හම්බන්තොට සංවර්ධනයට අලි 10යි නර 7යි බිලි

Published in පුවත්
Wednesday, 05 November 2014 09:40

හම්බන්තොට සිදු කෙරෙන මහා පරිමාණ අක‍්‍රමවත් සංවර්ධන කටයුතු හේතුවෙන් වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් ගම් වැදීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් මේ වන විට උද්ගතව තිබේ. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස මේ වසරේ පසුගිය මාස කිහිපය තුළ දී පමණක් වගා බිම්වලට පැමිණි අලි - ඇතුන් 10ක් පමණ වෙඩි තබා හා විදුලි සැර යොදා ඝාතනය කර තිබේ. එපමණක් නොව අලි - ඇතුන්ගේ ප‍්‍රහාරයන්ට ලක් ව මිනිසුන් 7 දෙනෙකු පමණ මියගොස්, තවත් පුද්ගලයන් දෙදෙනකු පමණ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් ව සිටී.

මේ තත්ත්වය පාලනය කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් යෝජනා කර ඇති ”හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප‍්‍රදේශයේ දේශපාලකයන්ගේ බලපෑම මත ප‍්‍රකාශයට පත් නොකිරීම හා ඊට අයත් වනාන්තර ඉඩම් සීඝ‍්‍රයෙන් එළිපෙහෙළි කර සංවර්ධන කටයුතු හා හේන් වගාවන් සඳහා යොදා ගැනීම නිසා මේ තත්ත්වය තව තවත් උග‍්‍ර වෙමින් පවතී.

උඩවලව, ලූණුගම්වෙහෙර හා බූන්දල ජාතික වනෝද්‍යාන සම්බන්ධ කරමින් අලි - ඇතුන් ගේ සංක‍්‍රමණික රටාවන් හඳුනාගෙන හම්බන්තොට අලි - මිනිස් ගැටුම පාලනය කිරීම සඳහා වනාන්තර ප‍්‍රදේශ ජාල ගත කිරීම අරමුණු කර ගෙන ”හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය” ප‍්‍රකාශයට පත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යෝජනා කර තිබේ.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1937 අංක 2 දරන වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥ පනතේ 2 වන වගන්තියට අනුව මෙම රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීමට යෝජිතව ඇත. ගජ මිතුරෝ වැඩසටහන යටතේ 2009 වසරේ සිට 2011 වසර දක්වා කාලය තුළ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සියලූම රාජ්‍ය ආයතනවල හා ප‍්‍රදේශවාසීන් ගේ සහභාගිත්වයෙන් යුතු ව සකස් කළ මේ සැලැසුම සඳහා 2012 වසරේ දී ගජ මිතුරෝ දිස්ත‍්‍රික් කමිටුව විසිින් ඒකමතිකව අනුමැතිය ලබා දී තිබේ. එම සැලැසුමට අනුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කිරීම, විදුලිවැටවල් ඉදිකිරීම හා අලි මංකඩවල් විවෘත කිරීම ඇතුළු ක‍්‍රියාමාර්ගවලට පිවිසීමට නියමිතව තිබුණි.

මේ සියලූම සැලැසුම් ක‍්‍රියාත්මක කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රාදේශීය නිලධාරීන් විසින් සකස් කළ වාර්තා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය වෙත යොමු කර වසර දෙකකට වැඩි කාලයක් ගත වී ඇතත් එහි කිසිදු ප‍්‍රගතියක් හෝ ඉදිරි සැලැසුමක් හෝ මේ වන විටත් ක‍්‍රියාත්මක කර නොමැත. මීට අමතර ව මේ සැලැසුම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ යෝජනාව දැනට වසර තුනකට ප‍්‍රථම ඉඩම් අමාත්‍යාශය වෙත යොමු කර තිබුණ ද එහි ද කිසිදු ප‍්‍රගතියක් මේ වන විටත් දැක ගත නොහැකි ය.

