යුනෙස්කෝ සංවිධානයවට අනුව, මෙම තේමාව ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම, තිරසාර අනාගතයන්ට සහාය වීම සහ ජීවනෝපායන් සහ ආර්ථික සංවර්ධනය සඳහා අවස්ථා පුළුල් කිරීමේදී සාක්ෂරතාවයේ කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කරනු ඇත.
සාක්ෂරතාවයේ වැදගත්කම පිළිබඳව ලොව පුරා ජනතාවගේ අවධානය යොමු කිරීමේ අරමුණන් මෙම දිනය යුනෙස්කෝව සිය 14 වන මහා සමුළුවේදී ප්‍රකාශයට පත් කළ අතර, 1967 වසරේදී පළමු ජාත්‍යන්තර සාක්ෂරතා දිනය සමරනු ලබයි.
එතැන් සිට රජයන්, අධ්‍යාපනඥයින්, සංවිධාන සහ පුළුල් මහජනතාවට සාක්ෂරතාවයේ වැදගත්කම සිහිපත් කර දීම සඳහා වාර්ෂිකව සැප්තැම්බර් 8 වන දින මෙය සමරනු ලැබේ.
මෙවර මෙම සැමරුම පසුගිය දශක හය තුළ ලබා ඇති ප්‍රගතිය තක්සේරු කිරීමට සහ ලොව පුරා සාක්ෂරතාවයට අඛණ්ඩව බලපාන අභියෝග පරීක්ෂා කිරීමට අවස්ථාවක් ලබා දෙනු ඇති බව සඳහන්ය.
මේ වසරේ සමරනු ලබන්නේ, ගෝලීය සාක්ෂරතා මට්ටම් සැලකිය යුතු ලෙස වැඩිදියුණු වී ඇති නමුත් ප්‍රධාන හිඩැස් තවමත් පවතින අවස්ථාවකය.
2024 වසරේ දත්ත මත පදනම් කරගනිමින් යුනෙස්කෝ සංවිධානය අවධාරණය කර ඇත්තේ, ලොව පුරා තරුණයින් සහ වැඩිහිටියන් මිලියන 739ක් තවමත් මූලික සාක්ෂරතා කුසලතා නොමැති බවය.
එමෙන්ම ළමුන් 10 දෙනෙකුගෙන් හතර දෙනෙකු කියවීමේ අවම ප්‍රවීණතාවයට ළඟාවී නොමැති බව සඳහන්ය.
ඒ අනුව මෙම වසරේ තේමාව සාක්ෂරතාවය තනි පුද්ගල කුසලතාවක් ලෙස පමණක් නොව පුළුල් සමාජ, පාරිසරික සහ ආර්ථික සංවර්ධනයට අදාළව ද සලකා බැලීමට නියමිතය.
මේ අතර මෙරට සාක්ෂරතාවය 97.4%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවල දැක්වේ.
එම දෙපාර්තමේන්තුවට අනුව මෙරට පුද්ගලයින්ගේ ඩිජිටල් හා පරිඝනක සාක්ෂරතාවය ඉතා ඉහළ අගයකින් වැඩිදියුණු වී ඇති බව සඳහන්ය.
ඒ අනුව වසර 5 හෝ ඊට වැඩි ජනගහනයේ ඩිජිටල් සාක්ෂරතාවය 67.6%ක් ලෙසත් පරිගණක සාක්ෂරතාවය 34.7%ක් ලෙසත් වාර්තා වෙයි.

