොරතුරු ගත්තා. එදා ? රේඩියෝ මැසේජ් කාර් එක දැක්ක එකට වඩා දෙයක් අපි දැනන් හිටියේ නැහැ. ඒත් නිතරම අපෙන් ප‍්‍රශ්න කළා. මේකට ආවේ ගුණසේකර සහ නිශාන්ත කියලා නිලධාරීන් දෙන්නෙක් තමයි නිතරම.”
පහුවෙද්දි කෞතුකාගාරෙ හොරු කඩපු කතාවේ ඇත්ත නැත්ත කනින් කොනින් මුළු රටටම ආරංචි වුණානේ. මේකේ මුල හිටියේ හිටපු ජනාධිපතිවරයා කියන එක රටම දන්න ඇත්තක්. මේකට කංගැට්ටෙක් කියලා කවුදෝ අහිංසකයෙක් පටලැවුණා කියන එකත්, ඔහු හොයාගත්ත වැරදිකාරයෙක් කියලත් රටම දැනගන්න කලින් තමයි ලියනගේට මේ සිදුවීමට මුහුණදෙන්න වෙන්නේ. ලියනගේගෙන් කට උත්තර අරන් විතරක් මේ රාජ්‍ය ආරක්ෂක අංශය නවතින්නේ නැහැ. මේ කතාව හරියට ටෙලි නාට්‍යයක් වගේ කොටසින් කොටස කුහුල දනවන කතාවක්.
”කටුගේ කඩපු දවසේ ඉඳන් දිගටම අපෙන් ප‍්‍රශ්න කලා විතරක් නෙමෙයි අපේ ගෙදරටත් සී. අයි. ඞී එකෙන් ආවා. මගේ ගමේ හිටියා මාත් එක්ක වැඩ කරපු තවත් ආරක්ෂක නිලධාරී කෙනෙක්. එයාගෙනුත් ප‍්‍රශ්න කළා. 2011 ජූනි 9 වැනිදා මං වැඩ ඇරිලා ගෙදර යන්න ලෑස්ති වෙද්දි ගුණසේකර කියන මහත්තයා ඇවිත් කිව්වා මගෙන් කට උත්තරයක් ගන්න තියෙනවා කියලා පොලිසියට එන්න කියලා. මං කිව්වා මං ගෙදර යන්න හදන්නේ ගිහින් ඇවිත් දෙන්නම් කියලා. මං ගෙදර ගිහින් ජූනි 12 උදේ 10 අපේ ගෙදර ගාවින් තියෙන බස් එකෙන් ඇවිත් පිළිමතලාවෙන් බැස්සා. එතනින් කොටුවට ඇවිත් 120 බස් එකේ යන්න ඉස්සරහට ඇවිදන් එද්දි දෙන්නෙක් ඇවින් හැඳුනුම්පත් පෙන්නලා අපි සී. අයි. ඞී එකෙන් කියලා කට උත්තරයක් ගන්න තියෙනවා කියලා එක්කන් ගියා. එයාලා මාව තී‍්‍රවිල් එකක නග්ග ගත්ත.”
”ඔයා කෑ ගැහුවෙ නැද්ද?” කතාවට බාධා කරමින් මං ඇහැව්වා. මං දන්නවා පාඨක ඔබටත් ඒකම හිතෙන්න ඇති.
”නැහැ. ඇයි මට කලින් කියලනේ තිබුණේ කටඋත්තරයක් ගන්න තියෙනවා කියලා.”
”ඉතිං”
”ඉතිං ඒ අය ත‍්‍රීවිල් එක ටෙක්නිකල් හන්දිය පැත්තට අරන් ගියා. මං ඇහුවා කොටුව පොලිසියට නෙමේද යන්නේ කියලා. ත‍්‍රීවිල් එක සුගතදාස ස්ටේඩියම් එක පිටිපස්සෙදි නවත්වලා එතනින් වෑන් එකකට මාව දාගත්තා. එතනදිම මගේ ඇස් බැන්දා”
”එතනදි බය හිතුනේ නැත්ද? කෑගැහුවේ නැත්ද?” මං අයෙමත් මැද්දට පැන්නා.
”මං වැරැද්දක් කරලා නැති නිසා මං බයවුණේ නැහැ. ඒත් මං එයාලගෙන් ප‍්‍රශ්න කළා. ඇයි මට මෙහෙමෙ කරන්නේ කියලා. මාව ඒ වාහනෙන් පැය 2, 3 ක් අරන් ගියා. කොහේ ගෙනිච්චද මං දන්නේ නැහැ. ඊට පස්සේ කාමරයකට දාලා. ඇඳුම් ගලවල පුටුවක වාඩි කරවල මට හොඳටම ගැහුවා.”
”ඇයි ගැහුවේ. හේතුවක් කිව්වේ නැද්ද” ඔබට හිතෙනවා ඇති. මුකුත් නොකියා එකපාරටම ගහන්න, ගෙනිච්ච උන්ට පිස්සුද? මටත් එහෙම හිතුනා.
ඒ හින්දම ‘ගහන්න හේතුව මොකක්ද?’ මං ඇහුවා.
”ගහල ඉවරවෙලා කිව්වා ‘උඹ කටුගේ සිද්ධිය බාරගනින්” කියලා. ”මං කිව්වා මං කවදාවත් හොරකම් කරපු කෙනෙක් නෙමෙයි මට ඒක බාරගන්න බැහැ කියලා.”
”ඒ ගහපු අය කවුද? පොලිසියද? හමුදාවද? කවුද කියල අඳුනගන්න පුළුවන්ද?” මේ අවු අස්සේ මටත් නැඟුන ප‍්‍රශ්නයක් මං ඇහුවා.