ප‍්‍රධාන අලිමංකඩවල් තුනකින් සමන්විත ව මෙම සැලැසුම සකස් කර තිබේ. එ් අනුව යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට බූන්දල ජාතික වනෝද්‍යානයේ සිට අලි සංක‍්‍රමණය වන ප‍්‍රධාන අලි මංකඩ පිහිටා ඇත්තේ කොහොලංකල ප‍්‍රදේශයේ ය. මෙය කොහොලංකල - කෑලියපුර අලි මංකඩ ලෙස හැඳින්වේ. අද වන විට එම ප‍්‍රදේශයේ වනාන්තර අක්කර 100 ක් පමණ එළි පෙහෙළි කර ජනතාව පදිංචි කිරීමේ කටයුතු ක‍්‍රියාත්මක කරනු ලැබේ. මෙය ක‍්‍රියාත්මක කරනු ලබන්නේ හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම්වරයා ගේ මෙහෙයවීම යටතේ ය.

මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් ඒ සඳහා නිසි ශක්‍යතා අධ්‍යයනයක් හා පරිසර බලපෑම් ඇගයීමක් සිදු කර පාරිසරික අනුමැතිය ලබාගත යුතු ය. නමුත් හම්බන්තොට දිස්ත‍්‍රික් ලේකම්වරයා තම හිතුමනාපය පරිදි මේ ව්‍යාපෘතිය කිසිදු පාරිසරික අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස ක‍්‍රියාත්මක කරනු ලැබේ. නිලධාරීන් විසින් ගනු ලබන මේ අඥාන තීරණවල අහිතකර ප‍්‍රතිඵල අවසානයේ බුක්ති විඳීමට සිදුවන්නේ ඒ අවට වෙසෙන ජනතාවට හා අලි - ඇතුන්ට ය.

යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය හා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය සම්බන්ධ වනුයේ උනාතුවැව අලි මංකඩෙනි. මේ අලි මංකඩ ද මේ වන විට ඇහිරී ඇති අතර එය විවෘත කිරීම සඳහා ද සැලැසුම් සකස් කළ යුතු ව ඇත.

යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය හා උඩවලව ජාතික වනෝද්‍යානය සම්බන්ධ වන්නේ උඩවලව - තනමල්විල මාර්ගයේ 31 හා 32 කිලෝමීටර කණු අතර ප‍්‍රදේශය හරහා ය. මේ අලි මංකඩ විවෘත කිරීම සඳහා අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා විරෝධතාව දැක්වීම හේතුවෙන් මෙතෙක් ඒ පිළිබඳ සැලැසුම් සකස් කිරීමට නොහැකි වී තිබේ. මෙහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ දිනෙන් දින මේ ප‍්‍රදේශයේ අලි - මිනිස් ගැටුම උග‍්‍ර තත්ත්වයකට පත් වීම ය.

මේ වන විට අයිරිෂ්, ඇනෝචි, ෆාර්නා, නැවිටාස් යන සමාගම් විසින් සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ තිස්සපුර, බුරුතංකන්ද ප‍්‍රදේශයේ වනාන්තර අක්කර 600ක් නීති විරෝධී ලෙස සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර තිබේ. මීට අමතර ව යෝජිත රක්ෂිතය තුළ පිහිටි බ`දගිරිය කැලෑ ප‍්‍රදේශය දෙකඩ වන ලෙස මත්තල සිට තම්මැන්නාව පාර දක්වා අලූතින් මාර්ගයක් වනාන්තර ප‍්‍රදේශ වනසමින් ඉදි කෙරෙමින් පවතී.

එපමණක් නොව යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි මහවැලි අධිකාරිය යටතේ පාලනය වන කැටන්වැව, එලල්ල, පහළ අන්දරවැව, කෑලියපුර, කුඩා ඉදිවැව, හා ගොන්නෝරුව යන ප‍්‍රදේශවල පිහිටි වනාන්තර බිම් හා බදගිරිය, තම්මැන්නාව හා මත්තල යන ප‍්‍රදේශවල පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වනාන්තර බිම් සීඝ‍්‍රයෙන් එළිපෙහෙළි කරමින් මහා පරිමාණ හේන් වගා බිම් පවත්වා ගෙන යයි.

