මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි බවද සඳහන්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.
මේ අතර පවතින අධික වර්ෂාපතන තත්ත්වය සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ 12ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 6ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.ඩී.පී.එස්.ඩී හේරත් මහතා පැවසුවේ වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජංගන, බදුල්ල දිස්ත්‍රික්කයේ සොරබොර වැව, මහනුවර දිස්ත්‍රික්කයේ වෑ මැඩිල්ල ජලාශය, දේවහූව, නාලන්ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල, යෝධ ඇල, වෙහෙරෙගල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔය, මොනරාගල දිස්ත්‍රික්කයේ අලිකොටාආර යන ජලාශ පවතින බවය.
රාජාංගන ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 9,300කට අධික ජල ප්‍රමාණයක් කලා ඔය වෙත නිකුත් කරමින් පවතින බව පැවසූ ඒ මහතා සොරබොර ජලාශයේ වාන් දොරටු 5ක් අඩි 2 බැගින් නිකුත් කර තත්ත්පරයකට ඝන අඩි 500කට අධික ජල ප්‍රමාණයක් මහවැලි ගඟ වෙත නිකුත් කරමින් පවතින බවද සඳහන් කළේය.
මහනුවර නාලන්දා ජලාශයෙන්ද මේ වන විට තත්ත්පරයකට ඝන අඩි 1,000කට අධික ජල ප්‍රමාණයක්ද දේවහූව ජලාශයේ තත්පරයකට ඝන අඩි 1,300කට අධික ජල ප්‍රමාණයක් මේ වන විට නිකුත් කරමින් පවතින බවත් ඒ මහතා පැවසීය.
එමෙන්ම ලුණුගම්වෙහෙර ජලාශයේ වාන්දොරටු 6ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 4,000කට අධික ජල ප්‍රමාණයක් මේ වන විට කිරිඳිඔය වෙත නිකුත් කරමින් පවතින බවත් පැවසූ ඒ මහතා වෙහෙරගල ජලාශයේද වාන් දොරටු 6ක් මේ වන විට විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 1,900කට අධික ජල ප්‍රමාණයක් මැණික් ගඟ වෙත නිකුත් කරමින් පවතින බවද සඳහන් කළේය.
තවද දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 2,800කට අධික ප්‍රමාණයක් දැදුරු ඔය වෙත නිකුත් කරමින් පවතින බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ අලිකොටාආර ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කර තත්ත්පරයකට ඝන අඩි 500කට අධික ජල ප්‍රමාණයක් කිරිඳි ඔය වෙත නිකුත් කරමින් පවතින බවත්ය.
වාන් දමන මධ්‍ය පරිමාණ ජලාශ අතරට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුරුවිල, බදුල්ල දිස්ත්‍රික්කයේ බෝඹුරුඇල්ල, හම්බන්තොට දිස්ත්‍රික්කයේ දෙබරවැව, මොනරාගල දිස්ත්‍රික්කයේ සද්ධාතිස්ස සහ මාලින්පොත, වව්නියාව දිස්ත්‍රික්කයේ මයිලන්කුලම ජලාශද පවතින බවද සඳහන් කළේය.
වාරිමාර්ග ඉංජිනේරුවරයා සඳහන් කරනුයේ ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය අනුව මෙම වාන් දමන ප්‍රමාණයන් වෙනස් විය හැකි බැවින් එම ජලාශ අවට සහ පහත්බිම්වල වෙසෙන ජනතාව වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ ආයතන මගින් නිකුත් කරන නිවේදන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසද වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

