මේ වන විට ඩීසල් බෙදාහැරීම සිදුවන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් 650ක පමණක් බවත් මෙම සංගමය පෙන්වා දෙයි.
රජයට අයත් ඉන්ධනහල්වල මිල ගණන් පහළ දැමීමේදී අදාළ සමාගම් ද ඉන්ධන ඊට සමාන වන පරිදි අඩු කරනු ලැබේ. එහිදී ඔවුන්ට සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා රජය විසින් එම මුදල ලබාදීමට සමාගම් සමග එකඟ වී ගිවිසුම්ගතව තිබෙන බවත් මෙම සමාගම් කියා සිටී. නමුත් එකඟ වූ පරිදි එම මුදල් පියවීමට රජය කටයුතු නොකිරීම මෙසේ ඉන්ධන සීමා කිරීමට හේතුවූ බවත් එම සමාගම් පවසති.
ලංකා අයි.ඕ.සී සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 250ත් සිනොපෙක් ඉන්ධන පිරවුම්හල් 150ත් සහ ආර්.එම්. පාර්ක් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් 100කද ඒ අනුව ඩීසල් බෙදාහැරීම සීමාකර තිබෙන බව බෙදුම්කරුවෝ පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ දිගින් දිගටම මෙම සමාගම් විසින් ඩීසල් නිකුත් කිරීම සීමා කළහොත් ඉදිරියේදී ඉන්ධන සම්බන්ධයෙන් ගැටලු රාශියකට මුහුණ දීමට සිදුවන බවය.
මේ අතර ලංකා අයි.ඕ.සී. සමාගම, ආර්.එම්. පාර්ක් සමාගම සහ සිනොපෙක් සමාගමේ සියලුම බෙදුම්කරුවන් වෙත ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය දන්වා ඇත්තේ මතු වී ඇති ඉන්ධන තොග සීමාකිරීමට විරෝධය පළකරන බවත් බෙදුම්කරුවන් වෙත පිරවුම්හල් අඛණ්ඩව පවත්වාගෙන හැකි සාධනීය ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්ය.
එමෙන්ම ලංකා IOC බෙදාහරින්නන්ගේ සංගමයද ලංකා IOC කළමනාකාර අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ සැප්තැම්බර් 03 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි බෙදාහරින්නන් වෙත ඔටෝ ඩීසල් සැපයීම සීමාකිරීමට ගත් මෑතකාලීන තීරණය හේතුවෙන් ප්‍රවාහන, කාර්මික, නාගරික ඉදිකිරීම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආර්ථික කටයුතුවල නිරතවන පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සපයා ගැනීමට නොහැකි වීමෙන් බෙදාහරින්නන් දැනටමත් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බවය.
පාරිභෝගිකයන් වෙනත් සැපයුම්කරුවන් වෙත යොමු වූ පසු, ඔවුන්ගේ ව්‍යාපාර නැවත දිනා ගැනීම අතිශයින් දුෂ්කර වන අතර, එය LIOC බෙදාහැරීමේ ජාලයට සහ ඔටෝ ඩීසල් අලෙවියට දිගුකාලීන අහිතකර බලපෑමක් ඇති කරනු ඇති බව ද අදාළ ලිපියේ සඳහන් වේ.
එබැවින් මේ සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස ලංකා IOC බෙදාහරින්නන්ගේ සංගමය මෙම සමාගමේ කළමනාකාරිත්වයෙන් ඉල්ලා ඇත.