මෙලෙස නීති විරෝධී ලෙස වනාන්තර එළිපෙහෙළි කරමින් හේන් වගා බිම් පවත්වා ගෙන යාම හා මහවැලි අධිකාරියට අයත් ඇළ මාර්ගවලින් නීති විරෝධී වගා බිම්වලට ජලය ලබා ගැනීමට එරෙහිව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමට මහවැලි අධිකාරියට හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවස්ථාව ලබා නොදෙන්නනේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ය. ඊට හේතුව ඔහුගේ ආධාරකරුවන් විසින් නීති විරෝධී මහා පරිමාණ වගාබිම් පවත්වා ගෙන යන නිසා ය. මේ නිසා නිලධාරීන් නීතිරීති ක‍්‍රියාත්මක කිරීම අතහැර දමා ඇති අතර ඒ හේතුවෙන් වනාන්තර එළිකිරීමේ කටයුතු මේ වන විට වර්ධනීය තත්ත්වයකට පත් ව තිබේ.

එ් අතරතුර මහවැලි අධිකාරිය මඟින් කෑලියපුර, ගොන්නෝරුව, කැටැන්වැව, පහළ අන්දරවැව හා කුඩාඉදිවැව යන ප‍්‍රදේශවල ව්‍යාප්තව ඇති යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 6000ක් පමණ සංවර්ධනය කර වාණිජ ඉඩම් ලෙස ලබා දීමට සුදානම් වේ. මෙය කි‍්‍රයාත්මක කළ හොත් යෝජිත අලි කළමනාකරණ රක්ෂිතයෙන් වැඩි කොටසක් අලි - ඇතුන්ට අහිමි වී දැවැන්ත ගැටළු ප‍්‍රමාණයකට අලි - ඇතුන්ට හා එ් අවට ජනතාවට මුහුණ දීමට සිදු වනු ඇත.

යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ ගොන්නොරුව හා හැඩිගල්ල ප‍්‍රදේශයේ මත්තල ගුවන්තොටුපල ආසන්නයේ මල්ආර දෙපස වනාන්තර අක්කර 100ක් ව්‍යාජ ඔප්පු සකස් කර ගනිමින් බෙලිඅත්ත ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සිරිල් මුණසිංහ මහතා විසින් නීති විරෝධී ලෙස වනාන්තර ඉඩම් අත්පත් කර ගෙන තිබේ. හම්බන්තොට මහ පරිමාණ සංවර්ධන කටයුතු හේතුවෙන් ඉඩම් වල වටිනාකම ඉහළ යාම නිසා විවිධ දේශපාලන සම්බන්ධතා සහිත පුද්ගලයින් මේ අයුරින් වනාන්තර ඉඩම් ක‍්‍රමාණුකූලව අත්පත් කර ගැනීමේ යෙදී සිටී.

යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් කුඩා ඉදිවැව හා එලල්ල ප‍්‍රදේශයේ මහ පරිමාණ ගල් වලවල් ගණනාවක් පවත්වා ගෙන යනු ලැබේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වී. කේ. ඉන්දික මහතා සහ දකුණු පළාත් සභා අමාත්‍ය ඞී. වී. උපුල් මහතා ගේ ඥාතීන්ට හා හිතවතුන්ට මේ ගල්වලවල් පවත්වා ගෙන යාම සඳහා අවස්ථාව ලබා දී ඇති අතර ඒ සඳහා නීති විරෝධීව බලපත‍්‍ර ලබා දීම ද මොවුන් ගේ ඍජු මැදිහත් වීම මත සිදු කර තිබේ. ගොන්නෝරුව මාර්ගයේ සීනුකුගල ප‍්‍රදේශයේ ද වනාන්තර බිම් එළි පෙහෙළි කරමින් අක්කර 50 කට වඩා වැඩි භූමි ප‍්‍රදේශවල ව්‍යාප්ත වූ ගල්වලවල් 10 ක් පමණ ඉතාම හානිකර ලෙස පවත්වාගෙන යනු ලැබේ. ගල් වලවල් පවත්වා ගෙන යන මේ සියලූ වනාන්තර බිම් රජයට අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන භූමි ප‍්‍රදේශ වේ.

යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය තුළින් වලවේ වම් ඉවුරු ඇළ ගලා බසින අතර වම් ඉවුරු ඇළ ආශ‍්‍රිත අක්කර 1000 කට ආසන්න වනාන්තර ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම එළි පෙහෙළි කර කෙසෙල් වගාබිම් ව්‍යාප්ත කර තිබේ. ඒ වටා විදුලි වැටවල් ද ඉදි කර තිබේ. එම වගාවන් සඳහා අනවසරින් ජලය ලබාගනු ලබන්නේ වම් ඉවුරු ඇළෙනි. මේ දැවැන්ත වනාන්තර විනාශය අලි - ඇතුන් ගේ වාසස්ථාන ඛණ්ඩනය කිරීමට පමණක් නොව එම සතුන් ගේ ආහාර බිම් සීමා කිරීමටත් හේතු වී තිබේ. එම තත්ත්වය මත වාසස්ථාන අහිමි වන අලි - ඇතුන් ඒ ආශ‍්‍රිත ජනාවාසවලට හා වගාබිම්වලට පිවිසීමෙන් දරුණු අලි - මිනිස් ගැටුමක් නිර්මාණය වී තිබේ.

දැනට වසරකට ප‍්‍රථමයෙන් මේ අනවසර වගා බිම් ඉවත් කිරීමට හා අනවසරින් වම් ඉවුරු ඇළෙන් වගාබිම්වලට ජලය ලබා ගැනීමට එරෙහිව මහවැලි අධිකාරියේ නිලධාරින් විසින් නීතිමය ක‍්‍රියාමාර්ග ගෙන ඇති නමුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ මැදිහත්වීම මත එම ක‍්‍රියාවලිය මේ වන විට නතර කර තිබේ.

මේ සියල්ලේම ප‍්‍රතිඵලය ලෙස යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ හා ඒ ආශ‍්‍රිත ව පිහිටි කැටන්වැව, කුඩා ඉදිවැව, නාගරවැව, පන්වැව, වල්සපුගල, තැලවිල්ල, ඉලූක්පැලැස්ස, සීනුක්කුගල හා මැටිගත්වැව ආදී ප‍්‍රදේශවල වගා බිම්වලට පැමිණෙන අලි - ඇතුන් වෙඩි තබා හා විදුලිසැර යොදා ඝාතනය කිරීම වර්ධනය වී තිබේ.

මේ ප‍්‍රදේශයේ අලි මරණ හා අලි ප‍්‍රහාරයන්ට ලක් ව සිදු වූ මිනිස් මරණවලට සෘජුව ම වගකිව යුතු වන්නේ වත්මන් රජය විසින් සැලසුමකින් තොරව හම්බන්තොට සිදුකරන අවිධිමත් සංවර්ධන කටයුතු ය. ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඉදි කිරීම සඳහා පමණක් මත්තල ප‍්‍රදේශයේ අලි - ඇතුන්ගේ ප‍්‍රධාන වාසස්ථානයක් වූ දැවැන්ත වනාන්තර පද්ධතියේ අක්කර 5000ක් සම්පූර්ණයෙන් යොදා ගැනීම සිදු කෙරින. ඉන්පසුව ඒ ආශ‍්‍රිත මාර්ග පද්ධති හා යටිතල පහසුකම් නැංවීමට, හම්බන්තොට වරාය ඉදි කිරීමට, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාව, මිරිජ්ජවිල ආයෝජන කලාපය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය හා ක‍්‍රිකට් ක‍්‍රීඩාපිටිය ඉදි කිරීම සඳහා ද දැවැන්ත වනාන්තර ප‍්‍රමාණයක් ඉවත් කෙරින. මේ හේතුවෙන් පහළ අන්දරගස්වැව, දිමුතුගම, එලල්ල, පහළ මත්තල, උඩ මත්තල, පුංචිඅප්පු ජදුර, බදගිරිය සහ ලූණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ සංවර්ධනය කළ කුඩා ගම්මාන 5 හා 6 ප‍්‍රදේශවලට වාසස්ථාන අහිමි වූ අලි - ඇතුන් පිවිසීමෙන් දැවැන්ත අලි - මිනිස් ගැටුමක් අලූතින් නිර්මාණය වී තිබේ.

