අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය

Published in පුවත්
Friday, 30 January 2015 01:24

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ඉදි කරන හෝටල සංකීර්ණ සඳහා කැසිනෝ සහ සූදු පවත්වාගෙන යැමටද පසුගිය ආණ්‌ඩුව ලබාදී තිබෙන අවසරය වහා තහනම් කිරීමට තීරණය කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්‌ කරමින් පැවැසූවේය.

අගමැතිවරයා මෙසේද කීවේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ රජයේ සියදින මෙහෙයුම යටතේ ඉදිරි දෙසතිය තුළ සිදු කිරීමට අපේක්‍ෂා කරන පියවර පිළිබඳව මේ ගරු සභාව දැනුවත් කිරීම සඳහායි මා මේ ප්‍රකාශය කරන්නේ. මේ ප්‍රකාශයෙන් පසුව මුදල් ඇමතිතුමා අප ලබා දෙන ජනතා සහන පිළිබඳව මේ ගරු සභාව ඉදිරියේ කරුණු හෙළිදරව් කරන බවත් මම සිහිපත් කරන්න කැමැතියි.

සියදින මෙහෙයුම අප ඉදිරියේ ඇති දැවැන්ත අභියෝගයක්‌. ඒ මෙහෙයුම නිසි ලෙසින් ඉටු කරලීමට අප කැපවී සිටිනවා. ඒ අභියෝගය ජය ගැනීමට අප දිවා රෑ නොබලා වෙහෙසෙනවා. ඒ අතර සමහරු සියදින මෙහෙයුම විවේචනය කරනවා. සාධනීය විවේචන අපි ගරු කරනවා. සියදින මෙහෙයුම පෝෂණය කරන ඔබේ අදහස්‌ අපි පිළිගන්නවා. ඒත් තවත් සමහරු අර වැඩේ කරන්න දවසක්‌ ප්‍රමාද වුණා, මේ වැඩේ කරන්න දවස්‌ දෙකක්‌ ප්‍රමාද වුණා කියමින් චෝදනා කරන අවස්‌ථාවනුත් තියෙනවා. අප ඒ අයගෙන් ඉල්ලා සිටින්නේ දවසක දෙකක පමාව ගැන නොව දවසක්‌ දෙකක්‌ පමාවී හෝ ඒ කාර්යය අප නිසි අයුරින් ඉටු කළාද යන්න ගැන අවධානය යොමු කරන ලෙස යි.

අප මේ යන්නේ අලුත්ම ගමනක්‌. මෙවැනි ගමනක අත්දැකීම් අප මීට කලින් ලබා නෑ. අප සියලු දෙනාම මේ ගමන යා යුත්තේ ඉවසීමෙන්, සංයමයෙන් අපේ පුද්ගලික අභිලාෂයන් හා අපේක්‍ෂාවන්ට වඩා දේශයේ යහපත ගැන සිතන්නට අප අධිෂ්ඨාන කර ගත යුතුයි. පසුගියදා ජනාධිපතිතුමන් පොළොන්නරුවේදී ප්‍රකාශ කළා වගේ, අපට මෙහිදී කැප කිරීම් කරන්නට වෙනවා. අඩුලුහුඬුකම්වලට මුහුණ දෙන්නට වෙනවා. ඒ සියල්ල රට වෙනුවෙන් ඉවසන්නට, ඒ සියල්ලට සංයමයෙන් මුහුණ දෙන්නට අවශ්‍යයි.

