මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා මියයන විට 63 හැවිරිදි වියේ පසුවිය.
1986 වසරේ පොලිස් සේවයට එක්වූ ඒ මහතා, 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සේවය අත්හිටුවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරිණි.
අනතුරුව 2020 වසරේ නොවැම්බර් 27 වනදා ඔහු පොලිස්පති ධුරයට පත් කෙරිණි.
2023 වසරේ මාර්තු 25 වනදා විශ්‍රාම යාමට නියමිතව සිටියද, නව පොලිස්පතිවරයෙකු පත් කරන තෙක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවස්ථා කිහිපයකදී සේවා දිගු ලබාදීම හේතුවෙන් සී.ඩී. වික්‍රමරත්න මහතා තවත් මාස 8කට ආසන්න කාලයක් පොලිස්පති ධුරයේ කටයුතු කළේය.
ඔහු පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගනු ලැබුවේ 2023 වසරේ නොවැම්බර් 23 වනදායි.
මේ අතර, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය සිකුරාදා වෙඩි වැදීමකින් මියගොස් තිබුණි.
ඔහුගේ මරණය සියදිවි හානි කර ගැනීමක් බවට සැක කෙරෙන අතර, සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් ඔහු වෙඩි තබාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.
සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබේ.
නැගෙනහිර කොළඹ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් එම තීන්දුව ලබාදී ඇති අතර, හිටපු පොලිස්පතිවරයාගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට ද පියවර ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලබේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, හිටපු පොලිස්පතිවරයා වෙඩි තබා ගැනීමට යොදාගත් බව කියන ගිනි අවිය ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ.
විමර්ශනවලට අදාළව ඒ මහතාගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.