”අඳුනගන්නේ කොහොමද මාව ගෙනිච්ච වෙලේ ඉඳන් ආපහු ගේනකම් මගේ ඇස් බැඳලයි තිබුණේ.”
මගේ හරස් ප‍්‍රශ්නවලට උත්තර දෙන ගමන් ලියනගේ ඔහුගේ කතාව කියාගෙන ගියා.
”මට හිතෙන්නේ මාව නිතරම ප‍්‍රශ්න කරපු අය.පී ගුණසේකරයි, නිශාන්තයි මේකට සම්බන්ධයි කියලා. නිශාන්තගේ කටහ`ඩ මට හොඳට ඇහුණා. දවල් ? තේරුන් නෑ. කවුද දෙන්නෙක් ඇවිත් කිව්වා උඹට අද ? එළිවෙනකම් දෙන්නම්. කල්පනා කරලා තීරණයක් ගනින්. උඹ මේක බාරගත්තොත් පරම්පරා ගාණකට ලොක්ක හොඳට සලකයි. කියලා.”
”පහුවදා මගෙන් ඇහුවා මොකද කියන්නේ කියලා. මං බැහැ කිව්වා. ‘අන්තිම තීරණේ ඒකද ’ඇහුවා. මං ඔව් කිව්වා. පස්සේ මාව අත් දෙකෙන් එල්ලලා ගැහුවා. මේ තවම ඒ ඉදිමුම් ලකුණු තියෙනවා. එයාලම කිව්වා මාව පැය පහමාරක් එල්ලලා ගැහුවා කියලා.”
ඔහු සිය දෑත් මදෙසට දිගු කරමින් කිව්වා.
”මං තීරණය කරලා තිබුණේ මැරුණත් ඒකනම් බාරගන්නේ නැහැ කියලා. පොලිසිය මාව පැහැරගන්න කලින් කටුගේ කඩපු හොරු හෙව්වේ නැහැ. එයාල හෙව්වේ කටුගෙට හොරෙක්. එයාලට ඕන උනේ කාව හරි මේකට පටලවන්න. ඔය විදිහට දවස් 20 ක් මාව රඳවගෙන ඉඳල තියෙනවා.”
”ඒ කාලෙ ඇතුළත කෑම බීම දුන්නද?” මං ආයෙත් කට දැම්මා.
”ඔව් අතරින් පතර දුන්නා. ඒ මොනාද කියලවත් හරියට දන්නේ නැහැ. ඇස් බැඳලනේ තිබ්බේ. මං දවස් 20 ම හොඳ සිහියෙන් හිටියා. එකපාරටම දවසක් මට යන්න ලෑස්ති වෙයන් කියලා. දෙන්නෙක් ඇවිත් උස්සලා අරන් ජීප් එකක් වගේ පිටිපස්සේ පැත්තට සීට් තියෙන වාහනේකට දාගෙන පැය දෙක තුනක් අරන් ඇවිත් මඟ දාලා ගියා. එතකොට කිව්වා පවුලේ අය මානව හිමිකම් ගියාට බයේ නෙමෙයි උඹව ගෙනත් දාන්නේ, අපිට ඕන නිසා. උඹේ අයියට කියපන් මාධ්‍ය සාකච්ඡා තියන්න එපා. අයියව නිහඩ කරන්න යන්නේ රුපියල් 24යි. ඒ පතුරමක ගාන කියලා. ස්වර්ණමාලි එකට යන මගේ දුවව පාරක් ගානේ හොයන්න වෙයි කියල කිව්වා මාධ්‍යවලට කිව්වොත්. එළිවෙනකම් මං නැගිටගන්න බැරුව එහෙමම හිටියා. පස්සේ බඩගාගෙන ළඟ තියෙන බස් හෝල්ට් එකකට ගිහින් මේ කොහෙද ඇහුවා. ඒ ගඩලාදෙණිය හන්දිය. මං තී‍්‍රවිල් එකකින් ගෙදර ගියා. මාව ගෙදරින් රෝහල්ගත කළා. නුවර රෝහලින් මට ටිකට් කපන් යන්න පවා කිව්වා. මාස ගාණක් මට රස්සාවක් නැතුව හිටියා.”
ඔහුගේ බිරිඳ පවසන අන්දමට ඔහු අතුරුදන් වූ කාලයේ ඇය සිය සිඟිති පුතු ද රැගෙන ඔහු සේවය කරපු ස්ථානයට ගොස් තිබුණා. ඔහු පිළිබඳ සොයන්නට. සේවය කරපු ස්ථානයේ කළමනාකාර අධ්‍යක්ෂ රියල් අද්මිරාල් එච්.ආර් අමරවීර ඔවුන්ව නොසලකා හැරලා තිබුණා. ඔවුන් මානව හිමිකම් ගියත් මේ වෙනතුරු කිසිදු සාධාරණත්වයක් ඉටු වී නැහැ. ඔහු පවසන අන්දමට රාජපක්ෂ පාලන සමය නිමාවන තුරුම ඔහු පසුපසින් සී.අයි.ඞී එකෙන් පැමිණ තිබුණා.
ලියනගේ සිය කතාව අප හා මෙලෙස කියද්දී තවත් කී දෙනෙක් අතුරුදන්ව ඔවුන් එනතුරා දරුවන්, බිරියන්, දෙමාපියන්, ඥාතීන් වැලෙපෙමින් බලා හිඳිමින් සිටීද? ලියනගේ මෙන්ම ඔවුන් නැවත පැමිණෙන්නේ සාධාරණය ඉටුවන්නේ කවදාද? ඔවුන් මෙන්ම අප ද බලා සිටිමු.
ශ්‍යාමලී ලියනආරච්චි
janarala