යුද්ධයට දායකත්වය ලබා දීමේදී හා ඒ සඳහා මැදිහත් වීමේදී සිදු වූ අඩුපාඩුවක් ලෙස ඔහු පෙන්නා දෙන්නේ සාමාන්‍ය සිවිල් වැසියන් මුහුණ දෙන ගැටළු පිළිබඳව තම පක්‍ෂය කිසිදු අවධානයක් යොමු නොකිරීම ය.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මේ බව සඳහන් කළේ පසුගියදා ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ විකාශනය වන 'සත්‍යාගාරය' දේශපාලන සංවාදමය වැඩසටහනට සහභාගී වෙමිනි.
'යුද්ධයේ මනස්කාන්ත දර්ශන'
තම පක්‍ෂයේ සමබරතාවය බිඳ වැටීමට හේතු ලෙස අනුර කුමාර දිසානායක පෙන්වා දුන්නේ 'මුළුමහත් සමාජයක්ම යුද්ධයේ මනස්කාන්ත වූ දර්ශනයෙන් යම් ප්‍රමාණයකට හැඟීම්බරව යට වූ තත්ත්වයක් තුළ තමන් ද ඊට සැළකිය යුතු ප්‍රමාණයකින් හසු වූ' බවයි.
'ඒ තුළින් අපේ සමබරතාවය බිඳ වැටුණා. සාමාන්‍ය සිවිල් පුරවැසියන් මුහුණ දීපු ගැටළු පිළිබඳව දේශපාලන ව්‍යාපාරයක් ලෙස මීට වඩා අවධානය යොමු කළ යුතුව තිබුණා. එය ගිලිහී යාම අඩුවක් ලෙස අපි දකිනවා” හේ ප්‍රකාශ කළේය.
බර අවි සහ ගුවන් ප්‍රහාර නවතන බවට 2009 අප්‍රේල් 27 වැනිදා රජය විසින් කරන ලද නිවේදනය විවේචනයට ලක් කරමින් එයින් දිනකට පසු කොළඹ දී මාධ්‍ය නියෝජිතයින් ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ නායක මණ්ඩල සාමාජිකයෝ බර අවි ප්‍රහාර නැවැත්වීමට ගත් තීරණය ඉන්දීය බලපෑම්වලට යටත් වීමක් බවට චෝදනා කළහ.
'වීරෝදාර හමුදාවෝ විශාල කැප කිරීම් සහ පරිත්‍යාග සිදුකර තිබෙනවා. ආණ්ඩුවේ මේ ප්‍රකාශය මගින් ඒ ජයග්‍රහණ සියල්ල බොඳ කිරීමකට ලක් වෙනවා. මීට පෙර සිදුවූවා සේම මේ සිදුවන්නේ ලබාගත් ජයග්‍රහණය දිය කර හැරීමක්දැ' යි එවකට ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ එහිදී ප්‍රශ්න කර සිටියේය.
මානෙල් මල්
එම වකවානුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ජවිපෙ නව නායක අනුර දිසානායක කියා සිටියේ යුද්ධය ඉදිරියට ඇදෙමින් පැවති මොහොතේ එහි නිරතව සිටි හමුදාවන්ගේ ධෛර්යහා වීරිය වර්ධනයට කටයුතු කළ ජනතා විමුක්ති පෙරමුණ, හමුදාවන්ගේ යුද ක්‍රියා මාර්ගයන්ට දායකත්වය සැපයීම වෙනුවෙන් මානෙල් මල් ව්‍යාපාරය ගොඩ නැගු බවයි.
'මානෙල් මල් ව්‍යාපාරය , දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය, බර අවි වලින් පහර දෙන්න කියලා අපි කරන ලද ඉල්ලීම් කියන මේ සියල්ලම එක් දේශපාලන ප්‍රවණතාවයක පැතිකඩවල්. පැවති යුද්ධයේදී වමේ ව්‍යාපාරයක් ලෙස, ප්‍රගතිශීලි ව්‍යාපාරයක් ලෙස අපි පවත්වාගත යුතු සමබරතාවය අපිට පවත්වා ගැනීමට බැරිවුණා. පසුව අපේ දේශපාලන ගමන් මග පිළිබඳව ආපසු හැරී බැලීමේදීත් පෙනී ගියේ ඊට අපි අසමත් වුණු බවයි. මේ පීලි පැනීම් නිසා එකම වසරේ අප්‍රේල් විරුවන් සැමරීමත්, හමුදා සෙබළුන් සැමරීමත් සිදු වුණා” ඔහු කීය.
කෙසේ වුවද මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් යුද සමයේ දී ජවිපෙ පස්ථාවරය වූයේ ගැටුම්කාරී තත්ත්වයන් පවතින වෙනත් රටවල් හා සංසන්දනය කිරීමේ දී 'මානව හිමිකම් කඩවීම් ඉහළ මට්ටමක' නොමැති බවයි. 2007 නොවැම්බර් 23 වැනිදා 'මානව හිමිකම් - තිරය පුටපස කතාව' මැයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති රැස්වීමක් අමතමින් එවකට ජවිපෙ නායක අමරසිංහ 'ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ඇති රටක් වී තිබියදීත් සිදුවන උල්ලංඝණය කිරීම් ඉවසිය හැකි මට්ටමක' ඇති බව කියා සිටියේය.
