එකම ස්‌ථානයක සිදුවූ ආපදාවකින් වැඩිම ජීවිත වැඩිම ජීවිත හානි කොස්‌ලන්දෙන්
Published in
පුවත්
Thursday, 30 October 2014 10:29
පසුගිය 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා සිදුවූ සුනාමි ව්‍යසනයෙන් රටපුරා දහස් ගණනකගේ ජීවිත අහිමි වූ අතර ඊට පෙර 2003 වර්ෂයේදී ඇති වූ ගංවතුරෙන් හා නායයැම්වලින් රත්නපුර, කෑගල්ල කළුතර, ගාල්ල, මාතර ඇතුළු දිස්‌ත්‍රික්‌ක කිහිපයක පුද්ගලයන් තුන්සියයකට වැඩි පිරිසකට ජීවිත හානි වාර්තා වී අැත.
එහෙත් එකම සිද්ධියකදී එකම ස්‌ථානයක වැඩිම ජීවිත හානි ප්‍රමාණය වාර්තා වන්නේ මෙම කොස්‌ලන්ද ප්‍රදේශයේ සිදුවූ නායයැමේ සිද්ධිෙයනි.
අපේ රටේ කඳුකරයේ මීටර් 300 කට වඩා උසින් වැඩි ප්‍රදේශවලින් සියයට 20 ක භූමි ප්‍රමාණයක් ඕනෑම මොහොතක නාය යැමකට ලක්‌විය හැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා දිවයින පුවත්පතට පවසා තිබුණි.
කඳුකර ප්‍රදේශවල මතුපිට පස් තට්‌ටුව එහි යටි පස් තට්‌ටුව සමග ඇති සම්බන්ධතාව බිඳී යැමෙන් මතුපිට පස් තට්‌ටුවේ ගල් වැලි හෝ පස් නිමේෂයකින් එතැනින් ඉවත් වීම, කිදා බැසීම හෝ ලිස්‌සා යැම නාය යැමක් ලෙස හැඳින්වේ. එලෙස නාය යැමක් සිදු වීමට මතුපිට පස් තට්‌ටුව හා යටි පස් තට්‌ටුව අතරට ජලය ගමන් කිරීම, අකුණු ගැසීම් වැනි අවස්‌ථාවල ඇතිවන හදිසි කම්පන හෝ මතුපිට පස් තට්‌ටුවේ බර වැඩිවීම හේතුවිය හැකි බවද මහාචාර්ය එපිටවත්ත පවසා සිටියි.
නාය යැම වසර මිලියන සිය ගණනක් පුරා පෘථිවියේ ඇති වූ ක්‍රියාදාමයකි. මුළුමනින්ම ස්‌වාභාවික ක්‍රියාවලියක් වන මෙය මිනිසා සිදු කරන පරිසර හානි නිසා අද වේගවත් වී තිබෙන බවත්. නාය යැමට ලක්‌වී ඇති ප්‍රදේශවල ජනාවාස ඇති කිරීමෙන් ජීවිත හානි බහුල බවත් දක්වා අැත.
නාය යැමට ආසන්න ප්‍රදේශවල භූ දර්ශනයන්හි සිදුවන වෙනස්‌වීම් පිළිබඳ සාමාන්‍ය ජනතාව තුළ දැනුමක් නොමැති නිසා ඒ පිළිබඳව ඔවුන් තුළ අවධානයක් ඇති නොවීමෙන් නාය යැම්වලින් සිදුවන ජීවිත හානි අද බහුල වී ඇතැයි පවසන මහාචාර්ය සෙනෙවි එපිටවත්ත කඳුකර ප්‍රදේශවල ඇති ළිංවල ජලයේ පැහැය වෙනස් වීම, උල්පත් සිඳී යැම වැනි ලක්‍ෂණ පිළිබඳ අවධානයකින් පසුවන්නේ නම් නාය යැම් නිසා සිදුවන ජීවිත හානි අවම කර ගත හැකි බවද පවසා අැත.
Leave a comment