අතවුල්ලා - හකිම් තිඹිරිගොල්ල රක්ෂිතය වනසයි

Published in පුවත්
Tuesday, 25 November 2014 11:58

පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ.එල්.එම්. අතවුල්ලා හා අධිකරණ අමාත්‍ය රවුෆ් හකිම් යන මහත්වරුන්ගේ සහයෝගය මත සංවිධානාත්මක පිරිසක් විසින් අම්පාර, බක්මිටියාව - තිඹිරිගොල්ල වන රක්ෂිතයේ වට්ටමඩු ප‍්‍රදේශයේ අක්කර 1000ක් පමණ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා ගෙන එළිපෙහෙළි කර නීති විරෝධී ලෙස මහ පරිමාණ වගා බිම් ව්‍යාප්ත කිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.

සාගම වැවේ හා පන්නල් ඔයේ ප‍්‍රධාන ජල පෝෂක වනාන්තර ප‍්‍රදේශයක් හා අලි - ඇතුන් ඇතුළු ව සුවිශේෂී ජෛව ප‍්‍රජාවකට රැකවරණය සලසන මෙම රක්ෂිතයේ තෘණ භූමි හා වනාන්තර එළිපෙහෙළි කරමින්, වන සංරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින්, වගාබිම් ව්‍යාප්ත කිරීම සිදු කරනු ලැබුව ද ඊට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර නොමැත. ඔවුන් දේපාලකයන්ට ඇති බිය නිසා මුනිවත රකිමින් සිටියි. 
 
වන සංරක්ෂණ ආඥ පනතට අනුව 2010 ඔක්තෝබර් 01වන දින අංක 1673/45 දරන ගැසට් නිවේදනයට අනුව හෙක්ටයාර 47136ක් වන බක්මිටියාව - තිඹිරිගොල්ල වන රක්ෂිතය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම වන රක්ෂිතය, ලාහුගල - කිතුලාන ජාතික වනෝද්‍යානයට මායිම් වන අතර ඉතා විශාල අලි ගණනකට රැකවරණය සලසන ප‍්‍රදේශයකි. 
 
මෙම වනාන්තරය හා තෘණ බිම් එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් වාසස්ථාන අහිමි වන අලි - ඇතුන් එ ආශ‍්‍රිත ව පිහිටි සාගම, අලයාඩිවිම්බු හා අලිගම්බේ යන ගම්මානවලට පිවිසීමේ වැඩි අවධානමක් පවතී. මේ නිසා මේ ප‍්‍රදේශයේ අලි - මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය විය හැකි වන අතර ඒ හේතුවෙන් අලි - ඇතුන්ට හා ගම්වාසීන්ට ජීවිතවලින් පවා වන්දි ගෙවීමට සිදු වේ. මෙවන් හානි කර තත්ත්වයන් ඇති කිරීමට පටු දේශපාලන පරමාර්ථ වෙනුවෙන් රජයේ වගකිව යුතු අමාත්‍යාංශ භාරව කටයුතු කරන ඇමතිවරුන්ගේ සහයෝගය ලබා දීම පිළිබඳව අප කණගාටු වෙමු.
 
නීති විරෝධී ලෙස එළිපෙහෙළි කරන සමහර ප‍්‍රදේශ කිරි ගොවිතැන වෙනුවෙන් වෙන් කළ තෘණ භූමි වේ. මහජන ආරක්ෂක ආඥ පනත යටතේ 1976.09.17 වන දින අංක 231 දරන ගැසට් නිවේදනයෙන් අක්කර 4000ක භූමි ප‍්‍රදේශයක් වට්ටමඩු තෘණ බිම ලෙස අලයාඩිවිම්බු කිරිගොවීන් සඳහා අම්පාර දිස්ති‍්‍රක් ලේකම් විසින් වෙන් කර තිබේ. එම ප‍්‍රදේශය අද වන විට බක්මිටියාව - තිඹිරිගොල්ල වන රක්ෂිතයට ඇතුළත් කර තිබේ. මෙම තෘණ භූමිය කිරි ගොවි පවුල් 168කට අයත් කිරි ගවයන් 15,000ක පමණ ප‍්‍රධාන පෝෂක තෘණ භූමියකි. මෙම ප‍්‍රදේශය බලහත්කාරයෙන් අත්පත් කරගෙන වගා බිම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් කිරි ගොවි කර්මාන්තයේ නිරත ජනතාව දැඩි අසීරුතාවයකට පත් ව සිටී.
 
පන්නල් ඔයේ හා සාගම වැවේ ප‍්‍රධාන ජලපෝෂක ප‍්‍රදේශයක් වන මෙම වනාන්තරය හා තෘණ භූමි එළිපෙහෙළි කිරීම හේතුවෙන් සාගම වැව යටතේ වගා කටයුතු සිදු කරන සාගම වෙල් යායේ යල මහ දෙකන්නයේ වගා කටයුතු සිදු කිරීමට ජලය හිඟ වීමෙන් ගොවි ජනතාවට ගැටළු රැසකට මුහුණ දීමට ඉදිරියේ දී සිදු වනු ඇත.
 