මේ දැවැන්ත වන විනාශයේ ප‍්‍රතිඵලය වී ඇත්තේ අලි - මිනිස් ගැටුම මෙතෙක් නොපැවති බොහෝ ප‍්‍රදේශ එහි ගොදුරු බවට පත් වීම පමණක් ම නොවේ. පසුගිය කාලයේ පවති උග‍්‍ර නියං තත්ත්වයට හා ඒ සම`ග ම උද්ගත වූ දැවැන්ත ජල අර්බුධයට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ද මේ මහා පරිමාණ වනාන්තර විනාශ යයි. මේ වනාන්තර විනාශයත් සම`ග ම උද්ගත වන ජල අර්බුධ විසඳීමට හා මේ ප‍්‍රදේශයේ සිදු කෙරන මහා පරිමාණ සංවර්ධන කටයුතු සඳහා ජලය ලබා ගැනීමට, උඩමව්ආර, උමා ඔය හා කුඹුක්කන් ඔය වැනි ඉතා ම හානි කර වාරි ව්‍යාපෘති ගණනාවක් ජනතාව හා වන සතුන් අවතැන් කරමින් අද වන විට ක‍්‍රියාත්මක කරමින් පවතී.

මේ අයුරින් හම්බන්තොට සිදු කෙරෙන අක‍්‍රමවත් විනාශකාරී හා මහජන මුදල් දැවැන්ත ලෙස විනාශ කර දමන මහා පරිමාණ සංවර්ධන කටයුතු සඳහා විශාල ප‍්‍රදේශයක ජනතාවකට ජීවත් වීමේ අයිතිය, තම නිදහස් ජීවන පැවැත්ම හා නිදහස් ජල අයිතිය පවා අහිමි කර තිබේ.

හම්බන්තොට අවිධිමත් සංවර්ධන ප‍්‍රදේශය තුළ ස්ථාන ගණනාවක මේ වන විට අලි - ඇතුන් 50කට වැඩි ප‍්‍රමාණයක් අවතැන් ව සිටී. එම සතුන් ව ඉදිරියේ දී යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය තුළට පලවා හැරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ. 2007 වසරේ දී මේ ප‍්‍රදේශවල සිටි අලි - ඇතුන් 450ක් පමණ දැවැන්ත මෙහෙයුමක් සිදු කර ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයට පළවා හැරි අතර එය අසාර්ථක ව්‍යාපෘතියක් විය. ඊට හේතුව ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානය තුළ මෙවන් දැවැන්ත අලි - ඇතුන් ප‍්‍රමාණයකට ප‍්‍රමාණවත් ආහාර ප‍්‍රභව හා ජල පහසුකම් නොමැති වීම ය.

අද වන විට නිසි සැලසුමකින් තොරව ඉදි කළ හම්බන්තොට වරාය පරිශ‍්‍රය තුළ, මිරිජ්ජවිල ආයෝජන කලාපය තුළ, හම්බන්තොට පරිපාලන සංකීර්ණය පිටුපස පිහිටි වනාන්තර කොටස තුළ, ක‍්‍රීඩා පිටිය ආශ‍්‍රිත නුගේගලයාය, එඩිසන් කන්ද ආශ‍්‍රිත ව සහ මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් හුදකලා වී ඇති වනාන්තර කුට්ටි ලෙස පවතින, මානජ්ජාව කැලය, මදුනාගල වනාන්තරය, නාගරවැව ප‍්‍රදේශය, ඉහළ කුඹුක්වැව හා කුමාරගම කැලෑ ප‍්‍රදේශයේ අලි - ඇතුන් විශාල ප‍්‍රමාණයක් හුදකලාව සිටිති. මේ සියලූ සතුන් අනාථ වී සිටින්නේ හම්බන්තොට අවිධිමත් සංවර්ධනයේ ප‍්‍රතිඵලයක් ලෙස ය.