අප මේ වන විටත් පවුල්වාදය සහ ඒකාධිපතිවාදය මුලිනුපුටා දමා ජනතාවගෙන් උදුරා ගත් පරමාධිපත්‍ය යළි ජනතාවට ලබාදීමේ ක්‍රියාවලිය ආරම්භ කර තියෙනවා. එක්‌ පුද්ගලයෙක්‌ අත සකලවිධ බලතල කේන්ද්‍ර ගත කෙරුණු විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට්‌ මණ්‌ඩලය හා පාර්ලිමේන්තුවට බලතල ලැබෙන, සමස්‌ත පාර්ලිමේන්තුවම ශක්‌තිමත් කෙරෙන ආණ්‌ඩුක්‍රමවේදයක්‌ සැකසීම සඳහා කටයුතු අප ආරම්භ කළා. ව්‍යවස්‌ථා විශේෂඥයින් හා පරිණත දේශපාලනඥයින් ගණනාවක්‌ ඒ සඳහා එක්‌ වී සිටිනවා.

පසුගිය වසර ගණනාවක්‌ තිස්‌සේ මා පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායකවරයා වශයෙන් මේ රටේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර ගම් නියම්ගම්වල ඇවිදිමින් ජනතාව මුණ ගැසුණා. ඔවුන්ගේ හඬට ඇහුම්කන් දුන්නා. ගැමියන්, නාගරිකයන්, උගතුන්, මධ්‍යම පාන්තිකයන්, ගොවීන්, ලිපිකරුවන්, කම්කරුවන්, ව්‍යාපාරිකයින්, ගෘහණියන්, තරුණ තරුණියන් මේ හැම කෙනෙක්‌ම අපට පැවසූවේ තමන්ට ජීවන බර දරා ගැනීමට නොහැකි බවයි. ඉතා දුකසේ ජීවත් වන බවයි. ජීවිතයට සහනයක්‌ ලබා දෙන ලෙස හැඩූ කඳුළින් ඔවුන් ඉල්ලා සිටි වාර අපමණයි.

මේ ජනතා හඬට ඇහුම්කම් දෙන ලෙස අපි කොතෙක්‌ ආණ්‌ඩුවට කිව්වත්, ඉල්ලා සිටියත්, බල කළත්, ඔවුහු ඒ කිසිවක්‌ ගණන් ගත්තේ නෑ. එහි ප්‍රතිඵලය වුණේ රට දවසින් දවස පරිහානියට පත් වීමයි.

අපි සියලු බලවේග ඒකරාශී කර ගෙන මේ මහා ව්‍යසනයෙන් මුදා ගැනීමට ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ව්‍යාපාරයක්‌ ආරම්භ කළා. අපේ සටන මෙහෙයවීමට පොදු අපේක්‍ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්‌වුණා. අප එහිදී දිගින් දිගටම කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කර ජන ජීවිතයට සහන ලබා දීමට ප්‍රමුඛත්වය දෙන බවයි.

මහජනයා පරාජය වී සිටී නම් අප ලබන කවර ජයග්‍රහණයකින්වත් ප්‍රයෝජනයක්‌ වන්නේ නෑ. මහජනයා තම දරුවන් සමග කා බී සතුටින් සැනසිල්ලේ දුකින් තොරව ජීවත් වේ නම් අන් කවර ජයග්‍රහණයකටත් වඩා එය වටිනවා. මේ හේතුකොට ගෙන හදිසි සහන ලබා දී වහාම සමාජ ආර්ථික වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කොට ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම අපගේ ප්‍රමුඛ කාර්යයක්‌ සේ මා දකිනවා.

දින 100 වැඩසටහනේ අප සඳහන් කළ පරිදි ජනතාවගේ ආදායම වැඩි කර බඩු මිල අඩු කර සහන සැලසීමේ වැඩපිළිවෙළට අපි මුල පිරුවා. අපේ විදුලි බල සහ බලශක්‌ති ඇමතිතුමා, ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල් මිල අඩු කළා. ඒ අනුව යමින් අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යතුමා බස්‌ ගාස්‌තු අඩු කළා. තහනම් කරන ලද යුරෝපා මාළු අපනයන යළි ලබා ගැනීම සඳහා අවශ්‍ය මූලික සාකච්ඡා විදේශ ඇමැතිතුමා සිදු කළා. ඒ වගේම අහෝසි කරන ලද GSP+ සහනය යළි ලබා ගැනීම සඳහා රාජතාන්ත්‍රිකව ක්‍රියා මාර්ග ආරම්භ කළා. මෙහි වාසිය ඉතා ඉක්‌මනින් ධීවර ක්‍ෂේත්‍රයේ නියුතු ජනතාවටද, ඇඟළුම් ක්‍ෂේත්‍රයේ නියුතු ජනතාවටද ලැබේවි.

