දින 50 යි, ඒත් හොරු නිදැල්ලේ, මේකද යහපාලනේ - ජවිපෙ Featured

Published in පුවත්
Friday, 20 February 2015 14:19

"මේ ආණ්ඩුව බලයට පත්කර දින 43ක් මේ වනවිට ගෙවී අවසන්. දින පනහටත් ළඟයි. දින සියයේ වැඩපිළිවෙළින් දින පනහක් ඇතුළත බරපතළ වංචා දූෂණ චෝදනා පිළිබඳව කිසිම කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කර නැහැ.

කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාද කරනවානම් ජනතා විමුක්ති පෙරමුණ මහජනතාව සමග පාරට බැස උද්ඝෝෂණයට යනවා. ලබන 26වෙනිදා කොළඹ දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සූදානම් කර තිබෙනවා." යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා අද (20) පෙරවරුවේ බත්තර මුල්ල පැලවත්ත පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එම මාධ්‍ය හමුව සඳහා අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමර සිංහ මහතාද සහභාගී වී සිටි අතර එහිදී ඔවුන් දැක්වූ අදහස් පහතින් පළ වේ.

විජිත හේරත් මහතා අදහස් දක්වමින්....

"පසුගිය ආණ්ඩුවේ දූෂණ වංචා පිළිබඳව එල්ලවී තිබෙන චෝදනා සම්බන්ධයෙන් අදාල විමර්ශන කටයුතු ප‍්‍රමාදවීම ගැන ජනතා විමුක්ති පෙරමුණේ විවේචනයත් එම ප‍්‍රමාදයන් වළක්වාගෙන කඩිනම් කිරීමට අදාල මැදිහත්වීමත් කරමින් සිටිනවා. රාජපක්ෂ පවුල් පාලනය හා ගජමිතුරන් එක්ව රාජ්‍ය සම්පත් හා දේපොළ විශාල වශයෙන් පාවිච්චි කළා. ජනාධිපතිවරණයට පෙර සිටම අපි ඒ විවේචන එල්ල කළා. ජනාධිපතිවරණයෙන් පසුව විවේචනවලින් නොනැවතී ලිඛිත සාක්ෂි සහිතව ඒ මහාපරිමාන වංචා හා දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන පුද්ගලයින්ට විරුද්ධව පසුගිය ජනාවාරි 13දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට පැමිණිලි කළා. ජනාධිපතිවරණයෙන් හරියටම දවස් පහකට පසු අපි අපේ කි‍්‍රයාමාර්ග ආරම්භ කළා.

කුඩා කුඩා වංචා දූෂණවලට සම්බන්ධ අය ගැනබොහෝ දෙනෙක් කතා කරන අතර මහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ, බැසිල්, නාමල්, අජිත් නිවාඞ් කබ්රාල්, සචින් වාස්, රෝහිත අබේගුණවර්ධන,ජොන්ස්ටන් ප‍්‍රනාන්දු වැනි මහා පරිමාණයෙන් චෝදනා ලක්වූවන් ගැන සාක්ෂි සහිතව පැමිණිලි කළා. ඉන්පසු එක් වතාවක් ඒ පිළිබඳව විමර්ශනය කිරීමට අපිව කැඳවා තොරතුරු ලබාගත්තා මිස කොමිසන් සභාවෙන් පරීක්ෂණ කිසිවක් ආරම්භ කර තිබුණේ නැහැ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැමිණිලි කර තිබෙනවා. ඒ වගේම අභියාචනාධිකරණයට පැමිණිලි කර තිබෙනවා. මේ ආණ්ඩුව බලයට පත්කර දින 43ක් මේ වනවිට ගෙවී අවසන්. දින පනහටත් ළඟයි. දින සියයේ වැඩපිළිවෙළින් දින පනහක් ඇතුළත බරපතළ වංචා දූෂණ චෝදනා පිළිබඳව කිසිම කි‍්‍රයාමාර්ගයක් අනුගමනය කර නැහැ. එම චෝදනා විමර්ශනය කිරීමට කමිටුවක් පත් කළ බව විතරක් ප‍්‍රකාශ කර තිබෙනවා. කමිටුව පත්කිරීමටත් දින හතලිහකට වැඩි කාලයක් ගතවෙලා. පක්ෂ බේදයකින් තොරව සියලුම ජනතාවගේ අපේක්ෂාව වුණේ මහජන දේපොළ කොල්ල කෑ හොරුන්ට දඩුවම් ලබාදීමයි. දැන් ඒ ජනතා අපේක්ෂාව බිඳවැටෙමින් තිබෙනවා. අපි මේ දක්වා මැදිහත් වුණෙත් ඉදිරියට මැදිහත් වෙන්නෙත් ජනතාවගේ ඒ අපේක්ෂාව ඉටු කරදීම වෙනුවෙන්. ආණ්ඩුව පත්කර දින හතළිස් තුනක් ගතවන තුරු අල්ලස් දූෂණ විමර්ශනය කරන්න බැරිවුණු ආණ්ඩුව හිටපු ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට වාහන සහ තෙල් වෙන්කර දීමට චක‍්‍රලේඛන නිකුත් කර තිබෙනවා. හොරුන්ට දඩුවම් දෙනවා වෙනුවට තවත් පහසුකම් සැලසීම ජනතාව බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි. මෙහෙම යහපාලනය ඇතිකරන්න බැහැ.

