නිකමට හිතල බලන්නකො අපි වටේ තියෙන ලෝකය එකම පාටක් විතරක් තිබුනොත් කොහොම දැනෙයිද? එපා වෙයි නේද. සොබාදහම ආදර්ශයට ගනිමින් තම පරිකල්පනයෙන් බිහිවන නිර්මාණවලටද කුමක් හෝ වර්ණයක් ලබා දීමට මිනිස්සු උත්සාහ කරා. මිනිස්සු නිර්මාණය කළ විවිධ දේවල් වලට ඒ ඒ පාට ලැබුනෙ ඇයි කියලා අපිට නිකමටවත් හිතෙන්නෙ නැතුව ඇති. ඒ විදියට විවිධ දේවල් වලට ඒ ඒ පාට ලැබීමට හේතුවූ කරුණු මොනවද කියල විමසා බලන්නයි අපේ මේ සුදානම.
යටත්වීම සංකේතවත් කරන සුදු කොඩි
මෙය ද ඈත අතීතයේදී සම්භවය වූ සිරිතක ප්‍රතිඵලයකි. සුදු යට ඇඳුම් භාවිතය සිරිතක් වූ අතීතයේදී සෙබළුන්ට මෙන්ම සිවිල් වැසියන්ටද ඕනෑම වේලාවක එවැන්නක් සොයා ගැනීම අපහසු වූයේ නැත. ඕනෑම පසුබිමකදී කැපී පෙනීමේ හැකියාව ඇති සුදු පැහැයෙන් යුතු ඇඳුම් කොඩියක් ලෙස පහසුවෙන්ම ලෙළවීමට ඇති හැකියාව නිසා ඒවා යටත්වීම සංකේතවත් කිරීමට යොදා ගත් බව පොදු පිළිගැනීමය.
කහ පැහැති කුලී රථ
එක්දහස් නවසිය මුල් ගණන්වලදී ඇමෙරිකාවේ නිව්යෝක් නුවර භාවිතා වූ රතු හා කොළ පැහැති කුලී රථ, කහ පැහැයට පරිවර්තනය වූයේ ඇල්බට් රොක්වෙල්ගේ මෝටර් රථ සමාගම නිසයි. 1907 දී ඔහුගේ සමාගම අශ්වබල පහළොවක එන්ජිමකින් යුතු එකල සම්මතයන්ට අනුව සුපිරි ධාවන හැකියාවකින් යුතු කුලී රථයක් නිෂ්පාදනය කළේය. මෙම සුපිරි මෝටර් රථය කහ පැහැ විය යුතු බව තීරණය කළේ රොක්වෙල්ගේ බිරියයි. කෙටි කලකින්ම අසීමිත ජනප්‍රියත්වයක් හිමි කර ගත් රොක්වෙල් කැබ් රථවලින් නිව්යෝර්ක් නුවර වීදි පිරී ගියේ කහ පැහැය කුලී රථවල නිල වර්ණය බවට පත් කරමිනි.
රෝස පාට බබල්ගම්
ක්‍රි.ව. 1928 දී ෆ්ලියර් චුවින්ගම් සමාගමේ සේවයේ නියුතු වෝල්ටර් ඩයිමර් “හපන කලාවේ” අලුත්ම සොයා ගැනීම සිදු කරත්දී රෝස පැහැති ආහාර වර්ණක පිරවූ ගුදමක් ඔහු සමීපයේම තිබුණා.
විවේක කාලය නව අත්හදාබැලීම් වෙනුවෙන් කැප කිරීමට ප්‍රිය කළ එවකට විසිතුන් හැවිරිදි වුඩයිමර් 1928 දී ‘බබ්ල්ගම්’ ලෙස අද හැඳින්වෙන ඇලෙන සුලු බවින් සාපේක්ෂව අඩු එහෙත් වඩාත් විශාල බෝල පිම්බිය හැකි හපන ගම් විශේෂයක් නිර්මාණය කළේය. තමන්ට එවෙලේ පහසුවෙන්ම ලබා ගත හැකි වූ රෝස පැහැය ඩයිමර් බබ්ල්ගම් මිශ්‍රණයට එක් කළේ එය සිය නව සොයා ගැනීමේ අනන්‍යතාව කියාපාන වර්ණය බවට පත් කරමිනි.
ඇමෙරිකාවේ පර්පල් හාට් පදක්කම
ඇමෙරිකානු හමුදා සේවයේදී සුවිශේෂී දක්ෂතා දක්වන හමුදා සෙබළුන්ට ඔවුන්ගේ එඩිතරභාවය උදෙසා පිරිනැමෙන දම් පැහැති හදවත් හැඩයෙන් යුතු පදක්කම ඇමෙරිකානු හමුදා සෙබළුන් වෙනුවෙන් පිරිනැමෙන්නට යෙදුණු පළමු වීර පදක්කම ලෙස සැලකේ. හිටපු ඇමෙරිකානු ජනපතිවරයෙකු වන ජෝර්ජ් වොෂින්ටන් හමුදා ජෙනරාල්වරයෙකුව සිටි අවධියේදී මෙම ගෞරව පදක්කම නිර්මාණය කළ ආකාරයද රසවත් කතාවකි. ඇමෙරිකානු විප්ලවය පැවැති වකවානුවේදී සෙබළුන්ට උසස්වීම් ලබාදීම රජයේ ඉහළ පුටුවලින් තහනම් කොට තිබිණි. තත්ත්වය එසේ වුවත් ගරු නම්බු හිමිවිය යුතුව සිටි සෙබළුන්ට කෙසේ හෝ එම ගෞරවය ලබා දිය යුතුය යන මතයේ සිටි ජෙනරාල් වොෂින්ටන් ඒ සඳහා යෙදූ උපක්‍රමය වූයේ දම්පැහැ සේද පිළියෙන් කළ හදවත් හැඩයේ පදක්කමක් උසස්වීම් ලැබූ සෙබළුන්ගේ ළයේ වම්පස පැළඳවීමයි. ක්‍රි.ව. 1782 අගෝස්තු 7 දා සිට ඇරඹුණු මෙම සංකේත ප්‍රදානය අදටද එලෙසින්ම සිදු කෙරේ.