2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 7 වන වගන්තියට අනුව වන රක්ෂිතයකට අනවසරයෙන් ඇතුළු වීම, රැදී සිටීම, ශාක කපා ඉවත් කිරීම, වගා බිම් සැකසීම, වගා කටයුතු සිදු කිරීම, වනාන්තර ඉවත් කිරීමට හා වගාබිම් සැකසීම සඳහා යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතා කිරීම යන සියල්ල නීති විරෝධී වේ. 
 
මේ ක‍්‍රියාවල නිරත වන පුද්ගලයන් වරද කරුවකු වන අතර වසර 5ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 10,000ත් ලක්ෂයත් අතර දඩ මුදලකට හෝ මේ දඩුවම් දෙකටම හෝ යටත් කළ හැකි ය. මීට අමතර ව රක්ෂිත වනයට සිදු කරන ලද හානිය සඳහා ද අධිකරණය නියම කරන දඩයකට යටත් කළ හැකි ය. මීට අමතර ව මේ නීති විරෝධී කි‍්‍රයාවන් සඳහා ආධාර හා අනුබල ලබා දෙන පුද්ගලයන් ද වැරදි කරුවන් වන අතර ඔවුන්ව ද මේ දණ්ඩනයන්ට යටත් කළ හැකි ය.
 
ඒ.එල්.එම්. අතවුල්ලා හා රවුෆ් හකිම් යන අමාත්‍යවරුන්ගේ සහයෝගය හා මඟපෙන්වීම මත මේ නීති විරෝධී ක‍්‍රියා සිදු කළ ද ඊට එරෙහිව මෙම නීති ක‍්‍රියාත්මක කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත් වී තිබේ. ඒ හේතුවෙන් බොහෝ ජනතාව පීඩනයට පත් වීම හා වන රක්ෂිතයේ පැවැත්ම ද දැඩි බලපෑමකට ලක් ව තිබේ.
 
කිරි ගොවීන් වෙනුවෙන් වෙන් කළ තෘණ භූමි විනාශ කරමින් මහජන ආරක්ෂණ ආඥ පනත උල්ලංඝනය කරමින් සිදු කරන මේ විනාශයට එරෙහිව කටයුතු කිරීමට 1976 ජුනි 17 වන දින අංක 217/51 දරන ගැසට් නිවේදනයට අනුව අම්පාර දිස්ත‍්‍රික් ලේකම්වරයාට බලතල ඇත. නමුත් එ් සඳහා මේ වනතුරුත් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් පෙනෙන්නට නොමැත.
 
ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියට අනුව නීත්‍යානුකූලව රැකියාවක හෝ වෘත්තියක නිරත වීමේ අයිතිය සෑම පුරවැසියකුටම හිමිය. එම අයිතියට බලපෑම් කරමින් කිරි ගොවීන්ගේ තෘණ භූමි මෙලෙස විනාශ කිරීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමකි. ඒ සඳහා අධිකරණ අමාත්‍යවරයා ම ආධාර හා අනුබල ලබා දීමෙන් පෙනී යන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පිළිබඳව කිසිදු තැකීමක් වත්මන් රජය විසින් සිදු නොකරන බව ය.
 
වන රක්ෂිතය විනාශ කරමින් සිදු කරන මෙම දැවැන්ත වනාන්තර එළිපෙහෙළි කිරීම හා නීති විරෝධී වගා බිම් ව්‍යාප්ත කිරීම හේතුවෙන් සාගම, අලයාඩිවිම්බු හා අලිගම්බේ ගම්මානවල ජනතාව අලි - මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වීම, අලයාඩිවිම්බු කිරි ගොවීන් අවතැන් වීම හා සාගම ගොවි ජනතාව අවතැන් වීම සිදු වුව ද ඒ.එල්.එම්. අතාවුල්ලා හා රවුෆ් හකීම් අමාත්‍යවරුන්ගේ හිතවතුන් කිහිපදෙනෙකු වෙනුවෙන් මේ ගම්මානවල ජනතාව අවතැන් කිරීම සිදු කරති. ඔවුන්ගේ යැපුම් මාර්ග අවදානමට ලක් කිරීම සිදු කරති. මෙවන් දේශපාලකයන් මහජන නියෝජිතයන් ලෙස හැඳින්විය හැකි ද යන්න ගැටලූවකි.
 
අප වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා අම්පාර දිස්ත‍්‍රික් ලේකම්වරයාට අවධාරණය කර සිටින්නේ බක්මිටියාව - තිඹිරිගොල්ල වන රක්ෂිතය හා වට්ටමඩු තෘණ බිම්වල සිදු කරනු නීති විරෝධී වගා බිම් වහාම ඉවත් කිරීමට හා අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස හා ඒ අවට කිරි ගොවි හා ගොවි ජනතාවගේ මෙන්ම වන රක්ෂිතයේ රැකවරණය හා සුරක්ෂිතතාවය තහවුරු කරන ලෙස ය.

සජීව චාමිකර

පරිසර සංරක්ෂණ භාරය 
1
 
2
 
3
 
4
 
5
 
 

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

අනං මනං

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

''කිසි දිනෙක අඩුවක් නොවන" නැකතක්

වසර පුරා සෞභාග්‍ය හා වාසනාවන උදාකරවන අක්ෂය ත්‍රිතිය හෙවත් අක්ෂ්‍ය නැකැත හෙට (10) දිනට යෙදී තිබෙනවා.

Connet With Us