කේ.පී. පිළිබඳව නැගී තිබෙන චෝදනා ආරක්ෂක අමාත්‍යංශයේ කටයුතු කළ ආරක්ෂක මාධ්‍ය ප‍්‍රකාශක ලක්ෂ්මන් හුළුගල්ල පැහැදිලිවම ප‍්‍රකාශ කර තිබුණු ඒවා. කේ.පී. විසින් පාස්පෝර්ට් ගණනාවක් භාවිතා කර තිබුණා. නැව් අරගෙන තිබුණා. විශාල මුදල් ප‍්‍රමාණයක් සහ රත්තරන් සම්බන්ධ ප‍්‍රශ්නයක් තිබුණා. ජාත්‍යන්තර අවි ජාවාරමටත් ඔහු සම්බන්ධ වෙලා හිටියා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂත් මෙම චෝදනාම ඉදිරිපත් කර තිබුණා. නමුත් 2009 සිට අවුරුදු කිහිපයක් ගතවුණත් ඔහු පිළිබඳව කළ පරීක්ෂණය කුමක්දැයි ප‍්‍රශ්නයක් මතුවෙනවා. ජනවාරි 19වෙනිදා ජනතා විමුක්ති පෙරමුණේ අපි අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළා. කේ.පී. අත්අඩංගුවට ගෙන චෝදනා පිළිබඳව විමර්ශනය කරන ලෙස අධිකරණ නියෝගයක් ලබාදෙන්න කියලා ඉල්ලා සිටියා. ජනවාරි 27වනදා පෙත්සම විභාගයට ගත්තා. වැඩිදුර විමර්ශන පෙබරවාරි 5වෙනිදාට කල්ගියා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් දන්වා සිටියේ කේ.පී. ගැන වාර්තාවක් ලබාදෙන්න කල් අවශ්‍ය බවයි. ඒ අනුව පෙබරවාරි 19වෙනිදා නැවත අධිකරණයේ පෙනී සිටියා. පරීක්ෂණ වාර්තාවක් ලබාදුන්නේ නැහැ. කේ.පී. ගැන ආරක්ෂක අංශවලින් කිසිදු වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට ලැබී නැති බව කීවා. රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යමින් ආරක්ෂක අංශයේ රැකවල් මැද අදටත් ඔහු කිලිනොච්චියේ රාජ්‍ය නොවන සංවිධානයක් පවත්වාගෙන යනවා. ඔහු ගැන තොරතුරු නීතිපතිවරයාට සොයාගන්න බැරිවුණේ ඇයි. රටම ඇත්ත දැනගත්තා. ලෝකයමත් දැනගත්තා. ඉංදියාවෙත් කේ.පී.ට එරෙහිව පැමිණිලි තිබෙනවා. ඒත් අපේ රටේ පරීක්ෂණ වාර්තා නැහැ. මේ ප‍්‍රමාදයට හේතුව අදෘෂ්‍යමාන හස්ථයක මෙහෙයවමක්ද? මේ වගේ කල් ගන්නේ ඇයි. කඩිනම් කි‍්‍රයාමාර්ග වෙනුවට ගොළුබෙලි න්‍යාය අනුගමනය කරනවා. කේ.පී. අවුරුදු කිහිපයක් අත්අඩංගුවේ හිටියත් හාෆ්ෂීට් කොලයක තරම් වාර්තාවක්වත් නැහැ.