ගරු කතානායකතුමනි,

සියදින මෙහෙයුමෙහි සඳහන් වුණු පරිදි, පසුගිය දින කීපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු කරුණු ගණනාවක්‌ තිබුණා. 12 වැනිදා 20 වැනිදා 21, වැනිදා සහ 28 වැනිදා වශයෙන්. එකී දිනවල පාර්ලිමේන්තුව රැස්‌ නොවුණත්, අප ඒ සියලු කරුණු පිළිබඳව ක්‍රියාත්මක වී ඇති බව මම ඔබ සැමට දන්වන්නට කැමතියි. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමටද අප කටයුතු කරනවා.

ස්‌ථාවර නියෝග සංශෝධනය කොට, පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයේ තිබෙන පා. 67/10 යෝජනාවේ සඳහන් පරිදි පාර්ලිමේන්තු අධීක්‍ෂණ කාරක සභා පත් කිරීම සඳහා අපි වහාම පියවර ගන්නවා. මේ සභාවන් සඳහා පත් කෙරෙන්නේ කැබිනට්‌ මණ්‌ඩලය නියෝජනය නොකරන මන්ත්‍රීවරුනුයි. ඒවායේ සභාපතිවරු පත් කරන්නේ පක්‍ෂ නායකයන්ගේ එකඟත්වය ඇතිවයි. මේ පිළිබඳව අප පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කරනවා.

එක්‌ පුද්ගලයෙක්‌ අත සියලු බලතල ඒකරාශි වූ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට, කැබිනට්‌ මණ්‌ඩලය හා පාර්ලිමේන්තුවට බලතල හිමිවන නව ආණ්‌ඩුක්‍රමයක්‌ ස්‌ථාපිත කරලීම සඳහා දැනට අප ව්‍යවස්‌ථා විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක්‌ මේ වන විටත් අප පත් කොට තිබෙනවා. ඔවුන් සකස්‌ කරන සංවාද ලියෑවිල්ල ඉතා ඉක්‌මනින් පක්‍ෂ නායකයින් වෙත ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා. එය කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කරන්නේ පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසුවයි.

නව මැතිවරණ ක්‍රමය සම්බන්ධව පදනම් ලියෑවිල්ලක්‌ අපි පක්‍ෂ නායකයින් වෙත ඉදිරිපත් කරනවා.

පාර්ලිමේන්තුව ශක්‌තිමත් කරලීම සඳහා අප පියවර ගණනාවක්‌ ගන්නවා. මේ සියලු කරුණු සම්බන්ධව හෙට දිනයේ පක්‍ෂ නායකයින් සමග සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

සියදින මෙහෙයුම යටතේ අප සිදු කරන අනෙකුත් කාර්යයන් පිළිබඳවත් වාරානුකූලව මේ ගරු සභාවට දැනුම් දෙන්නට අප බලාපොරොත්තු වෙනවා.