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් සිදු කළ පාරිසරික හා වනාන්තර විනාශයට වඩා දැවැන්ත හානියක් හම්බන්තොට අවිධිමත් සංවර්ධන කටයුතු වලින් එම ප‍්‍රදේශයට සිදු කර ඇත. මේ සංවර්ධන කටයුතු ක‍්‍රමවත්ව සිදු කළේ නම් නිසි පරිදි බලපෑම් හඳුනාගෙන සුදුසු ස්ථානවල අවශ්‍යතාවයන් මත පදනම් වූ හුදකලා නොවූ විධිමත් සංවර්ධනයක් ඇති කළ හැකි ව තිබුණි. නමුත් දේශපාලන උවමනාවන් මත පමණක් මෙම සංවර්ධන කටයුතු සිදු කිරීමෙන් අද වන විට සිදු වී ඇත්තේ සංවර්ධනය හුදකලා වීම හා ජනතාව, අලි - ඇතුන් ඇතුළු සියලූ සතුන් අවතැන් වීම ය. මේ පිළිබඳව ජනාධිපතිතුමන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලකයන් දැන්වත් තේරුම් ගත යුතු ය. මේ අවිධිමත් සංවර්ධනය හේතුවෙන් ඇති වී තිබෙන ගැටළු තව තවත් සංකීර්ණත්වයට පත් කර විසඳිය නොහැකි තත්ත්වයට පත් නොකර ඊට නිසි පිළියම් සෙවීමට නිසි සැලසුම් සකස්කර ක‍්‍රියාත්මක කිරීමට ඉඩකඩ ලබා දිය යුතු ය.

නමුත් එවන් තත්ත්වයක් ඇති වන බවක් වර්තමානයේ ද පෙනෙන්නට නොමැත. අද වන විට යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය දෙකඩ කරමින් මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය පුළුල් කිරීමට මේ වන විටත් සැලසුම් කර අවසන්ව ඇත. මාතර, ගොඩගම සිට හම්බන්තොට ඉහළ අන්දරවැව දක්වා අධිවේගී මාර්ගය පුළුල් කර එම මාර්ගයට හම්බන්තොට වරායේ සිට හා මත්තල ගුවන් තොටුපලේ් සිට පිවිසීම සඳහා ඉදි කරන පිවිසුම් මාර්ග හේතුවෙන් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය සම්පූර්ණයෙන් ම දෙකඩ වී අලි - ඇතුන් දැවැන්ත හුදකලා වීමකට ලක් වේ. මෙම අධිවේගී පිවිසුම් මාර්ග හේතුවෙන් යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයේ සීනුක්කුගල, වල්සපුගල, කරුවලවැව වනාන්තර ප‍්‍රදේශය සම්පූර්ණයෙන් ම අලි - ඇතුන් සම`ග ම හුදකලා වීම සිදු වේ. මේ පිළිබඳව අදාළ සැලසුම් සකස් කරන්නන් අවධානය යොමු නොකිරීමෙන් සිදුවන්නේ අවට ජනතාව දැවැන්ත අලි - මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වීම ය.

හම්බන්තොට වරාය හා මත්තල ගුවන් තොටුපළ ඉදිකිරීමට ප‍්‍රථම සකස් කළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇත්තේ මේ සංවර්ධන කටයුතු සම`ග අවතැන්වන අලි - ඇතුන්ට රැුකවරණය සැලසීම සඳහා හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කළ යුතු බව ය. නමුත් එය එම වාර්තාවලට පමණක් සීමා කර දැනට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය අවිධිමත් හම්බන්තොට සංවර්ධනයේ දැවැන්ත ගොදුරක් බවට පත් ව තිබේ. මේ තත්ත්වය හේතුවෙන් වල්සපුගල, කරුවලවැව, මදුනාගල, හැඩිල්ල, කරඹගහමුල්ල, නබඩගස්වැව හා උණුදිය පොකුණ ආදී ප‍්‍රදේශවල අලි - මිනිස් ගැටුම උග‍්‍ර තත්ත්වයකට පත් ව තිබේ.

