දැනට දිනකට පානීය ජලය ලීටර් විසි පන් දහසක් බෙදාහරින බව පදියතලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.එම්. අනුර රාජපක්ෂ පැවසූයේය. ඒ අනුව එක් නිවසකට සතියකට පානීය ජලය ලීටර දෙසීයක් ලබාදෙන අතර සතියකට දින හයක් ජලය බෙදා දෙයි.
ඉදිරියේ දී දින තුනකට වරක් ලීටර් දෙසීයට වඩා එක් නිවෙසකට ජලය ලබාදීමට සැලසුම් කර ඇති බවත් ඔහු කීය.
මේ හේතුවෙන් පීඩාවට පත්වී සිටින පුද්ගලයන් සංඛ්‍යාව හයදහස් එකසිය අනූ දෙකක් බව පදියතලාව ප්‍රාදේශීය ලේකම් බී.වී. සුදර්ශන ගුණසේන පැවසීය. තත්ත්වය දිනෙන් දිනම උග්‍ර අතට හැරෙමින් පවතින අතර ජල මූලාශ්‍ර සිඳීයමින් දැඩි අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයිද ප්‍රාදේශීය ලේකම්වරයා කීය.
ප්‍රාදේශීය ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (21 වැනිදා) පදියතලාව ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැති ප්‍රාදේශීය අපදා කළමනාකරණ කමිටුව අමතමිනි.
පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පල්ලේගම, සේරන්කඩ, හෝලිකේ, ගල්ඕඩේ, පුලුන්ගස්මුල්ල, පලතුරුවැල්ල, පදියතලාව, කිරවාන, කෙහෙල් උල්ල, හාගම්වෙල, තලාපිටඔය-දකුණ, තලාපිටඔය-වම යන ග්‍රාම නිලධාරී වසම්වල දැඩි නියඟය හේතුවෙන් උග්‍ර ජල ගැටලුවකට මුහුණ පා ඇත.
මෙම ප්‍රදේශ සඳහා පානීය ජලය සපයා දීම සදහා රජය මාස තුනකට ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන මේ වනවිටත් පදියතලාව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට ලබා දී ඇතැයි ද ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.
මිරිස්වත්ත වළදෝව කණ්ඩිය හැර ප්‍රදේශයේ සුළු පරිමාණ වැව් සියල්ලක්ම හිඳී ඇති අතර ඒ නිසාම කිරි ගව පාලනය කරන විශේෂයෙන්ම හාගම්වෙල හා කීනාතුමුල්ල ගම්මානවල හරකුන්ටත් බීමට ජලය නැති බවද මෙහිදී අනාවරණය විය.