මා කලිනුත් සඳහන් කළ පරිදි ජනතාවට ලබා දෙන සහන පිළිබඳව සවිස්‌තර තොරතුරු අද අපේ මුදල් ඇමතිතුමා මේ ගරු සභාව හමුවේ කරුණු දක්‌වාවි. ගෙවී ගිය දශකයක කාලය තිස්‌සේ අපේ රට පත් කර ඇති ආර්ථික අගාධය පිළිබඳව සැබෑ තත්ත්වයද ද එතුමා මේ සභාවට හෙළි කරාවි. එතුමාගේ ප්‍රකාශයට ප්‍රවේශයක්‌ ලෙස මම එක්‌ කරුණක්‌ පිළිබඳව මේ සභාවේ අවධානය යොමු කරන්නට කැමතියි. අපේ රටේ අනෙක්‌ හැම ක්‍ෂේත්‍රයකම පාහේ සිදු ව ඇති ලෙසට, අපේ මූල්‍ය විනය අන්තිමටම පිරිහිලා. මේ රටේ ක්‍රියාත්මක වුණේ කැසිනෝ, එතනෝල් යහ මත්කුඩු ආර්ථිකයක්‌, පවුල්වාදී ආර්ථිකයක්‌, ගජමිතුරන්ගේ සහ හෙංචයියන්ගේ සාක්‌කු පුරවන ආර්ථිකයක්‌.

මේ කලු ආර්ථික වසා දැමීම සඳහා ව්‍යාජ දේශප්‍රේමී සංදර්ශන මවා පෑවා. වංචනිකයන්ට සිහසුන හිමි වුණා. ජනතාව කුණු කූඩයට ඇද වැටුණා.

අපි මේ තත්ත්වය වහාම වෙනස්‌ කරනවා. ඒ අනුව ඊයේ කැබිනට්‌ මණ්‌ඩලයේ දී කැසිනෝ සම්බන්ධව අප සුවිශේෂී තීරණයක්‌ ගත් බවත් මම මේ සභාවට දැනුම් දෙන්නට කැමතියි. ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නිකුත් කර ඇති ගැසට්‌ නිවේදනය සංශෝධනය කරන්නට කැබිනට්‌ මණ්‌ඩලය තීරණය කළා. එම ගැසට්‌ නිවේදනය මගින් ලේක්‌ ලේෂර් පුද්ගලික සමාගම, වෝටර් µ්‍රන්ට්‌ ප්‍රොපටිස්‌ පුද්ගලික සමාගම, ද ක්‌වීන්ස්‌බරී ලෙෂර් සමාගම යන ආයතනයන්ට කැසිනෝ සහ සූදු පවත්වාගෙන යාමටත්, ඒ සඳහා වෙනත් ආයතනවලට කුලියට ඉඩ කඩ සැපයීමටත් අවසර ලබා දී තිබෙනවා. අප ඒ සියල්ල තහනම් කිරීමට තීරණය කළා.

මූල්‍ය විනයකින් යුතුව ජනතාවාදී ආර්ථිකයක්‌ නිර්මාණය කිරීම අප සැමගේ වගකීමයි. ඒ සඳහා ජනාධිපතිතුමාගේ සිට සියලුම ඇමතිවරුන් කැපවීම් කරනවා. ආණ්‌ඩු පක්‍ෂයේ සියලුම මන්ත්‍රීතුමන්ලාත් ඒ ලෙසම කැපවීම් කරනවා. විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙනුත් අප ඒ කැපවීම බලාපොරොත්තු වෙනවා.

එසේ නම් අපේ ආණ්‌ඩුවේ ජනතාවාදී මූල්‍ය ප්‍රතිපත්ති මේ සභාව හමුවේ ගෙනහැර දක්‌වන මෙන් මම මුදල් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. එතුමා අද ගෙනහැර දක්‌වන කරුණුවලට අදාළ පනත් කෙටුම් පත ලබන 05 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන් පසුව ඒ පිළිබඳව විවාද කිරීමේ අවස්‌ථාව ඔබ සැමට හිමිවන බවත් මම මේ අවස්‌ථාවේ සිහිපත් කරන්නට කැමතියි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ අප මේ ගොඩනගන්නේ ශීලාචාර ආණ්‌ඩුවක්‌, විනය ගරුක ආර්ථිකයක්‌, අප නිර්මාණය කරන්නේ තෘප්තිමත් සමාජයක්‌. ඒ සත්කාර්යය සඳහා ඔබ සැමගේ සහාය අප බලාපොරොත්තු වෙනවා.

Last modified on Friday, 30 January 2015 01:26

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us