ජනාධිපතිතුමන් ඇතුළු ප‍්‍රදේශයේ දේශපාලකයන් පමණක් නොව මහවැලි අධිකාරියේ නිලධාරීන්, හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම් හා හම්බන්තොට ප‍්‍රාදේශීය ලේකම් විසින් ද උත්සාහ දරන්නේ යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් කෑලියපුර වනාන්තර ප‍්‍රදේශය සම්පූර්ණයෙන් ම සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමට ය. සංචාරක හෝටල්, කාර්යාල සංකීර්ණ, වාහන සේවා ස්ථාන ආදී විවිධ ඉදි කිරීම් සඳහා මේ වනාන්තර ප‍්‍රදේශය ලබා දීමට මෙම අදූරදර්ශී නිලධාරීන් දැඩි උත්සාහයක නිරත වේ. ”විසල් හම්බන්තොට” නගර සැලසුමට සමගාමී ව මේ ප‍්‍රදේශය සංවර්ධනය කිරීමට ඔවුන් උත්සාහ දරති. ඔවුන් කිසි විටෙක වනජීවීන්ගේ රැුකවරණය හෝ ප‍්‍රදේශයේ ජනතාවගේ සුබසිද්ධිය ගැන නොසිතමින් මෙවන් හානි කර තීන්දු තීරණ ගැනීමෙන් පෙනී යන්නේ අනාගත දැක්මකින් තොරව පටු අරමුණු උදෙසා මේ සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කරන බව ය.

මහවැලි අධිකාරියේ නිලධාරීන් උත්සාහ දරන්නේ යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වනාන්තර බිම් කඩිනමින් සංවර්ධනය කර සමස්ථ පද්ධතිය ම කෙටි කාලයකින් විනාශ කර දැමීමට ය. එම නිලධාරීන් සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ හා කථානායක චමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ නියෝග පරිදි යෝජිත රක්ෂිතයට අයත් වනාන්තර ඉඩම් කැබලි 6000ක් ඔවුන්ගේ ආධාරකරුවන්ට ලබා දෙන ලෙසට ඉල්ලීම් කර ඇති බව ය.

ඊට අමතර ව දැනට එම ප‍්‍රදේශවල අනවසර වගාකරුවන් 310 කට ද ඉඩම් කොටස් ලබා දීමට නියමිතව ඇත. මේ සියල්ල සිදු කළ පසුව අවසානයේ සිදු වන්නේ අලි - ඇතුන් 350ක් පමණ සමූල ඝාතනය කිරීමට ය. සංවර්ධන සැලසුම් සකස් කරන්නන් ඉතාම පටු දේශපාලන අරමුණු මත ක‍්‍රියාත්මක වීම හා සමස්ථය පිළිබඳව නිසි අවබෝධයකින් යුතු ව සැලසුම් සකස් නොකිරීම හේතුවෙන් රටේ ජනතාව දැවැන්ත අර්බුධයකට මේ වන විට ලක් වී ඇත. නමුත් දිගින් දිගට ම ඔවුන් විසින් සිදු කරන්නේ ද දේශපාලකයන්ගේ ඉල්ලීම් මත මන්දබුද්ධිකයන් ලෙස කටයුතු කිරීම ය.

මේ සියළු සංවර්ධන කටයුතු සිදු කරනු ලබන්නේ වන සංරක්ෂණ ආඥ පනත හා ජාතික පාරිසරික පනත උල්ලංඝනය කරමිනි. 2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව රජයට අයත් වනාන්තර එළි පෙහෙළි කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම, මාර්ග ඉදිකිරීම, ගල්වලවල් පවත්වාගෙන යාම සම්පූර්ණයෙන්ම තහනම් වේ.

එවන් වරදකට වරදකරුවකු කරනු ලැබූ විට අවුරුදු දෙකක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 5000 ත් 50,000 අතර දඩයකට හෝ මේ දෙකටම යටත් කළ හැකි ය. මීට අමතර ව එම වනාන්තරයට සිදු කළ හානියට වන්දියක් වශයෙන් අධිකරණයට දඩ මුදලක් නියම කළ හැකි ය. මේ වගන්තිය අනුව මෙවන් වැරදි කි‍්‍රයාවන් සඳහා ආධාර, අනුබල ලබාදෙන පුද්ගලයන් ද මෙම දණ්ඩනයන්ටම යටත් කළ හැකි ය.