දූෂිතයින්ට විරුද්ධව කි‍්‍රයාමාර්ග අනුගමනය කිරීම කල්දැමීමෙන් සිදුවෙන්නේ මහා පරිමාන වංචා දූෂණ සිදුකළ අයට නීතිය කි‍්‍රයාත්මක නොවීමයි. ඒ නිසා වංචා දූෂණ නැවැත්වීමක් සිදුවන්නේ නැහැ. ප‍්‍රමාදය දිගටම පවතිනවා. යෝෂිත රාජපක්ෂ ඡන්ද ප‍්‍රතිඵල නිකුත්වනවාත් එක්කම ජනවාරි 09වෙනිදා පාන්දර නාවික හමුදාවෙන් ඉවත්කරගන්න උත්සහ කළා. විශේෂ වරප‍්‍රසාද යටතේ දැන් විදේශගතවී ඉන්නවා. නලින්ද ජයතිස්ස සහෝදරයා ආරක්ෂක ලේකම්වරයාට යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් පැමිණිලි කළා. ඒ ගැන පරීක්ෂා කිරීමට කමිටුවක් පත්කර තිබියදී යෝෂිත රාජපක්ෂ විදෙස්ගත වෙලා. ඒකට ඉඩ දුන්නේ කවුද? මේ ගැන නැවත ආරක්ෂක ලේකම්වරයාට ලිඛිතව පැමිණිලි කළා. බැසිල් රාජපක්ෂ ඇමරිකාවට පැනගත්තා. දැන් මාස තුනේ නිවාඩුවකුත් අනුමත කරගත්තා. යෝෂිත රාජපක්ෂත් නාවික හමුදාවෙන් නිවාඩු අරගෙන තිබෙනවා. මේ පිළිබඳව වහාම කි‍්‍රයාමාර්ග ගත යුතුයි. නීතිය කි‍්‍රයාත්මක කිරීම ප‍්‍රමාද කරනවානම් ජනතා විමුක්ති පෙරමුණ මහජනතාව සමග පාරට බැස උද්ඝෝෂණයට යනවා. ලබන 26වෙනිදා කොළඹ දුම්රියපොළ ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සූදානම් කර තිබෙනවා. ජනතා විරෝධය ප‍්‍රමාදයන් සම්බන්ධයෙන් යොමු කරන්න මේ වගේ කි‍්‍රයාමාර්ග ගැනීමට සිදුවී තිබෙනවා. ආණ්ඩුව වහාම මැදිහත්වී වංචා දූෂණ මහාපරිමාණයෙන් කළ අය අධිකරණය ඉදිරියට පැමිණවීම ප‍්‍රමුඛතම කාර්යයක් සේ සලකා කටයුතු කළ යුතුයි."

වසන්ත සමරසිංහ මහතා අදහස් දක්වමින්...

"ජනවාරි 29වෙනිදා ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් පෞද්ගලික අංශයේ සේවකයින්ට රුපියල් 2,500 දීමනාවක් ලබාදෙනවා කීවා. රාජ්‍ය අංශයේ සේවකයින්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ටත් රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදිය යුතුයි. මොකද දෙගොල්ලම බඩු ගන්නේ එක කඩෙන්. එකම ජීවන වියදමක් තිබෙන්නේ. මුදල් ඇමතිවරයාට සහ ජනාධිපතිවරයාට අපි මේ බව දැන්වූවා. පෞද්ගලික අංශයේ සේවකයින්ට අවම වශයෙන් 2,500ක්වත් ලබාදෙන්නේ නැතිව ආණ්ඩුව හොර ගල් අහුලමින් ඉන්නවා.

පඩිපාලක සභා හරහා වැඩිවීම් කරන බව කියා තිබුණා. පඩිපාලක සභාව කියන්නේ යල්පැනගිය කසිකබල් යාන්ත‍්‍රණයක්. දැනටත් පඩිපාලක සභා 43ක් තියෙන බව කියනවා. ඒකෙනුත් පහක් අක‍්‍රීයයි. පඩි පාලක සභාවලින් කෙරෙන්නේ අවම වැටුප තීරණය කරන එකයි. මේ නිසා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මූලික වැටුප් වැඩිකිරීම ප‍්‍රමාද වෙමින් තිබෙනවා. අපි ආණ්ඩුවට බලකර සිටින්නේ 2005 අංක 36 දරණ අයවැය සහන දීමනා පනත වැනි පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කර පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකරන ලෙසයි. 2006 සිට මේ දක්වා රුපියලකින්වත් පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩි කර නැහැ. එහෙම තියෙද්දී කෝදුරු තෙල් හොයනවා වගේ විසඳුම් ලබාදීම අපි පිළිගන්නේ නැහැ. ජීවන වියදම් දීමනාව රුපියල් 280ක් බව ගැසට් කරන එකවත් තවමත් සිදුකර නැහැ. මහින්ද රාජපක්ෂ පාලනය ගෙදර යවා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා පත්කරගන්න පෞද්ගලික අංශයේ සේවකයින් විශාල කැපකිරීමක් කළා. දැන් ඔවුන්ගේ අපේක්ෂා දින සියයක් ගතවීමටත් පෙර බිඳවැටෙමින් තිබෙනවා. අපි ආණ්ඩුවට බලකරන්නේ දින සියයේ වැඩපිළිවෙල ඇතුළේ පාර්ලිමේන්තු පනතක් සම්මත කරගැනීමෙන් වැටුප් වැඩිකරන්න කියලයි.