මේ සඳහා දම් පැහැයම තෝරා ගැනීමට වොෂින්ටන්ව පෙළඹවූ හේතුව කුමක්දැයි හරිහැටි නොදන්නා මුත්, රාජකීයත්වයේ සංකේතයක් ලෙස දම් පැහැයට හිමිව ඇති පිළිගැනීම ක්‍රි.පූ. පහළොස්වන සියවස දක්වා වූ අතීතයකට විහිද යන්නකි. එකල විසූ රෙදි වියන්නෙකු අධික වියදමක් දරමින් දීර්ඝ දුෂ්කර ක්‍රියාවලියක ඇවෑමෙන් දම් පැහැය පිළියෙළ කරගෙන තිබුණේ මුහුදු ගොළුබෙල්ලන්ගේ ස්‍රාවයකිනි. ඒ සඳහා වැය වූ කාලය හා පිරිවැය නිසාම දම් පැහැය ධනවත්භාවයේ හා බලයේ සංකේතයක් බවට පත් වූ බව පිළිගැනේ.
කරාටේ කළු පටි
කරාටේ සටන් ශිල්පය ප්‍රගුණ කරන්නන්ට ඒ සම්බන්ධයෙන් ලබා ඇති නිපුණතාව මත විවිධ වර්ණයෙන් යුතු පටි ප්‍රදානය කිරීම සිරිතකි. කහ, කොළ, නිල්, යනාදී විවිධ වර්ණවලින් ලබා ඇති නිපුණතාවේ විවිධ මට්ටම් නිරූපණය කිරීම සිදුවන අතර ඉහළම නිපුණතා මට්ටම සංකේතවත් වන්නේ කළු පටියෙනි. මෙම වර්ණ අනුපිළිවෙළ වඩාත් ළා පැහැයේ සිට තද පැහැයන් දක්වා වූ අනුපිළිවෙළකට සකස් වීමට හේතු වී ඇත්තේ අද මෙන් රෙදි සුලබ නොවූ අතීතයේදී එකම සුදු රෙදි කඩක් වරින්වර විවිධ වර්ණයෙන් සායම් කරමින් භාවිතයට ගැනීම නිසයි. එම නිසා සුදු, කහ, තැඹිලි, කොළ, නිල්, දම්, දුඹුරු, රතු හා කළු ලෙස වර්ණ අනුපිළිවෙළ සැකසී තිබේ.
ගොන් පොරකරුවන්ගේ රතු සළුව
රතු පැහැය දුටුවිට ගොනුන් කෝප ගැන්වෙන බවට බොහෝ දෙනකු තුළ විශ්වාසයක් තිබුණ ද එය සත්‍යයක් නොවේ. කොටින්ම ගොනුන්ට රතු පැහැය හඳුනා ගැනීමට හෝ නොහැක. ඒ ඔවුන් උපතින්ම වර්ණ අන්ධතාවයෙන් පෙළෙන නිසයි. එසේ නම් ගොන් පොරකරුවන් ලෙළවන රතු සළුව ඉදිරියේදී ගොනුන් ආවේගශීලීව හැසිරෙන්නේ ඇයි ? ඒ එහි පැහැය නිසා නොව ක්ෂණිකව සිදුවන සළුවේ චලනයක් නිසාය. ගොනුන්ගේ ක්‍රියාකාරීත්වයට සළුවේ වර්ණයේ බලපෑමක් නොවුණත් රතු සළුවක්ම ඒ සඳහා භාවිත කරන්නේ, ගොන් පොරයේදී තුවාල ලබන සත්වයාගෙන් විසිරෙන ලේ ප්‍රේක්ෂකයාගේ ඇසට එක එල්‍ලේම නොපෙනෙන සේ ආවරණය කිරීම සඳහායි.
මනාලියන්ගේ සුදු ඇඳුම්
මනාලියන් ගෙන් බහුතරය සුදු පැහැ මංගල ඇඳුමින් සැරසීමේ සම්ප්‍රදාය යුරෝපයේදී ආරම්භ වූවකි. ක්‍රි.ව. 1840 එංගලන්තයේ වික්ටෝරියා රැජින ඇල්බට් කුමරු හා විවාහයේදී සුදු ලේස් ගවුමකින් සැරසුණේ එය දිගුකාලීන සම්ප්‍රදායක ඇරඹුමක් වනු ඇතැයි නොසිතාය. විවිධ වර්ණයෙන් යුතු ඇතැම් විට කළු පැහැති මංගල ඇඳුමින් පවා මනාලියන් සැරසුණු යුගයක් වූ එකල වික්ටෝරියා රැජිනගේ තේරීම සෙසු යුවතියන් කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කිරීමට සමත් විය. එය සමාජයේ කැපී පෙනෙන චරිතයක් අනුකරණය කිරීමට සෙස්සන් තුළ ඇතිවන නැමියාව කියාපාන්නකි. මේ නිසා එවක් පටන් සුදු මංගල ඇඳුම බොහෝ රටවල මනාලියන්ගේ සම්ප්‍රදායික තේරීම බවට පත් විය.