මේ දිනවල පරිසර උෂ්ණත්වය ඉහළ අගයකට පත්ව තිබෙන බවත් මත්පැන් පානය කිරීමෙන් සිරුරේ විජලනය ඇති වී විවිධ සංකූලතා මතුවිය හැකි බවත් එම ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉනෝකා සුරවීර පැවැසුවාය.
මෙම උණුසුම්කාරී තත්ත්වය ඉදිරි දින කිහිපයේදී තවත් තීව්‍ර විය හැකි බවද සිරුර විජලනයට ලක් නොවී තබාගැනීමට පිරිසුදු වතුර, තැඹිලි, කුරුම්බා, කොමඩු ආදිය වැඩිපුර භාවිත කිරීම ඉතා සුදුසු බවද ඇය කීවේය.
එල්-නිනෝ තත්ත්වයත් සමග වායු ගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමෙන් කුඩා දරුවන්, ගැබිනි මව්වරුන් මෙන්ම වයස අවුරුදු 60ට වැඩි වැඩිහිටියන්ද පෙරවරු 11.00 සිට පස්වරු 3.00 අතර කාලයේ අව් රශ්මියට නිරාවරණය නොවී ආරක්ෂිත ක්‍රම අනුගමනය කළ යුතු බවද ප්‍රජා විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.
විශේෂයෙන්ම බෝ නොවන රෝග ඇති වකුගඩු රෝගීන්, හදවත් රෝගීන්, ආඝාත රෝගීන් සහ දියවැඩියා රෝගීන් තම ඖෂධ මාත්‍රා නිසි පරිදි ලබාගෙන සෞඛ්‍යාරක්ෂිතව සිටීම අතිශය වැදගත් බවද ඇය සඳහන් කළාය.
තවද තාප ආඝාත තත්ත්වයට ලක්වීමෙන් මරණ පවා සිදුවිය හැකි බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබාදෙන උපදෙස්වලට අනුව කටයුතු කරන ලෙසද ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉනෝකා සුරවීර වැඩිදුරටත් ඉල්ලා සිටියාය.