මේ සම්බන්ධයෙන් බලකිරීමට ලබන විසිපස්වෙනිදා කටුනායකදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනවා. ඒ වගේම බියගම රත්මලාන යන ප‍්‍රදේශවල උද්ඝෝෂණ පවත්වනවා. අපේ හඬට ආණ්ඩුව ඇහුම්කන් නොදුන්නොත් මාර්තු මැදදී කොළඹ දැවැන්ත රැලියක් පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා වහාම මැදිහත්වී පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුව මැදිහත්විය යුතුයි."

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්

01. "ජනතා විරෝධයක් නැගෙයි කියන බයට දින සියයේ වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කිරීමට සහාය දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය ප‍්‍රකාශ කරමින් අනෙක් පැත්තෙන් කකුලෙන් අදින විවිධ උපක‍්‍රම යොදමින් ඉන්නවා. මේ බාධාවන් මැඩ ගැනීමට ආණ්ඩුව උත්සහ කළ යුතුයි. ජනතා විමුක්ති පෙරමුණ දින සියයේ වැඩපිළිවෙලට සහාය දෙනවා. ඒ කියන්නේ අඩුපාඩුකම් කතා නොකර ඉන්න එක නෙවෙයි. ඒ සම්බන්ධයෙන් අපිට තිබෙන විවේචන ඉදිරිපත් කරනවා. විශේෂයෙන් අවධාරණය කළ යුතු දෙයක් තමයි ජනතා විමුක්ති පෙරමුණත් විපක්ෂයේ පක්ෂයක් මිස ආණ්ඩුවේ පක්ෂයක් නොවන බව. ඒත් එක්සත් ජනතා නිදහස් සන්ධානය වගේ මූනිච්චාවට කතා නොකර අඩුපාඩුකම් පෙන්වා දෙමින් ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීමට අපේ සම්පූර්ණ සහයෝගය කි‍්‍රයාකාරීව ලබාදී තිබෙනවා. විශේෂයෙන් 19වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අපේ උරිම මැදහත්වීම මේ වනවිටත් ලබාදී තිබෙනවා."

02. "එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සන්විධානයේ වාර්තාව ලබාදීම සැප්තැම්බර් දක්වා කල්දමා තිබෙන්නේ අලුත් ආණ්ඩුවේ කි‍්‍රයාකාරිත්වය ගැන ඔවුන්ට නීරීක්ෂණය කිරීම අවශ්‍ය නිසයි. මේ කාලය තුළ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස තහවුරු කරමින් අදාල ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාත්මක කිරීමට ආණ්ඩුවට අවස්ථාව තිබෙනවා. ඒ වගේම මානව හිමිකම් ආරක්ෂා කර පෙන්වීමට මේ කාලය ප‍්‍රයෝජනයට ගත යුතුයි. විදේශීය සන්විධාන වලට අපේ රටේ ප‍්‍රශ්න ගැන ඇඟිලි ගැසීමට ඇති ඉඩකඩ මුළුමනින්ම ඇහිරීම සඳහා මේ කාලය ප‍්‍රමාණවත් කියලා අපි හිතනවා. විදේශීය මැදිහත්වීම් වළක්වාගත හැකි වන්නේ රට තුළ ඒ සඳහා වූ අවස්ථාවන් අහුරා දැමීමෙන් විතරයි."

Leave a comment

 

ld add copy

Gossip

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

ඉන්න බැරි සේරම යන්න... රාජපක්ෂලාට රනිල් දන්වයි !

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු...

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.   

තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්...

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

සජිත් - හර්ෂ ගැටුමෙන් සජබය ඇවිළේ ! හර්ෂට බැරි නම් යන්න කියයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අතර බරපතල මත ගැටුමක...

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

පාඨලීව සජබයට එව්වේ රනිල්.. සජිත් නැව් කඹයක් ගිලලා දෙලොවක් අතර..

මේ වන විටත් සජිත් ප්‍රේමදාසව යට කරගෙන පාඨලී චම්පික සජබය තුළ බලවත් වී ඇති බව, සජබයේ කුරුණෑගල පළමු ‍රැ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us