1980 අංක 47 දරන සංශෝධිත ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 වන දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5 කට වඩා විශාල වනාන්තරයක් එළි කර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීමට ප‍්‍රථමයෙන් හෝ එක්වර පවුල් 100 කට වැඩි ප‍්‍රමාණයක් පදිංචි කිරීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. නමුත් යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය තුළ සූර්යය බලශක්ති බලාගාර, කාර්මික නගරය ඉදිකිරීම, ජනාවාස පිහිටුවීම යන සියළු සංවර්ධන කටයුතු මේ පනත් උල්ලංඝනය කරමින් සිදු කෙරේ.

හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ යෝජිත වන අලි කළමනාකරණ සැලැසුමට අනුව කිලෝමීටර 180 ක විදුලි වැටක් රක්ෂිතය ආවරණය වන පරිදි සැකසීමටත් වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ පිහිටි වගා බිම් හා ජනාවාස ආවරණය වන ලෙස තවත් කිලෝමීටර 140 ක විදුලි වැටවල් ඉදිකිරීමටත් යෝජිතව ඇත. ඉන් කිලෝමීටර 53 ක් පමණ 2011 වසරේ දී ඉදි කර අවසන් කළ ද ඉතිරිය ඉදිරියේ දී ක‍්‍රියාත්මක කිරීමට යෝජිතව ඇත. නමුත් ඒ සඳහා ප‍්‍රදේශයේ දේශපාලන බල අධිකාරියේ සහයෝගය නොලැබීම හා නිලධාරීන් හිතුමනාපේ තම සංවර්ධන සැලැසුම් ක‍්‍රියාත්මක කිරීම යන හේතු නිසා අලි - මිනිස් ගැටුම පාලනය කිරීමේ ක‍්‍රියාවලිය දිනෙන් දිනම අසාර්ථක වී ඇත.

අප අවසන් වශයෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින් යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප‍්‍රකාශයට පත් කර අලි - ඇතුන් ඇතුළු ව ඒ අවට ජනතාවගේ රැුකවරණය හා දැනට සිදු කර ඇති හම්බන්තොට අක‍්‍රමවත් සංවර්ධන කටයුතුවල ඉදිරි පැවැත්ම හෝ තහවුරු කරන ලෙස ය, එපමණක් නොව හම්බන්තොට ස්වාභාවික සම්පත්, වනාන්තර හා අලි - ඇතුන්ගේ ගැවසුම් ප‍්‍රදේශ හුදකලා කිරීමට හා ඛන්ඩණය කිරීමට හේතුවන අහිතකර සංවර්ධන සැලසුම් සකස් කිරීම නතර කරන ලෙස ය,

තව ද ඉදිරි සංවර්ධන කටයුතු ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන් හම්බන්තොට දැනට සිදු කර ඇති සංවර්ධන කටයුතුවලට අදාළ ව නිසි අධ්‍යයනයක් සිදු කර හුදකලා වී ඇති හා ඛන්ඩණය වී ඇති වනාන්තර හා ස්වාභාවික පරිසර පද්ධති ඒකාබද්ධ කිරීම තුළින් අලි - ඇතුන් ඇතුළු ව සියලූ ජෛව ප‍්‍රජාවගේ රැුකවරණය තහවුරු කරන ලෙස ය, අවසන් වශයෙන් අවධාරණය කළ යුතු වන්නේ හම්බන්තොට ආශ‍්‍රිත බොහෝ ප‍්‍රදේශවල සංවර්ධිත සම්පත් හම්බන්තොට අවිධිමත් සංවර්ධන කටයුතු සඳහා භාවිතා නොකරන ලෙස ය, මේ සියල්ල කඩිනමින් ක‍්‍රියාත්මක නොකළහොත් සිදුවන්නේ හම්බන්තොට සංවර්ධනයත් ඒ ආශ‍්‍රිත ජන දිවියත්, ප‍්‍රදේශයේ වත්මන් දේශපාලකයන්ගේ පැවැත්මත් ඉතා ම කෙටි කලකින් ම දැවැන්ත කඩා වැටීමකට ලක් වීම ය.

1

 

2

3

4

5

6

7

-

 

Last modified on Wednesday, 05 November 2014 12:05

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us