අතුරුදහන් වීම්
යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනයන් සහ ඝාතන පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයකට තමන් විරුද්ධ බව පවසන අනුර දිසානායක, අවධාරණය කර සිටියේ අතුරුදහන් වුවන් සොයා බැලීමට දේශීය පරීක්‍ෂණයක් අවශ්‍ය බව ය.
'සෑම කෙනෙකුටම අයිතියක් තියෙනවා තමන්ගේ අතුරුදහන් කෙරුණු කෙනා ජිවතුන් අතර ඉන්නවද, නැත්නම් මිය ගිහින්ද කියල තොරතුරු දැනගන්න. ඒ සාධාරණ අයිතිය වෙනුවෙන් ස්වාධීන පරීක්‍ෂණයක් අපේ රටේ සිදුවිය යුතුයි. අපිත් මේ අත්දැකීම්වලට මුහුණ දුන්නා. එවැන්නක් පලිගැනීමක් වෙන්නේ නැහැ. එය කළ යුත්තේ යුක්තිය, සාධාරණත්වය හා මනුෂ්‍යත්වය වෙනුවෙනි” දිසානායක කියා සිටියේය.
කෙසේ වුවද 'අතුරුදහන්වීම් සහ පැහැරගෙන යාම් සම්බන්ධයෙන් සෘජුවම ආණ්ඩුව වගකිව යුතු යැයි කිව නොහැකි' බව අතුරුදහන් වීම් උත්සන්නව පැවැති යුද වකවානුවේ දී ජවිපෙ නායකයින්ගේ ස්ථාවරය විය. 2007 ජූනි 17 වැනිදා 'ඉරිදා ලංකාදීප' පත්‍රයට සාකච්ඡාවක් ලබා දෙමින් ජවිපෙ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත 'රටේ යුදමය තත්ත්වයක් තියෙනවා. එබඳු යුදමය තත්ත්වයක් තිබෙන කොට මෙබඳු දේ බලාපොරොත්තු වෙන්න වෙනවා'යැයි ප්‍රකාශ කළේය.
ජවිපෙ දෙකඩ වීම
පසුගිය කාලයේ ජාත්‍යන්තර මානව හිමිකම් ආරක්‍ෂක කණ්ඩායම් වෙතින් ශ්‍රී ලංකා රජයට එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ යුද්ධයේ අවසාන අධියරේදී ආණ්ඩුව විසින්ම ප්‍රකාශයට පත් කළ 'යුද මුක්ත කලාපය'ට රජයේ හමුදා බර අවි ප්‍රහාර එල්ල කරමින් විශාල සිවිල් වැසියන් ප්‍රමාණයක් මරණයට පත් කළ බවයි. 'තමන් කිසි විටක සිවිල් වැසියන්ට හානිවන ලෙස බර අවි භාවිතා නොකළ බව' රාජපක්‍ෂ ආණ්ඩුව ඊට පිළිතුරු වශයෙන් කියා සිටියද, ජවිපෙ නායනයා විසින් ස්වාධීන රූපවාහිනියට කරන ලද ප්‍රකාශය, එවැනි ප්‍රහාරයන් සිදු වූ බව තව දුරටත් තහවුරු කළේය.
දස දහස් සංඛ්‍යාත දෙමළ ජනයා මරණයට පත් කරමින් 2009 දී සිදුකළ අවසන් ජන සංහාරයට ජවිපෙ දක්වන ලද සක්‍රීය දායකත්වය වරදකැයි එහි නායකත්වය විසින් ප්‍රසිද්ධ මාධ්‍යයක් ඔස්සේ පිළිගත් පළමු අවස්ථාව මෙය සේ සැළකිය හැකිය.
යුද්ධය නිමා වී වසර දෙකකින් පසු 27 දෙනෙකුගෙන් සැදුම්ලත් ජවිපෙ මධ්‍යම කාරක සභාවේ 13 දෙනෙකු ඉන් බිඳී යමින් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය පිහිටුවා ගන්නා ලද අතර යුද සමයේ මතභේදාත්මක තීන්දු ගනු ලැබූ දේශපාලන මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකුගේ බහුතරයද එම කණ්ඩායමට එක් විය. 2012 වසරේදී 'ජවිපෙ ගමන් මග' දෙස 'ස්වයං විවේචනාත්මක හැරී බැල්මක්' කරමින් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් පළ කරන ලද ග්‍රන්ථයේ ද යුද සමයේ සිවිල් ජනයා සිටි ප්‍රදේශවලට පහර දීම සඳහා බර අවි භාවිතා කරන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටීම ගැන අනාවරණය කර තිබුණේ නැත.☐
© JDS